හරිත පත්‍රිකාව සහ වසර 20ක ඉලක්කය
රනිල් හෘද සැත්කමෙන් පසු පළමු වෛද්‍ය පරීක්ෂණය සඳහා අඟහරුවාදා අළුයම සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. රනිල් එලෙස පිටත්ව යාමට පෙර කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවීය. පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබූ හරිත පත්‍රිකාව ගැන පාක්ෂිකයන් මෙන්ම ජනතාව දැනුවත් කිරීම ගැන එහිදී රනිල් දීර්ඝ විස්තරයක් කළේය. එම හරිත පත්‍රිකාව සකස් කර තිබෙන්නේ වසර විස්සක ඉලක්කයක් සහිතවයි. ථෙරවාදී සමාජ ප්‍රජාතන්ත්‍ර ආර්ථික ක්‍රමයක් එම හරිත පත්‍රිකාවෙන් යෝජනා කර තිබේ.

සභාපති වජිර එහිදී කීවේ එම හරිත පත්‍රිකාව මේ වන විට සියලු පක්ෂ වලට යවා තිබෙන බවයි. මේ වන විටත් බොහෝ පක්ෂ ඊට ප්‍රතිචාර දක්වා එවා තිබෙන අතර ඇතැම් පක්ෂ යෝජනා ද ඉදිරිපත් කර තිබෙන බව වජිර දැනුම් දුන්නේය.
"එය ප්‍රමාණවත් නැහැ අපේ අය කණ්ඩායම් ලෙස බෙදා එම පක්ෂ හමුවීමට යන්න. එතනින් නොනැවතී බහුජන සංවිධාන වගේම ආගමික නායකයන්ට හරිත පත්‍රිකාව යොමු කරන්න" රනිල් උපදෙස් දුන්නේය.ඒ අනුව හරිත පත්‍රිකාව ඉදිරියේදී පෞද්ගලික විශ්ව විද්‍යාල වල ශිෂ්‍යයන්ට ගමේ නායක හාමුදුරුවන් මෙන්ම නිකාය ලේඛකාධිකාරීන් වහන්සේලාට යොමු කිරීමට නියමිතව තිබේ.
ශැන්ග්‍රිලා මංගල්‍යයේදී හකීම්, තිස්ස සහ රනිල් අතර කතාබහක්
සිංගප්පූරුවට පිටත්ව යාමට පෙර රනිල් සුවිශේෂී විවාහ මංගල්‍යයක් සඳහා ගියේය.එම විවාහ මංගල්‍ය තිබුණේ ශ්‍රැංගිලා හෝටලයේදීය. ඒ ජපානයෙන් මෙරටට වාහන ආනයනය කරන ප්‍රකට ව්‍යාපාරිකයකු වන මොහාන් දාස් මහතාගේ පුත්‍රයාගේ විවාහ මගුලයි. එහිදී රනිල් සහ හකීම් අතර සුවිශේෂී හමුවක් සිදුවිය.ඒ දෙදෙනාටම අසුන් පනවා තිබුණේ එකම මේසයකයි.සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායකත් එහි සිටියේය.එමෙන්ම තවත් ප්‍රකට සත්ව නිෂ්පාදක ව්‍යාපාරිකයෙක් ද එහි සිටියේය.
රවුෆ් හකීම්ටත් රනිල් සමග මෙලෙස විවේකයෙන් කතා කිරීමට ඉඩ ලැබුණේ බොහෝ කලකට පසුවයි.
ඉරාන නැව් ප්‍රශ්නය සහ ආණ්ඩුවේ රාජ්‍යතාන්ත්‍රික දුර්වලතාවය
ඉරාන නැව් වලට ඇමෙරිකා බලපෑම මත කෑම වතුර දීම නතර කිරීම අමානුෂික කාරණයක් බව තිස්ස එහිදී කීය. ඊට පිළිතුරු දෙමින් තම රාජ තාන්ත්‍රික දැනුමින් අදහස් පළ කළ රනිල් පැවසූයේ ආණ්ඩුව මේ කාරණයේදී වරද්දාගෙන තිබෙන බවයි.
