අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ විධිවිධාන අනිසි ලෙස භාවිත කිරීම, රාජ්ය මුදල් වියදම් කිරීම සහ සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් අයුතු මැදිහත්වීම් සිදුව ඇතැයි මතුව ඇති සැකසහිත තත්ත්වයක් පිළිබඳව හිටපු අමාත්ය පාඨලී චම්පික රණවකගේ නීතිඥ කණ්ඩායම විසින් අද (22) අදාළ බලධාරීන් වෙත පැමිණිල්ලක් භාර දීමට පියවර ගෙන තිබේ.
ජ්යෙෂ්ඨ නීතීඥ ශිරාල් ලක්තිලක විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට අදාළව, නීතිඥ රජික කොඩිතුවක්කු සහ තීක්ෂණ ගම්මන්පිල යන අය විසින් මෙම පැමිණිල්ල භාරදීමට නියමිත අතර, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය සහ නීතිපති දෙපාර්තමේන්තුව වෙත එම පැමිණිල්ල යොමු කරනු ලැබේ.
මෙම පැමිණිල්ලට පදනම් වී ඇත්තේ කොළඹ මහාධිකරණයේ විභාග වන HC 1824/20 දරන නඩුවට අදාළව 2026 ඔක්තෝබර් 19 වැනිදා අධිකරණයේදී ලබාදුන් සාක්ෂියකි.
අදාළ සාක්ෂිකරුවා මුල් නඩු විභාගය සඳහා කැඳවීමේ දී ලංකාවට පැමිණ සාක්ෂි දීමට නොහැකි බව මින් පෙර තම නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට දන්වා තිබියදී, ඔහු ජර්මනියේ සිට ශ්රී ලංකාවට කැඳවාගෙන ඒම සඳහා රුපියල් 450,000ක පමණ ගුවන් ගමන් සහ අනෙකුත් වියදම් රාජ්ය මුදලින් දරා ඇති බවටත්, එම වියදම් හා සම්බන්ධීකරණ කටයුතු සිදුකළ ආකාරය පිළිබඳවත් පැමිණිල්ල මගින් ප්රශ්න කර තිබේ.
විශේෂයෙන්ම, එම සාක්ෂිකරුවා අධිකරණයේදී ප්රකාශ කර ඇත්තේ ජර්මනියේ සිට ශ්රී ලංකාවට පැමිණීමට ගිය වියදම් තමන් නොදැරූ අතර, ඒ සියලු වියදම් දරන ලද්දේ "(CCD)හි අධ්යක්ෂ ඉන්දික මහත්තයා" බවයි.
එසේම, විදේශගත සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ලබාගැනීම සඳහා නීතියෙන් සලසා ඇති ක්රමවේදයන් අනුගමනය කර තිබේද, රාජ්ය මුදල් වියදම් කිරීමේදී අදාළ නීතිමය හා මූල්ය රෙගුලාසි පිළිපැද තිබේද සහ මෙම ක්රියාවලිය තුළ සාක්ෂිකරුවන්ගේ ස්වාධීනත්වයට හෝ සාධාරණ නඩු විභාගයකට බලපෑමක් සිදුවී තිබේද යන්න පිළිබඳව විධිමත් විමර්ශනයක අවශ්යතාව පැමිණිල්ලෙන් අවධාරණය කෙරේ.
මෙම පැමිණිල්ල මගින් අදාළ කරුණු ස්වාධීනව විමර්ශනය කිරීම, රාජ්ය මුදල් භාවිතය පිළිබඳ විගණනයක් සිදු කිරීම සහ නීති උල්ලංඝනයක් සිදුව ඇති බව තහවුරු වන්නේ නම් වගකිවයුත්තන්ට එරෙහිව නීතිය අනුව පියවර ගැනීම ඉල්ලා සිටී.
අපරාධ නඩුවක සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී නීතියේ ආධිපත්යය, රාජ්ය මුදල්වල වගකීම්සහගත භාවිතය සහ අධිකරණ ක්රියාවලියේ ස්වාධීනත්වය සුරැකීම අත්යවශ්ය කරුණක් බවද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
