Image

තෙර ගී උදානය; පූජනීය රඹුකන සිද්ධාර්ථ නාහිමි ජිවිත පද සජ්ජායනාව

තෙර ගී උදානය; පූජනීය රඹුකන සිද්ධාර්ථ නාහිමි ජිවිත පද සජ්ජායනාව

සිංහරාජ වන වියන දිහාවෙන් පතිත මන්දාරම මල් වැස්සක් සේ ඇද හැලෙන්නට වුණි. කොස්නිල්ගොඩ රෝහල වෙත මල් වැසි පතිත වෙයි. වෙසක් සඳ පායන්න තව දෙහොරාවක්වත් නැත. කිරි සුවඳ හමා හඬන හඬ ඇසී සයිමන් ලියනගේ සම ඇට නහර පිබිද ගියේ ය. ඔහු ඉක්මන් ගමනින් සක්මන් කළේ ය.

මල් හිනා පුරාගෙන වාට්ටුවට දිව ආ සයිමන් රෝස පා සිඟිත්ත මුදු කෙසින් පිරි පින්පිරූ පුත් රුවන දැක්කේය. සතුට දෝරේ ගලයි.

 

වෙසක් මංගල්‍යය ඉක්මවන මංගල්‍යය

වෙසක් පෝය දා ඔන්න ලියනගේ මහත්තයාට පුතෙක්... මහණ කරන්න හොඳයි. අපි මෙයාට "ආන්නද" කියලා නම තියමු. හෙදිය හිනා පිරුණු මුහණින් කිවේය.

2494 වෙනි සම්බුදු මංගල්‍ය දා රඹුකන ලියනගෙදරට හැබෑ මංගල්‍යයක් විය. ''ආනන්ද'' ඒ සම්බුදු අමා මෑණියන්ගේ හෘදයාංගම පැවිදි සිසුවාය. ඒ ඓතිහාසික පූජනීය නම ඔහුට තැබුවේය.

කඩවසම් කෙළිබරකමත්, සුකුමාල පිරිපුන් හැඩත් සිත්තම් කරමින් ආනන්ද ලියනගේ” සත් වියට එබී බලන්නේය. නෙත් පාදන්න ආනන්ද ඇතුළත් කළේ මොරවක වැලිව බෞද්ධ මිශ්‍ර පාඨශාලාවට ය. 1950 වෙසක් මහේ 22 පුන් පෝදා උපන් ආනන්ද දකින කිරි අම්මලා, මාමාල, ආතලා, මුත්තලා, නැන්දලා, ර්‍මේ අපේ මහණ වෙන්න ඉන්න පුතා” යයි කියමින් සුරතල් හිස අතගා ආදරය කීවේය. පාසලේ දීත්, ගෙදරදීත්, නෑගමනේ දීත් හැම තැනින්ම ඇහුණේ තමා මහණ වෙන්න ඉන්නවා කියාය. ඉතින් ආනන්දත් ළපටි සිතින් මහණ දම් පුරන සුන්දර දිවිය ගැන හීන පුරන්නට විය.

 

ගිහිගෙයින් පැවිදි බිමට

ඉස්කෝලෙට අල්ලපු වත්ත පන්සල ය. සැදෑවත් ජෝන් ද සිල්වා මුල් ගුරුතුමා හැමදාම බුද්ධ වන්දනාවට සිසු පෙළ පන්සලට කැන්දා ගෙන යති. බෝපත් සිලි සිලිය. මල් රොන්සුන් හඳුන්කූරුවලින් හමන සිත් නිවන සුවඳ, මැටි පහන් සිලේ මද මුදු එළිය අතරින් ගලා යන නායක හාමුදුරුවන්ගේ ගාථා ස්වරය අසා දැක ආනන්ද ආසාවෙන් දැහැන්ගත විය. ආච්චි අම්මා එක්ක සුදු උතුරු සළුව පොරවා ගෙන සිල් ගන්න ගියදාට ආනන්දට පන්සල බෝමළුව විහාරගෙය... දන්සාලාව, ඝන්ඨාර කුලුන තම නිවහනයි සිතුණේ ය. මල්පෙති ලියකම් පිරි: ඇත්, අස්, ගව, සිංහ, හංස රූප සිතුවම් ඇඟිලි තුඩින් අතගාමින් බෝතුරු හිස මුදුණින් පෑයූ සඳමඩල දිහා ඔහු බැලුවේ ය.

