මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගෙවුණේ අනුරාධපුර පින්බිමේ. ඒ කාලේ මගේ ජීවිතේ සුන්දර ම මතක ලියවුණේ බැංකු ටවුන්, මස් මඩුව, දහයියාගම හන්දි යේ වටපිටාව තුළ යි. මම නැවතිලා හිටියේ හරියට ම ආලංකුලම ඉස්සරහ තියන නෙල්සන් ලර්නස් එකේ උඩ තට්ටුවේ බෝඩිම් කාමරයක.
ඉතින් සමහර සවස් වරුවල පොතනේගමට ඇවිල්ලා, එදා කැම්පස් එකේදී මගේ හිත ගත්ත පෙම්වතියත් එක්ක, තිසා වැවේ බැම්ම දිගේ, ඉසුරුමුනිය හරහා උඩමළුවට යන ඒ ගමන අදටත් මට ජීවීතයේ ගෙවුන පුදුමාකාර කාල වකවානුවක්.
දරදඬු පාලකයෙක් සහ රහස් පිරිණු චරිතයක් දරා සිටි වෙස්මුහුණු කාරයෙක්
ලන්දේ සිට, වල් ඉගුරුට, කෝමලීට, සහ පෙරටුගාමී එකේ කෑ කෝ පප්ප වගේ මගේ කැම්පස් යාළුවන්ටත් ඒක හොඳට මතක ඇති. අපි සෙට් එකම සතියට හතර පාරක් විතර ඒ පාරේ ඇවිදින්න යනවා. එහෙම ගිහින් උඩමළුවට පය තියද්දී නුවර අපිට දැනෙන ඒ මානසික සැනසීම, නිස්කලංකකම වචනයෙන් විස්තර කරන්න බැරි තරම් පුදුමාකාරයි. ඒ පින්බිම ගැන අපේ හිත්වල තිබුණේ මාරම ආඩම්බරයක් මචන්. හැබැයි පෝය දවසට, උත්සව දවස්වලට ඒ මුළු පළාතම ආරක්ෂක බළකොටුවක් වගේ වෙනස් වෙනවා. අන්න ඒ වගේ කාලෙක, එදා ඇස් දෙකෙන් දැකපු සමහර කාරණා එක්ක හාමුදුරුනමක් නොව නීතී පිරුණු බලකොටුවක දරදඬු පාලකයෙක් සහ රහස් පිරිණු චරිතයක් දරා සිටි වෙස්මුහුණු කාරයෙක් වගේ දැකපු යම් හිමි නමක් නිසා, මට ඒ කාලේ ඉඳන්ම ලොකු කලකිරීමක් ඇති වුණා. අන්තිමේ දී ඒ සුන්දර මතක පිරුණු ගමන පවා මට එපා වෙලා ගියා. අද අනුරාධපුර අටමස්ථාන හේමරතන හිමියන් සම්බන්ධයෙන් ඇහෙන #මා අපයෝජන නඩු විස්තරයත් එක්ක එදා ඇතිවුණු ඒ කලකිරීම අද දරුණු වේදනාවක් බවට පත්වෙලා තියෙනවා.
වින්දිත පාර්ශ්වයට යුක්තිය ඉටු විය යුතු ම යි
පසුගියදා ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීති අධ්‍යක්ෂිකා නීතිඥ සංජීවනී අබේකෝන් මහත්මිය සිය ෆේස්බුක් ගිණුමෙහි තැබූ සටහනකින් මුළු රටක ම අවධානය මේ දෙසට යොමු වුණා. එහි සඳහන් වූයේ අතිශය බැරෑරුම් තත්ත්වයකි. සැකකාර හිමිනම වෙනුවෙන් අධිකරණයේදී නීතිඥවරුන් 20 දෙනෙකු පමණ පෙනී සිටිද්දී, වින්දිත දැරියගේ මව වෙනුවෙන් පෙනී සිට ඇත්තේ එක් නීතිඥයෙකු පමණි. වඩාත්ම කනගාටුදායක කරුණ නම්, වින්දිත දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් කිසිදු බාහිර පාර්ශ්වයක් හෝ වෙනත් නීතිඥවරයෙකු පෙනී නොසිටීම යි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සැකකාර හිමිනම එළඹෙන 22 වන දා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස දැනටමත් නියෝග කර තිබෙනවා. උඩ බලාගෙන කෙල ගහගන්න බෑ තමා. ඒත් සමහර ප්‍රශණ අපි වෙනස් කර යුතුයි; සමහර ප්‍රශනවල යුක්තිය වෙනුවෙන් සමාජයේ සුළුතරය හෝ හඩ නැගිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. සමහර සංවේදී කාරණා වෙනුවෙන් නීතියේ සාධාරණත්වය උදෙසා බලා ඉන්නවා. දැනට අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවක් බැවින් මේ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වීමෙන් මා වැළකී සිටින එක හොදයි කියලා මට හිතෙනවා. එහෙත්, මෙම නඩුවේ අවසන් තීන්දුව ලැබෙන තෙක් ගරු අධිකරණය දෙස මුළු රටක් ම බලා සිටින්නේ වින්දිත පාර්ශ්වයට යුක්තිය ඉටු විය යුතු ම යි යන දැඩි ස්ථාවරයේ හිඳිමිනි.
