පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පිළිබඳ රනිල් ගෙන් පාඩමක් - රනිල් කොලම

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පිළිබඳ රනිල් ගෙන් පාඩමක් - රනිල් කොලම

"අපි ආණ්ඩු බලය ලබා ගත්තත් රාජ්‍ය බලය තවම ලබා ගත්තේ නැහැ,'' යැයි මාලිමාවේ ඇමති ලාල් මහජන රැස්වීමක දී ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කළේ ය. ඒ කතාව ලාල් ගේ ගැලරි චූන් කතාව වගේ එකක් නොවේ. සමස්ත මාලිමාවේ බළලා මල්ලෙන් එළියට පැනීමකි.

දැන් චමින්ද කුලරත්නලා ගෙදර යවන්න හදන්නේ ලාල්ලා ගේ ඒ රාජ්‍ය බලය අල්ලා ගැනීමේ ක්‍රියාවලියේ දිගුවක් ලෙසිනි. ඒ කියන්නේ මාලිමාව හිතන්නේ අන්‍ය මතයක් දරන රාජ්‍ය නිලධාරියකුවත් මේ ආණ්ඩුවේ තනතුරක නොසිටිය යුතු බවයි.වෙනත් විදිහකට කියනවා නම් ප්‍රජාතන්ත්‍රවාදය වළ පල්ලට දමා අඩි හයක් යට කළ යුතු බවයි.මේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ ඒ සන්තෑසිය යි. මිනිසුන් ආණ්ඩුවේ ඇමැත්තන්ගේ, මන්ත්‍රීවරුන්ගේ වැරදි ඉංග්‍රීසි උච්චාරණවලට හිනැහිමින් සිටින අතර මාලිමාව ලාල් කියූ පරිදි රාජ්‍ය බලය අල්ලන වැඩේ පටන් ගෙන තිබේ.

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් ගේ සිද්ධිය රනිල් දකින විදිය

මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී රනිල් කීවේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ඔය විදිහට ඉවත් කරන්නට කථානායකවරයාට බලයක් නැති බවයි.

"එහෙම ඉවත් කරනවා නම් ඒක කරන්න ක්‍රමවේදයක් තියෙනවා. එයා කලින් ආණ්ඩුවල පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ වැඩ කරලා තියෙනවා. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ, විපක්ෂ නායක කාර්යාලයේ වැඩ කරන කෙනෙකුටත් ඒ වගේ තනතුරකට සලකා බලන්න පුළුවන්. මොකද එයා දෙපැත්තෙ ම උදවිය දන්නවනේ. පෞද්ගලික සම්බන්ධකම් වෙනයි. හැම වෙලේම විපක්ෂයේ ලේකම් සහ ආණ්ඩු පක්ෂයේ ලේකම් ආදී හැම දෙනෙක් එක්ක ම සම්බන්ධතා තියාගන්න ඕන. අපි ආණ්ඩු කරන කොට විපක්ෂ ලේකම්ලා මම හම්බවෙන්නත් එනවා. පාර්ලිමේන්තුවේ හැම එක්කෙනාට ම මේ අයිතිය තියෙනවා,'' යැයි රනිල් කීවේය.

මන්ත්‍රී කණ්ඩායමේ අදහස වූයේ ද බොහෝ තැන්වල රාජකාරී කර ඇසූ පිරූ තැන් තිබෙන මෙවැනි රාජ්‍ය නිලධාරීන් ඉවත් කිරීම ආණ්ඩුව වළ පල්ලට යන ගමන තවත් වේගවත් කරන ක්‍රියාවලියක් බවයි.

මීළඟ ගොදුර පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ද...?

Kushani Rohanadeeraකුෂානි රෝහණධීර

"මේ වැඩේ වෙන කිසිම ආණ්ඩුවක් නොකරපු වැඩක්. ඊළඟට පාර්ලිමේන්තු මහ ලේකම්වරියටත් වැඩේ දෙන්න යනවා කියලා ආරංචියි.ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ලේකම් මණ්ඩලයට පැලවත්තෙ උදවිය වාඩි කරන්න යන්නේ," යැයි මන්ත්‍රීවරු කීහ.

