ආණ්ඩුවේ හදිස්සියට ජන්ද තියන්න : මිනිස් ජීවිතවල වගකීම ගන්නේ කවුද ? මහේෂ්

ආණ්ඩුවේ හදිස්සියට ජන්ද තියන්න : මිනිස් ජීවිතවල වගකීම ගන්නේ කවුද ? මහේෂ්

සමස්ථ සමාජයම කොවිඩ් 19 වසංගතය හේතුවෙන්  ජීවිත අවධානමක් හමුවේ පීඩාවට පත්ව සිටින අවස්ථාවක ආණ්ඩුව ඉතා නින්දිත ආකාරයට එම දේශපාලන න්‍යාය පත්‍රය අනුව කටයුතු කරමින් සිටින බවත් එහි අපේක්ෂාව පෙර සිට සූදානම් කරගෙන තිබූ ආකාරයට කඩිනමින් මහ මැතිවරණය පැවැත්වීම බව මාධ්‍යවේදියෙකු මෙන්ම තරුණ  දේශපාලඥයෙකු වන මහේෂ් සේනානායක චෝදනා කරයි.

ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙස නියමිත වෙලාවට මැතිවරණය පැවැත්වීම ගැන වාදයක් නැති නමුත් ගෝලීය වසංගතයක් හමුවේ මැතිවරණය පැවැත්වීමෙන් තත්ත්වය බරපතළ   විය හැකි බවත් එවැන්නක් සිදුවුණහොත් එහි වගකීම ගන්නේ කවුද යන්න පැවසිය යුතු බවත් ඔහු සඳහන් කරයි.
 
newstube.lk වෙත  ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළ අතර ඊට පාදක වූයේ ජනාධිපති  ලේකම් විසින් මැතිවරණ කොමිසමේ සභාපති වෙත අද  (09) යොමු කර තිබූ ලිපියයි.
 
ඒ අනුව මහේෂ් සේනානායක පවසන්නේ කොරෝනා ව්‍යසනය  හමුවේ සියලුම දෙනා  දේශපාලන භේද පසෙක ලා කොරෝනා  මැඩීමට එක්විය යුතු බවට සමාජයේ  පොදු මතයක් පැවතියත් ආණ්ඩුව ඒ නොතකා ක්‍රියා කරන බවයි.
 
ව්‍යසනය  හමුවේ  මිනිස්සුන්ගෙ ජීවිත පමණක් නොව දෛනික ජීවිත පැවැත්ම ද මුළුමනි ම අහෝසි වී ගොස් ඇති බවත් කොරෝනා මර්දනය  කරන අතරේ මෙම මිනිස්සුන්ට නැතුව ගිය දෑ යළි ගොඩනැගීමේ අභියෝගය සම්බන්ධව ආණ්ඩුවේ කිසිදු  අවධානයක් නොමැති බව ද ඔහු පවසයි. 
 
ආණ්ඩුවේ අවධානය මුළුමනින්ම යොමුව ඇත්තේ කෙසේ හෝ කඩිනමින් මහ මැතිවරණය පවත්වා බලය තහවුරු කරගැනීම බව ද මහේෂ් සේනානායක පවසයි.
 
 "ලෝකයේ  සියලුම රටවල් මැතිවරණ කල් දාලා. ඔවුන් දේශපාලනය ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ.    ඔවුන් බලන්නේ මිනිස් ජීවිත රැක ගන්නේ කොහොමද ? කඩා වැටෙන  ආර්ථික යළි ගොඩනඟන්නේ කෙසේද ? වගේ කරුණු. අවාසනාවට  අපේ රටේ  ආණ්ඩුව හැම දෙයක්ම කරන්නේ මහ මැතිවරණ ඉලක්ක කරගෙන. නාම යෝජනා අත්හිටුවන්නේ නැතුව  කෙසේ හෝ  මැතිවරණය පැවැත්වීමට  උත්සාහ ගැනීමේ සිට  මැතිවරණ කොමිසම වෙත අද යැවූ ලිපිය දක්වා සෑම කටයුත්තකින්ම වගේ එය ඔප්පු වෙනවා" මහේෂ් සේනානායක අවධාරණය කරයි.
 
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
 
පළමු අවස්ථාවේ සිට ආණ්ඩුව සියල්ල  දේශපාලනීකරණය කළා !
 
" ජනාධිපති කාර්ය සාධක බලකා පිහිටු වන විට එය දේශපාලනීකරණය කළා. නමුත් විපක්ෂය  මුකුත් කිව්වේ නෑ . නමුත් මේ වෙන කොට ව්‍යසනය නිසා අසරණ වූ ජනතාවට ලබාදෙන සහන වල සිට සහනාධාර මල්ල  දක්වා සියල්ල පොදු ජන පෙරමුණේ දේශපාලන ප්‍රවර්ධන වැඩසටහන් බවට පත්කරගෙන තිබෙනවා. 
 
වසංගතය අවසන් කියා සහතිකය දුන්නේ කවුද ?
 
අනෙක් කරුණ තමයි සෞඛ්‍ය හෝ වෛද්‍ය ක්ෂේත්‍රයේ මොන පාර්ශ්වය ද සහතිකයක් දී තිබෙන්නේ අසවල් දිනය වන විට කොරෝනා වසංගතය  අවසන් වෙනවා කියලා. එම ක්ෂේත්‍ර වල කිසිම ප්‍රවීණයෙක් , සංවිධානයක්  එබඳු සහතිකයක් දී නොමැති පසුබිමක ආණ්ඩුව කොහොමද මැතිවරණ දිනය යෝජනා කරන්න කියලා , ඒ වෙනුවෙන් මැතිවරණ කොමිසමට දැනුම් දීම් කරන්නේ ? 
 
