මහින්ද රාජපක්ෂ දකුණේ දේශපාලනය තුළ මුල් ඇදගත්තේ 1982 දී ජේ.ආර්.ගේ කුප්‍රකට ලාම්පු-කලගෙඩි සෙල්ලමේ සූදූ පිටියේ දී ය.
බෙලිඅත්තේ ප්‍රබල එ.ජා.ප. ක්‍රියාකාරිකයෙකුගේ ඝාතන චෝදනාවක් මහින්දට එල්ල වූ අතර මහින්ද සිය මෑණියන්ගේ අවමංගල්‍යයට සහභාගි වූයේ දෑතේ විලංගු සහිතව බන්ධනාගාරයේ සිටිය දී ය.
ශ්‍රී.ල.නි.ප.යට මහින් අවශ්‍ය වූයේ ඇයි...?
එ.ජා.පයේ 17 වසරක පාලනය බිදීමට ශ්‍රී.ල.නි.ප.වෙත චන්ද්‍රිකා සිය පරම්පරාගත උරුමය සහිතව සටන් බිමට පිවිසෙන විට එහි ඉදිරි ප්‍රහාරක බළකාය හැදී වැඩුණේ මහින්දගේ සෙවණේ ය. 1994 සිට 2003 දක්වා වසර 09 ක ඉවසීම නිසාත් සිය මුළු ශක්තිය පක්ෂය වෙනුවෙන් කැප කළ නිසාත් චන්ද්‍රිකා ප්‍රමුඛ ශ්‍රී.ල.නි.ප.යේ ඉහළ පුටුවල සිටි අයගේ නොකැමැත්තෙන් හෝ අගමැති වීමට මහින්දට හැකි විය.
ශ්‍රි.ල.නි.පයේ සිටි චන්ද්‍රිකාගේ අගසවුවන් වූ එස්.බී. හෝ මංගල වෙනුවට හා ජාත්‍යන්තර තලයේ කීර්තිමත් ලක්ෂ්මන් කදිරගාමර් හෝ වෙනුවට මහින්ද අගමැති පුටුවට ගිය ගමන පුදුම එළවනසුලු ය. එ.ජා.ප.ය හා ගැටීමට සමත් ආත්ම විශ්වාසයක් ශ්‍රී.ල.නි.පයට ඇති වූයේ ද, පාක්ෂිකයන්ගේ තදබල විශ්වාසයක් තිබුනේ ද මහින්ද ළඟ පමණි. ඔහු ඒවා පුහු ආභරන සේ පිටින් මිලදී ගත් විච්චූර්න නොවීය.

ගැටමාන්නේ හිච්චි පොඩි මහත්තයාගේ සිට සූරියවැව ගමගේ අජිත් ප්‍රියන්ත නොහොත් වම්බොට්ටා දක්වා වූ පුළුල් පරාසයක මිනිසුන් හොඳින් හෝ නරකින් මහින්ද වෙත සිය පක්ෂපාතීත්වය දක්වා තිබුණි. දකුණු පළාත් සභා අමාත්‍ය එම්.කේ.රංජිත් නොහොත් දම්මුල්ලේ චන්ඩි මල්ලී හරහා මෙහෙයවනු ලැබූ දකුණේ ඡන්ද, ඕනෑම තැනකට බැස අඩියක් පුඩියක් ගසා 'එන්නම් මල්ලී' යනුවෙන් ඇමතීමට තිබූ හැකියාව ද නිසා මහින්ද සම්ප්‍රදායික ශ්‍රී.ල.නි.පයෙන් වෙනස් විය. රණසිංහ ප්‍රේමදාස බඳු කෙහෙල්වත්තේ මිනිහෙක් සමඟ හැප්පීමට පමණක් නොව දික්වැල්ලේ එච්.ආර්.පියසිරිලා සමග හැප්පීමට ද එවැන්නෙකු ශ්‍රී.ල.නි.පයට අවශ්‍ය විය.
ජන විඥානයේ පළමු සිරකරුවා
2004 දී අගමැති පුටුවේ වාඩිලාගත් පසු විධායක ජනාධිපති පුටුව තිබුණේ අත පොවන මානයේ ය. චන්ද්‍රිකා තමන්ගේ ප්‍රභූ පෙළැන්තියේ අභිමානය කෙලෙසා ගනිමින් තිබූ අතර මහින්ද සිය අඩු පඬු ශ්‍රී.ල.නි.පය තුළ දිගහැර තිබුණි. 2005 ජනාධිපතිවරණය යාන්තම් ජයගැනීමට මහින්ද සමත් වීමත්, ජ.වි.පෙ. එම මැතිවරණයේ බර ඇදීමත් හරහා මහින්දගේ දේශපාලන දෘෂ්ටිය වමට බර ජාතිකවාදී ප්‍රවණතාවක් ලෙස හඳුනාගත්ත ද මහින්ද වනාහී ලාංකික දේශපාලනයේ පළමු ජනප්‍රියවාදී නායකයා ය. එනම් ජනතාවට කැමති, කැමති ලෙස ප්‍රකාශ වන්නට ඉඩහැරිය සහ ජන විඥානයේ පළමු සිරකරුවා ය.