"ඔය නැව් වලට කෑම වතුර විකුණන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. ආණ්ඩුව මේකට මැදිහත් වෙන්නේ නැතුව ඒ අයට කරගන්න ඉඩ දුන්නා නම් මේ වගේ ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ.ඒ වගේම කොළඹ ආරක්ෂක සමුළුවට සම්බන්ධ රටවල් ඉන්නවා. එහි සාමාජික රටවල් කැඳවා මේ ගැන අහන්න තිබුණා. මේ වගේ රාජ්‍යතාන්ත්‍රික වැඩ කරනකොට තනියම කරලා හරියන්නෙ නෑ. හැමෝම සහභාගී කරගන්න ඕන. ඔක්කොම පටලවගෙන ගැට ගහගෙන තමයි මේ ගමන යන්න ඕන.මේ වගේ කාරණා වලදී හුදෙකලා ගමනක් යන්න පුළුවන් කමක් නෑ. ආණ්ඩුවේ දුර්වලතාවය නිසා තමයි මේක දැන් අර්බුදයක් බවට පත්වෙලා තියෙන්නේ." රනිල් එලෙස විස්තරයක් කළේය.
එහිදී රවුෆ් හකීම් රජයේ ක්‍රියා කලාපය විවේචනය කරමින් ආවේගාත්මකව කතා කළේය.
"හදවතක් තියෙන අයට මෙහෙම කෑම වතුර නොදී මඟ හරින්න පුළුවන්ද?" හකීම් ප්‍රශ්න කළේය.
එහිදී හකීම් තවත් කාරණයක් මතු කළේය.
රනිල්ගේ ආරක්ෂාව ඉවත් කිරීමේ සැලසුමක්

" සර් ගේ ආරක්ෂක නිලධාරියාට පහරදීම සම්බන්ධව අලුත්ම තත්ත්වය කුමක්දැයි හකීම් එහිදී ප්‍රශ්න කළේය.
" ඒ ගැන දැන් මට වාර්තා කිහිපයක් ලැබිලා තියෙන්නේ. එක වාර්තාවකින් කියවෙන්නේ කැමරා ශිල්පියා දාලා ආරක්ෂක නිලධාරියාට පහරක් එල්ල කළාම ඒ අයගේ අපේක්ෂාව වෙලා තියෙන්නේ මගේ අනෙක් ආරක්‍ෂකයන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමයි. ඒ ගැටුම මුල් කරගෙන මගේ ආරක්ෂාව ඉවත් කරන්න පුළුවන්. එහෙම අරමුණකින් මේ ප්‍රහාරය සැලසුම් කරලා තියෙනවා කියලා එක වාර්තාවකින් කියනවා. එහෙම ක්‍රියාදාමයකට ගියාද කියන එක ගැන අපේ පක්ෂයේ අවධානය යොමු වෙලා තියෙනවා." රනිල් ඒ කාරණය ගැන විස්තර කළේ එසේය.
ව්‍යාපාරිකයන්ගේ මැසිවිලි සහ වෘත්තීය සමිතිවල නිහඬතාව
"වර්තමානයේ වෘත්තීය සමිති ව්‍යාපාරයට පුදුම දෙයක් සිදුවී තිබෙනවා. ඒ කාලේ ජේ වී පී එකට සම්බන්ධ අය කෑ ගහනකොට අපේ අය නිශ්ශබ්දව සිටියා. අද එන්පිපී අය කෑ ගහන්නෙත් නෑ. අපේ අය කෑ ගහන්නෙත් නෑ. රවුෆ් හකීම් විමතිය පළ කරමින් පැවසීය.
සත්ව නිෂ්පාදන ව්‍යාපාරිකයා මෙහිදී පැවසූයේ තම නිෂ්පාදන වලට අවශ්‍ය ආහාර සපයා ගැනීම අසීරු කාරණයක් වී ඇති බවයි. ඔවුන්ගේ නිෂ්පාදන චීනයට යැවීම සඳහා සියල්ල සූදානම් කර තිබෙන බවත් එය ක්‍රියාත්මක කළා නම් චීන ජනගහනය අනුව අපේ රටට ලොකු විදේශ විනිමයක් ලබා ගැනීමට හැකියාව තිබූ බවත් ව්‍යාපාරිකයා මෙහිදී සඳහන් කළේය. සියල්ල සූදානම් කර තිබුණත් ආණ්ඩුවේ ඒ ගැන අවධානයක් නැතැයිද ව්‍යාපාරිකයා සඳහන් කළේය. ඊට රනිල් කට ගොනකින් සිනාසුනා මිස කිසිවක් කීවේ නැත. ජපානයෙන් වාහන ගෙන්වීමේ ගැටලු පිළිබඳව ද ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ එහිදී අදහස් පළ කළහ.
" අපි එන්.පී.පී එකට උදව් කලා තමයි. ඒත් අද අපිට යන එන මං නැතිවෙලා" යනුවෙන් ව්‍යාපාරිකයන් කී කතාවට ද රනිල් කළේ සිනහවකින් පිළිතුරක් දීම පමණි.
