Image

ශ්‍රී ලංකාවේ දළ නිල සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.45 දක්වා ඉහළට...

ශ්‍රී ලංකාවේ දළ නිල සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.45 දක්වා ඉහළට...

මැදපෙරදිග යුද වාතාවරණයක් පැවතියා වුව ද මේ වසරේ ජූනි මාසය වන විට විදේශ ණය ආපසු ගෙවීම් සමගින් වුවත් ශ්‍රී ලංකාවේ දළ නිල සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.45 දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අද (22) පැවති රැස්වීමේ දී වත්මන් ප්‍රතිපත්ති පොලී අනුපාතය නොවෙනස්ව තබා ගැනිමට තීරණය කළ බව මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් විරසිංහ මහතා කීය. එඅනුව වත්මන් ප්‍රතිපත්ති පොලි අනුපාතිකය 8.75% මට්ටමේ ම තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර ඇත.

2026 ජුනි මාසයේ දී ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමනය 6.8% දක්වා ඉහළට...

කොළඹ මහ බැංකු මූලස්ථානයේ අද (22) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක් වූ අධිපතිවරයා මෙසේ ද පවසා සිටියේ ය.

දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වයන්හි සිදුවන වෙනස්කම් සහ ඉදිරි දැක්ම කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රතිපත්ති පොලි අනුපාතික වෙනස් නොකිරීමේ මෙම තීරණයට එළඹි බව ද අධිපතිවරයා සඳහන් කරයි. විශේෂයෙන් මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ගෝලීය භාණ්ඩ මිල, විශේෂයෙන් ඛනිජ තෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ. මෙම තත්ත්වය ගෝලීය ආර්ථික වර්ධනයට මෙන්ම ශ්‍රී ලංකා ආර්ථිකයට ද අහිතකර ලෙස බලපෑ හැකි බව මහ බැංකුව පෙන්වා දෙයි. මේ අතර, 2026 ජුනි මාසයේ දී ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමනය වාර්ෂික පදනම මත 6.8% දක්වා ඉහළ ගොස් ඇති අතර, ඊට ප්‍රධාන වශයෙන් දේශීය බලශක්ති සහ ආහාර මිල ගණන් ඉහළ යාම බලපා ඇත. උද්ධමනය ඉදිරි කෙටි කාලය තුළ 5%ක ඉලක්කගත මට්ටමට වඩා ඉහළින් පවතිනු ඇතැයි අපේක්ෂා කළ ද, එය ක්‍රමයෙන් යළි ඉලක්කගත මට්ටම වෙත පැමිණෙනු ඇතැයි මහ බැංකුව විශ්වාසය පළ කරයි.

ශ්‍රී ලංකා රුපියල යම් තරමකට ස්ථාවර යි

මෑත කාලීන උද්ධමන ඉහළ යාමට සැපයුම් අංශයේ සාධක මෙන්ම ආර්ථිකයේ ශක්තිමත් වෙමින් පවතින ඉල්ලුම් තත්ත්වයන් ද දායක වී ඇත. රටේ බාහිර අංශය පිළිබඳව සැලකීමේ දී, ඉහළ ඉන්ධන ආනයන වියදම් හේතුවෙන් වෙළෙඳ හිඟය පුළුල් වීම නිසා 2026 අප්‍රේල් මාසයේ සිට ජංගම ගිණුමේ හිඟයක් වාර්තා වී තිබේ. කෙසේ වෙතත්, මෑතකදී ගනු ලැබූ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග නිසා මෝටර් රථ ඇතුළු ආනයන සඳහා වන ඉල්ලුම ඉදිරියේදී අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. විදේශගත ශ්‍රමිකයන් ගේ ප්‍රේෂණ ශක්තිමත්ව පවතින පසුබිමක, විදේශ ණය සේවා ගෙවීම් ද සිදුකරමින් 2026 ජුනි මස අවසානය වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.45ක් දක්වා වර්ධනය වී තිබේ. එමෙන් ම පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලංකා රුපියල යම් තරමකට ස්ථාවර වී ඇති බව ද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

ජයසිරි මුණසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න