රට එකවරම කඩා වැටෙන්නේ නැත. එකවර කඩා වැටුණා නම් ඊට මුහුණ දීම පවා මීට වඩා පහසු වනු ඇත. ඊට වෙනස්ව, අපේ රට සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකි තරම් අතිශය මන්දගාමීව, නිහඬව සහ දරුණු ලෙස අගාධයක් දෙසට පාවෙමින් තිබේ. ජනතාව ගේ විශ්වාසය දිය වී යන, රාජ්‍ය ආයතන අඩපණ වන, සහ මුළු මහත් අලුත් පරම්පරාවක් ම තමන් ගේ අනාගතය මේ රට තුළ තියෙනවාද නැද්ද? කියා නිහඬව තමන් ගෙන් ම ප්‍රශ්න කරන භයානක කලාපයකට රට තල්ලු වෙමින් පවතී.
දිලිත් ජයවීර නමැති නායකයා නිර්මාණය වී ඇත්තේ මෙන්න මේ මොහොත වෙනුවෙනි.

එය ඔහු රටේ සිටින වැඩිම හඬක් නගන චරිතය වූ නිසා නොවේ. ඔහු මේ අර්බුදය හමුවේ වඩාත් ම පැහැදිලි දැක්මක් සහිත නායකයා වන බැවිනි.
පළිගැනීම්, චෝදනා එල්ල කිරීම් සහ දේශපාලන නාට්‍යවලින් පිරුණු ජාතික සංවාදයක් ඇතුළේ, දිලිත් දිගින් දිගට ම අවධානය යොමු කරන්නේ සැබවින්ම රටට වැදගත් වන ප්‍රශ්න දෙසට ය.
ඒ මහපොළොවේ යථාර්ථය එක්ක ගැටෙමින්, ගමේ ප්‍රශ්නවලට බලය නැතිව, නායකත්වය දෙමින්. දිලිත්: දෙහිඅත්තකණ්ඩියේ දී මිනිස් අලි ගැටුම් වෙනුවෙන් ද, තබුත්තේගම දී ගොවියා ගේ ප්‍රශ්න වෙනුවෙන් ද, මොරටුවේ දී වඩුවා ගේ ප්‍රශ්න වෙනුවෙන් ද, මීගමුවේ දී ධීවරයා ගේ ප්‍රශ්න වෙනුවෙන් ද මැදිහත් වන්නේ එම නිසා ය. ජනතාවට නායකයෝ අවශ්‍ය සැපේදී නොව දුකේ දී ය.

ඉර පායන්නටත් පෙර තමන්ගේ කඩේ දොර අරින බදු බරින් හෙම්බත්වු නොච්චියාගම කුඩා ව්‍යාපාරිකයා පිළිතුරක් බලාපොරොත්තු වෙයි.
තාක්ෂණික නවෝත්පාදනයක නිරත වන දෙණියායේ තරුණිය පිළිතුරක් බලාපොරොත්තු වෙයි. දිනෙන් දින ඉහළ යන පිරිවැය දරාගන්නා පොළොන්නරුවේ ගොවියා, ගෝලීය වෙළඳපොළ සමග තරග කරන කටුනායක අපනයනකරුවා, තම දරුවන් ගේ අනාගතය ගැන තැවෙන මහව ගුරුවරිය සහ අසහනකාරී පීඩනය හමුවේ රාජ්‍ය සේවයේ නිවැරදි ප්‍රමිති සුරකින රාජ්‍ය නිලධාරියා, මේ සෑම දෙනා ම බලාපොරොත්තු වන්නේ තමන් ගේ අරගලය තේරුම් ගන්නා, සටන් පාඨවලට එහා ගිය සැබෑ විසඳුම් ඇති නායකයෙකි.

බොහෝ දේශපාලනඥයින්ට මඟහැරෙන මූලික සත්‍යයක් දිලිත් තේරුම් ගෙන ඇත. ඒ, ශ්‍රී ලංකාව යනු කිසිදා ආණ්ඩුවලින් පමණක් ගොඩනැගුණු රටක් නොවන බවයි. එය ගොඩනැඟුවේ "අදට වඩා හෙට යහපත් වනු ඇත" කියා විශ්වාස කළ මිනිසුන් ය. අපේ වැව් අමුණු, පුරාණ නගර, වෙළඳ ජාලයන් සහ ආයතන පද්ධතීන් ගොඩනැඟුවේ අභියෝග හමුවේ යටත් නොවී, රට ගොඩනැඟීමට තීරණය කළ අතීත පරම්පරාවන් විසිනි. ඒ නොපසුබට ආත්මය තවමත් විනාශ වී නැත. එය පවතින්නේ අවදි වන තෙක් බලාපොරොත්තුවෙනි.

