ඉතිහාසය යළි යළිත් දක්වා තිබෙන පරිදි, පුරවැසි හැසිරීම් සීමා කරන ආණ්ඩුමය මර්දනකාරී ක්‍රියාමාර්ග දේශපාලන නීත්‍යනුකූලභාවය අඩපණ කර දමා, ආණ්ඩු- විරෝධී හැඟීම් පොළඹවා ලයි.
සෝවියට් සංගමය ඊට නිදසුනක් ලෙස ගත හැකි ය. මර්දනය බොහෝ විට, විසම්මුතිය මැඩ පවත්වනවාට වඩා සමාජ ව්‍යාපාර සහ දේශපාලන සහභාගිත්වය දිරිමත් කරයි. ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථක වන්නට සහ තිරසර පාලනය මුල් ඇද ගන්නට නම්, ආණ්ඩු ප්‍රතිසංස්කරණ කිරීම් සඳහා පුරවැසියන් සහභාගි කරවා ගත යුතු ය; මහජන සහභාගීත්වය තුළින් එකඟතාව වර්ධනය කර ගත යුතුය; එසේම, යල් පැන ගිය මර්දන පියවරවලට වඩා සක්‍රීය ලෙස අන්‍යෝන්‍ය ලෙස කරන කටයුතුවලට ප්‍රමුඛත්වය දිය යුතු ය. ජනතාවට එරෙහිව ගන්නා බලහත්කාර පියවර අස්ථාවරත්වය ජනිත කරවන අතර, ජනතා සම්මුතිය සහ වගවීම ස්ථාවර බව අත් කර දෙයි.

ජනතාව කඩිනම් ප්‍රතිසංස්කරණ අපේක්ෂා කළහ. කාලය ගෙවී යමින් ඇත. මැතිවරණ පොරොන්දු ඉටු කිරීම සඳහා NPP යේ පවතින කැපවීම පරීක්ෂාවට ලක් වෙමින් ඇත. ඔවුන් තම මාවත වරදවා ගෙන ඇත්ද යන්නට පිළිතුර තීරණය කරනු ඇත්තේ ඔවුන් ඊළඟට කරන දේ අනුව ය.
දුන් පොරොන්දු
2024 ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණවල දී, ජාතික ජන බලවේගය (NPP) කෲර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA – 1979) අහෝසි කිරීමට ප්‍රතිඥා දුන්නේ ය. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ “A Thriving Nation, A Beautiful Life” නමැති ඉංග්‍රීසි පිටපතේ 129 පිටුවේ පැහැදිලිව මෙසේ සඳහන් වෙයි: “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු සියලු පීඩාකාරී පනත් අහෝසි කිරීම සහ රටේ සියලු ම ප්‍රදේශවල ජනයා ගේ සිවිල් අයිතිවාසිකම් සහතික කිරීම.” කෙසේ වෙතත්, මෙම නිශ්චිත පොරොන්දුව සිංහල අනුවාදයේ සොයා ගත නොහැකි ය. එය, ජාතික ජන බලවේගය සහ එහි නීති කණ්ඩායම විසින් පැහැදිලි කළ යුතුව තිබෙන විෂමතාවකි. කෙසේ වෙතත්, පිටපත් දෙකම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන සඳහන් කරයි.
45 වසරක සාපය
වසර 45ක් තිස්සේ බොහෝ ශ්‍රී ලාංකිකයන් ගේ, විශේෂයෙන් සුළුතර ජන ප්‍රජාවන් ගේ ජීවිත විනාශ කර දමා ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), ජනතා විරෝධය, දේශපාලන බාධා කිරීම් සහ දේශපාලන බලයට ඇති තර්ජන අප්‍රකාශිත ත්‍රස්තවාදී කටයුතු ලෙස සලකයි. පෙර පැවති ආණ්ඩු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නොමැතිව වුව ද එවැනි මර්දනකාරී කටයුතුවලට යොමුව සිටියේ ය. පුළුල් ත්‍රස්ත විරෝධී නීති මගින් සිවිල් සමාජ නිරීක්ෂණ සීමා කරන බවත්, නිල කටයුතු කිරීමේ දී දූෂණයට ඉඩ සලසන බවත් පිළි ගනිමින් සිවිල් සමාජ සංවිධාන, මානව හිමිකම් ආරක්ෂකයින් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා එය අවලංගු කරන ලෙස ඉල්ලා ඇත.