තම පිරිමිකමට ''තාත්තා'' යන්නෙහි අරුත කියාදුන් පුතා පන්සලට පූජා කරන්න ලියනගේ මහතාට හිත හදාගන්න බැරි ය. ඒත් ආනන්දගේ අම්මා, ආච්චිලා, කිරි අම්මලා, නැන්දලා ගෞතම බුද්ධ සසුනේ නෑ සියන් වෙන්න පැතුවේ ය. ආනන්ද මාතා පියා සතුට දුක එකට කලතා හඬමන් පුතු ගිහිගෙයින් පැවිදි බිමට පූජා කළේය. ඒ 1955 ඇසළ මහේය. ගෞතම සිද්ධාර්ථ කිඹුල්වත්පුර ගිහි ගෙදර හැර දා ගිය ඇසළ සඳ දාකම ආනන්ද රඹුකන මහ ගෙදර හැරදා විත් ''රඹුකන සිද්ධාර්ථ'' නමින් බුදු පුතකු විය.

 

සෞන්දර්ය සිතුවිලි අවදි විය

අටුවා, ටිකා, ටිප්පනි, ගැටපද සන්න සමග බුදු වදන ජීවිතයට යා වුණේ ය. අලි ඇතුන්, වන සතුන්, හේන් කෙත්යාය, හැඩිදැඩි මිනිසුන් හයිය හත්තිය පුරන ගම, පෙළ දහමයි, දිවි දහමයි මුසු කළේ ය. පූජනීය ඇල්ගිරියේ විපුලසාර නාහිමි සහ පූජනීය සපුගොඩ හේමාලෝක නාහිමි වෙතින් හෙරණ පද සිඛ ඉගෙන හිරිමල් දිවිය සිද්ධාර්ථ සාමණේර දිවියට පා තැබිණි. මාතර කඹුරුගමුවේ වජිරඥාන පිරිවෙනින් අරඹා පැපිලියාන සුනේත්‍රාදේවි මහ පිරිවෙනින් සිල්ප හදාළ රඹුකන සිද්ධාර්ථ හිමි යෞවනය පිරූ 1972 දී මල්වතු මහ වෙහෙර උපසෝථගාරයේ දී උපසම්පදා මංගල්‍යයට එක් විය. 1973 කැළණි සරසවි සිසු දිවිය ඇරඹුණේ ය.

නූතන භික්‍ෂුව වෙත නූතනවාදය අභියෝග පිරිනමා තිබුණේ ය. සරල ගැමි දිවිය නිමා වෙමින් නූතන නාගරික මිනිසා ද බිහිවිය. කලාව බිහි කළ බුදු පුතුන් කලාව වෙත පියමනින්නට විය. පැය ගණන්, දින ගණන් බණ කියමින් බුදු දහම දිවි දහම බවට පෙරළන භික්‍ෂු දිවියට නව මං සොයා යන්නට විය. මානවසිංහ, සේකර, මඩවල රත්නායක සුසංයෝගීව සිංහල ගීය නව අතුපතර විහිදි විසල් තුරු රජෙක් වූ 1970 දශකයයි මේ. රඹුකන සිද්ධාර්ථ සරසවි සිසු හිමියන්ගේ සෞන්දර්ය සිතුවිලි අවදි විය. කලබලකාරි නගරය මැද සිත නිවහන මධුර ආධ්‍යාත්මික පිපාසාව උන්වහන්සේට දැනුණේය.

