#nandanagunathilaka

  • අල්ලස් කොමිසමේ ලොක්කා ජවිපෙ නීති අංශයේ සාමාජිකයෙක්- ජවිපෙ හිටපු පාලක ලේකම් කියයි

    අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක, ජනතා විමුක්ති පෙරමුණේ නීතිය අංශයේ සාමාජියෙක් යයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාලක ලේකම් නන්දන ගුණතිලක සදහන් කරයි.

    ඔහු එ බව කියා සිටියේ 'හිරු රූපවාහිනීයේ' පැවැති දේශපාලන සංවාදයකට එක්වෙමිනි.

    එකල තමන් යටතේ නීති අංශය පැවැති බවත් එහි ලේකම්වරයා ලෙස කටයුතු කලේ සුනිල් වටගල බවත් ඊට අදාළ සියලු සාක්ෂි තමන් සතු බවත් හෙතෙම එහිදී කියා සිටියේය.

    ඊට අදාළ අත්සන් ලේඛන පවා තමන් සතුව ඇති බවද හෙතෙම අවධාරණය කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නන්දන ගුණතිලක,

     



    “අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හරහා මේක විසදා ගන්න බෑ. මම කැදවපු නීති කමිටුවේ හිටපු කෙනෙක් තමයි අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්. පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙක් විදියට මට තමයි නීති අංශය පැවරිලා තිබුණේ. නීති අංශයේ ලේකම් විදියට දැම්මේ වටගල. සාමාජිකයෙක් තමයි රංග දිසානායක.

    මම ගෙනියන්න කියන්න ඕනම තැනකට. මම ළග තියෙනවා අත්සන් ලේඛන. පුලුවන්නම් ගෙනියන්න කියන්න. එහෙම මිනිස්සු දාගත්තේ ඇයි? මේවා යට ගහන්න. දැන් මේවා ඇදෙනවානේ. දූෂණ විරෝධී පනත යටතේ මේවා එළියට එනවා කියලා දන්නවානේ. ඒක නිසා රවිලා, ශානිලා රංගලා, කස්ටම් එකට කෙනෙක් දාගත්තානේ. මේ සේරම දාගත්තේ වහගන්න”

     

     



  • අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්

    ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකයකු වන නන්දන ගුණතිලක විසින් පසුගිය දා කළ ඇතැම් ප්‍රකාශයන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක අද දින උත්තර බැඳ තිබේ.

    අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු බව නන්දන ගුණතිලක පසුගියදා කල ප්‍රකාශය දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලනයට ලක්ව තිබේ.

    කොමිසමට එරෙහි චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත්, මෙම අපහාස කිරීම් වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

    ඇතැම් පුද්ගලයින් හා ආයතන විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව සම්බන්ධයෙන් පදනම් විරහිත සහ නොමග යවන සුළු ප්‍රකාශ විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ඇතුළු විවිධ ක්‍රම ඔස්සේ ප්‍රචාරය කිරීමේ යෙදී සිටින බව අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව පවසයි.

     අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මෙවැනි ක්‍රියා තුලින් කොමිෂන් සභාවේ කීර්ති නාමයට හානි පමුණුවන අතර ම, දැනට සිදු කෙරෙමින් පවතින ප්‍රධාන විමර්ශන වෙතින් ජනතා අවධානය වෙනතකට යොමු කිරීම මෙන්ම කොමිෂන් සභාව විසින් සිදු කරන කටයුතු නීත්‍යානුකූල ව කෙරෙන්නේ ද යන්න සම්බන්ධයෙන් විකෘති සහගත මතයක් නිර්මාණය කිරීමට ද හේතු වන බවයි.

     අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව අද දින (02) නිකුත් කල නිවේදනය මතු පළවේ.


    MEDIA RELEASE 2025 104 page 0001 800x1131



    ''අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජවිපෙ නීති කමිටුවේ හිටපු කෙනෙක්. මං ළඟ තියෙනවා අත්සන් ලේඛන'' - නන්දන


    අල්ලස් කොමිසමේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මීට දශක දෙකකට පෙර ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුවේ සාමාජිකයකු බවත් එම කමිටුව කැඳවූයේ එවකට ජවිපෙ දේශපාලන බලමණ්ඩල සාමාජිකයකු වූ තමන් විසින් බැවින් තමන් මේ පිළිබඳ හොඳින්ම දන්නා බවත් පානදුර හිටපු නගරාධිපති නන්දන ගුණතිලක පවසයි.