සීමාව ඉක්මවා යන මොහොතේ දී...
ශ්‍රී.ල.නි.ප.ය තුළ තිබූ බණ්ඩාරනායක ලකුණ වෙනුවට රාජපක්ෂ මුද්‍රාව සහිත පක්ෂයක් මහින්ද බිහි කළ අතර නාමල් රාජපක්ෂ එහි කිරුලත්, රටේ කිරුලත් ලබාගනු බැලීමට ආශා කළේ ය. එය දේශපාලනික තීන්දුවක් වූවාට සිය පිය සලකුණ ඉන් මැකීමට මහින්ද අසමත් විය. තමන්ගේ දීර්ඝ දේශපාලන ගමනේ දී තමන්ට උපකාර කළ මිනිසුන්ට මහින්ද ප්‍රති-උපකාර කළ මුත් සීමාව ඉක්මවා යන මොහොතේ දී ඊට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට ද මැළි නොවීය. වම්බොට්ටා කොස්ගම දී මියයන විට මර්වින් සිල්වාගේ පුතා ගුටි කන්නේ ඔඩෙල් සාප්පු සංකීණය තුළ දී වීම ඒ අනුව පුදුම සහගත නැත.
මුල් පිටපත අහිමිවූ සිමියුලේක්‍රමය
නාමල් සිය දේශපාලන ගමනේ දී සිය පියාගේ අඩිපාරේ යන්නේ ද යන්න කාලය විසින් විකෘති කර ඇත. නාමල්ට හින්නි පොඩි මහත්තයා වෙනුවට ඉරාජ්ව ද, චන්ඩි මල්ලී වෙනුවට මිලින්ද රාජපක්ෂව ද සම්මුඛ වී ඇත. සමකාලීන යුගයේ පරමාදර්ශ බිඳ වැටී සියල්ලන් ම එක සමානයන් වී ඇති නිසා සෙල්ලමේ ඉත්තන් මාරුවී තිබේ. මහින්දගේ යුගයේ යථාර්ථය තිබූ අතර ඒ මත මිනිසුන්ගේ ඇත්ත වුවමනා මෙන්ම ඒ වුවමනා යථාර්ථය සමග බද්ධ වූ රේඛා ද පෙනෙන්නට තිබුණි. නමුත් මේ ඩිජිටල් යුගයේ දී තවදුරටත් යථාර්ථය නොමැති අතර ඒ වෙනුවට තිරයක්, ස්ක්‍රින් එකක් මත මවන යථාර්ථයකට අපි සම්මුඛ වී ඇත්තෙමු.

චණ්ඩි මල්ලීගේ ක්‍රියා සදාචාරය තුළ හොඳ-නරක ලෙස වර්ග කළ හැකි මුත් ඔහු ඒ සියල්ල කරන්නේ මහින්ද වෙනුවෙනි. ඔහුගේ ආශාව මහින්දව රජ කරවීම වනවිට ඔහු ඒ සඳහා ඔහුගේ ජීවිතය ම දෙයි. මේ යුගයේ දී මිලින්ද හෝ ඉරාජ් නාමල් වෙනුවෙන් දෙන්නේ තිරයක් පමණි. යථාර්ථයක් නොමැති බැවින් තිරයෙන් පිටුපස ද කිසිවක් නැත. චණ්ඩි මල්ලී දකුණේ සමාජයේ යථාර්ථයය නියෝජනය කරන බැවින් ඔහුට ඒ සඳහා වගකීමක් තිබේ. ඔහු කරන ක්‍රියාව හොඳ හෝ නරක වුව ද එයට ඔහු වගකිව යුතු ය. ඉරාජ්ට හෝ මිලින්දට කිසිදු වගකීමක් නැත. ඔවූහූ වගකියන සමාජ යථාර්තයක් ද නැත. තිරයකට පිටුපසින් කිසිවකු නොමැති ලෝකයක දී ඔවූහූ නාමල්ට හෝ වග නොකියති. චණ්ඩි මල්ලී යනු මහින්ද රාජපක්ෂගේ පිටපතකි. ඉරාජ් හෝ මිලින්ද යනු නාමල් රාජපක්ෂගේ පිටපත් නොවේ. ඒවා මුල් පිටපත අහිමිවූ, නැතිවූ සිමියුලේක්‍රමයකි. ගැටලුව ඇත්තේ නාමල් බලය ලබාගත් පසු මිලින්දට හෝ ඉරාජ්ට කරන්නේ කුමක්ද යන්නයි.
ට්‍රෝයි චිත්‍රපටියේ වීරයා වූ අකිලීස් මියයන්නේ හෙක්ටර් අතින් නොවේ. ඔහු මියයන්නේ අතිශයින් ම බියසුලු හැරිස් අතින් වැරදි එල්ලයේ විදින හීයක් අකිලීස්ගේ නිලය වූ වළලු කර විනිවිදීමෙනි. ලෝකයේ බොහෝ වීරයින් මියයන්නේ බියගුල්ලන් අතින් වීම ඓතිහාසික සංසිද්ධියකි.
(Samabima Party)