 

රඹුකන සිද්ධාර්ථ නම් පද රචකයා ඉපිද…

778817088 122109322041424802 570601643186690541 n

''ගිහිගෙයින් නික්මිලා භික්‍ෂුවක් වුනාම දැනෙන වියෝව අම්මාගේ සෙනෙහස හිතට මතකයට එනවා නේ... අනික ඈත ඉඳන් ගෙදර ගමේ ජීවිතය, පරිසරය, කුඹුර, වනාන්තරය දෙස බලන්න පුළුවන්නේ... එතකොට සිතුවිලි උපදිනවා... ඉතින් මේ නූතනයේ මිනිස් දිවිය හරිම අවිවේකියි. ඒ හන්දා බණ අහන්න, පොත් බලන්න කාලය සීමිත වෙලා.... ඉතින් මට තේරුණා කෙටි ම විදියට මිනිස් සිත අමතන්න පුළුවන් ගීතයෙන් විතරයි. මම විමුක්තියේ භාවනාව ගීතය කරගත්තා.''

සීගිරි පවුරේ ගී ලියූ රියන්සෙන් හිමියන්, සිරිනා හාමුරුවෝ, සෙනල් සහ දලසිවල් යනාදි යතිවරු පද්‍ය සාහිත්‍ය මත ඉතිහාසයීය සලකුණු තැබුවෝය. එලෙසම සිංහල පද්‍ය සාහිත්‍ය සාරසුබා කළේ හෙළ යති පරපුරම ය. වීදාගම හිමි, තොටුගමුවේ රාහුල හිමි කවි බස හා හද බස යා කළ පරපුරෙහි පින්වත් ගුණ සුවඳ ය.

කැළණිය සරසවි උයනේ දී පද පොකුරු බැඳි ''ශිල්ප කාල ගතවෙනතුරු'' දයාරත්න රණතුංග හඬින් ගීයක් විය. ඒ අනුව පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ නම් පද රචකයා උපන්නේය. ඒ 1976 වසරේ දීයි. එතැන් පටන් ප්‍රේම ගී ලිවිමෙන් ජනප්‍රිය පද රචකයන් බිහි වෙතැයි තිබූ ජනකාන්ත මතය බිඳී ගියේය. බුදු සුවය පද හා පේ කළ යති පන්හිඳේ පදවැල් ගඟුල ජනහද හා යා විය.

 

සිත ගමට ඉගිළී ගොස්

1979 දී ගංගාරාමහ වෙහෙරවාසි වන්නට සිද්ධාර්ථ හිමියන්ට වරම් ලැබුණේ ය. සසල කොළඹ නගර සුළං මැදින් බේරේ වැව් දිය කැලඹේ. බෝ හෙවණේ දී උන්වහන්සේට මාතර දෙණියාය අහස් ගඟ දිගේ සිත පාවි අම්මා සිහිවෙයි. ඈ සෙනේහය ලොව්තුරු සුවඳ මතක පොදින් ගී විතක් වී උනන්නට විය.

සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන

මටත් වඩා කල් ඔබ ජීවත් වේවා

මෙතේ බුදුන් කල ලොවේ උතුම් ළඳ

විසාකාව වේවා ...

ඒ මව් ගීය සිංහල ගී කෙත මත රඹුකන බුදුපුතු අස්වැද්දුවේය. තව දවසක මගේ අම්මා මම ගැන මෙහෙම සිතතිය උන් වහන්සේට සිතුණේ ය.

කිරි සුවඳ අතින් ගෙන - ගිහි ගෙයින් නික්ම ගිය

පොඩි පුතේ මගේ හුරතල් - කහවතින් සැරසී ඔබ

ගම් මැදට වඩින දිනේ - මගේ හිතේ පිපේ පින් මල්

ගම්මැදට වැඩිය දවසක මහ පොළව මත දාහය වපුරන මිනිසුන් දැක උපන් හෘදය සංවේදී කරුණාවේ පද එක්කළ උන් වහන්සේ අයිවෝ ඩෙනිස්ට දුන්නේය.