    “අල්ලස් හෝ දූෂණ කොමිසම හරහා මේක විසඳාගන්න බැහැ. ඒකට දාලා තියෙන්නෙ ඒගොල්ලොන්ගෙ මිනිස්සු. මම කැඳවපු නීති කමිටුවේ ඉඳපු කෙනෙක් තමයි අද අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්. මම පක්ෂයේ දේශපාලන බලමණ්ඩල සභිකයෙක් විදියට මට තමයි නීති අංශය පැවරිලා තිබුණේ. නීති අංශයේ ලේකම් හැටියට අපි දැම්මේ වටගලව. ඒකෙ සාමාජිකයෙක් තමයි රංග දිසානායක කියන්නෙ. මාව ගෙනියන්න කියන්න ඕනෙ තැනකට, මං ළඟ තියෙනවා අත්සන් ලේඛන. අත්සන් කරපුවා. ගෙනියන්න කියන්න පුළුවන් නම්. එහෙමයි. එහෙම මිනිස්සුන්ව දාගත්තෙ ඇයි ? මේවා යටගහන්න. දැන් මේවා ඇදෙනවානෙ. අර දුෂණ විරෝධී පනත යටතේ අනිවාර්යයෙන්ම මේවා එළියට එනවා කියලා දන්නවානෙ. ඒ නිසා මේ රවීලා, ශානිලා, රංගලා, දැන් අර රේගුවටත් එක්කෙනෙක් දැම්මානෙ. ඔය ඔක්කොම දාගත්තෙ මේ ටික වහගන්න”

    නන්දන ගුණතිලක මේ බව පැවසුවේ පසුගියදා  (සැප්තැම්බර් 25) හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සජීවී දේශපාලන සංවාදයකදී ය.



    Screenshot 2025 10 02 150846

  • නන්දන ගුණතිලක අපට ඉගැන්වූ පාඩම

    නන්දන ගුණතිලක අපට දේශපාලනය ගැන ඉතාම බැරෑරුම් පාඩමක් කියා දෙයි. ඔහු පෙන්වා දෙන්නේ සත්‍ය වශයෙන් ම අප පෙනී සිටිනා අදහස් වෙනුවෙන් පෙනී සිටිමින් දේශපාලනය කරන්නේ නම් මේ සඳහා අපට ඇති තෝරාගැනීම්වල සීමාව යි.

  • නන්දන ගුණතිලක; ආත්මීය මිය යෑම සහ භෞතික මිය යෑම

    එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ, පානදුර නගර සභාවේ හිටපු නගරාධිපති නන්දන ගුණතිලක මියගිය බව ප්‍රකාශ වේ.

  • රංග ගේ පත්වීමට එරෙහිව නන්දන අධිකරණයට - දේශපාලන චෝදනා වෙනුවට නීතිමය සටනක් අරඹයි !

    අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම් නන්දන ගුණතිලක අතර ඇතිවු මතභේදය, තීරණාත්මක නීතිමය සහ දේශපාලන ගැටුමක් දක්වා වර්ධනය වෙමින් පවතී.

    රංග දිසානායක වෙත තියුණු පිළිතුරක් ලබා දෙමින් නන්දන ගුණතිලක ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත්තේ, ඔහුගේ දේශපාලන සම්බන්ධතා විවේචනය කිරීමට වඩා, අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ඔහුගේ පත්වීමේ නෛතික නුසුදුසුකම අධිකරණය හමුවේ ප්‍රශ්න කරන බවයි.

    නන්දන ගුණතිලක විසින් නිකුත් කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයේ, අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපහාසාත්මක ස්වරයෙන් ස්තූතිය පුද කර තිබීම විශේෂත්වයකි.

