උදයේම බුකියෙහි දුටු දසුනකි.
අත පය ගැට ගසා බිම බාවා සිටිනා පිරිමි රුවකි. ඇඳුම අඳනයක් සහ භික්ෂූන් යටට අඳිනා බාච්චුවකි. විනයාරක්ෂක පිරිමි කිහිප දෙනෙක් වැටී සිටිනා පුද්ගලයා ගෙන් ප්‍රශ්ණ කරති.
කවුද බොන්න ගෙනාවෙ?
බුද්ධිකයා.
කවුද ගෑනු ගෙනාවෙ?
බුද්ධිකයා.
කාත් එක්කද බිවුවෙ?
තනියම
මොනවද ගෙනාවෙ?
වයිට් ලේබල්.
ඒ අතර වැටී සිටින්නා 'අනේ මට ගහන්න එපා' යයි ආයාචනා කරයි.
දෙවන වරට දුටු පුවත මෙපරිදි ය.
මත් ද්‍රව්‍ය ගෙනාවේ යයි අත් අඩංගුවේ පසුවන තරුණ භික්ෂූන් ගෙන් අධිකරණ කටයුත්ත නිම වන තුරු සිවුරු හරින්නැයි ඉල්ලීමක් කෙරේ. කිහිප දෙනෙක් අකමැත්ත පළ කර ඇත. අධිකරණයෙන් නිදහස් කරනු ලබන්නේ නම් යළි සිවුරු දරන්නට හැකි යයි ඔවුන්ට පොරොන්දුවකි.
තවමත් අප සියලුම දෙනා කරනුයේ ප්‍රශ්නයේ වලිගයෙන් අල්ලා පොළොවේ ගැසීම ය. මට ඇති ප්‍රශ්ණ ගණනාවකි.
01. මත් ද්‍රව්‍ය ගෙනාවේ යයි අල්ලාගත් තරුණ භික්ෂූන්ගෙන් සිවුරු හරින්නැයි ඉල්ලා සිටින භික්ෂූන් අටමස්ථානාධිපති හිමි ගෙන් ඒ ඉල්ලීම නොකරන්නේ ඇයි?
02. අර තරුණ භික්ෂූන්ට මෙන් අධිකරණයෙන් නිදහස ලැබුනහොත් යළි සිවුරු දරන්නට හැකි යැයි එ හිමියන්ට මේ අය නොකියන්නේ ඇයි?
03. මේ තරුණ භික්ෂූන්ට සිවුරු හරින්නැයි කියන්නට හැකි සසුන බබළවන්නට හැකි තාලේ පැවිදි මිණි පඬිරුවන් වන් භික්ෂූන්ට නොවේද? අප ඒ උතුම් භික්ෂූන් හඳුනාගන්නේ කෙසේද?
04. අත් අඩංගුවට පත්ව ඉන්නා තරුණ හිමිවරුන් මෙන්ම අටමස්ථානාධිපති හිමි ද තවමත් සැකකරුවෙකි. දෙපිරිසට ම නීතිය මෙන්ම භික්ෂූ විනය ද එකසේ අදාළ විය යුතු ය.
කුඩා දරුවන් සසුන්ගත කිරීමේ පිළිවෙතෙහි අක්‍රමවත් බව
ජීවිතයේ ඇරඹුම ම අත්තකිලමතානුයෝගයක් වූ දරුවන් කුඩා කල ම සසුනට ගෙන එයි. ඔවුනට ළමා විය අහිමි ය. අපේ බොහෝ සැදැහැවත්තු මේ කුඩා දරුවන් ගෙන් මහා විනයක් අපේක්ෂා කරති. මේ කුඩා දරුවන් තමන් ගේ දරුවන් වැනි යයි සිතන්නට අපේ බොහෝ සැදැහැවතුන් සූදානම් නැත. අනෙක් අතින් අත්තකිලමතානුයෝගයෙන් සසුනට එන මේ පිරිස් සසුන කාමසුඛල්ලිකානු යෝගයෙන් පිරි තැනක් සේ ගෙන එතෙක් අහිමි සැප ලබන්නට තැත් දරන කල නැතක් ගැටලු මතුවෙයි. මධ්‍යම ප්‍රතිපදාවට සිදුහතුන් යොමුවනුයේ පළමුව කාමසුඛල්ලිකානු යෝගය පවුල් පසුබිමින්ම ලැබ දෙවනුව තමන්ම සිරුරට දුක් දීමෙනි. එහෙත් මේ කුඩා දරුවන් සසුන්ගත කිරීමේ පිළිවෙත සහ ඒ සඳහා තෝරා ගන්නා දරුවන්ගේ පවුල් පසුබිම බලන විට තත්ත්වය සපුරා වෙනස් ය.