අව්වට වැස්සට හුරු මිනිසුන්නේ

දෑතේ විරියෙනි රටවල් නැගුණේ

ඒ මිනිසුන්ගේ මළ ගම වෙනුවෙන්

මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුණේ

''ආනන්ද මගේ පුතේ බුදු වෙයන්'' යැයි ඇස කඳුළු වගුරා තාත්තා ඇඬු හැටි බෝ මළුවේ තනි වූ පාළු රැයක දුක් ගීයක් සේ ඇසුණේය.

''සෙනෙහස පුදා අම්මාවරුන් වගේ ... '' ගීය පිය ස්නේහය පාදක කර සිංහලේ බිහි වූ සංවේදිතම ගීයකි. එය පද බැඳ උන් වහන්සේ කියන්නට දුන්නේ දියණිකයටය. මාලනි අනූෂා බුලත්සිහංල සොයුරියෝ ඒ පිය සෙනෙහස් හඬ ඇතුරුවා ය. කොළඹ අහසත් නිදිය. ඉඳහිට ගංගාරම මාවත රිය හඬකට කලබල වී යළි පාළු වේ. කොත් කැරැල්ලට හඳ පායයි. සිත ඉගිලි ගමට ගියේ ය; අම්මා සිහිපත් වෙයි.

කඳුළු හෙළා නෑඹිලියට සහල් ගරන අම්මා

සුසුම් හෙළා ගිනි දළු ගෙන ළිප මොළවන අම්මා

වෙල් දෙණිවල ඇවිද ගොඩක් වෙරළු ගෙනත් අම්මා

ඉණිවැට ළ බලා හිඳි අප එනතුරු අම්මා

 

මවු ගුණට නව කාව්‍යයෝක්ති

ගිනිගෙන ඇවිළෙන නාගරික ජනදිවිය උන්වහන්සේ දකිති; විඳිති. එහි: දුක, ව්‍යාජය, වියළි ආටෝපය වැටහේ. නිසල මදස්මතිය උතුරන බුදුරුව පාමුළ නිවී උන්වහන්සේ හඬන ජනතා දුක් විලාපය පද අමුණා පීඩිතයා ගේ විලාපය වූ ගුණදාස කපුගේට දුන්නේ ය.

අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා

බුදු හාමුදුරුවනේ ...

පිහිටක් නැති සරණක් නැති

සතුටක් ඇති මුහුණක් නැති

මේ සසර දනව්වේ ...

දුවණිය, දෝණිය, යුවතිය, ගැහැණිය, අම්මා ... මේ අපේ සංස්කෘතියේ පූජනීය පදනමයි. දුවක් උපන් අතුල අධිකාරිත් සමිතා මුදුන් කොටුවත් එක්කොට ගයන ගීය ඒ මහා සංස්කෘතික යථාව සුන්දර පද හා මුසු අසිරිමත් ගීය විය.

සඳ තරු මල් මට දන් දුන්

මගේ රුසිරු නුඹ අරගන්

හිරු තෙදවන් මට දන්දුන්

මගේ ඔටුණු නුඹ ලාගන්

දායාද එයයි මගේ දෝණිට

අපි දෙන්නාගේ ...

සොබා දහමයි, අම්මයි උන්වහන්සේගේ ගීත උල්පතය. මවු ගුණට නව කාව්‍යයෝක්ති තැනූ සිදුහත් ගී පෙළහරට පාදක වූ මව් ගුණ එනිසාම සරලය. සුමටය. රමණීය ද වේ. එලෙසම අරුත් සරින් සුභාවිත ද වේ. ස්නේහයන් ගලා හැලේ.

වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක්

දෙවොලක් වගේ දුක් ඇසූ කෙනෙක්

කුඹුරක් වගේ බත් දුන් කෙනෙක්

වේ නම් ලොවේ නුඹයි අපේ අම්මේ

 

බෞද්ධත්වයේ ආධ්‍යාත්මික චමත්කාරය

775319114 1584417423049589 2124689591953700314 n

කලාත්මක සෞන්දර්යය චමත්කාරය එකට එක්කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ භික්‍ෂුත්වය උත්තුංග කලා මඟ ඔසවා තැබූ මෙරට ප්‍රමුඛ යතිවරයාණෝ ය. අනන්ත අපිරිමිත කුළුණු ගුණයෙන් තෙත් හදවත උන්වහන්සේගේ දිවි පවත සෝබමාන කරයි. සිංහල ගීතයට මනහර සුවියත රසබර හරබර ශිෂටත්වය බද්ධ කළ උන්වහන්සේගේ බෞද්ධත්වයේ ආධ්‍යාත්මික චමත්කාරයක් ද වේ.

සිංහල සාහිත්‍යයේ නූතනවාදි පොදු ජන කලා ඉසව්ව වූ ගී මගට උන්වහන්සේ එක්කළ නිර්මාණත්මක අංග ද සිදුහත් හිමි දිවි මග සුවිසෙස් ය. ගායකයා සහ සංගීතඥයා තම නිසඟ ප්‍රභාව මුදාහරින්නේ ගී පද වැල මතිනි. නමුදු පද රචකයා සමාජ ගත නොවිම දක්නට තිබු දුබලතාවකි. මේ ම ලකුණු පද රචකයා වෙත කැන්දවන්නට විරෝධාතවලට නොගිය උන්වහන්සේ සිංහල ගීත මාධ්‍ය කලාවට නවමු අත්දැකීමක් එක් කළේ ය. ඒ අනුව ලංකාවේ ප්‍රථම වරට පද රචකයෙකු කැසට් පටයක් එළි දැක්විය. ඒ 1987 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් තම ගී පද එක්කළ "සංසාරේ අපි” ගීත සංග්‍රහයයි. එතැන් පටන් ගම්මානේ අපි, සසර දනව්ව, සංසාරේ හැටි, සඳ තරු මල්, බුදු වැස්ස හා සංසාර චාරිකා සහ අසේනිය මල් වැනි නිර්මාණ උන්වහන්සේ බිහි කළේය. මෙම නැවුම් නිර්මාණකරණය අනෙක් පද රචකයන්ට ද නැවුම් පූර්වාදර්ශයක් වූයේ ය. ඒ නිසාම ගී පද රචකයා කෙරෙහි සමාජීය අවධානය සහ ඒ ඔස්සේ ගී පද සාහිත්‍යයක් ද බිහිවීම ඇරඹුණේය.

ආදරය බුදු සිත පවා අරුත් දුන් මානවිය භාවයේ ගැඹුරුතම භාවයයි.

නුඹට හී තැති - නුඹ හිත නැති හිතක් හඬනවා. (එඩ්වඩ් ජයකොඩි)

මලේ සුවඳ වාගේ මල මතම රැඳී (නන්දා මාලනි)

වසන්තයේ නුඹ හින්දා පිපී තියේ ආදර මල් (මාලනි බුලත්සිංහල)

ප්‍රේමවන්තයෙක් වුණාට කමක් නෑ මලේ (වික්ටර් රත්නායක)

මලක මෙලෙක හිතාගන්න බැරි අතකින් මල් නෙළන්න එපා යාළුවේ (අබේවර්ධන බාලසූරිය)

මේ ඉර හඳ යට හමු වී ආදරයෙන් කතා කරපු අය සෙනේ වඩපු අය

ළග පාතකවත් නෑ (එඩ්වඩ් ජයකොඩි)