ඒ වගේ ම තමයි කොරෝනා මැඩීමට අවශ්‍ය  මුල්‍ය ප්‍රතිපාදන වෙන් කර ගැනීමේ සිට රාජ්‍ය ණය සීමා ඉහළ දැමීම දක්වා සෑම කටයුත්තකට ම පාර්ලිමේන්තුව තුළ සහාය දීමට සූදානම් බව විපක්ෂය දන්වා තිබෙනවා. නමුත් පාර්ලිමේන්තුව  කැඳවීම කියන වචනය පවා ආණ්ඩුව ප්‍රතික්ෂේප කරනවා. මේ සියල්ල ඇතුලේ  තමයි රාජ්‍ය මුදල් ඇසුරෙන් සැකසෙන  කොරෝනා සහන මල්ල  පොදුජන පෙරමුණ ලබා දෙන පෞද්ගලික පරිත්‍යාගයක් හැටියට ජනතාවට දැනෙන්න පළාත් පාලන නියෝජිතයන් හරහා ඒවා බෙදීමට සලස්වා තිබෙන්නේ.
 
මරබියෙන් ඉන්න මිනිසුන්ට කෑම පාර්සලයක් දීලා ජන්දය ඉල්ලනවා !
 
දැන් එතකොට මොකක්ද මේ කියන්නේ , සහන මල්ල අරගෙන ඡන්දෙ දෙන්න කියලා කියන්නේ. කෑම පාර්සලේ ට ඡන්දය දෙන්න කියලා කියන්නේ. රාජ්‍ය නිලධාරී අන්තරය ඇත් කරලා පොහොට්ටු  නියෝජිතයන්  ඉස්සරහට ගෙනල්ලා කරන්නේ ඒ දේ. ඒ විතරක් නෙවෙයි කැබිනට් තීරණ දැනුම් දීමේ අවස්ථාවේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ගේ හැසිරීම බලන්න. වචන  සියයක් කතා කළොත්  85 ක් ම කලින් ආණ්ඩුවට විවේචන. නැත්නම් එජාපයට විවේචන. 
 
නම ගහගෙන හරි කමක් නෑ සහන මල්ලවත් හරියට බෙදන්න !
 
අඩුම ගානේ ඔහුට යුතුකමක් තියෙනවා අර දෙනවා කියලා  මාධ්‍ය සංදර්ශන තියපු කොරෝනා සහන හරියට ලැබිලා නෑ කියලා ජනතාවගේ මැසිවිලි වලට උත්තර දෙන්න. අන්න රාජ්‍ය සේවකයන්ගේ අප්‍රේල් මාසේ වැටුපෙන් බැංකු ණය වාරික කපාගෙන ලු. ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවම "ලබන මාසේ ඉඳලා දෙන්න උපදෙස් දීලා තියෙන්නෙ" කියලා කතාව අවසන් කරනවා. මාර්තු මාසේ කිව්වෙත් ඔය වචන ටිකමයි. 
 
ඒ වගේ ම තමයි නම ගහගෙන බෙදන්න ගියාට සහන මල්ල  බෙදීමත්  විධිමත් ආකාරයට සිදු වෙන්නේ නෑ කියලා තමයි ජනතාව කියන්නේ. ජීවිත අවදානමේ ඉන්න මිනිස්සුන්ට  දෙන සොච්චමත් දේශපාලනය බලලා කප්පාදු කරනවා කියන්නේ කොච්චර අමානුෂික ද ?
 
මට හිතෙන්නේ ආණ්ඩුව මේ කොරෝනා ව්‍යසනය  ඇතුලේ  ජනතාව සමඟ නරක සෙල්ලමක් කරන්නේ. ඇත්තට ම මිනිස්සු  ජීවිතය ගැන  මර බයෙන් ඉන්න අවස්ථාවේ  මේ වගේ පිළිකුල් සහගත හැසිරීම් අනුමත කරන්න බෑ .
 
මිනිසුන්ගේ ජීවිත එක්ක මෙහෙම සෙල්ලම් කරන්න එපා !
 
අපි දන්නවා ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව ජනාධිපති කළේ සම්ප්‍රදායික දේශපාලනයෙන් ඔහු  ඈත් වෙලා අලුත් ක්‍රමයක් හඳුන්වා දෙයි කියලා හිතලා.නමුත් දැන් මිනිස්සුන්ගේ බලාපොරොත්තු කඩ වෙලා, ඒ මහත්තයා යන්නෙත් පරණ පා‍‍‍‍‍‍‍‍රේ. ඒ නිසා අපි ආණ්ඩුවෙන් කරුණාකර ඉල්ලා සිටිනවා මේ කොරෝනා වසංගතයෙන්  ජනතාව සුරක්ෂිතයි කියලා සෞඛ්‍ය බලධාරීන්ගේ සහතිකය  ලැබෙන තුරුවත් මදක් ඉවසන්න කියලා. මිනි්සුන්ගේ ජීවිත එක්ක මෙහෙම  සෙල්ලම් කරන්න එපා. අපි කරන සුළු වරදකින් අති විශාල ව්‍යසනයක් සිදු වෙන්න පුළුවන් ..අමතක කරන්න එපා මේක ගෝලීය වසංගතයක් ..සෙල්ලමක් නෙවෙයි. 
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න