Image

චමින්ද කුලරත්නගෙන් ජාත්‍යන්තර සමුළුවකට පාර්ලිමේන්තු පර්යේෂණ පත්‍රිකාවක්!

චමින්ද කුලරත්නගෙන් ජාත්‍යන්තර සමුළුවකට පාර්ලිමේන්තු පර්යේෂණ පත්‍රිකාවක්!

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් වශයෙන් සේවය කල ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද කුලරත්න, ඔක්තෝබර් 6 සහ 7 යන දිනවල මෙක්සිකෝ නගරයේ පැවති UNAM–IPSA RC08 ජාත්‍යන්තර වැඩමුළුවට සහභාගි වෙමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ නීති සම්පාදන ක්‍රියාවලිය පිළිබඳ පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

“දක්ෂිණ ගෝලීය රටවල පාර්ලිමේන්තු: අභියෝග සහ පරිවර්තනයන්” (Parliaments in the Global South: Challenges and Transformations) යන තේමාව යටතේ සංවිධානය කර තිබු මෙම මෙම ජාත්‍යන්තර වැඩමුළුවට රටවල් 36ක් නියෝජනය කරමින් විද්වතුන් සහ පර්යේෂකයන් 100කට අධික පිරිසක් ඊට සහභාගි වූහ.

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විද්වතුන් සහ පාර්ලිමේන්තු පර්යේෂකයන් සමඟ සිය පර්යේෂණය ඉදිරිපත් කිරීම සඳහා ජාත්‍යන්තර දේශපාලන විද්‍යාර්ථයින්ගේ සංගමයේ (IPSA) ආරාධනය මත ලතින් ඇමරිකාවේ විශාලතම විශ්වවිද්‍යාල අතරින් එකක් වන මෙක්සිකෝ ජාතික විශ්ව විද්‍යාලයේ (UNAM) පැවති මෙම වැඩමුළුවට චමින්ද කුලරත්න සහභාගී වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි පර්යේෂකයකු වශයෙනි.

“විධායකයේ ආධිපත්‍යය සහ ව්‍යවස්ථාදායක සීමාවන්: ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු නීති සම්පාදනයේ පරිවර්තනය” (Executive Dominance and Legislative Constraints: The Transformation of Parliamentary Law-Making in Sri Lanka) යන මැයෙන් වූ ඔහුගේ පර්යේෂණ පත්‍රිකාව, ඔක්තෝබර් 6 වැනිදා පැවති “නියෝජනය සහ විධායක බලය” යන සැසියේදී ඉදිරිපත් කෙරිණි. පාර්ලිමේන්තු නීති සම්පාදන ක්‍රියාවලිය කෙරෙහි විධායකයේ බලපෑම, ව්‍යවස්ථාදායකයේ ස්වාධීනත්වයට පවතින ආයතනික සීමාවන් සහ පාර්ලිමේන්තු වගවීම ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව එම පර්යේෂණය මඟින් විමර්ශනය කෙරිණි.

එමෙන්ම ඔහු මෙම වැඩමුළුවේ ආරාධිත දේශකයෙකු වශයෙන් සහභාගි වූ අතර, ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙනසි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉරීනා ක්මෙල්කෝ (Irina Khmelko), එක්සත් රාජධානියේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එමා කෘ (Emma Crewe) සහ මෙක්සිකෝවේ UNAM විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කෙම්වීර්ග් පුවෙන්ටේ මාර්ටිනෙස් (Khemvirg Puente Martínez) යන ජාත්‍යන්තර විද්වතුන් මේ අවස්ථාවට එක්විය.

මෙහිදී ලොව ප්‍රමුඛතම දේශපාලන විද්‍යාර්ථයින්ගේ සංගමයේ​(IPSA) සාමාජිකත්වය චමින්ද කුලරත්න වෙත පිරිනැමීමද විශේෂත්වයක් විය.

 

මෙක්සිකෝ පාර්ලිමේන්තුවේදී විශේෂ පිළිගැනීමක්…

චමින්ද  කුලරත්නගේ මෙක්සිකෝ සංචාරයේ සුවිශේෂී අවස්ථාවක් වූයේ ලතින් ඇමරිකානු ප්‍රධාන ව්‍යවස්ථාදායක ආයතනයක් වන මෙක්සිකෝ කොංග්‍රසයේ මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව යන මණ්ඩල දෙකෙහිම සිදු කළ නිල හමුවීම්ය.

ඔක්තෝබර් 7 වැනිදා මෙක්සිකෝ කොංග්‍රසයේ දෙවන මණ්ඩලයේ (Chamber of Deputies) සංචාරයක නිරත වූ කුලරත්න, මෙක්සිකෝ කොංග්‍රසයේ නියෝජ්‍ය නායක අල්ෆොන්සෝ රමිරෙස් (Alfonso Ramírez) සහ එහි මහ ලේකම් හියුගෝ රෝසාස් (Hugo Rosas) ඇතුළු ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු නියෝජිතයන් සහ නිලධාරීන් හමුවිය.

මෙම සංචාරයේදී කුලරත්න මහතා ඇතුළු ජාත්‍යන්තර විද්වත් නියෝජිත පිරිසට මෙක්සිකෝ පාර්ලිමේන්තුවෙන් විශේෂ පිළිගැනීමක් හිමිවිය. පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වෙමින් තිබියදී නියෝජිත පිරිස සභා ගර්භයට කැඳවා, මෙක්සිකෝ කොංග්‍රසයේ සභාපතිවරයා විසින් සභාව තුළදී නිල වශයෙන් ඔවුන්ගේ පිළිගෙන ඔවුන්ගේ පැමිණීම අගය කරනු ලැබීය.

එමෙන්ම, මෙක්සිකෝ කොංග්‍රසයේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයන් හමුවී නීති සම්පාදන ක්‍රියාවලිය, පාර්ලිමේන්තු පරිපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට ද අවස්ථාව සැලසිණි.

විදේශීය රටකදී පාර්ලිමේන්තු සභාවාරයක් අතරතුර පාර්ලිමේන්තු සභා ගර්භය තුළට කැඳවා මෙවැනි නිල පිළිගැනීමක් ලැබීම ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් තමන් ලැබූ සුවිශේෂී අවස්ථාවක් බව කුලරත්න newstube සමඟ සඳහන් කළේය.

WhatsApp Image 2026 10 10 at 11.48.30 AM

WhatsApp Image 2026 10 10 at 11.48.AM

WhatsApp Image 2026 10 10 at 11.48. AM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න