කොහොම වුණත් ලබන පාර්ලිමේන්තු  සතියේ දී මේ ගැන විපක්ෂ මන්ත්‍රීවරු දැඩි විරෝධයක් පළ කරමින් කතා කරන්නට යන බව ආරංචි ය.

"ලෝකෙ හැම පාර්ලිමේන්තුවකම මේ වගේ වැඩවලට කතානායක ඇඟිලි ගහන්නෙ නෑ. ඒ වගේ කාර්යයන් කෙරෙන්නේ සෙකට්‍රි ජනරාල් මාර්ගයෙන්," යැයි රනිල් පැහැදිලි කළේ ය.

ගයන්ත පඹයාට අඳියි

විපක්ෂයේ මන්ත්‍රීවරුන් රනිල්ට දැනුම් දුන්නේ අදාළ තීරණය ගන්නා තැන විපක්ෂය නියෝජනය කරමින් ගයන්ත සිටියත් ඔහු එහිදී පඹයකු ගේ චරිතය රඟ දක්වා ඇති බවයි.

" මේකට ගයන්ත කිසිම විරෝධතාවයක් දක්වලා නෑ. විපක්ෂ නායකයා බොරුවට එක්ස් පණිවිඩයක් දැම්මට අවශ්‍ය වෙලාවේ කිසිම මැදිහත්වීමක් කරලා නෑ," යැයි සජබ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ම රනිල්ට කියා ඇත.

මැති සබේ ඇතුළෙ දැන් සියල්ලට ම ඉහළින් " පී.එච්.අයි කෝලම" රඟ දක්වන බව ආරංචිය.

ආණ්ඩුවේ අලුත් ම සෙල්ලම

"පාර්ලිමේන්තුව කියන ආයතනයේ ප්‍රධානියා පාර්ලිමේන්තු මහලේකම්. කථානායක කොහොමද ඔය වගේ දෙයක් කරන්නේ. තවත් උදාහරණයක් ගත්තොත් ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය බඳවා ගන්නේ ජනාධිපති ලේකම්. එහෙම නැතුව ජනාධිපති නොවේ. ජනාධිපති කාර්යාලයේ සේවකයෙක් ඉවත් කරන්නේ නැතිනම් ජනාධිපතිට කරන්න පුළුවන් ලේකම් ඉවත් කිරීමයි. පාර්ලිමේන්තුවේත් වැඩ වෙන්නේ එහෙම තමයි. නමුත් මේ ක්‍රියාවලියේ දී ඒ මූලික දේ උල්ලංඝනය වෙලා තියෙනවා. ඉතිහාසයේ කිසි කලෙක මේ වගේ දේවල් වෙලා නෑ,'' යැයි රනිල් පැවසුවේ ඉතිහාසයේ අත්දැකීම් ද ගෙනහැර දක්වමිනි.

දැන් ආණ්ඩුවේ අලුත් ම සෙල්ලම වී ඇත්තේ විරුද්ධවාදීන් නොයෙක් අභූත චෝදනාවලට අත්අඩංගුවට ගෙන දවස් 14කට ඇතුලට දැමීමයි. මෙවැනි දේ කරන්නේ දේශපාලන අපරණිත බව නිසා ය. මෙවැනි ක්‍රියා භූමරංග වී තමන්ගේ පැත්තට එන විට දුවන්නට දිශාවක් හොයා ගන්නට නොහැකි වනු ඇත.

දිට්වා රිටන් චෙක්

ජනතාව දොහොත් මුදුන් දී පත් කර ගත් ආණ්ඩුව ජන මනසින් විතැන් වෙමින් තිබෙන ආකාරයට ම ආණ්ඩුව ජනතාවට දුන් දිට්වා සහනාධාර චෙක් පත් නැවත රිටන් වෙන බව ආරංචි ය. ඒ අය ඡන්දය ලබා ගැනීම සඳහා කියූ හොරු ඇල්ලිලි මොකවත් දැන් නැත. අධිකරණය, ව්‍යවස්ථාදායකය, විධායකය මේ ඔක්කොම අමුතු ගමනක්  අරඹා ඇත.

