"රුක්මණී දේවි රඟහල " යැයි තවමත් නම්කරගත නොහැකිව දශක ගණනාවක් තිස්සේ දඟලන, වැලපෙන " එල්ෆීන්ස්ටන් රඟහලේ " දී ඩෙනිස් පෙරේරා ගේ "නේරංජනා" නාට්‍ය නැරඹුවෙමි.
එඩ්වර් ඇල්බී ගේ 'THE GOAT - OR WHO IS SYLVIA' හී ආභාෂයෙන් නිමැවුණ ඩෙනිස් පෙරේරා විසින් සිංහල වේදිකාව මතට මුදාහැරි නේරංජනා නම් වූ නාට්‍ය පැය එකහමාරකට වැඩි කාලයක් පරිත්‍යාග කරමින් නැරඹූ අතර ඊට අප වෙත ලැබුන බුද්ධිමය දායාදය සහ අවබෝධය කෙතරම් ද යන්න කෙටියෙන් හෝ විමසා බැලීම තරමක් වටිනු ඇතැයි සිතේ.

මිදීමට නොහැකි තත්ත්වයක්…
නාට්‍ය පිළිබඳව කිසියම් පූර්ව ප්‍රචාරණයක් ලබාදී තිබූ අතර එහි දී ප්‍රවේශපත්‍ර ගාස්තුව නොදන්වා සිටීම වරදක් යැයි සිතේ. එය සිතාමතාම කළ වැඩක් වගත් හැඟේ.
රුපියල් - 1500 / =
රුපියල් - 2000 / =
රුපියල් - 3000 / =
ප්‍රවේශපත්‍ර ගාස්තු අතරේ යම් සහනදායී මිලකට සැබෑ ප්‍රේක්ෂකයාටත් ඉඩහසර සැලසුවේ වී නම් තවත් ආසන ප්‍රමාණයකට යම් පිරිසක් කැඳවාගැනීමට ඉඩ තිබිණි. එවැනි අයගෙන් පිරි ප්‍රේක්ෂකගාරයක් මෙවැනි වැඩක දී අත්‍යවශ්‍ය වෙයි. කෙසේවෙතත් බොහෝවිට දකින මුහුණු බහුතරයකින් හෙබි මෙම ප්‍රේක්ෂකාගාරයේ: නොමිලේ නැරඹීම්, හිතමිතුරු ආරාධනා, බළකඳවුරු නිර්මාපකයින්, වොයිස්කට් සමාජය යනාදි පිරිස් ගැවසුණ බව දැනුණා. එදා සිට ම අද දක්වා මේ වර්ගයේ නාට්‍යවලට මේ තත්වයෙන් මිදීමට නොහැකිවීම විමසා බැලිය යුත්තක්.
මීට දශක 3කට පමණ පෙර දිනෙක බුද්ධික දමයන්ත නම් මගේ ආදරණීය මිත්‍රයා මා අත ඔහු ගේ කහතුඩුව නිවසේ දී නාට්‍ය පිටපතක් තැබුවා. බුද්ධිකගේ ම නාට්‍යවලින් නේරංජනාව තරණය කළ නළු - නිළි පිරිසක් එදාත් එම නිවසේ සිටියා මතකයි. අද ඔවුන් පොරවල්; බුද්ධිකය ගේ ගෙවල්ගානේ යනවද දන්නේ නෑ. ඒක වෙනම කතාවක්. හැබැයි ඒවත් මේවට අදාළයි. ඒ "අපි ඔක්කොම නාට්‍යකාරයෝ" මල්ලී අර්ථයෙන්.
පාදඩයා ගේ උපත
එදා ඔහු මා අත තැබූයේ එඩ්වර්ඩ් ඇල්බී ගේ THE ZOO STORY නොහොත් පාදඩයා පිටපත යි.
''මචං මොහාන්, මේක හොඳ පිටපතක්… මේකෙන් උඹට හොඳ නාට්‍යයක් කරන්න පුළුවන්… මේක කියවපං; නාට්‍ය කරපං, මමත් උදව් කරන්නං.''
මම පිටපත් ගත්තා; ගෙදර ආවා; එක හුස්මට කියෙව්වා. වැඩේ මරු. මට රූප නිර්මාණය වුණා. මනසේ නාට්‍යක් හැදුණා.
දිනක් බුද්ධිකයා හමු වඅණා.
''උඹ කියෙව්ව ද…?''