ජවිපෙ කියූ දේ
ජනතා විමුක්ති පෙරමුණ (JVP), එහි මුල් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 14 වන වගන්තිය වූ “රාජ්‍යයේ ව්‍යුහය” යටතේ මර්දනකාරී නීති සම්පූර්ණයෙන් ම අහෝසි කිරීමට පොරොන්දු විය. මෙම පිළිකුල් සහගත නීතිය අවලංගු කිරීම සඳහා එල්ල වුණ දේශීය හා ජාත්‍යන්තර බලපෑම්වලට අනුප්‍රාප්තික ආණ්ඩු මුහුණ දී ඇත. ජනතාව ගේ සරල අපේක්ෂාව වූයේ පුරවැසියන්ට එරෙහිව යළි යළිත් අනිසි ලෙස භාවිත කර තිබෙන මෙම භයානක නීතිය අවලංගු කරන්න යන්න යි. යුද්ධයේ සහ සන්නද්ධ ගැටුම්වල උරුමය ආමන්ත්‍රණය කරමින් ප්‍රගතිශීලී ආණ්ඩුවකට රට යළි ගොඩනැගිය හැකි එක ම මාර්ගය වන්නේ එය යි.
පොරොන්දුවලට පිටු පෑම
NPP ආණ්ඩුව දැන් එහි මැතිවරණ අවංකත්වය සම්බන්ධයෙන් තීරණාත්මක පරීක්ෂාවකට මුහුණ දී සිටී. NPP ය විසින් දෙන ලද ආර්ථික පොරොන්දු ක්‍රියාවේ යෙදවීම බාධාවල ලක් වී ඇත. පෙර පැවති පාලන තන්ත්‍රය විසින් IMF කප්පාදු රාමුවකට අනාගත ආණ්ඩු බැඳ තබන්නට (NPP ආණ්ඩුව දැඩි ආර්ථික දුෂ්කරතාවල මුහුණ දී සිටින ජන කොටස්වලට යම් යම් සහන ලබා දීම සඳහා සාකච්ඡා කළේ වුව ද) පනවන ලද නීතිරීති බඳු සාධක ඊට හේතුකාරක විය. විවිධ දේශපාලන අභිලාෂ සහ දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් පූර්ව-තත්ත්ව සහ පසු-තත්ත්ව යන දෙ අවස්ථාවේ ම ඇති වූ විනාශය මත පදනම්ව ආණ්ඩුව, ඇතැම් පොරොන්දු සම්බන්ධයෙන් පැවති ප්‍රමුඛතා විතැන් කර ඇත. මෙම සන්දර්භය නිසා හෝ එසේ නොමැතිව, දිගු කාලයක් බලා සිටීමට හෝ විශාල සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය නොවන ඇතැම් වැදගත් කරුණු ආමන්ත්‍රණය නොකර පවතින බව පෙනේ.
