රනිල්ට එරෙහි විශ්වාසභංගයට ජවිපෙ කොන්දේසි මෙන්න

රනිල්ට එරෙහි විශ්වාසභංගයට ජවිපෙ කොන්දේසි මෙන්න

අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එනවා නම් එම විශ්වාසභංගය වංචා-දූෂණ සම්බන්ධයෙන්, හොරු ආරක්‍ෂා කිරීමට එරෙහිව චෝදනා එල්ල කරමින් ඔහු අගමැතිධුරයේ කටයුතු නිසි ආකාරව ඉටු නොකිරීමට එරෙහිව නිශ්චිත කරුණු දක්වා ගෙන එන විශ්වාසභංග යෝජනාවකට තම සහය හිමිවෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

ඊයේ (28) පැලවත්ත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කර සිටියේය.

එසේම අගමැති රනිල් වික‍්‍රමසිංහට එරෙහිව ගෙන එන විශ්වාසභංගය යම්කිසි බල පොරයක වුවමනාව වෙනුවෙන් එසේත් නැතිනම් දේශපාලන ගේමක් වෙනුවෙන් ගෙන එනවා නම්, විශ්වාසභංගය ගෙන එන මොහොතේ එහි තිබෙන දේශපාලන වුවමනාවන් පිළිබඳව සලකා බලා කටයුතු කිරීමට තම පක්ෂය බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් රනිල් වික‍්‍රමසිංහගේ අගමැති ධුරය ආරක්‍ෂා කිරීමවත් එය පවත්වාගෙන යාමවත් කිසිසේත්ම ජනතා විමුක්ති පෙරමුණට අදාළ කාරණයක් නොවන බවත් විශ්වාසභංගය නිශ්චිත පරිදිම ඔහු වංචාවට හවුල් වූ බවටත් ඔහු වංචනිකයින් ආරක්‍ෂා කළ බවටත් වංචනිකයින්ට රැකවරණය ලබාදීම ආදී නිශ්චිත කරුණු වෙනුවෙන් ගෙන ආ යුතු බවද එහිදී ජවිපෙ නායකයා අවධාරණය කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජවිපෙ නායක පාර්ලිමේන්ති මන්ත්‍රී අනුර දිසානායක මෙසේද පැවසීය.

විශ්වාසභංගය ඉදිරිපත් කිරීමේදී එහි අඩංගුව ඉදිරිපත් කළ යුතුයි. අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ හවුල්කාරයෙක් බවට පත්වී සිටීම, මහ බැංකු අධිපතිවරයා පත්කිරීමට ප‍්‍රයත්න දැරීම, ඒ වගේම මහ බැංකු වංචා ආරක්‍ෂා කිරීමට උත්සාහ කිරීම, ඒ වගේම රාජපක්‍ෂ පවුලේ වංචා-දූෂණ ආරක්‍ෂා කිරීමට ප‍්‍රයත්න දැරීම, සිරිලිය ගිණුමේ වංචා වෙනුවෙන් ශිරන්ති රාජපක්‍ෂ එෆ්.සී.අයි.ඞී.යට ගෙනයාමට ඉඩ නොදීම, ඇතැම් අයගේ පාස්පෝට් ප‍්‍රශ්නවලදී නීතිපති දෙපාර්තමේන්තුවට කතාකොට ඇතැම් අයට ඇප ලබාදෙන ලෙස ඉල්ලීම වැනි වංචනික කටයුතුවලට ආරක්‍ෂාව ලබාදීම ආදී කරුණු සහිතව විශ්වාසභංගය ගෙන එනවා නම් එයට සහාය ලබාදීමට අපි සූදානම්.

මහ බැංකු වංචාව යනු ගමේ තරුණයින් කණ්ඩායමක් මුහුණු බැඳගෙන ගොස් බැංකුවක් මංකොල්ල කාපු වර්ගයේ එකක් නෙවෙයි. එම දූෂිත ගනුදෙනුව සිදුවුණේ සිංගප්පූරු පුරවැසියෙකු අගමැතිවරයාගේ ආරාධනය අනුව පැමිණ මහ බැංකු අධිපතිධුරය දරමිනුයි. එසේ තිබියදී දැන් ඔහු හොයාගන්න බැහැ කියන කතාව විහිළුවක්. අගමැතිවරයා ඔහු ලංකාවට ගෙන්වා ගැනීමට සෘජුව වගකීම බාරගත යුතුයි. අගමැතිවරයා ඒ සඳහා සෘජුව මැදිහත් විය යුතුයි. මොකද, මෙම මහ බැංකු වංචාව ආරාධිත මංකොල්ලයක්. ආරාධනය කරපු අගමැතිවරයා ඒ වෙනුවෙන් වගකීම බාරගත යුතුයි.

හරිනම් සිදුවිය යුතුව තිබුණේ, පොලීසිය විසින් අග‍්‍රාමාත්‍යවරයා සිය භාරයට ගැනීමයි. නමුත් දැන් සිදුවෙලා තිබෙන්නේ අගමැතිවරයා විසින් පොලීසිය තමන්ගේ භාරයට ගැනීමයි. ඇත්තටම සිදුවිය යුතු දෙය අනෙක් පැත්තටයි සිදුවෙලා තිබෙන්නේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න