කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව පවා අවස්ථාවාදී දේශපාලනයේ ගොඳුරක් බවට පත් කරගනිමින් විරුද්ධ පක්ෂවල ප්‍රතිරූප දියකර දැමීම සදහා අවභාවිතා කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි.
ඒ බව දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව නිල දැනුම්දීමක් සිදුකිරීමට එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම්, ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර විසින් අද (අප්‍රේල් 09) සිදුකර ඇත.
එම ලිපිය සම්පූර්ණයෙන් පහත දැක්වෙයි.
හැමෝම කොරෝනා මර්ධනයේ : ආණ්ඩුව දේශපාලනයේ !
''රට තුළ භයානක වසංගත තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින මොහොතක සියලු දෙනා දේශපාලන පක්ෂ භේද නොසලකා රටේත් ජනතාවගේත් සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරමින් සිටි.
එවන් වටපිටාවක ජනතා වෙනුවෙන් සහනාධාර බෙදාහැරීමේ යාන්ත්‍රණය පවා දේශපාලනීකරණය කරමින් එය තම දේශපාලන ප්‍රතිරූප ප්‍රවර්ධනය සදහා යොදා ගැනීමට උත්සහ දරන ආණ්ඩුවේ ක්‍රියාකලාපය කනගාටුදායකය.
මැතිවරණයක් සඳහා නාමයෝජනා කැඳවා ඇති මොහොතක, රට තුළ මතුව ඇති ව්‍යසනකාරී තත්ත්වය හමුවේ විපක්ෂයේ කිසිදු කණ්ඩායමකට තම දේශපාලන අදහස් හෝ මත වාද ජනතාව අතරට ගෙන යෑමට නොහැකි වී ඇත. නමුත් එම සියලු කණ්ඩායම් රටේත් ජනතාවගේත් සුබ සිද්ධිය වෙනුවෙන් හැකි අයුරින් කටයුතු කරමින් සිටී.
මේ වටපිටාව තුළ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඇතැම් කණ්ඩායම් දිගින් දිගටම සිදු කරන්නේ තම පටු දේශපාලන ප්‍රවර්ධන යාන්ත්‍රණය සඳහා කොරොනා වසංගතය පවා යොදා ගැනීමයි.
කැබිනට් තීරණ දැනුම් දීමේ දී බන්දුලගේ හැසිරිම !
මැතිවරණ නීතිය පවා උල්ලංඝණය කරමින්, ජාතිය අමතමින් සිදු කරන ප්‍රකාශයන් සහ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව පවා ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂවල ප්‍රතිරූප දියකර හරිමින් තම දේශපාලන ප්‍රතිරූප පුම්බාගන්නා "පාලු ගෙයි වලන් බිඳීමේ" ප්‍රවර්ධන වැඩසටහන් බවට පත්කරගෙන තිබේ.
ඊට කදිම නිදසුන අද (09) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවයි. ජාතික රූපවාහිනිය ඇතුළු රූපවාහිනී නාලිකා කිහිපයක ගුවන් කාල යොදා ගනිමින් එය සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබුණි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මෙම සාකච්ඡාව ට රජය වෙනුවෙන් අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන , රමේෂ් පතිරණ සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කළුවැව යන මහත්වරුන් සහභාගී විය.
එහිදී අදහස් පලකළ බන්දුල ගුණවර්ධන මහතාගේ ක්‍රියා කලාපය සම්පූර්ණයෙන්ම දේශපාලනික ප්‍රකාශකගෙන් පිරී ගොස් තිබුණි. කැබිනට් තීරණ ඉදිරිපත් කරන මුවාවෙන් ඔහු දිගින් දිගටම සිදු කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පසුගිය රජය විවේචනය කරමින් තම කදවුරේ දේශපාලන ප්‍රතිරූප ඉස්මතු කිරීමට උත්සහ දැරීමයි.
පිළිතුරු දීමට අවස්ථාවක් විපක්ෂයට නෑ : බන්දුලගේ පිළිකුල් හැසිරීම !
විරුද්ධ පක්ෂයට එම පදනම් විරහිත ප්‍රකාශයන් ට පිළිතුරු ලබා දීමේ අවකාශය පවා අහුරා ඇති සහ ඇහිරී ඇති මෙවන් අවස්ථාවක මෙලෙස සිදුකරන පටු දේශපාලන මාධ්‍ය භාවිතයන් පිළිකුල් සහගතය. එමෙන්ම එය මැතිවරණ නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. ජන මනස විකෘති කර දැමීමකි.
මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් පලකල අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් අපට ගැටළුවක් නැත. පිළිගත් දේශපාලනඥයෙකු ලෙස කැබිනට් තීරණ පමණක් ඉදිරිපත් කරමින් අදාළ මාධ්‍ය සාකච්ඡාවේ ගුණාත්මකභාවය ආරක්ෂා කරගැනීම සඳහා හෙතෙම කැපවිය.
නමුත් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා දිගින් දිගටම සිදු කළේ තම පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මෙම මාධ්‍ය හමුවේ අවභාවිතාවට ලක්කිරීමයි.
එබැවින් මෙවැනි නීති විරෝධී දේශපාලන භාවිතාවන් නැවත නැවතත් සිදු නොවීම සඳහා මැතිවරණ නීතිය ට අදාලව කටයුතු කරන ලෙස ඉතා ඕනෑකමින් අවධාරණය කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා අතර, ස්වාධීන කොමිසන් සභාවක් ලෙස අපක්ෂපාතීව මෙම නින්දිත දේශපාලන ක්‍රියාදාමයන් ට එරෙහිව නොබියව මැදිහත් වන ලෙසද ඉල්ලා සිටිමු.