''ඔව්…''
''මේ... මම ඕකට මාරම කැමතියි… චරිත දෙකෙන් එකකට මාව තියපං…''
කලයක් ගියා... මම වැඩේ කරන පාටක් නෑ.
තවත් දවසක බුද්ධිකයා හමු වුණා.
''යකෝ වැඩේ පරක්කුයි… කල්දාන්න බෑ… සල්ලි ටිකක් හොයාගෙන මම ම වැඩේ කරනවා. පිටපත අරං වරෙං''
පස්සේ පිටපත නැවත දුන්නා. මෙන්න යකූ වැඩේ… "පාදඩයා " නාට්‍ය එළියට ආවා. වැඩේ ලස්සනයි. හැබැයි රඟපෑවේ අප මිත්‍ර ජයලාල් රෝහණ සහ නිශාන්තයි, බුද්ධිකයා ගේ මහන්සිය එතැන තිබුණා. ජයලාල් හැමදාම මාව ඇමතුවේ "අපේ මොහාන් " කියලයි. ඒ එයාට මාව දැනෙන විදිහ. වැඩේ සම්මාන ලාභී වැඩක් වුණා.
එක නොකරපු මට දෙකත්…
ඊට පස්සේ බුද්ධිකයා තවත් පිටපතක් මගේ අතේ තැබුවා. එක නොකරපු මට දෙකත් දුන්නා... ඒ, එඩ්වර්ඩ් ඇල්බි ගේ THE SAND BOX (වැලි පෙට්ටිය) පිටපත. තවම පිටපත මගේ ළඟ. ආපහු ඉල්ලවෙත් නෑ; මම දුන්නෙත් නෑ; තව ම නාට්‍යකුත් නෑ. මාර වැඩේ. කාට කියන්න ද…
ඇල්බී සමාජ පලිහක් ද…?
Edward Albee
මේ අතීත මතක ඔස්සේ තමයි " නේරංජනා " බැලුවේ. ඩෙනිස්ගේ උත්සාහය අගයනවා, හැබැයි ඉතිං මට නාට්‍ය උස්සලා පොළොවේ ගහන ඒවා ඔළුවට ආවා. මේවා ඇල්බි ගේ නිකම්මං නිකං පිටපත් නෙවෙයි. ඔහු රුසියානු විප්ලවයට පසු ඉපදුණ, දෙවන ලෝක යුද සමයේ තරුණයෙක්ව විසූ ඇමරිකානුවෙක්. ඔහු සියලු ලෝක ප්‍රවණතා මත හිඳිමින් ඇමරිකානු සමාජ සහ දේශපාලන තත්ත්ව හී මිනිස් සබඳතා පිළිබඳව පවුල සහ මානව ගැටුම පිළිබඳව නිර්මාණකරණය කල අයෙක්. විටෙක ඔහු මිනිස් සබඳතා සහ සත්ව සබඳතා පටලවමින් ජීවිතය විග්‍රහ කළ නිර්මාණශිල්පියෙක්, මිනිසා තිරිසනාව තරණය කරන බව හඟවමින් නිර්මාණ කළ අයෙක්.
ඩෙනිස් පෙරේරා
ඩෙනිස් බඳු කෙනෙක් මීට දශක කිහිපයකට පෙර වූ සමාජ සංදර්භ විග්‍රහ කළ නිර්මාණයක් මතින් එහි අක්මුල් වෙනස් වෙමින් පවතින මෙවැනි සමාජයක් මතට එවැනි නිර්මාණ මුදාහැරීම කෙතරම් කාලෝචිත ද යන්න ගැටලුසහගතයි. ඇල්බී හරහා පතිත කරන මේ නේරංජාවෙහි ඇති සමාජ ක්‍රමවේද නව නිර්මාණ හරහා වඩාත් හොඳින් නිර්මාණය කිරීමට අවස්ථාව තිබිය දී, ඇල්බී ගේ ඇඟේ එල්ලීම කුමන අර්ථයෙන් සිදුකරන්නේ ද යන්න විමසිය යුතුයි. ඇත්තටම ඇල්බී සමාජ පලිහක් ද…?
වර්තමාන සමාජය හිස්…?