    අල්ලස් පනත සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කරන ආකාරය වැනි නීතිමය කරුණු අධ්‍යයනය කිරීමට තමන්ව පොළඹවන සුළු හැසිරීමක නිරත වීම සම්බන්ධයෙන් ඔහු එහිදී දිසානායකට "ස්තූතිය" පළ කර තිබිණි.

    "ඔබ ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුවේ සිටි කාරණය විමසීමට පෙර, ඔබේ පත්වීම සිදුවී ඇති ආකාරය පිළිබඳව විමසීම සඳහා මා අධිකරණය වෙත එන බව පමණක් දැනට කියමි," යනුවෙන් ගුණතිලක සිය සටහනේ අවධාරණය කර ඇත.

     



    මෙම විවේචනය අල්ලස් කොමිසමේ අනෙකුත් නිලධාරීන්ට අදාළ නොවන බවත්, එය සම්පූර්ණයෙන්ම රංග දිසානායකගේ "පෞද්ගලික අක්‍රමිකතාවක්" බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.





    නන්දන ගුණතිලක ගේ ෆේස්බුක් සටහන මතු පළවේ.


    රංග ,
    නඩු දැමීම පිළිබඳව ඔබ මේ ලබාදෙන උපදෙස්වලට බොහොම ස්තූතියි.

    එ මෙන්ම අල්ලස් සහ දූෂණ පිළිබඳව කොමිෂන් සභාවට අදාළ පනත , අධ්‍යක්ෂක ජනරාල් ගේ පත්වීම සිදුකෙරෙන ආකාරය ආදී නෛතික කාරණා ඉතා මෑතකදී අධ්‍යයනය කිරීමට  මා පොළඹවන සුළු හැසිරීමක පසුගිය මාස දෙකක පමණ කාලයකදී නියැළීම පිළිබඳව ද ඔබට ස්තූතියි.

    විනිශ්චයකාරවරයෙකු ලෙස පත්වීමේදී බලපාන නුසුදුසුකම් පිළිබඳව සොයා බැලීමට තරම් වන හැසිරීමක ඔබ එකල නොයෙදීම පිළිබඳවද ස්තූතියි.

    සාමාන්‍ය පුරවැසියෙකු ලෙස ඉහතකී පනත් සහ එහි  කොන්දේසි පිළිබඳව සොයා බැලීමට , -  පෙර එවැනි උනන්දුවක් නොතිබූ මා හට එම උනන්දුව ඇති කිරීම ගැන නැවත වරක්  ඔබට  බොහෝම ස්තූතියි.

    ඒ නිසා ඔබ ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුවේ සිටි කාරණය විමසීමට පෙර , ඔබේ පත්වීම සිදුවී ඇති ආකාරය පිළිබඳව විමසීම සඳහා මා අධිකරණය වෙත එන බව පමණක් දැනට කියමි.

    ඔබේ නුසුදුසුකම පිළිබඳව  මා කල විවේචනය සහ ඔබේ පත්වීම පිළිබඳව ඇති නියත නෛතික නුසුදුසුකම පිළිබඳව වෙනත් පුද්ගලයන්ගෙන් සහ සමාජයෙන් පැනනැගුනු චෝදනා අල්ලස් හා දූෂණ කොමිසමේ අනෙක් නිලධාරීන්ට කිසිසේත්ම අදාළ නොවන බවත් එය තනිකරම ඔබේ පෞද්ගලික අක්‍රමිකතාවක් බවත් නැවත උදක්ම කියා සිටිමි...!!!






    උපක්‍රමික මාරුව සහ ගොඩනැගෙන සන්ධානය


    නන්දන ගුණතිලක මහතාට සමීප ආරංචි මාර්ග හෙළිදරව් කරන්නේ මෙය හුදු ප්‍රතිචාරයක් නොව, සැලසුම් සහගත උපක්‍රමික මාරුවක් බවයි.

    රංග දිසානායක මහතාගේ ජවිපෙ දේශපාලන සම්බන්ධතා පිළිබඳ චෝදනාවට සීමා නොවී, ඔහුගේ පත්වීමේ නීත්‍යානුකූලභාවය සහ ධුරයට ඇති සුදුසුකම අභියෝගයට ලක් කිරීම තුළින්, මෙම ගැටලුව පෞද්ගලික දේශපාලන විවේචනයකින් ඔබ්බට ගෙන ගොස්, ශක්තිමත් නීතිමය පදනමක් මත ස්ථාපිත කිරීමට ගුණතිලක මහතා අපේක්ෂා කරයි.

