එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පසුගිය සතියේ එක්තරා පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක පැවැති සම්මුඛ සාකච්ඡාවක් සඳහා සහභාගීව තිබුණා.
අවශ්‍ය වුනොත් රනිල් ගේනවා
මෙලෙස එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු දීර්ඝ කාලයකට පසුව මෙවැනි සාකච්ඡාවකට පැමිණීම නිසා මාධ්‍යයටත්, ඒ වගේම රටේ මහජනතාවටත් දැනගත යුතුව තිබුණු කරුණු කාරණා බොහෝමයකට පිළිතුරු ලබාගැනීමට මෙහි දී හැකියාව ලැබි තිබුණා. එසේම මෙම මාධ්‍ය සාකච්ඡාව මෙහෙයවූ මාධ්‍යවේදී කේසර ද රටේ ජනතාවගේ කුතුහලයට තුඩු දෙන කාලීන ප්‍රශ්න කිහිපයකටම පිළිතුරු වජිර හරහා හෙළිදරව් කරගෙන තිබීම ද විශේෂත්වයක් වුණා.
මාධ්‍යවේදී කේසරගේ මෙම වැඩසටහන ආරම්භ වූයේම රනිල් වික්‍රමසිංහ මහතා නැවත පාර්ලිමේන්තු පැමිණෙයි ද? එතුමා තවදුරටත් සක්‍රීය දේශපාලනයේ නිරත වෙයිද යන ප්‍රශ්නයෙනි.
“ රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෘත්තියෙන් දේශපාලනඥයෙක්. වසර 50 ක් පුරාවට එතුමා කළේ දේශපාලනය. මොනවද එතුමා දන්නේ... කොහොමද රටක් හසුරවන්නේ? ඒ සඳහා ජාත්‍යන්තර භාවිතා කළ යුත්තේ කෙසේද? ලෝකය කෙසේද ක්‍රියා කරන්නේ? ලෝකය ක්‍රියාකරන ආකාරයට ලංකාව හසුරවන්නේ කොහමෙද? මෙන්න මේ වගේ දේවල් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා දන්නේ.
ඉතින් එහෙමනම් එතුමාට වෙන රස්සාවක් හෝ වෙනත් දෙයක් කරන්න බැහැ. එතුමා මේ රට අරන් ගිය පාරක් තිබෙනවා. එතුමා ගිය පාර නොදන්නකමට මේ අය වෙනස්කම් ගොඩක් කරනවා.
අපි මෙහෙම ඔබතුමාගෙන්ම උදාහරණයක් ගමුකෝ. ඔබතුමාගේ සීයා හෝ ආච්චි සල්ලි පොට්ටනියක් ගෙදර පොදු ගහගෙන ඉන්නවා. නමුත් ඒ පොට්ටනියේ තිබෙන සල්ලි පැටව් ගහන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ සල්ලි පොට්ටනියක් රනිල් වික්‍රමසිංහ මහතා ඉතිරි කරලා ගියා. ඉතින් ඒ සල්ලි පොට්ටනියේ සල්ලි ඉවර වෙනකන් වියදම් කරන්න පුලුවන්. නමුත් ඒ සල්ලි පැටව් ගහන්නේ නෑ කියලා අපි මතක තියාගන්න ඕන.
ඒ නිසා තමයි අපි කියන්නේ අපේ රටේ ආර්ථිකය දිනෙන් දින වැටෙමින් තිබෙනවා. එහෙම වෙලාවක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජාතියේ අවශ්‍යතාවය වෙනුවෙන් භාවිතා කිරීමට අවශ්‍ය වුනොත් ඕනෑම අවස්ථාවක භාවිතා කිරීම හරිම සරල කාරණයක් හැටියටයි මමනම් දකින්නේ.”
ජනතාවගේ කුතුහලය නිසා මෙන්ම මාධ්‍යයේද මේ දිනවල වැඩිපුරම කතාබහට ලක්වන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවත වරක් මේ රටේ පාලනය සඳහා පත්වෙයිද යන්නයි. මේ නිසාම ඉහත ප්‍රශ්නයට තවත් දිගුවක් එකතු කරමින්...
මම දෛවඥයෙක් නොවුනත්...
“ඔබතුමා ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවත රට බාරගන්න සූදානම් කියල ද?”
කේසර වජිරගෙන් විමසීය.
“ඔබතුමා අහන ප්‍රශ්නයට කෙටියෙන් උත්තරයක් දෙන්න ටිකක් අමාරුයි. කමක් නෑ මම මේ ගැන හොඳම විදිහට පැහැදිලි කරන්නම්කෝ.
2019 වසරේ අන්තිම මේ රටේ මහජනතාව අපේ පාලනය අවසන් කරලා වෙනත් පාලනයක් පටන් ගන්නකොට ඔවුන්ටත් තුනෙන් දෙකක බහුතර බලයක් තිබුණා. කොහොම නමුත් ඒ අවස්ථාවේ දී පක්ෂයක් විදිහට අපිට හම්බුණේ පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රීධූරයක් පමණයි.
කොහොම නමුත් අපි ඒ සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතුයි කියලා අපි තීරණය කළා. එතුමා එම යෝජනාව ප්‍රතික්ෂේප කළ නිසා එම ආසනය බොහෝ කාලයක් හිස්ව තිබුණා. ඉතින් මෙන්න මෙහෙම තියනකොට තමයි 2020 අගභාගය වනවිට මම කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නියත වශයෙන්ම පාර්ලිමේන්තු යා යුතුයි කියලා.