ගලගොඩ අත්තේ හිමියන්ගේ සිවුර ගැලවීම ගැන UNPයේ ස්ථාවරය

රනිල් සිංගප්පූරුවට පිටත්ව යාමෙන් පසු රටේ දේශපාලන වාතාවරණය පිළිබඳව දළ තොරතුරු වාර්තාවක් දිනපතාම හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් චින්තක කරුණාරත්න දුරකථනය ඔස්සේ ලබා දුන්නේය.එමෙන්ම ගලගොඩ අත්තේ හිමියන් ගැන පක්ෂ ස්ථාවරය පැහැදිලි කළ යුතු ආකාරය පිළිබඳ හඬ පටයක් එහි සිට රනිල්- දිනිත් චින්තකට එවීය. ඒ අනුසාරයෙන් වූ ප්‍රකාශනය වජිර ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක දී ප්‍රකාශයට පත් කළේය.
"විනය පිටකයට අනුව සංඝයා වහන්සේගේ සිවුරු ගලවන්න පුළුවන් අදාළ නිකායට පමණයි.
අධිකරණයේ තීන්දුව අනුව නැවත උන්වහන්සේ බන්ධනාගාර ගත කල අවස්ථාවේ අධිකරණ අමාත්‍යාංශය මහනායක හිමිවරුන්ගේ අදහස් ලබා ගත යුතුව තිබුණා. ඉන් අනතුරුවයි තීරණය කළ යුත්තේ කරන්නේ කුමක්ද කියා.
මේ තීරණය මගින් බුද්ධාගමයි, ආගමික නිදහසයි දෙකම අභියෝගයට ලක්වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය සහ 10 වැනි වගන්ති උල්ලංඝණය කරලා.
මෙහිදී සාමාන්‍ය නඩු කටයුත්තක් ලෙස ක්‍රියා කළ නොහැකියි. මෙය රටේ මහනායක හිමිවරුන් විසින් කළ ඉල්ලීමක්. ආණ්ඩුවට මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුව සමග සාකච්ඡා කර වෙනත් ආකාරයකින් විසඳීමට පවා ඉඩකඩ තිබුණා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණි පසු මේ කරුණ සම්බන්ධයෙන් නීතිමය පසුබිමද ඇතුළත්ව සවිස්තර ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වෙනවා" යනුවෙන් වජිර එහිදී ප්‍රකාශ කළේය.
ජී.එල්.ගේ නිවසේ හමුව සහ විපක්ෂයේ විවේචන
ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අතර හමුව සුපුරුදු පරිදි ජී.එල් ගේ නිවසේදී පැවැත්විණි.
ඉන්දියන් සාගරයේ තිබෙන ඉරාන නැව් පිළිබඳ ප්‍රශ්නයනය ගැනද එහිදී සාකච්ඡාවට බඳුන් විය.
" දැන් ඒගොල්ලන්ට කෑම නෑ, වතුර නෑ.
ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා කෑම වතුර සපයා දෙන්නැයි ඔවුන් ඉල්ලුවා.
රජයේ ස්ථාවරය වෙලා තියෙන්නේ" ඒක අපිට කරන්න බෑ. ඒ නැව් ප්‍රාථමික සම්බාධක වලට ලක්වෙලා තියෙන්නේ. ඒ නැව් වලට උදව් කරන ද්විතීයික සම්බාධක වලට ලක් වෙනවා " කියලා තමයි ආණ්ඩුව කියන්නේ. ජී.එල් පැහැදිලි කළේය.
හැබැයි මේ සම්බාධක මේ ජාත්‍යන්තර නීතියට පටහැනියි. ගිය අවුරුද්දේ එක්සත් ජාතීන්ගේ මහා සභාවේ තුන්වෙනි කමිටුවේ දී ශ්‍රී ලංකාවත් ඒ තත්ත්වය පිළිගත්තා.මේ සියල්ලක්ම වෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියේ දුර්වලතාවය නිසා. බ්‍රික්ස්(BRICS) සංවිධානයට අපිට යන්න අවස්ථාව තිබුණා නම් අපි හඬක් නගන්නේ තනි රටක් හැටියට නෙවෙයි. රටවල් සමූහයක එක සාමාජිකයෙක් හැටියට. බ්‍රික්ස් (BRICS) චීනය, ඉන්දියාව, රුසියාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව - ඒ ඔක්කොම රටවල්. ඒගොල්ලෝ රැස් වුණා.ඉන්දියාවේ ජී.එල් ඒ ගැන විස්තරයක් කළේය.
ආණ්ඩුව සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන බව කිව්වත් රන්මල් කොඩිතුවක්කුගේ සිද්ධියෙන් එය එසේ නොවන බව පැහැදිලි වන්නේ යැයි මෙහිදී කතා බහට ලක්විය.
