නන්දන ගුණතිලක; ආත්මීය මිය යෑම සහ භෞතික මිය යෑම

නන්දන ගුණතිලක; ආත්මීය මිය යෑම සහ භෞතික මිය යෑම

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ, පානදුර නගර සභාවේ හිටපු නගරාධිපති නන්දන ගුණතිලක මියගිය බව ප්‍රකාශ වේ.

මේ නන්දනගේ භෞතික මිය යෑම යි. නන්දනගේ දේශපාලන මියයෑම සිදුවන්නේ බොහෝ කාලයකට පෙරය..

88/89 භීෂණ සමයේ දී ලෙයින් මරණයෙන් මර්දනය කළ ජනතා විමුක්ති පෙරමුණ යළි ගොඩනැගීමේ අසීරූ ව්‍යායාමයේ යෙදුණ ප්‍රමුඛයන් කිහිපදෙනා අතර ඔහු එක් අයෙකි. සෝමවංශ අමරසිංහ, කමල් දේශප්‍රිය, ටිල්වින් සිල්වා එවැන්නන් කීප දෙනෙකි..

nanda2

නන්දනට, ජනතා විමුක්ති පෙරමුණ තුළ කෙතරම් බලයක් හා පිළිගැනීමක් තිබුණේ ද යන්නට හොඳම උදාහරණය 1999 ජනාධිපතිවරණය යි. ඒ ජනාධිපතිවරණයේ ජවිපෙ අපේක්ෂකයා නන්දන ගුණතිලක යි. එමෙන්ම 2004 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගෙ නායකත්වයෙන් යුතු පොදුජන එක්සත් පෙරමුණ හා සන්ධානගතව බිහිකළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළමු සභාපතිවරයා වූයේ ද නන්දන ගුණතිලක යි.

නන්දන, ජවිපෙන් ඉවත්වීම සිදුවුණේ දේශපාලන කතිකාවකින් තොරවයි. ඒ ගැන නන්දනවත්, ජවිපෙවත් කිසිවක් නොකීවේ ය. දේශපාලකයකු ලෙස නන්දනට කැමති දේශපාලන මතයක් දැරීමට, පක්ෂයක් තෝරා ගැනීමට අයිතියක් ඇත. ඒ අයිතිය ප්‍රකාරව මහින්ද රාජපක්ෂ ගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයට සම්බන්ධ වී සංචාරක ඇමති ධුරය දැරී ය.

දේශපාලකයෙකුට තමන් කැමති දේශපාලන මතයක් දැරීමට , පක්ෂයක් තෝරා ගැනීමට අයිතියක් තිබුණත් යම් නිශ්චිත තෝරාගැනීමකින් තම ආත්මය මරා දැමීමක් සිදුවන්නට පුළුවන.

අවසානයේ නන්දනද ආත්මය විකුණමින්, දේශපාලන උදාරත්වය සිඳ ගනිමින්, විප්ලවීය ජීව ගුණය පාවා දෙමින් එක්සත් ජාතික පක්ෂය සමග එකතු විය. ඔහු දේශපාලනිකව මියයෑම ආරම්භ කළේ එදින යි. ඔහු එතැන් පටන් කළේ සැඟවුණු දේශපාලනයකි. ජාතික දේශපාලනය කළ නන්දන ජාතික දේශපාලනය අත හැරියේ ය. අඩුම දෙවන පෙළ වූ පළාත් සභාවවත් තෝරා ගත්තේ නැත. ඔහු තෝරා ගත්තේ දේශපාලනයේ පහළම ස්ථරය වූ පළාත් පාලනය යි.

පසුගිය කාලය පුරාම දීර්ඝ නිහැඬියාවක සිටි නන්දන, ඒ දීර්ඝ නිහැඬියාව බින්දේ ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ලබා ගැනීමත් සමග යි. තම දේශපාලන ව්‍යාපාරය ම්ලේච්චඡ සහ තිරශ්චීන ලෙස ලෙයින්, කඳුළෙන්, යකඩයෙන්, උණ්ඩයෙන් සහ මරණයෙන් අවසන් කළ ඝාතකයා සමග දේශපාලන රමණයක යෙදුන නන්දන මිනිසෙකුට කළ නොහැකි අවසන් පාවාදීමත් කළේ ය.

නන්දන ජවිපෙන් ඉවත්වීම නිහඬව සිදුවිය. විමල් වීරවංශ නම් ඉවත් කළ බව අපි දනිමු. එහෙත් නන්දන ඉවත් වුණා ද , ඉවත් කළා ද යන්න අප අදටවත් දන්නේ නැත. එය දන්නේ නන්දන සහ ජවිපෙ පමණි. නන්දන නැති නිසා එය සදාකාලික රහසක් වනු ඇත.

මාලිමාව ආණ්ඩු බලය ගත් තැන පටන් ඔහු ඉතාමත් තියුණු ලෙස ජනතා විමුක්ති පෙරමුණ විවේචනය කළේ ය. ඒ විවේචනයන්ට කරුණු සපයා ගැනීමට පක්ෂය ගත් ඇතැම් තීන්දු , තීරණ , භීෂණ සමයේ අවි දරමින් යට බිම්ගත දේශපාලනය කරද්දී ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයන් නන්දන විසින් ගිරා පෝතකයෙක් මෙන් ප්‍රකාශ කළේ ය. හැබැයි ඒ ප්‍රකාශ සියල්ල තුළ තමන් දියකර හරින්නේ තමන්ගේ ම ආත්මය බව නන්දනට නොතේරුනේ නැත. එය ඔහුගේ අභාග්‍යයකි..

නන්දන ගේ ප්‍රකාශ කිසිවෙකුත් පිලිගත්තේ නැත. විපක්ෂය ඒවා උස්සාගෙන ගියේ පිළිගන්නා නිසාම නොව ආණ්ඩුවට එරෙහි බොරු විවේචනයක් හෝ අවශ්‍ය නිසා ය. එය බහුතරයක් පිළි නොගැනීමෙන්ම නන්දනගේ දේශපාලන අවලංගුභාවය ප්‍රදර්ශනය විය.

ආත්මය පාවා දෙමින් දේශපාලන මියැදීමක සිටි නන්දන ගේ දේශපාලන මරණය පරිපූර්ණත්වයට පත්වන්නේ එදින යි. මේ භෞතික මරණය, ආත්මය මිය ගිය නන්දන ගුණතිලකට වඩාත් සුවදායක ය. මන්ද තවදුරටත් මිනිසෙකු ලෙස ජීවත්වීමට හෘද සාක්ෂියක් ඔහු වෙත ඉතිරිව තිබුණේ නැත.

nandal1

අප නන්දන ගැන කතා කරන්නේ අද හෝ හෙට පමණි. මේ මොහොතේ නන්දන ගැන වැඩියෙන් කතා කරන්නෙ විපක්ෂය යි. ඒ පොදු සතුරා වූ ආණ්ඩුවට නන්දන ප්‍රහාරයක් එල්ල කර බැවිණි. නැවත පවුලේ කෙනෙකු හැරෙන්නට නන්දන ගැන කිසිවෙකු කතා නොකරනු ඇත..

ඔහුට ඔහු පැතූ විමුක්තිය අත්වේවා...! ඔහු නැවත උපදෙන්නෙ නම් ආත්මය සිඳ නොගත්, හෘද සාක්ෂියක් ඇත්තකු ලෙස උපදීවා.

 

Chathuranga Amarathunga

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න