    පිටතට තනි පුද්ගලයෙකු ලෙස පෙනී සිටියද, නන්දන ගුණතිලක මහතා හට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සාමාජිකයින්ගේ සහ ප්‍රබල දේශපාලන පාර්ශ්ව රැසක සහාය හිමිවෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

    ජවිපෙ හිටපු සාමාජිකයින් වන විමල් වීරවංශ, වරුණ රාජපක්ෂ, කැලුම් ජයසුමන, අචල ජාගොඩ වැනි අය රැසක් මේ වනවිටත් ඔහු වටා එක්වෙමින් සිටින බව වාර්තා වේ.

     මීට අමතරව, එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ දේශපාලන කඳවුරුවල  සහායද ඔහු වෙත ලැබෙමින් පවතින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.


    IMAGE

    ඒ අනුව, ඉදිරි කාලය තුළ මෙම ගැටුම අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ ස්වාධීනත්වය සහ එහි ඉහළ නිලතල සඳහා වන පත්වීම් පිළිබඳ පුළුල් කතිකාවතක් නිර්මාණය කරනු ඇති අතර, එය තීරණාත්මක නීතිමය මෙන්ම දේශපාලන සටනක් බවට පත්වනු ඇති බවට දේශපාලන විචාරකයෝ මත පළ කරති.

  • රංග දිසානායක සහ නන්දන ගුණතිලක: නියෝජ්‍ය ඇමතිට අනුර ගෙන් කණේ පහරක්! | සරෝජ් පතිරණ

    මීට සති කිහිපයකට කලින් රනිල් පාක්ෂික හිටපු ඇමති කෙනෙකුගෙන් ජාජබ නියෝජ්‍ය ඇමති කෙනෙකුට කෝල් එකක් ආව.

    හිටපු ඇමති ඒ වෙලාවේ හිටියේ හැංගිලා.

    කොහොම හරි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට කතා කරලා මාව බේරල දෙන්න කියල හිටපු ඇමති නියෝජ්‍ය ඇමතිගෙන් බැගෑපත්ව ඉල්ලලා.

     

    Ranga Disanayaka රංග දිසානායක


    නියෝජ්‍ය ඇමැතිත් දෙපාරක් හිතන්නේ නැතුව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තුමාට කෝල් එකක් දීල.

    ඊට පස්සේ තමයි ලස්සනම කතාව.


    නියෝජ්‍ය ඇමතිට දවස් දෙකක් නවලෝකේ නවතින්නත් සිද්ද වුණා...




    ආයේ කවදාවත් මේ වගේ කෝල් දෙන්න එපා කියල නියෝජ්‍ය ඇමතිටත් තරයේ අවවාද කරලා, මේ කතාව ජනාධිපතිතුමාට කියන්න වෙන බවත් දැනුම් දීල රංග දිසානායක කෙලින්ම කෝල් කරලා තියෙන්නේ අනුරට.

     



    හැරෙන තැපෑලෙන් අනුරගෙන් ආපු කෝල් එක නිසා අන්තිමට නියෝජ්‍ය ඇමතිට දවස් දෙකක් නවලෝකේ නවතින්නත් සිද්ද වුණා!

    හිටපු ඇමති කවුද, නියෝජ්‍ය ඇමති කවුද කියල නම් නොකියන්නේ මාධ්‍ය ආචාර ධර්මවල විදියට එයාලටත් Right to Reply අයිතියක් තියෙන නිසා.

    නමුත් ඒ තමයි රංග දිසානායක කියන්නේ.

    කාගෙන්, කොයි විදියට බලපෑම් ආවත් මම දන්නා තරමින් අද වෙනතුරුම නොසැලී කෙලින්ම නීතිය ක්‍රියාවට නගන නිලධාරියෙක්.