සංඝරත්නයට බැණ වැදීමක් නොවේ
ඇත්තටම බුදුන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලෙත් දේවදත්ත වගේ චරිත ශාසනය ඇතුළෙන් ම විනාශ කරන්න හැදුවා. ඒ වගේ අසමජ්ජාති වැඩ ලෝකේ හැමදාම තිබුණ. ඒවා සම්පූර්ණයෙන්ම නතර කරන්න බැහැ. මේක බුද්ධාගමට විතරක් නෙවෙයි, ඉස්ලාම්, හින්දු, ක්‍රිස්තියානි කියලා වෙනසක් නැතුව ලෝකේ හැම ආගමකම, හැම සමාජයකම නිහඩව රහසිගත විදිහට සිද්ධ වෙනවා. අපි ජාත්‍යන්තර ප්‍රවෘත්ති බලද්දී, විශේෂයෙන්ම ඇමරිකාවේ Epstein files වගේ දේවල් ගැන අධ්‍යයනය කරද්දී තේරෙනවා ලෝකේ ඉහළම තැන්වල ඉන්න බලවතුන්, පූජකයන් කොයි තරම් දරුණු ලෙස මෙවැනි ලිංගික අපරාධ පිටුපස ඉන්නවාද කියලා.
මගේ පුද්ගලික ජීවිතේ මට හමුවුණු, අදටත් මගේ ළඟින්ම ඉන්න ගොඩක් යාළුවෝ ඉන්නවා හරිම ගෞරවනීය හාමුදුරුවරු. ඒ වගේම දේශපාලනයෙන් තොරව, මේ රට සහ ජාතිය වෙනුවෙන් ඇත්තට ම නිහඬව විශාල සේවයක් කරන වැදගත්, සිල්වත් ස්වාමීන් වහන්සේලා දහස් ගණනක් අදටත් වැඩ වසනවා. මම මගේ දහමට, ගරුතර මහා සංඝරත්නයට අසීමිතව ආදරෙයි. මගේ මේ ලියවිල්ල සංඝරත්නයට බැණ වැදීමක් නෙවෙයි, සසුනට ඇති ආදරය නිසා ම උපදින දරාගත නොහැකි වේදනාවක්. මොකද මේ වගේ කාලකණ්ණි එකෙක් දෙන්නෙක් කරන පහත් වැඩ නිසා මුළු සසුනට ම, සිල්වත් සංඝරත්නයට ම මේ වගේ අපකීර්තියක් වෙනවා දකිද්දී හිතට දැනෙන්නේ ලොකු දුකක්.