යනාදි ප්‍රේමයේ ගැඹුරුතම මං ඉසව් ඔස්සේ සහෘද භාවයන් සිදුහත් හිමි ඇමතුවේය. සඳකත් මිණිය, බෝපත් අතරින් පතිත පුන් පෝයකි. රෑ සඳ පවන හා ගැටී ගංගාරම බෝධි හාමුදුරුවෝ සෙමින් සෙමින් ඉකිලයි. සිංහරාජ වන වදුල් පවනේ හමා හේන් උඩින් ඇසෙන යසෝදරා වැලිපිල්ල සිදුහත් හිමි සිත මතකයට ආයේය. සඳ රැසට රිදී බෝපත් දිලිසේ. සැලි සැලි නැළවේ. සිංහල ආදර ගී අතර උපන් ලොව්තුරු ආදරයේ මිහිරිතම භාව සංවේදී පද සිත්තම උපන්නේය. ඒ පින්වත් දෑත දෙස මම බලා හිඳියෙමි. හිරිමල් යෞවන මගේ සිත රඹුකන සිද්ධාර්ථ බුදු පුතුට සෙනෙහසේ සහෘද හදවතේ ගැඹුරුම තැනින් උපන් හැඟුමෙන් ගෞරව කළේ ඒ ගීයට ය.

ළ දළු බෝපත් සෙමින් සැලෙන සේ

යසෝදරා දේවි

වාවනු බැරි තැන රහසේ හැඬුවා

පෙර සංසාරේ ඇසුර මතක් වී...

 

විමුක්තියේ රස සොයා සසර සක්මනේ

Rabukanasiddharthathero

භාරතයේ සෞන්දර්ය ප්‍රභවයේ මනකල් චරිත බුදු සෙවන හා බැදැණි. ලොව්තුරු බුදු භාෂිතමය ගීත ස්වරයකි. මහ රහත් බවින් සදාකාලික සුන්දර බව ලද ඒ අතීත මුනිඳු පුතුන් ගැයූ උදාන ගී මට සිහි වේ. ගෞතම බුදු සසුනින් පින් පුරා ගීතයේ විමුක්තියේ රස සොයා සසර සක්මනේ වඩින රඹුකන සිද්ධර්ථ හිමියන් මෙත් බුදු සසුනේ නිර්වාණ ගීතය ගයන ඒ සුන්දර දවස දකින්න සහෘද අප පිං පුරමු. සෞන්දර්ය ප්‍රවාහය හා බැඳා මුසුව සුමට සිතුවිලි පුරා ගීයක හා භාවනා පුරන්න. සිදුහත් ගී ඔබට කමටහනකි.

පිපෙනා මලකට - ගලනා දොළකට

දැනෙනා බුදුගුණ - නොදැනෙන මිනිසුනි

කොයි ලොව යන්නේ මරණින් පස්සේ

පින් පව් එනවා අපි පසු පස්සේ ...

රළු ගල් කුලකට - බොල් මැටි පිඬකට

දැනෙනා බුදුගුණ - නොදැනෙන මිනිසුනි

කොයි ලොව යන්නේ මරණින් පස්සේ ...

බුදුන් උපන් වෙසක්දා උපන් උන්වහන්සේ ගිහි කල ආනන්ද විය. ගිහිගෙය හැර සිදුහතුන් අභිනික්මන් කළ ඇසළ දාක ඔහු රඹුකන සිද්ධාර්ථයන් වී බුදු පුත් විය. අද බුදුපුත් සසුන් මග ගී පෙළහරය. ඉතින් සියවසක් මේ යතිවර පන්හිඳ මව්බිමට තෙර ගී උදානයක්ම වේවා…!

 

191463971 2894102007507275 1387213042288149688 n 

 

 

 සුජිත් අක්කරවත්ත

(2006 වසරේ ඔක්තොම්බර් 15වන දා ඉරුදින පුවත්පතෙහි පළ වූ ලිපියකි)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න