ලංකාවේ සසුන දියුණු මට්ටමකින් පවත්වාගන්නට නම්...
සසුන්ගතවීම යනු දැනුම් තේරුම් ඇති වයසකදී ගතයුතු තීරණයකි. එවන් වයසකදී ගන්නා තීරණයේ පූර්ණ වගකීම එය ගත් තැනැත්තාට ය. එසේම වැඩුණ අයෙක් ලෙස ගිහිගෙය හැර යන්නට තීරණය කරන්නේ නම් එය දැනුවත් තීරණයක් වන සේම ඒ හරහා සමාජයට කළ හැකි සේවය ද විශාලය.
සසුන අර්බුදයට යනු ඇතැයි කියමින් කුඩා දරුවන් සසුන්ගත කිරීම විසින් ඇති කරන ලද ගැටලු දැන් එළිපිට පෙනෙන්නට ගෙන ඇත. අනෙක් අතින් සසුන රැකගන්නට යයි විශාල සංඛ්‍යාවක් සසුන්ගත කිරීමට වඩා දැනුම් තේරුම් ඇති අඩු සංඛ්‍යාවක් වුව සසුන්ගත වන්නට නිසිි වයසේ කටයුතු යෙදීම හරහා ලංකාවේ සසුන දියුණු මට්ටමකින් පවත්වාගන්නට ඇති අවකාශ බොහෝ ය.
සසුන මෙතරමට ම පිරිහුණේ කෙසේ ද...?
අපට විචිත්‍ර ධර්ම කථිකයන් යයි කියනා සිය ගණන් වෙළෙන්දන්ට වඩා සමාජයට මනා සේවයක් කරනා ගමන්ම තමන් ගේ විශ්වාසය අනුව ආත්ම විමුක්තිය සොයනා මගෙහි යෑමට සූදානම් දැනුවත් භික්ෂූන් අඩු සංඛ්‍යාවක් වුව වටී.
අප අද සසුනේ පවත්නා අර්බුදය ගැන මීට වඩා විචක්ෂණශීලීව බැලිය යුතුව ඇත. අත් අඩංගුවට පත්ව ඇති තරුණ භික්ෂූන් සැබැවින්ම අනුකම්පාව ලැබිය යුතු එසේම නිසි මගපෙන්වීමක් ලැබිය යුතු පිරිසකි. නීතිය හමුවේ කර ඇති වරදක් වේ නම් ඊට දඬුවම් ලැබීම අනිවාර්ය බව සැබැවි. එහෙත් ඔවුන් මේ තත්ත්වයට පත් වීමට තරම් සසුන පිරිහුණේ කෙසේදැයි අප වඩා විධිමත් ලෙස විමසා සිටිය යුතුය. අනෙක් අතින් භික්ෂූන්ට තඩි බානා විනයාරක්ෂකයින් වෙනුවට වඩා ශික්ෂිත ගිහි සමාජයක්ද අපට අවශ්‍යය.
අප සියල්ලටම පළමුව බුදුන්වහන්සේ සොයා ගැනීමට සිදුව තිබේ. යළිදු කියමි. මේ සසුනෙහි ඉන්නා සැබෑ භික්ෂූන් පෙරමුණට ආ යුතු කාලය යි. දැන්වත් මේ ප්‍රශ්ණවලට බුද්ධිමත් ලෙස එළඹුමක් ගන්නට එවන් බුද්ධිමත් භික්ෂූන්ට නොහැකි වන්නේ නම් අනාගතය ඉතා අවදානම්සහගත වනු ඇත්තේය.

Chulananda Samaranayake
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