බිමල්ට හිසේ ඇම්මක්

කොච්චර ජනතාවාදීකම පෙන්නන්නට ගියත් ආණ්ඩුවේ උදවිය ගේ උද්දච්චකම රෙද්ද පල්ලෙන් බේරෙමින් තිබේ. ඇමති බිමල් මහ දවාලේ කොටුව දුම්රිය පොළේ දී ඉකුත් සතියේ ඒ උද්දච්චකම හොඳින්ම ප්‍රදර්ශනය කළේ ය. ඇමතිවරයා කොටුව දුම්රිය පොපොළෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙද්දී ඉල්ලීමක් ඉදිරිපත් කරන්නට යම් වෘත්තීය සමිති නියෝජිතයකු ආවේ ය. වෘත්තීය සමිති නියෝජිතයා ගේ ඉල්ලීම තඹයකට මායිම් නොකළ ඇමතිවරයා ඔහු එළවා ගත්තේ අලුයම ලූ කෙළ පිඬක් පරිද්දෙනි.

පසුව ඒ වෘතීය සමිති නියෝජිතයා කියා තිබුණේ "මේ ආණ්ඩුව පත්කළේ අපි. බලමු මෙහෙම කොච්චර දුරක් යාවිද කියලා," යනුවෙනි. වෙච්ච වැඩේ දරුණුකම පසුව තේරුම් ගත් ඇමතිවරයා වාහනයට ගිහින් ටික වේලාවක් ඔළුව ගසාගෙන හිටපු බව ආරංචිය.

ආණ්ඩුව හඳුනා නොගත් බලය

"මේ ළදරු ආණ්ඩුව දැන් හිතාගෙන ඉන්නේ ඒ අයට කරන්න බැරි දෙයක් නැහැ කියලා. ඒ අය කියන විදියට ඔක්කොම ඉන්න ඕන කියලා. ඔය සිතුවිලිවලට වැඩි ආයුෂ නෑ. ගෝඨාභයත් ඇවිල්ලා හිතුවේ ඔහොමනේ..."

දේශපාලන විශ්ලේෂකයින් එලෙස කරුණු ගෙනහැර දැක්වීය.

" මේ උදවිය බලය කියන දේ තාම තේරුම් අරගෙන නෑ. බලය කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ," යැයි රනිල් ඊට පිළිතුරක් ලෙස පැවසී ය.

පළ පුරුදු විපක්ෂ මන්ත්‍රීවරුන් කීවේ  පන්සියයක් - දාහක් පාරට බැස්සොත් ඔය ඔක්කොම කෙරුවාවල් රිවස් බවයි.

රනිල් ගෙ නඩුවත් කොට උඩ...?

r2

රනිල් ගේ නඩුව කොටුව උසාවියේ විභාගයට ගන්නා අවස්ථාවේ දී විනිසුරුවරයා  විමසුවේ  අදාළ ආරාධනා පත්‍රය  සැබෑ එකක් ද කියා විමර්ශනය කළා ද යනුවෙනි. නමුත් පස්දෙනෙක් එංගලන්තයට ගියත් ඒ කාරණය ගැන විමසීමක් කර තිබුණේ නැත. විනිසුරුවරයා එහි දී කීවේ එංගලන්තයට යෑමට අවශ්‍ය නොවන බවත් මාර්ගගත ක්‍රමයට ඒ ගැන සොයා බැලිය හැකි බවත් ය.

නඩු දිනයට පෙර සිටම වජිර අනෙකුත් දේශපාලන පක්ෂවල නායකයින් සහ නියෝජිතයින් සමග  අදාළ කරුණු කාරණා සාකච්ඡා කර තිබු අතර ඊට එම පක්ෂවල නීතීඥයෝ ද සම්බන්ධ වී සිටියහ.

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදීත් වජිර ගේ නිවසේදීත් මේ කටයුතු පිළිබඳ සාකච්ඡා කර තිබුණු අතර නඩු දිනයේ දී ද උදෑසන සිටම වජිර  දුරකතනයෙන් කතා කර කටයුතු සම්පාදනය කර තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න