    රට පුරා දූෂණය, වංචාව ඔඩු දුවද්දී, රටේ දැවැන්ත අපචාර සිද්ද වෙද්දී, මහ බැංකුව කොල්ල කද්දී, දේශබන්දු ල කුඩු බිස්නස් කරද්දී නොදැක්ක වගේ හිටපු නන්දන ගුණතිලක ල, මහින්ද පතිරණ ල වගේ අය දැන් තැතිගැනිල ඉන්නේ ඒ නිසා.

     

    nandana 20250929නන්දන ගුණතිලක


    රංග දිසානායකට විරුද්ධ නන්දන ගුණතිලකගේ ප්‍රහාරයේ සැබෑ අරමුණ....


    විශේෂයෙන්ම මුළු රටම දැවැන්ත ආර්ථික අර්බුදයක ඉන්න වෙලාවක "රට බේරගත්ත නායකයා" රටේ මිනිස්සුන්ගේ මුදල් රුපියල් කෝටි ගාණක් වියදම් කරලා wife ගෙ උපාධි උත්සවේකට රට සවාරි යාම ගැන රනිල් ලොක්කත් arrest කළාට පස්සේ කුපිත වුණ දූෂිත රනිල් - රාජපක්ෂ නඩේ බලන්නේ කොහොම හරි ජාජබ ආණ්ඩුවේ දූෂණ විරෝධී වැඩසටහන කඩාකප්පල් කරන්න.

     

    ranil

    රංග දිසානායකට විරුද්ධ නන්දන ගුණතිලකගේ ප්‍රහාරයේ සැබෑ අරමුණ ඒක.

    නැත්නම් අපරාධකාරයෙක් කියල රටේ ඉහළම අධිකරණය තීන්දු කරපු දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති පදවියට පත්කරන කොට, ලංකා ඉතිහාසයේ හිටපු කුප්‍රකටම නීතිපතිවරයෙක් වුණ සංජේ රාජරත්නම් ගේ ධුර කාලය දීර්ඝ කරලා අගවිනිසුරු පදවියට පත්කරන්න උත්සහ කරනකොට, අධිකරණ නියෝග පවා නොතකා පළාත් පාලන මැතිවරණය කල් දාන කොට, ටිරාන් අලස් දූෂිත VFS වීසා ගණුදෙණුව කරන කොට නන්දන ගුණතිලක ල, මහින්ද පතිරණ ල කොහෙද හිටියේ?

     

    mahinda pathiranaමහින්ද පතිරණ

    දැන් මගෙන් ප්‍රශ්න අහන former human rights activist නීමල්කා ප්‍රනාන්දු ඒ කාලේ කොහෙද කිටියේ? අරගලයේ පිහිටෙන් පිං ජනාධිපතිකමට ආපු රනිල් හමුදාවයි, කුලී හමුදාවයි දාල අරගලයට එලව, එලව ගහන කොට නිමල්ක කොහෙද හිටියේ?

    මේ ප්‍රශ්න මතු කළාම මගෙන් අහන්නේ ඒව නොකරන්න නේද මාලිමාව බලයට ගෙනාවේ කියල.

    ඔව්. මාලිමාවත් ඒවම කරනවා නම් පැහැදිලිවම ඒක වැරදියි.

    එහෙම වරදක් කරනවා දැකපු මොහොතේම ඒක වැරදියි කියන්න, හෙලා දකින්න මම නම් පැකිලෙන්නේ නෑ.



    ඒත් රංග දිසානායක එහෙම වරදක් කරලා තියෙනවද?




    ලොක්ක arrest කරපු නිසාත්, පෙන්ෂන් එක අවලංගු කරපු නිසාත් මාලිමාව එක්ක ලොකු වෛරයකින් ඉන්න (ජවිපෙ හිටපු ජනාධිපති අපේක්ෂක) නන්දන ගුණතිලක කියන විදියට මීට දශක ගණනකට කලින් රංග දිසානායක ජවිපෙ නීති කමිටුවේ හිටිය නම් ඒකෙ වරද මොකක්ද?

    රංග ජවිපෙ කමිටුවේ හිටිය නම්, ඔහු අධිකරණ සේවයට බැඳෙන්නේ ඒකෙන් ඉවත් වෙලාද? මහේස්ත්‍රාත්වරයෙක් සහ මහාධිකරණ විනිසුරුවරයෙක් විදියට රංග දිසානායක ගේ ක්‍රියාකලාපය ජවිපෙ ට පක්ෂපාතීද?