ඩෙනිස්ට ඔහුගේ අත්දැකීම් සහ සමාජ සන්නිවේදන හරහා ලාංකීය ප්‍රේක්ෂකගාරයට දැනෙන පිටපතක් නිර්මාණය කරගැනීමට නොහැක්කේ ද, ඒ සඳහා ඔවුනගේ මිතුරු කවයේ හෝ අයෙක් නොමැති ද, එදා මාරාන්තික කාලයක ධර්මසිරිට "ධවල භීෂණ" කිරීමට හේතු තිබිණි. එකී පිටපත් (බර්ටෝල් බ්‍රෙච්)වලින් ඔහු තම අපේක්ෂා මුදුන්පත් කරගත් අතර ආරක්ෂාවක් ද අත්පත්කර ගත්තා. නමුත් දැන් ඇත්තේ හිස් වූ සමාජයක්. ඇත්තටම පුස්සන් විවිධ ක්ෂේත්‍රවල පිනුම් ගසන කාලයක්. නාට්‍ය, සිනමාව, සාහිත්‍ය, සංගීතය ආදී සියල්ල ඩොලර් සහ රුපියල් මත සතපවන කාලයක්. එහෙව් කලෙක මේ ව්‍යවසන දැනෙන, හැඟෙන නිර්මාණ ශිල්පියෙකුට ස්වයං නිර්මාණ පිටපතක් මගින් නිර්මාණයක් ගොඩදාගත නොහැකි ද…? ඇත්තටම ඔවුන් සිරවී සිටින්නේ කොතැන ද…? නොඑසේ නම් ඔවුන් ආසක්ත කරන මේ කුඩා කවවල මුදුනන් වීම පිණිස මෙකී නිර්මාණ සිදු කරන්නේ ද…? තම මිතුරු සමාජ හොල්මන් කිරීමට මෙම නිර්මාණ කරන්නේ ද…?
වම්මු ධනවාදය කර ගසාගෙන යෑම
මේ නාට්‍ය නිර්මාණ හරහා සියල්ලට ම පෙර ඩෙනිස්ව කියවාගත යුතුයි. ඔහුගේ මේ තේරීම ඔහු කුමන තලයක සිට සිදුකරන්නේ ද යන්න විග්‍රහකරගත යුතුයි. ඔහු ගේ සැනසීම වෙනුවෙන් මෙවැනි නිර්මාණ කළාට කම් නැත. එහෙත් සමාජය වෙත නිර්මාණ මුදාහැරීමේ දී නිර්මාණකරුවා වරක් දෙවරක් නොව කිහිපවරක්ම සිතා බැලිය යුතුයි. ඒ, ඔහුට සමාජය සමග පවතින අයිතීන් සරල නොවන බැවිනි, එසේ නොවුනහොත් වම්මු ධනවාදී ආර්ථිකය කරගහගෙන යනවිට දකින අපුල මෙවැනි නාට්‍ය තුළින් ද දැකිය හැකි වෙනවා.
අද ඩෙනිස් ගේ සහ මගේ ආර්ථික බැඳීම
ටිකට් එක - රු 3000 / =
ගමන් ගාස්තු (තෙල් සඳහා ) - රු 5000 / =
අමතර වියදම් හැර දළ වියදම රු 8000 / = යි,
සමාජ බැඳීම

මට අනුව - ඔළුවට එන්නෙම නෑ,
ඩෙනිස්… පුළුවන්නම් හොඳ පිටපතකින් මේ සමාජෙට දැනෙන නාට්‍යයක් කරන්න. නැතිනම් දිගටම මේ වගේ ඒවා කරන්න. ඒකත් ඔයාගෙ අයිතියක්.
එකක් කිවයුතුයි - මේවා COMEDY නෙවෙයි. සෙට්එකේ එක රාක්කෙක OSCAR එකක් තිබුණා හොඳ වෙලාවට ඒක පොළවේ ගැහුවේ නෑ. ගැහුවනම් FULL COMEDY වෙනවා. මේවා හරි සීරියස් වැඩ. මේවාට කොමඩි කියලා පබ්ලිසිටි දෙන්නවත්, වඩාත් සුදුසු වැඩිහිටියන්ටයි කියන එක වැඩිහිටියන්ට ම පමණයි කියලවත් පබ්ලිසිටිදෙන්න එපා. ඒවා ඇතුළෙ තියෙන්නේ වෙනම - P R O P A GA N D A - එකක්. MOBILE PHONE OFF කරගෙන එක හුස්මට බලන්න පුළුවන් නාට්‍යක් කරන්න. ඔයාට ඒ හැකියාව තියෙනවා කියලා විශ්වාස කරනවා. ඔයාට ජය…!
මොහාන් හෙට්ටිආරච්වි
(උපුටා ගත්තේ Mohan Hettiarachchi ගේ face book පිටුවෙන්)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
