කුමාරි දසනායක හෙවත් කුමී ලේඛන ක්ෂේත්‍රයේ සහ කලා ක්ෂේත්‍රයේ දිගු කලක පටන් නියැළෙන්නියක් වුවත් මට සම්මුඛ වන්නේ තරමක් මෑතක ය. ලේඛිකාව 1995 දී තම මුල්ම කෘතිය ලෙසින් 'පීතු පාදං නමා මහං ' නමින් කෙටි කතා සංග්‍රහයක් එළිදක්වන්නී ය.
ඉන් දිගු විරාමයකට පසුව ඈ 2015 වසරේ දී තම කුලුඳුල් කාව්‍ය සංග්‍රහය " ඔළු නැති කවි " නමින් එළිදැක්වූවා ය. ඉන් අනතුරුව කුමාරි දිසානායක ලේඛිකාව 2023 වසරේ දී තවත් කාව්‍ය එකතුවක් ජනගත කරන්නී ය . ඒ ' උඹත් මල් වෙඩිල්ලක් ' නමිනි. එම කාව්‍ය එකතුව පුරාම පාහේ කෙටි කවි ආරට සමීප "කොට කවි" රැසක් අන්තර්ගත ය.
කුමී ගේ මුල්ම කාව්‍ය සංග්‍රහයේ සිට අවධානය යොමු කිරීමේ දී මේ කෘතිය පුරා ම බොහෝමයක් හැගීම් කවි කර ඇති බව දක්නට හැකි ය. ඇගේ ලේඛන කලාවේදී පෙනෙන්නට තිබෙන වැදගත් කරුණ නම් ඇය දිගු කවිවලට වඩා කෙටි කවි ලියන්න ආසක්තබවයි. මෙම කාව්‍ය එකතුවේ: 20 , 25 , 28, 39, 45, 55, 62,64 යන කවි පන්ති වඩා අපූර්ව ගුණයෙන් යුක්ත සහ සංවාදාත්මකබවින් පිරි ඇත.
නූතනයේ කවිය සහ කවියා දෙස බැලූ කල බොහෝ විට දක්නට ලැබෙන පොදු කාරණාවක් නම් කෙටි කවි සහ නිදහස් කවි ආරට දක්වන වැඩි උනන්දුවයි. එසේම සරල බස් වහරින් කියවන්නා ග්‍රහණය කරගන්නට දක්වන වෑයම යි. කුමාරිගේ කවි තුළත් එකී ගුණය දක්නට ලැබේ. අද මා උපුටා ගන්නේ ලේඛිකාව ගේ නවතම කාව්‍ය කෘතිය යි. එය නම් කර ඇත්තේ 'Track පැනපු කවි හිතක්' මැයෙනි. මෙහි කවි පන්ති හැත්තැවක් පමණ අන්තර්ගත ය. මෙම කෘතිය ඇරඹුමේ සිට ම ආකර්ෂණීයබවක් උසුලයි.
කුමාරි කවිවලට පෙර යොදා ඇති සටහන කදිම ය. ඇය එය ' මාතෘකා කොට ඇත්තේ ' ගැහැනුන්ට' ය . ඇය එයින් ආමන්ත්‍රණය කරන්නේ ද ගැහැනුන්ට වීම වැදගත් ය. ' Track පැනපු කවි හිතක් ' හි සියයට අනූ නවයක්ම කවි කොට කවි වන අතර මුල්ම කවි පන්තිය නිදහස් ආරේ දිගුවක් ලෙසින් දිස් වේ. කෙටි කවි ආර ගැන සිහිපත් කරද්දී එයට ආභාෂය ලැබූ ජපන් හයිකු කවි සිහිපත් වේ.
ප්‍රබල හයිකු කවියක් වීමට නම් ප්‍රධාන නීති සහ රීති තුනක් සැපිරිය යුතු බව ජපන් කවියෝ විශ්වාස කරති.
එනම්,
1) කිරෙජි හෙවත් කැපුම් පදය
හයිකු කවියක වැදගත්ම නීතිය මෙය යි. හයිකු කවියක් සැමවිටම අදහස් (හෝ රූප) දෙකකින් සමන්විත වේ. මේ අදහස් දෙක වෙන් කිරීමට "කිරෙජි" නමින් හඳුන්වන කෙටි වචනයක් යොදා ගැනේ. හයිකුවේ ආකෘතිය සහ එහි ශබ්ධ රසය රඳා පවතින්නේ කැපුම් පදය මත ය.
ලංකාකි කවියෝ බොහෝමයක් හයිකු කවි ආර පිටපත් කරන්නට උත්සහ කළත් මෙකී කැපුම් පදය නිසි ආකාරයෙන් ස්ථානගත කරගන්නට නොහැකිවී තිබෙන අයුරු පෙනී යන කරුණකි.