ත්‍රස්ත පනතට ආදේශකයක් එපා! – හරිනි අමරසූරිය

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය විපක්ෂයේ සිටිය දී ප්‍රකාශ කළ අන්දමට, PTA පනත පවත්වා ගැනීමට හෝ ප්‍රතිස්ථාපනය කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නොපවතී. NPP ය විපක්ෂයේ පසු වීමෙන් පසු, රාජ්‍ය මර්දනයේ අඛණ්ඩ මෙවලමක් ලෙස PTA පනත වෙනත් ආකාරයකින් තබා ගැනීමට තරම් අලුත් යමක් සොයා ගෙන ඇත්ද? කෙසේ වෙතත්, දුන් මැතිවරණ පොරොන්දුව මෙය නොවේ. මැතිවරණ ව්‍යාපාරය අතරතුර පැවති පැහැදිලි අවබෝධය වූයේ PTA පනත අහෝසි කරන්න යන්න යි. ත්‍රස්ත ප්‍රහාර ආමන්ත්‍රණය කරනවා වෙනුවට, සමාජ-ආර්ථික හෝ ජාතික දුක්ගැනවිලි සඳහා විසඳුම් සොයන අයට එරෙහිව දැවැන්ත ලෙස රාජ්‍ය ත්‍රස්තවාදය උත්සන්න කිරීම තුළින් තත්ත්වය තවත් නරක අතට හැරවීමට PTA පනත දායක වූ බව එම පනත අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටි අය ඒත්තු ගෙන තිබිණි.
පාර වැරදීම
NPP පාලන තන්ත්‍රය, කුමන හේතුවක් නිසා හෝ, එම පනත වරක් හෙළා දුටු පෙර පැවති සියලු ම පාලන තන්ත්‍ර ගිය අඩිපාරේ ගමන් කරමින් පසු බසිමින් සිටින බව පෙනේ. අහෝසි කරනවා වෙනුවට, ආණ්ඩුව ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතිවලට අනුකූලව ගෝලීය ත්‍රස්තවාදී තර්ජන ආමන්ත්‍රණය කරන බවට කල්පනා කරන, PTA පනත ප්‍රතිස්ථාපනය කරන නීතිමය රාමුවක් යෝජනා කිරීම සඳහා කමිටුවක් පත් කළේ ය. ආණ්ඩුවට ලැබී තිබුණු සහයෝගය ද, එක්සත් ජාතීන් ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සහ ජාතික මානව හිමිකම් ආරක්ෂකයින් ගේ සහාය ද සහිතව, ආණ්ඩුව එය අවලංගු කළ යුතුව තිබුණි.
ජාත්‍යන්තර සන්දර්භය
ජාත්‍යන්තර වශයෙන් ගත් විට, ත්‍රස්තවාදයෙන් මූලික අයිතිවාසිකම් රැක ගැනීම සඳහා ක්‍රියාත්මක කරන ලදැයි කියන ත්‍රස්ත විරෝධී නීති, එම අයිතිවාසිකම් උල්ලංඝනය කර අඩපණ කර දමමින්, බොහෝ විට කටයුතු කර තිබෙන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට යි. ඊශ්‍රායලය ගාසා තීරය අත්පත් කර ගෙන සිටීම සහ එහි කර ගෙන යන ජන සංහාරය හොඳ ම සමකාලීන උදාහරණය වේ. පලස්තීන විමුක්තිය වෙනුවෙන් පෙනී සිටින අයට පහර දී, අත්අඩංගුවට ගෙන, රඳවා තබා ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස සලකන අතර, නෙතන්යාහු ගේ ත්‍රස්තවාදී ව්‍යාපාරවලට ආධාර කරන අය කිසිදු ප්‍රතිවිපාකයකට මුහුණ නොදෙති. ඕස්ට්‍රේලියාවේ, හනුකා උත්සවය සමරන්නට එකතු වූ යුදෙව් ජාතිකයන් වෙත ‘බොන්ඩයි බීච්’ හි දී එල්ල කල ප්‍රහාරයෙන් පසු, විපක්ෂයේ සහ අප්‍රකට සියොන්වාදී බලවේගවල බලපෑම යටතේ ආණ්ඩුව, සියොන්වාදය සහ නෙතන්යාහු ගේ ත්‍රස්තවාදී පාලනය විවේචනය කරන අය ගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තව දුරටත් කප්පාදු කිරීමට සූදානම් බව පෙනේ.
