පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2026 අගෝස්තු 18 සහ 19 දිනවල ආනයනික ආලේපන සහ පාවහන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. එහි දී වැටලීම් 108ක් සිදු කර ඇති අතර, ඒ අතරින් භාණ්ඩ ලබාගත් ආකාරය තහවුරු කරන නිසි ලදුපත්, බිල්පත් හෝ ඉන්වොයිසි ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ ව්‍යාපාරික ස්ථාන 84ක් ද ඊට ඇතුළත් වේ.
මෙම වැටලීම්වල දී ආනයනය කළ සම පැහැපත් කිරීමේ ආලේපන, මුහුණු හා ශරීර ආලේපන, සුවඳ විලවුන්, කේශාලේපන, ක්‍රීඩා පාවහන් සහ අනෙකුත් ආනයනික පාවහන් ඇතුළු විවිධ භාණ්ඩ පරීක්ෂාවට ලක් කර ඇත. එහි දී දිවයිනපුරා වෙළෙඳසැල්වලින් බිල්පත් හෝ ඉන්වොයිසි නොමැති, සැපයුම්කරුවකු හඳුනාගත නොහැකි සහ භාණ්ඩ ලැබුණු ආකාරය හදුනාගත නොහැකි සිදුවීම් වාර්තා වී ඇත.
මෙහිදී රුපියල් මිලියන 1.5 කට ආසනන්න වළෙඳපොළ වටිනාකමකින්යුත් භාණ්ඩ නිලධාරීන් භාරයට ගෙන ඇත. එසේම අදාළ වෙළඳුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා ඇත. එමෙන්ම, ආනයනික භාණ්ඩ වෙළඳසැලට ලැබුණු ආකාරය තහවුරු කළ නොහැකි වැටලීම් සම්බන්ධව තවදුරටත් විමර්ශන කටයුතු අඛන්ඩව සිදු කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
ඉහත වැටලීම් වලට අමතරව මෙම වසරේ දී ක්‍රීම් හා දියර වර්ග සම්බන්ධව වැටලීම් 785ක් පමණ සිදුකර අදාළ ව්‍යාපාරිකයන්ට එරෙහිව නඩු පවරා ඇත.
පාරිභෝගික අධිකාරිය මගින් නිකුත් කර ඇති විධාන අංක 83 අනුව, භාණ්ඩ විකිණීම, සන්තකයේ හෝ පාලනය යටතේ තබාගෙන සිටින අදාළ නිෂ්පාදකයන්, සැපයුම්කරුවන්, බෙදාහරින්නන්, ගබඩාකරුවන් සහ වෙළඳුන් විසින් එම භාණ්ඩ ලබාගත් ආකාරය තහවුරු කළ හැකි ලිඛිත හෝ මුද්‍රිත බිල්පතක් හෝ ඉන්වොයිසියක් සන්තකයේ තබාගත යුතුය. එම ලේඛනය තුළ සැපයුම්කරුගේ නම හා ලිපිනය, මිලදී ගත් දිනය, මිලදී ගත් මිල, භාණ්ඩ වර්ගය, ප්‍රමාණය සහ අදාළ අවස්ථාවල කාණ්ඩ අංකය වැනි තොරතුරු ඇතුළත් වීම මගින් භාණ්ඩයක සැපයුම් දාමය හඳුනාගැනීමට හැකියාව ලැබේ.
මෙම නීතිමය අවශ්‍යතාවයේ වැදගත්කම “බිල්පතක් තබාගැනීම” පමණක්ම නොවන අතර වෙළඳපොළට පැමිණෙන භාණ්ඩවල සැපයුම්කරු ආනයනකරු සහ වගකිවයුතු පාර්ශ්ව කවුද යන්න හඳුනාගත හැකි වීම වෙළඳපොළ නියාමනයට සහ පාරිභෝගික ආරක්ෂාවට ඉතා අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් ආලේපන යනාදි භාණ්ඩයක ගුණාත්මකභාවය හෝ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් අනාවරණය වුවහොත් එහි සැපයුම්කරු හෝ ආනයනකරු සොයාගැනීමට මෙම ලේඛනමය තහඩුරු කර ගැනීම අත්‍යවශ්‍ය වේ.
මෙවැනි විශේෂ වැටලීම් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා පමණක් නොව රටේ නීතියට අනුව නීත්‍යානුකූලව ව්‍යාපාර කරන ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීම සඳහා ද ඉතා වැදගත් වේ. නීත්‍යානුකූලව භාණ්ඩ ආනයනය කරන ව්‍යාපාරිකයන් විසින් තීරුබදු, බදු, අදාළ ගාස්තු සහ අනෙකුත් නියමිත ගෙවීම් සිදු කරමින්, නිසි ලේඛන පවත්වාගෙන යමින් සහ අදාළ නියාමන අවශ්‍යතා සපුරාලමින් ව්‍යාපාර කරනු ලබයි. ඒ සඳහා ඔවුන්ට සැලකිය යුතු පිරිවැයක් දැරීමට සිදු වේ.නමුත් එවැනි අවිධිමත් සැපයුම් මාර්ග හරහා පැමිණෙන භාණ්ඩවල ගුණාත්මකභාවය, ප්‍රමිතිය, ආරක්ෂාව සහ නිෂ්පාදකයා හෝ ආනයනකරු තහවුරු කිරීම අපහසු විය හැකිය. අඩු ගුණාත්මක හෝ නීතිමය අවශ්‍යතා සපුරා නොමැති භාණ්ඩ අඩු මිලකට වෙළඳපොළට පැමිණීම පාරිභෝගිකයින්ට ද හානිදායක විය හැකි අතර, වගකීමෙන් හා නීත්‍යානුකූලව ව්‍යාපාර කරන ආයතනවලටද සෘජු තර්ජනයක් වේ.
එබැවින් මෙම විශේෂ වැටලීම්වල අරමුණ හුදෙක් නඩු පැවරීම හෝ වැටලීම් සංඛ්‍යාව වැඩි කිරීම නොව, වෙළඳපොළේ ව්‍යාපාරිකයන්ට සාධාරණ වෙළඳ පරිසරයක් තහවුරු කිරීම, පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සහ වෙළඳපොළ තුළ සාධාරණ තරගකාරිත්වය ප්‍රවර්ධනය කිරීම වේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ආනයනික ආලේපන, පාවහන් සහ මෙම ගැටළු පවතින අනෙකුත් තෝරාගත් භාණ්ඩ සම්බන්ධයෙන් ද මෙවැනි විශේෂ වැටලීම් සහ වෙළඳපොළ විමර්ශන ඉදිරියේදී ද දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇත.
සභාපති - පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