2. ඔන් හෙවත් (මාත්‍රා)
හයිකුවක් සැම විට ම පද තුනකින් සමන්විත ය. මේ පද තුනේ මාත්‍රා හෙවත් අක්ෂර ගණන 5-7-5 ලෙස තිබිය යුතු ය. පද තුනකින් කවියක් එකළස් කිරීම ම කවියකු ගේ විශිෂ්ටබව කියාපාන්නකි.
3. කිගෝ (සෘතු වදන)
හයිකුවේ පාදක සිද්ධිය ඇති වන සෘතුව ඇඟවීම සඳහා වචනයක් හයිකුවේ අන්තර්ගත විය යුතුය. මේ වචනය කිගෝ ලෙස හැඳින්වේ. මෙය හයිකු කවියේ සුවිශේෂිබව සහ අනන්‍යතා ලකුණක් බව පෙනේ.
හයිකු කවියේ විශිෂ්ටතමයා හෙවත් පියා ලෙස සැලකෙන්නේ' මත්සුවෝ භාෂෝ ' ය. භාෂෝ ගේ ' පැරණි පොකුණ ' ප්‍රකට කවියකි.
'පැරණි පොකුණ
ගෙඹි පිනුමක්
වතුරේ හඬ'
උක්ත කව උක්ත නීති සහ රීති අකුරට ම පිළිපැද ලියූවක් බව ජපන් කවියෝ පිළිගනිති.
කුමාරි දසනායක කිවිදිය හයිකු කවි නොලීව ද ඇයගේ කෙටි කවි තුළ බොහෝ පරාස ඇති බව පෙනී යයි.
නමුදු මෙම කෘතියෙහි ඇය ගැහැනුන් ගැන, ගැහැනුන්ට වන අකටයුතුකම් ගැන, ගැහැනු හිත ගැන, සහ ගැහැණුන් වටා ගෙතුනු තවත් බොහෝ සංසිද්ධි කවියට ගැනීමට උත්සහ දරා ඇත.
'හැඟීම්
හරියට
නිදිකුම්බා
මල් යටින්
ඇති
කොළ වගේ '
පිටුව 15
මේ කව අපූරු ය. වෙනස් මානයක් දෙස බලන කවිවර ලකුණ ඈ තුළ ඇති බව මෙවැනි කවිවලින් ගම්‍ය වේ.
'දුන්නොතින්
සක් දෙවිදු වරයක්
ඉල්ලන්නෙ ම නෑ
කිසිවක්
තාත්තා එක්ක
විතරක්
ආකහේ පාවෙන්න
මට දෙන්න
වරුවක්'
පිටුව 20
මේ දෙස බලන්න. ඇය බර හැගීමක් සරලව ලියා ඇති අපූරුව. මේ වරය ලැබේ නම් අගේ යැයි සිතන අදටත් ගැහැනු පිරිමි සිත් කොපමණ නම් ඇත් ද ?
'අරගලයේ
කඳුළුත්
වෛවර්ණ ජනමාධ්‍ය
සෝදා හැරියෙමි
බේරේට...'
පිටුව 25
මෙහි ප්‍රබල අදහසක් සහ යටි පෙළ අදහසක් ඇති බව ඔබට දැනෙනු නොඅනුමාන ය. සාකච්ඡාවට බඳුන් විය යුතු, බඳුන් කල යුතු මාතෘකාවක් නොවේ ද මෙය...? අදටත් යම් සිද්ධියක් විවිධ වර්ණ ගන්වා තම මල්ලට දමා ගන්නා ජනමාධ්‍ය කිවිඳිය සීරුවට කොනිත්තා ඇති අපූරුව මෙම කවියෙන් පිළිබිඹු කෙරේ.
'කෙහෙල් මල්
කොමියුනිස්ට්
මං ආස
"චේ"
ගේ
ඒ ඇස්
දෙකට...'
පිටුව 76
කුමාරි ලේඛිකාව ගේ මෙම කෘතියේ මා කැමති ම කවිය මෙය යි. සැබෑවටම මාතෘකාගත කරුණට එහා සිතන දකින මිනිසුන් කොතෙක් නම් අප අවට ඇත් ද...?
තවමත් දේශපාලනික වශයෙන් නොදියුණු ජන සමාජයක් සිටිනා රටක මෙවැනි දේ සිදු නොවන්නේ ද? සැබෑවටම අදටත් මිනිසුන් තම දේශපාලනික, තීන්දු තීරණ ගන්නේ තමන් කැමති එහෙත්, ඒ දේශපාලනික ව්‍යුහය හරිහැටි හඳුනාගෙන ද? නැතිනම් පුද්ගල ආකර්ෂණය, වාග් ශෛලීය ආකර්ෂණය, පොරොන්දු කෙරෙහි දක්වන ආකර්ෂණය යනාදි කරුණුත් ඊට බල නොපානවා යැයි කිව හැක්කේ කාටද?