''මම දෛවඥයෙක් නෙමෙයි, පූර්ණ කාලීන දේශපාලනඥයෙක්''
ඉතින් ඇතැම් අය කියන්න ගත්තා මම දෛවඥයෙක් කියලා. මම එහෙම කෙනෙක් නෙමෙයි. මම පූර්ණ කාලීන දේශපාලනඥයෙක්.
කොහොමහරි අපි එහෙම කියන්න හේතුව තමයි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය. අපි ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කියනවා මහජනතාවට, “ අපි යන පාර වෙනස් කරන්න එපා. වෙනස් කරොත් රටේ ආර්ථිකය වැටෙයි කියලා.” කොහොම නමුත් මහජනතාව අපි කියපු දෙය පිළිගත්තේ නැහැ. මහජනතාව තුනෙන් දෙකක බලයක් 2020 පත්වූ ආණ්ඩුවට ලබාදුන්නා.
කොහොම නමුත් ඔවුන් බලයට පත්වෙලා අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගත වන විට අපි තීරණය කරනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අවස්ථාවේ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු නියෝජනය කළ යුතුයි කියලා. කොහොම නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවට යන්නේ එතුමාට පාර්ලිමේන්තුවේ ආසනයක් ලබාගැනීමට තිබෙන උවමනාව නිසා නෙමෙයි. එතුමා කල්තියාම දකිනවා මේ ආණ්ඩුව ගමන් කරන්නේ කොහෙටද කියලා.
ඉතින් මේ අවස්ථාවේ එතුමා පාර්ලිමේන්තු යාම සඳහා සියලු කටයුතු සූදානම් වෙද්දී පැවැති මාධ්‍යහමුවක දී කේසර වගේම මාධ්‍යවේදීන් මගෙන් අහනවා ඔබතුමන්ලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාව පාර්ලිමේන්තු යවන්නේ විපක්ෂ නායක කරන්නද කියලා? විපක්ෂ නායක සජිත්ව බය කරන්නද කියලා?
මම ඒ අවස්ථාවේ හරි පැහැදිලි උත්තරයක් දෙනවා... ''නෑ.. නෑ.. අපි එතුමාව අරන් යන්නේ විපක්ෂ නායක කරන්න නෙමෙයි. අපි එතුමාව අරන් යන්නේ වැටෙන රට ගොඩගන්න මුළු මහත් පාර්ලිමේන්තුවම ඒකරාශි කරගෙන අගමැති කරලා ජනාධිපති කරන්න කියලා. අපි පැහැදිලිවම එහෙම කිව්වේ අපේ පක්ෂයට නිසි ආර්ථික දැක්මක් තිබුණා. ඒ දැක්ම තමයි අපි අපේ ප්‍රතිපත්තිය හරහා ඉදිරිපත් කළේ.''
වෙනස් නොකළ යුතු රනිල් ගේ මාවත
ඉතින් දැන් ඔබ අහපු කාරණය පැත්තට ආපහු ආවොත් අපි දැනුත් කියනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගිය පාර වෙනස් කරන්න එපා කියලා. ඒ පාර වෙනස් කළොත් මේ රටේ ජනතාව නැවත මහා ව්‍යසනයකට ගොදුර වෙනවා කියලා. ඉතින් ඔබතුමා අද අහපු ප්‍රශ්නයත් ඒ ප්‍රශ්නයට එදා ලැබුණු පිළිතුරත් අදට වලංගුයි කියලා මම ප්‍රකාශ කරනවා.”
මේ ආකාරයට මේ වනවිට බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වන කරුණු කාරණා රාශියකට උත්තර වජිර විසින් මෙම සාකච්ඡාවේදී පවසා තිබෙනවා.
එසේම මාධ්‍ය සාකච්ඡාව අවසන් වී එය එම ගුවන් විදුලියේ යුටියුබ් නාලිකාව හරහා විකාශය වීමෙන් අනතුරුව වජිර විසින් තමාගේ ෆේස්බුක් ගිනුමෙහි ද එම වැඩසටහන උඩුගත කර තිබෙනවා.
රටේ ජනතාවගේ කුතුහලයට භාජනය වන ප්‍රශ්න ම අන්තර්ගත වී තිබුණු නිසාම ග්‍රාහකයින් බොහෝ දෙනෙක් වජිරගේ ෆේස්බුක් පිටුව හරහා ද එම වැඩසටහන නරඹා තිබුණා.
එසේම සති අන්තයේ ගාල්ල උළුවිටික කාර්යාලයේ වජිර මුණගැසීමට පැමිණි ගාල්ල දිස්ත්‍රික්කයේ එජාප ක්‍රියාකාරීන් බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් වජිර සමග කතාබහ කර තිබු අතර ඔවුන් සැවොම වජිරට පවසා තිබුණේ
“ සර් අපි සර් සහභාගී වුණු වැඩසටහන නැරඹුවා. ඇත්තටම සර් සුපිරි වැඩසටහනක් ඒකනම්. නිදාගෙන හිටපු යු.එන්.පී කාරයෝ ඇහැරවන්න හොඳම අවස්ථාවක් ඔබතුමා භාවිතා කර තිබෙනවා,” යනුවෙනි.