මර්දනකාරී පියවරවලට වඩා ඉහළින් උපදේශනය සහ සංවාදයට අනුබල දෙන හිතකර පරිසරයන් බිහි කිරීම සාමකාමී අන්දමට ගැටුම් නිරාකරණය කිරීමේ මුල් ගලක් බව ද, එමගින් තිරසර ස්ථාවර බව පෝෂණය කර, මුල් සමාජ-ආර්ථික සහ දේශපාලනික ගැටලු ආමන්ත්‍රණය කරන බව ද පුළුල් වශයෙන් සලකනු ලැබේ. මර්දනකාරී නීති පැනවීම සහ ක්‍රියාවේ යෙදවීම අවසානයේ දී, දකුණු අප්‍රිකාවේ, අයර්ලන්තයේ සහ ශ්‍රී ලංකාවේ සිදු වූ අන්දමට පුපුරා යන තත්ත්වයට මග පාදමින්, ඊටත් වඩා කුරිරු අන්දමේ නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය බිහි කර ඇත. මෙයට හේතුව වන්නේ එවැනි නීති හැම විට ම සකස් කරන්නේ: මර්දනය, අපයෝජනය සහ අනිසි භාවිතය සඳහා යොදා ගැනීමේ අදහසින් වීම යි. ප්‍රගතිශීලී සමාජ උදෙසා හැම විටම වඩා යහපත් විකල්පය වී ඇත්තේ සමාජීය පීඩා ආමන්ත්‍රණය කිරීම, රිදවීම් සුව පත් කිරීම සහ අත්වැල් ගොඩනැගීම යි.
ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSTA)
PTA පනත වෙනුවට ඉදිරිපත් කර තිබෙන නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත, ත්‍රස්තවාදයෙන් 'රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත' (PSTA) සලකා බැලිය යුත්තේ මෙම සන්දර්භය තුළ යි. දැනට සමාලෝචනයට ලක් වෙන, සහ මහජන අදහස් සඳහා විවෘතව පවතින PSTA පනත් කෙටුම් පත මානව හිමිකම් සුරකින වැඩිදියුණු කළ සංස්කරණයක් ලෙස ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත්, 2023 මාර්තු සහ සැප්තැම්බර් මාසවල ගැසට් කළ ත්‍රස්ත විරෝධී පනත (ATA) සහ 2018 දී ගැසට් කළ ප්‍රති-ත්‍රස්ත පනත (CTA) යටතේ පෙර පැවති ආණ්ඩු විසින් හඳුන්වා දෙන්නට උත්සාහ කරන ලද විධිවිධාන සහ PTA පනතේ පවතින අතිශය ප්‍රශ්නකාරී කොටස් එහි රඳවා ගෙන ඇත. CTA සහ ATA යන පනත් දෙකම පුළුල් විවේචනයට භාජනය වූ අතර ඒවා බලාත්මක නොකළේ ය. PSTA නමැති නව පනත් කෙටුම්පත NPP ය ජනතාවට දුන් පොරොන්දු පිළිබිඹු නොකරයි.

අධිකරණමය අධීක්ෂණය, මානුෂික අන්දමට රඳවා තබා ගන්නා කොන්දේසි, මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ අධිකරණ නිලධාරීන් ගේ පැමිණීම, පෞද්ගලිකත්වයට ගරු කිරීම සහ පවුලේ අයට සහ නීතිඥයින්ට පැමිණෙන්නට ඉඩ කඩ ලබා දීම සඳහා පවතින අයිතිවාසිකම් බඳු ඇතැම් විධිවිධාන, රඳවා සිටින අයගේ ආරක්ෂාව සහතික කරන බවක් පෙනේ. එහෙත් යථාර්ථයක් වශයෙන් ගත් විට, මෙම ආරක්ෂාව අත් කර ගැනීම දුෂ්කර වේ. බලය අනිසි ලෙස යෙදවීම සමාලෝචනය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වීම, පහසු හෝ ලාභදායී කටයුත්තක් නොවේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