අපි සතු අමතක වීමේ සාපය
බඩල්ගමේ කොටදෙනියාවේ සේයා දුව අමතක නැතුව ඇති හැමෝටම ? එදායි ඉවර වුණා ද මේ අපරාද? පස්සේ 2021 ජූලි මාසයේ බොරැල්ලේ, සරණපාල මාවතේ පදිංචිව සිටි ෆාතිමා අයේෂා කියන අවුරුදු 9ක පුංචි මුස්ලිම් දියණිය. කඩේට කුකුළු මස් ටිකක් මිලදී ගන්න ගිය ඒ අහිංසක කෙල්ල ආපහු ආවේ වැසිකිළි වළක් අයිනේ දරුණු ලෙස ලිංගික අපයෝජනයට ලක්වෙලා, හුස්ම හිරකරලා මරාදමපු මළ සිරුරක් වෙලා. මතක ඇති නේද ඒ පුවත් තවම? එදා ඉදන්වත් ඒක නතර කරන්න දැඩි නීතී ගෙනාව ද? එක්කො තියන නීතී මදිද? ප්‍රමාණවත් නේ. ඉතින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු තිරිසන්නු වගේම, දැන් මෙන්න මිනිස්සු වන්දනාමාන කරන තැන්වල හැංගිලා ඉන්න සමහරක් ආගමික නායකයින් ගෙන් අපේ දරුවෝ බේරෙන්න කාලයක් ඇවිත්. මට තෙරෙන්නෙ නැ අපේ රටේ මිනිසුන්ගේ මානසිකත්වය කොහි පැත්තකට ද ගහගෙන යන්නෙ කියලා. මොකද රටේ . පුංචි දරුවෙක් තිරිසනෙක් අතින් කෙලෙසිලා, පණ ඇදලා මැරුණා ම සතියක් දෙකක් යනකන් හැමෝම ෆේස්බුක් එකේ 'RIP' දානවා, ඉටිපන්දම් පත්තු කරනවා. හැබැයි මාසයක් යද්දී ඒ හැමෝටම ඒ මූණවල් අමතකයි. අපිට තියෙන්නේ "අමතක වීමේ ශාපයක්. අපි අඬ අඬා හිටපු හැම පාරකම, අර කාමුක රාක්ෂයො තවත් මල් කැකුළක් ඩැහැගන්න පිඹුරුපත් හදනවා.
නිහඬව සිටීමේ පාපය
එදා Ranjan Ramanayake මහතා සාක්ෂි ඇතිව මේ ළාබාල ළමා අපයෝජන සහ නායක හාමුදුරුවරුන්ට හොරෙන් සමහර හාමුදුරුවරු ශාසනය ඇතුළේ සිද්ධ වෙන විනාශ ගැන කට ඇරලා කතා කරද්දී මුළු රටක්ම එතුමාට පන්න පන්න ගැහුවා, "ශාසනයට මඩ ගහනවා" කිව්වා. හැබැයි එදා එතුමා කියපු කටුක ඇත්ත අද අපේ ඇස් ඉදිරිපිට ම ඔප්පු වෙලා ඉවරයි. සමහරු කියනවා "ගිහියන් විදිහට අපිට ශාසනය හදන්න අයිතියක් නැහැ" කියලා. ඔව්, අපිට විනය කර්ම කරන්න අයිතියක් නැතුව ඇති. හැබැයි ඒ ශාසනයේ නාමය පාවිච්චි කරලා අපේ ගිහි දරුවන්ගේ ජීවිත විනාශ වෙනවා නම්, අපිට බලාගෙන ඉන්න බැහැ. 8 -5 ජොබ් කරලා හවස ඇවිල්ලා මේක කියවලා මම පිස්සෙක් කියලා බණින කෙනෙක්ට සමාජය වෙනුවෙන් වැඩ කරන්න කතා කරන්න වෙලාව මදි ඇති. ඒ නිසා එයාට තේරුමක් නෑ මේ ගැන. මොක්ද එයාගේ තරගය තියෙන්නෙ රැකියාව සහ තමා ගැන. මිනිස්සු කොටුවෙලා; ඒත් සමාජයේ ප්‍රශ්න දකින අපි ඒ වෙනුවෙන් කාලය අරන් ලියන එක යුක්තියට සාදාරණයක් ඉල්ලන එක වැරදි ද? නොලියා ගහ මරාගනන්ද ?
ඉතින් මම කියන්නෙ මේ වෙලාවේ පූජනීය මහා නායක ස්වාමින් වහන්සේලා නිහඬව ඉන්න එක සාධාරණ නැහැ. තමන්ගේ බලය පාවිච්චි කරලා, සිවුර පොරවාගෙන දහම විනාශ කරන මේ පාපතරයන්ගෙන් බුදු සසුන බේරාගන්න උන්වහන්සේලා වහාම මැදිහත් විය යුතුමයි. අද දින මම හැබැයි දැක්කා උන් වහන්සේලා සහ තවත් නායක ස්වාමීන් වහන්සේ නමක් සාසනේ විනාස කරන අය සාසනෙන් පැන්නිය යුතුයි කියලා පවසා තිබෙනවා. වරදක් වුණාම "දෙරණ" "හිරු" වගේ මාධ්‍ය නාලිකා මේව පෙන්නුවේවත් නැති තරම්. මම කියන්නේ මේ ප්‍රශ්ණය ජාතිවාදී හෝ වෙනත් මතිමතාන්තර අස්සේ දිය කරලා හරින්න උත්සාහ නොකර වින්දිත දරුවාට සාධාරණයක් ඉටු කළ යුතුමයි.