මේ මොහොතේ මට ' විජය කුමාරණතුංග ' සිහිපත් වේ. එතුමන් ගේ දේශපාලනික කටයුතු සමයේ බොහෝ පිරිස්, විශේෂයෙන් ම ගැහැනු... රැස්වීම් බලන්නට ගියේ පක්ෂය හෝ එහි ප්‍රතිපත්ති හෝ නිසා නොවේ; විජය නිසා ය. කුමාරි දිසානායක කියන්නෙත් එවැන්නක් ම නොවේ ද ?
කුමාරිගේ මෙම කෘතියේ තවත් බොහෝ කවි ඉතා අගනේ ය. ඒ අතර 21, 24, 28, 45, 55 ,62, 64 පිටුවල කවි මට අනුව වඩා අගේ ඇති කවි ය.
කුමී ගේ සමස්ත කවි ගොන්න දෙස බැලූ කල දැනෙන තවත් කරුණු කිහිපයකි.
කවියකු සතු විය යුතු වාග් කෝෂය කුමාරි තවත් පෝෂණය කර ගත යුතුව ඇතැයි සිතේ. එමෙන්ම තමන් ලියන දෑ ප්‍රතිශෝධනය කළ යතු දැයි නැවත හැරී බැලීම වැදගත් වේ. පුනරුක්ති භාවිතාව කවිය තව හැඩ ගන්වන හෙයින් ඒ ගැන සිතීම ද වටින්නේ ය. ඇතැම් කවිවල එකම කාරණාව නැවත කීමට යාමෙන් දිගු වැඩි යැයි හැගෙන අවස්ථා එක දෙකකුත් දක්නට ලැබුණි.
'කොතැන පිපුනම
මොකද ???
සුවඳ නම්
මල් එතන...
ගලක් උඩ
වුවත් මල්
පිපෙන්නට
නොහැකිව ද..?'
පිටුව 17
මෙම කවියේ කොතැන පිපුනම මොකද යැයි කීමෙන් මලට ඕනෑම තැනක පිපීමට හැකි බව දන්වා හමාර ය. එහෙයින් ගලක් උඩ වුවත් පිපීම ගැන නැවත ඇසීමෙන් පෙර කවියේ සාරය දියාරු වී යන ගතියක් දක්නට ලැබේ. එබැවින් කවියෙහි අදහස කියා පෑ පසු එයට ආලවට්ටම් දැමීමේ දී ප්‍රවේශම් වීම වටී. එමෙන්ම කවියකු තම කවිය තුළ කියන්නට අදහස් කරන කාරණය කියවන්නාට තේරුම්ගත හැකි ලෙස පැහැදිළිව ලිවීම කළ යුත්තකි.
"ඔබ බත් කෑවාද...? " යන්න වෙනුවට " බත් ඔබ කෑවා ද? " යැයි විමසුවහොත් අර්ථය හාත්පසින් ම වෙනස් වේ. කියවූ සැණින් එය වටහා ගත හැකි නම් ඒ කවියා ගේ දිනුමකි.
කෙටි කවි යනු කවියෙකුට අභියෝගයකි. මන්ද යත් ඉතා සීමිත ඉඩක තම වැඩ පෙන්විය යුතුව ඇති නිසා ය. එසේ බලන කල කුමාරි ඉතා හොඳ උත්සහයක නිරතව ඇති බව පෙනේ. ඔබත් මේ කෘති ගෙන කියවන්නට යැයි ආරාධනා කරමි. මේ අපූරුකවි සමග ඔබේ හැගීම්, මතක ගළපන්න.
කුමීට යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි.
ලංකාවේ කවි ආකෘති බොහෝමයකි. ඒවා ද එක්කාසු කරගෙන මීළඟ කවි මංජුසාව අපට දෙන්න. විශේෂයෙන් යවහන් දොස් රහිත, මාත්‍රා එකිනෙක වෙනස් සිව්පද වැඩියෙන් හදාරන්න. කවියට: හැගීම්වලට අමතරව සාහිත්‍ය, උපමා, රූපක, යෙදුම් ව්‍යංගාර්ථ, ආදිය යොදන්න. ළැම පිරුණු කවියක් කෙරෙහි වැඩි බර තබන්න. අපූර්ව ගුණය හැමවිටම කවියට කාන්දු කරවන්න. ඔබේ මේ නිසඟ හැකියාව තව තවත් දිනේවා...!

කසුන් කාරියවසම්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