     



    ඒ ප්‍රශ්නවලට පිළිතුරු ඔව් නම්, එතෙන්දි ඔහු අල්ලස් කොමිසමේ ප්‍රධානියා විදියට පත්කිරීම වැරදියි.

    නමුත් රංග දිසානායකට මම දන්නා තරමින් එහෙම එක චෝදනාවක් වත් නෑ.


    හොරු රංචුවක් එකතුවෙලා ගෙනියන campaign එකක්....


    දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙලා හිටිය කියල කෙනෙකුට ආණ්ඩුවේ තනතුරක් දරන්න බැරිද? ලංකාවේ මීට කලින් කවදාවත් එහෙම කවුරුවත් ඉඳල නැද්ද? ඇත්තටම ඔය කියන "ස්වාධීන" මිනිස්සු ලංකාවේ ඉන්නවද?

    ආයෙත් කියන්නේ මේක සහමුලින්ම ආණ්ඩුවේ දූෂණ විරෝධී වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න හොරු රංචුවක් එකතුවෙලා ගෙනියන campaign එකක්.

    මේ සටහනෙන් මම කියන්න හදන්නේ මාලිමා ආණ්ඩුවේ දූෂණ විරෝධී වැඩපිළිවෙල හරි අනෙක් ක්‍රියාමාර්ග හරි සම්පූර්ණයෙන්ම නිවැරදියි කියන එක නෙවෙයි.
    විශේෂයෙන්ම හැම දූෂිතයෙක් පස්සෙම යන ආණ්ඩුව අඩු ගානේ ටිරාන් අලස් ගේ නම කියන්න පවා බයවීම ගැන මටත් ලොකු විවේචනයක් තියෙනව.



    ඒ වගේම ත්‍රස්ත විරෝධී නීතිය දිගටම තියාගෙන ජනාධිපති අනුර පවා අහිංසක තරුණයෙක් මාස ගාණක් හිරකරගෙන හිටපු එක සම්පූර්ණයෙන්ම වැරදියි. හරි නම් අනුර ඇතුළු මාලිමාව ඒ තරුණයාගෙන් සමාව ගන්න ඕනේ; ඔහුට වන්දියක් ගෙවන්න ඕනේ. අනික මාලිමාව පොරොන්දු වුණා වගේ Online Safety Act එක අහෝසි කරන්න ඕනේ.

     

     

     

    ත්රස්ත විරෝධී නීතිය

    දූෂිතයින්ට විරුද්ධව යන මේ පාර වහල දාන්න ඉඩ දෙන්න බෑ....


    අනුර සහෝදරයා ඇතුළු මාලිමාව ආණ්ඩුව එක්ක මම එකඟ නොවෙන තැන් තියෙනව. නමුත් ඉතිහාසයේ කවදාවත් නොවූ තරමට මේ ආණ්ඩුව දූෂිතයින්ට
    දඬුවම් කිරීම අතින් ඉදිරියට ගිහින් තියෙනව; දූෂණයට වැට බඳිමින් ඉන්නවා. පහුගිය ආණ්ඩු කළා වගේ මේ ආණ්ඩුවේ ඉලක්කය හාල්මැස්සෝ විතරක් නෙවෙයි. කවද හරි දවසක ජනාධිපති අනුර ආපහු හැරෙන්න උත්සහ කළත්, දූෂිතයින්ට විරුද්ධව යන මේ පාර වහල දාන්න ඉඩ දෙන්න බෑ.

    ඒ වගේම තමයි නන්දන ගුණතිලක කියනවා වගේ රංග දිසානායක හරි, ශානි අබේසේකර හරි, රවී සෙනෙවිරත්න හරි ජවිපෙට විරුද්ධ චෝදනාවලින් ජවිපෙ බේරගන්න උත්සහ කළ බව සනාථ වුණොත් එදාට අපි ඔවුන්ට විරුද්ධවත් පැහැදිලිවම පෙනී ඉන්නවා.


    shani 20250929ශානි අබේසේකර


    | සරෝජ් පතිරණ
    බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක

    (උපුටා ගැනීම - Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න