අද බොහෝ දේශපාලන හඬවල් කතා කරන්නේ "බලය" ගැන පමණි. "අරමුණක්" ගැන කතා කරන්නේ ඉතා ස්වල්ප දෙනෙකි. බොහෝ දෙනෙක් සතුරන් කවුදැයි පෙන්වා දෙති. නමුත් සැබෑ විසඳුම් පෙන්වා දෙන්නේ ඉතා ස්වල්ප දෙනෙකි. රට අද බලාපොරොත්තු වන්නේ වෙනස්ම දෙයකි. ඒ අභියෝගයන්හි සැඟවුණු සත්‍යය වසා නොදමා, ගෞරවය, ව්‍යවසායකත්වය සහ අව්‍යාජ බලාපොරොත්තුව ගැන කතා කරන නායකත්වයකි.
දිලිත් එම මාවත තෝරාගත්තේ ඉතා සවිඥානිකව ය. අන් අය හඬ නගද්දී, ඔහු සිය දැක්ම වඩාත් පැහැදිලි කරගත්තේය. අන් අය වෛරය රඟදක්වද්දී, ඔහු පාලකයන්ගේ අසාර්ථකත්වයන් ලේඛනගත කරමින් විකල්ප විසඳුම් ඉදිරිපත් කළේය. අන් අය පුවත්පත් සිරස්තල පස්සේ හඹා යද්දී, ඔහු සිය මුල් සොයා 'අඟුළුගහ'ට ගියේය. තමන් ගේ මෑණියන් ගේ පන්ති කාමරයට, තමන් ගේ අත්තිවාරම වෙත යමින්, සැබෑ ශක්තිය ආරම්භ වන්නේ කොතැනින්දැයි තමන්ටත් මුළු රටටත් මතක් කර දුන්නේ ය.

අර්බුදයක දී සැබෑ නායකත්වය යනු මෙයයි. අන් අය කලබල වන විට නොසැලී සිටීමයි. අන් අය දේශපාලන "සුබ සහ යස" නාට්‍ය රඟදක්වන විට ගෞරවාන්විතව සිටීමයි. අන් අය තමුන්ගේ නඩු හබ හමුවේ ලෙහෙසි මාවත් තෝරාගන්නා විට වගකීම භාරගැනීමයි.
ඉතිහාසය කිසිදා වෙනස් වී ඇත්තේ හයියෙන් කෑගසන හඬවල් නිසා නොවේ. ඉතිහාසය වෙනස් වන්නේ අන් අය පාවී යද්දී, එක් මිනිසෙකු නොසැලී කෙළින් සිට ගැනීමට තීරණය කරන බැවිනි.
ශ්‍රී ලංකාවට අද අවශ්‍ය වන්නේ එඩිතර නායකයෙකි. ප්‍රතිලාභ බලාපොරොත්තු නොවී වගකීම් කරගැසීමට සූදානම් නායකයෙකි. මේ රටට අන් කවරදාටත් වඩා අහිමි වී ඇති ඒ එකම දේ නැවත ලබාදිය හැකි නායකයෙකි.
සරල වචනයෙන් කියනවා නම්, ඒ "විශ්වාසය" යි.

රාජ්‍ය ආයතන කෙරෙහි, ව්‍යවසායකත්වය කෙරෙහි, සහ අනාගතය කෙරෙහි නැවතත් විශ්වාසය ගොඩනැගීම මෙම මොහොතේ ඇති වැදගත්ම දේශපාලන කාර්යය බව දිලිත් ජයවීර තේරුම් ගෙන ඇත. එම තේරුම් ගැනීම පමණක්ම, හුදු හිස් හඬවල් නඟන අන් සියල්ලන් ගෙන් ම ඔහුව වෙනස් කර ප්‍රමුඛස්ථානයේ තබයි. දිලිත්ගේ සිහිනය විය යුත්තේ, ජනාධිපතිධුරයේ ඔටුන්න නොව, මහපොළොවේ මිනිස්සුන් විශ්වාස කරන, ජනතා නායකයකු වීම ය.

එන වසරේ, සැප්තැම්බර් 18වන දා, දිලිත්ට හැට වසර වන විට මේ රටේ මිනිස්සු තීරණය කරාවි, දිලිත් සිටිය යුතු තැන.
නවම් මීගොඩ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