අද බුදු හාමුදුරුවෝ ජීවමානව වැඩ සිටියා නම්...
තීරණය අපි දන්නේ නෑ; නිර්දොශී කවුද අපි දන්නෙ නෑ; පොඩි දරුවො බොරු කියන්නේ නෑ. හේතුවක් තියනවද දරුවෙක්ට බොරු කියන්න මම දන්නේ නෑ. යුක්තිය ඉටුවේවී. සමහරු කියනවා මේවා ගැන කතා කරද්දී "උඩ බලාගෙන කෙළ ගහගන්නවා වගේ වැඩක්" කියලා.ඔව්, උඩ බලාගෙන කෙළ ගහගන්න එක සිය දහස් වාරයක් හොඳයි. සිවුරක් අස්සේ හැංගිලා දරුවෝ දූෂණය කරන තිරිසන්නුන්ව රකිනවාට වඩා. මම මගේ දහමට ආදරෙයි. ඒ නිසයි දහම පාවාදෙන පාපතරයින්ට, දූෂකයින්ට තරාතිරම නොබලා උපරිම දඬුවම් ලැබෙනකන් මම ලියන්නේ. අද බුදු හාමුදුරුවෝ ජීවමානව වැඩ සිටියා නම්, තමන් වහන්සේ ගේ ශාසනය මෙවැනි චීවරධාරීන් නිසා විනාශ වෙනවා දැකලා මොන තරම් නම් දුක් වේවිද?
අවසාන වසයෙන් මම අද Dulan Senadheera ෆේෆ්බුක් පෝස්ට් එකක් දැක්කා මෙහෙම ලියලා තියනවා.
''නඩුව ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙනුවට ළමා හා කාන්තා කාර්යාංශය ඉදිරියට පවත්වාගෙන යාමට උත්සාහ කරන බව පේනවා. ළමා හා කාන්තා කාර්යාංශයේ තියෙන්නේ රවී සෙනවිරත්න ආරක්ෂක ලේකම්වරයා යටතේ. හාමුදුරුවෝ රවී සෙනවිරත්න ගෙ ඥාතියෙක් බවටයි ආරංචිය. හාමුදුරුවන්ව අත්අඩංගුවට ගැනීමට නියමිත බව කලින් දැනගෙන කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් වූ බව පෙනෙන්න තිබෙනවා."
අවසානය කොහෙන් කෙලවර වෙයිද පැහැදිලි නෑ .අපි ඒ නිසා සමාජයක් විදියට ඉවසන්න පුළුවන් කාලකයක් ඉවසිය යුතු අතර බැරිම නම් සුළුතරය හරි කොන්දක් ඇතිව සමාජ ශෝධනයට සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. ගිහි අපේ සිස්ටම් චේන්ජ් කරන්න උත්සහ කරනවා නම්, ඒ අයත් ඇතුළෙ ලෙඩ්ඩු එළියට දාලා සසුනට ඇති ගෞරවය සහ ආදරය රැකගත යුතුයි. එය පොදු සමාජයක දරුවන් ගේ ආරක්ෂාව උදෙසා එය අනිවාර්‍යෙන් ඒ ඒ නාකයකයන් වගකීම් අරන් ඒ වෙනස් කම් ඇති කර යුතුයි. නැත්නම් අනාගතේ මෙවෙන් තවත් දරුවෙක්ට වෙන අසාධාරණයට ඔවුන් වගකීම බාරගත යුතුයි. මේක ලංකාව මෙහෙ එප්ස්ටීන් ෆයිල් තියෙන්න බෑ. හරි දේට හරි කියන්නත්, බය නැතුව වැරද්දට වැරදි කියන්නත් අපිට කොන්දක් තියන්න ඕනේ. මම හිතනවා සමාජය නැතත් බුදුන් වහන්සේ මා සමග එකග වෙයි කියලා.
මම බයයි ලියන්න කලින් මැරන්න

හිමාල් හේරත්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
