රත්න ශ්‍රී මහත්තයා හොඳ කවියෙකි. එතුමා ගැන මා නං මුලින්ම දැන ගත්තේ මහින්ද මහත්තයාගේ දෑත් ශක්තිමත් කළ නිසා ය.
රත්න ශ්‍රී මහත්තයා මහින්ද මහත්තයා ගැන ලියූ කවිය මට හොඳ හැටි මතක ය.
''පැතුම් සේම ලක් අම්මා පැතූලෙසිනි
වරම් දුන් දනට යුතුකම් සපුරමිනි
උපන් මව් දෙරණ රැකදුන් අනුහසිනි
චිරං ජයතු - ජීවතු මහ නරනිඳුනී!''

එකල සංවේදී නායකයා වූ මහින්ද මහත්තයාට ගොට්ට ඇල්ලූ මේන්ස්ට්‍රීම් අය අතර රත්න ශ්‍රී මහත්තයා උඩින්ම සිටියේ ය.
මහින්දා මහත්තයාට විතරක් නොව පාටලී චම්පික මහත්තයාට පවා රත්න ශ්‍රී කවි ලිව්වේ ය.
''සතර දිගින් ආ ගොරතර
විතර නොහිම් වූ අණසක
බිඳැර නැණසරව
නිදහස පතා මව් බිමේ
පෙරටු කර මහා සඟ ගණ
කෙසර වෙසින් නැඟ නොබියව
ඔබයි පාඨලී චම්පික
නියමුවා වුණේ
නිල්ල දිළෙන මේ දෙරනත
දෙන්න දරුවන්ගෙ දෝතට
දියඹ වාතලය මේ බිම
නොවන්නට ඉතින් දූෂිත
ඔබයි පෙරමුණේ
කොල්ල කෑ උන්ට රිසි ලෙස
මහඟු ජාතියේ සම්පත
පාඩුවෙන් මුදා සරුකර
නඟා සිටුවමින් පින්කෙත
ඔබයි පෙරමුණේ''

රතන, මේධානන්ද, ධම්මාලෝක පෙරටු කරගෙන චම්පිකලා පාර්ලිමේන්තු ආව හෙලෝරුමේ පීක් කාලයේ රත්න ශ්රීට මෙවැනි ආශ්වාදනීය කවි සිතුවිලි පහළ වන්නට ඇත.
එතැනින් නොනැවතුණු ඒ ගෝඨාභය මහත්තයාගේ ඇටනව ලස්සයට ද නොඅඩුව චූන් ලබා දීම සදහා කවි ලිව්වේ ය.
''ගැමුණු නරනිඳුට දස මහ සෙනෙවි ලෙස
දෙවුණු සවිය මඩිමින් රුදු දසනු දෙස
ගෙවුණු සමේ දී ඉටුකළ මහරු කිස
කියනු බැරිය කියතොත් ඒ ඔබ ම මිස''

මෙහි ගැමුණු නරනිඳු යනු මහින්ද මහත්තයා ය. මහින්ද මහත්තයාගෙන් 2015 දී චුට්ටක් ඉවත්ව සිටිය ද රත්න ශ්‍රී කවියාට ගෝඨාභය මහසෙනවිකම් කළ මහින්ද යුගයේ සුරුවිරුකම් අමතක කළ නොහැකිව තිබුණු බව පෙනේ. ගෝඨාභය වෙනුවෙන් දැඩිව පෙනී සිටි එතුමා ටිකෙන් ටික 'සර්' හාන බව පෙනී යෑමත් සමග අන්තරස්දාන වූ අතර එක්වන ම ජාතික ජන බලවේගය දෙසින් ඉස්මතු විය. අනුර දිසානායක සහෝදරයා ගේ අපූර්ව ජීවන ගමන දැක සංවේදී වූ මේ රත්නශ්‍රී කවියා ඔහුගේ හැඟීම වචනවලට කැටි කරේ මෙපරිද්දෙනි.
''තඹුත්තේගම
දුක කියන්නත්
අකුරු බැරි අම්මේ
පුතුට කොහොමද
රටේ දුක
තේරුම කියා දුන්නේ...''
ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ

මහින්ද මහත්තයාට සන්දේශ කවි ලියූ එතුමා අනුර මහත්තයාට ලිව්වේ හයිකු ටයිප් කවියකි. කඳවුර සමග ටෝන් එක, ස්ටයිල් එක මාරු කිරීමට එතුමා උපන් හපනෙක් බව මෙයින් පැහැදිලි වේ. එතුමා මීට දශක දෙක හමාරකට පෙර චන්ද්‍රිකා මැඩම්ට ද සිංදු ලියා ඇති අතර අමරසිරි දොඩංගොඩ මහතා ගොඩ දමා ඔහුගේ මාධ්‍ය ලේකම් හා සම්බන්ධීකාරක තනතුරු හෙබවී ය. දියුණු වෙන මිනිස්සු එහෙම ය. ඕනෑම කන්ඩිෂන් එකක බැට් කිරීමට හැකි දක්ෂ පිතිකරුවන් වන දොන් බ්‍රැඩ්මන්, විවියන් රිචඩ්ස් ලා මෙන් රත්න ශ්‍රී යනු හෙළ කවි කෙතේ ද දේශපාලන පිටියේ ද ඩොන් බ්‍රැඩ්මන් බඳු පිතිකරුවෙකි.
විමසුම පිටපත මහින්ද අබේසුන්දර නෙමෙයි මම Shalitha Bandara
ප.ලි. එතුමා ගැන මුලින්ම අඳුන ගත්තේ මහින්ද මහත්තයා ළඟ සිටිද්දී යැයි කීවේ අපහාසයට නොවේ. එතුමා ඊට කලින් කවි සිංදු ලියා ඇති නිර්මාණකරුවෙකි. අවාසනාවකට වාගේ මට කවි නිසදැස් වැනි දෑ එතරම් දිරවන්නේ නැත. මා ඔවුන් ගැන දැනගන්නේ ඔවුන් වෙනත් සිද්ධිවලට සම්බන්ධ වීමෙන් පසුව ය. එය ඔවුන්ගේ වරදක් නොව මගේ රසාස්වාදයේ ගැටලුවකි.