"පොලිස්පතිතුමාගේ නිර්දේශය ඒකමතිකව ජාතික පොලිස් කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කළා. ඉතින් ඒකෙන්ම පේනවා මේකට පක්ෂ දේශපාලන මුහුණුවරක් තියෙනවා කියලා. රජයට හිතවත් අය රැකීම, අවංකව තමන්ගේ රාජකාරි ඉෂ්ට කරන පොලිස් නිලධාරීන්ට විරුද්ධව පියවර ගැනීම දකින්න තියෙනවා." ජී.එල් පැවසීය.
සෞදියේ මරණ දඬුවමට ලක් වූ අනෝජන් ශිවරාසා බේරා ගැනීමේ වෑයමේදී විපක්ෂයේ නායකයෙක් ක්‍රියා කළ රාජ්‍ය තාන්ත්‍රික නොවන ආකාරය ගැනද මෙම හමුවේදී කතා බහට ලක් විය.
" මේක කවුරුත් එකමුතුව රාජතාන්ත්‍රිකව කරන්න ඕන වැඩක්. සවුදි අරාබියාවේ බන්ධනාගාරයේ පාලකයාට කතා කරන්න හැදුවා. ඊට පස්සේ රැඳවියාටත් කතා කරන්න හැදුවා. ඒ පබ්ලිසිටි ගන්න. ඒකෙන් වෙන්නේ අරගොල්ලන්ගේ ආකල්පය වඩා තද වෙනවා" විපක්ෂයේ එක් නායකයෙක් ක්‍රියා කළ ආකාරය ගැන බොහෝ දෙනා දැඩි විවේචනයට ලක් කළේ එසේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ ප්‍රධානියා වන Marc-André Franche සහ සජිත් අතර හමුවක විනාඩි 41ක හඬ පටයක් සජිත් ගේ පාර්ශවයෙන් නිදහස් කිරීම පිළිබඳව විදෙස් පාර්ශ්වයෙන් රාජතාන්තික වශයෙන් දැඩි අප්‍රසාදයක් මතු වී ඇත.
" මේ සාකච්ඡාව රෙකෝඩ් කළා විතරක් නෙවෙයි මුළු Word to word රිලීස් කළා. විනාඩි 41 ක්. ඒ කියන්නේ කිසිම රහස්‍යභාවයක් රැකලා නැහැ.ඒකෙන් පේන්නේ මොහුට රාජතාන්තිකව කටයුතු කරන්න දැනුමක් නැහැ කියන එක. ඒකේ හානිය අන්තිමට කාටද? අපේ රටට" එම සිද්ධිය විපක්ෂයේ බොහෝ දෙනාගේ විවේචනයට ලක් වූයේ එසේය.
ජී.එල් ලංකාවේ නීති සහ නීති පද්ධති පිළිබඳව රචනා කළ ග්‍රන්ථ දහයක කර්තෘ භාග (Royalties) මුදල් යොදවමින් නීති සිසුන්ට නීති පර්යේෂණ ආදියට සහාය වීම සඳහා "මහාචාර්ය ජී.එල්. පීරිස් නීති අධ්‍යාපන සහ පර්යේෂණ භාරය" පිහිටුවීම කොළඹ විශ්වවිද්‍යාලයේ සෙනෙට් මන්දිරයේ දී සිදු කෙරිණු අවස්ථාවේ තවත් අපූරු දෙයක් නිවේදනය කෙරිණි.
මහාචාර්ය පීරිස් හිටපු උප කුලපතිවරයකු සහ නීති පීඨයේ පීඨාධිපතිවරයෙකු ලෙස නීති විද්‍යාවට ලෙස ඉටු කළ අනභි භවනීය සේවය ඇගයීම පිණිස අපරාධ නීතිය සඳහා වූ මහාචාර්ය ජී.එල්. පීරිස් රන් පදක්කම පිහිටුවීමට නීති පීඨය ගත් තීරණය පිළිබදව පීඨාධිපති මහාචාර්ය සම්පත් පුංචි හේවා මහතා මෙහිදී නිවේදනය කළේය.
මහාචාර්ය පීරිස් මහතාගේ මුත්තනුවන් වන ගේට් මුදලිදු එඩ්මන්ඩ් පීරිස් මහතා නීති ප්‍රථම විභාගයේදී (First Examination in Laws) දක්ෂතම දස්කම් දැක්වීම වෙනුවෙන් ත්‍යාගය පිරිනමා ඇති බවත් මුණුපුරා වන මහාචාර්ය පීරිස් ද ඒ ත්‍යාගය දිනාගත් බවත් මහාචාර්ය පුංචිහේවා සිහිපත් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
