ස්‍රාවය වූ කෙටිකතා හෙවත් ‘ඊස්ට්‍රජන් කෙටිකතා ස්‍රාවය’

ස්‍රාවය වූ කෙටිකතා හෙවත් ‘ඊස්ට්‍රජන් කෙටිකතා ස්‍රාවය’

2025 වසර වෙනුවෙන් විදර්ශන සාහිත්‍ය ත්‍යාගය දිනාගත් ප්‍රශස්තම කෙටිකතා අත්පිටපත වන්නේ සුරේඛා සමරසේන විසින් ලියන ලද ‘ඊස්ට්‍රජන් කෙටිකතා ස්‍රාවය’ නැමැති අත්පිටපත යි.


මෙම ජයග්‍රාහී අත්පිටපත විදර්ශන ප්‍රකාශන ආයතනය විසින් පොතක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ‘ඊස්ට්‍රජන් කෙටිකතා ස්‍රාවය’ කතුවරියගේ දෙවන කෙටිකතා සංග්‍රහය වන අතර මෙම කෘතිය කෙටිකතා හයකින් සමන්විත ය.


ESTROGEN
මනෝලිංගික මෙන් ම ජීවවිද්‍යාත්මක සාධක

මෙම කෙටිකතා සංග්‍රහය හරහා අප වෙසෙන වාස්තවික සමාජයේ විවිධ ස්ත්‍රී භූමිකා ඉතා තාත්විකව සහ එකී සන්ධර්භයන් තුළ සැබෑ ස්ත්‍රියක විසින් අපේක්ෂා කරනු ලබන මනෝලිංගික මෙන්ම ජීවවිද්‍යාත්මක සාධක පදනම් කරගත් අනේකවිධ කාරණා ස්ත්‍රියකගේ දෘෂ්ටිකෝණයෙන් ලියවී ඇත. මෙහි අපට හමුවන ගැහැනුන් විවිධාකාරය. ඔවුනගේ බලාපොරොත්තු හා අශා විවිධ ය. පුරුෂමූලික සමාජයක විවිධ තලවල ජීවත්වන මෙරට ස්ත්‍රිය අත්විඳින, අත්දකින සමාජ සහ සංස්කෘතික කාරණා හරහා ඇගේ චිත්තවේග (හැඟීම්, දැනීම්) කුටුම්බයක් තුළ සිරවන ආකාරයත්, ඒ නිසා ඇය විඳින පීඩාවත් මැනවින් පිළිබිඹු වන පරිදි එකිනෙකට වෙනස් තේමා ඔස්සේ මේ අඛ්‍යාන සියල්ල කතුවරිය විසින් ඉතා යථාර්ථවාදීව රචනා කර ඇත. මේ කතා, ප්‍රබන්ධ කතා යැයි කෙනෙකුට උපකල්පනය කළ හැකි වුව ද සත්‍ය වශයෙන් ම මේවා ප්‍රබන්ධ කතා ලෙස ලඝු කිරීම සාධාරණ නොවන බව මාගේ හැඟීම ය.



men wife gender roles1


දෙපාර්ශ්වයේ චිත්තවේග දෙපාර්ශ්වය හඳුනා ගැනීම

ගැහැනියක පුරුෂයෙකු කෙරෙහිත්, පුරුෂයකු ගැහැනියක කෙරෙහිත් දක්වන ආකර්ෂණය සහ කැමැත්ත ලිංගිකත්වය මත පමණක්ම පදනම් වූවක් ද, දෙදෙනෙකු අතර පවතින සමීප සබඳතාවල සෞඛ්‍යසම්පන්නභාවය කෙරෙහි ලිංගිකත්වය නැමැති සාධකය ඍජුවම බලපෑවා ද, ඊට එහා ගිය වෙන යමක් එකී සබඳතාවල දක්නට නොලැබෙන්නේ ද? ගැහැනුන්ට වඩා පිරිමින් ද, පිරිමින්ට වඩා ගැහැනුන් ද වෙනස් බව අපි දනිමු. ඔවුන්ගේ අශා ද විවිධ බව අපි දනිමු. ‘ඊස්ට්‍රජන් කෙටිකතා ස්‍රාවය’ නැමැති කෙටිකතා සංග්‍රහයේ දී, ස්ත්‍රියගේ අශාව සහ පුරුෂයාගේ අපේක්ෂාව පවතින්නේ ස්ථර දෙකක බව මෙහි එන කතා දෙස සියුම්ව බලන විට පෙනී යන කරුණකි.


painted color ink illustration man woman stand with their backs each other divorce concept 955712 20543
දෙයක් ඍජුවම පවසනවාට වඩා නිහඬව හිඳීම හෝ වක්‍රාකාරව පැවසීම බොහෝ සබඳතාවල දැකගත හැකි දෙයකි. ඒ තුළින් අපේක්ෂා කරන්නේ එක පාර්ශවයක චිත්තවේගයන් අනෙක් පාර්ශවය විසින් මැනවින් අවබෝධ කර ගනු ඇති බවට වන අවංක විශ්වාසයයි. ආදර සබඳතාවයක් හෝ විවාහ සබඳතාවයක් තුළ නිහඬව හිඳීමේ මෙම රෝග ලක්ෂණයේ ස්වභාවය වටහාගන්නේ කීයෙන් කී දෙනාද? මේ කාරණය විශේෂයෙන්ම ස්ත්‍රියකගේ ආශාවන් අනෙකා වෙත දැනවීමට ස්ත්‍රිය විසින්ම ගනු ලබන ක්‍රියාමාර්ගයකි. මේ තත්ත්වය හමුවේ දෙදෙනා අතර පවතින අනවබෝධය හා දුර්වල සන්නිවේදනය හේතු කොට ගෙන කුටුම්බයන් තුළද, ප්‍රේමවන්තයන් තුළද විවිධ ගැටුම් නිර්මාණය වේ.


චරිතවලට අනන්‍ය වූ චරිත ලක්ෂණ සහ ස්වභාව

මෙම කතා තුළ දී අප සමාජයේ වෙසෙන විවිධ කාන්තාවන් අපට හමුවේ. ඇතැමකු වෙසෙන්නේ නාගරික පරිසරයක ය. තවෙකෙක් ගමෙහි වාසය කරති. අර්ධනාගරික වටපිටාවකට උරුමකම් කියන ස්ත්‍රීහු ද සිටිති. ඔවුන්ගේ ජීවන තත්ත්ව සලකන විට ඉහළ, මධ්‍යම සහ පහළ යන සෑම පන්තියක ම නියෝජන පාඨක අපට දැකගත හැකි ය. මෙහි දී එන ඇතැම් කාන්තා චරිත ඔවුන් ජීවත්වන සමාජ සන්දර්භයට අනුව ජීවිතයේ විවිධ තීන්දු තීරණ ගැනීමේ දී, සභ්‍යත්වය සමග බැඳුණු පොදු අපේක්ෂාවල මෙන්ම පුරාතනයේ සිට ඔවුන් කූඩුවී සිටින / කූඩුකර තිබෙන සම්මත සහ ගතානුගතික සංස්කෘතික රාමුවට එරෙහිව ක්‍රියා කරන ආකාරය ඒ ඒ චරිතවලට අනන්‍ය වූ චරිත ලක්ෂණ සහ ස්වභාව හරහා නිරූපණය කිරීමට කතුවරිය ගෙන ඇති උත්සාහය අගය කළ යුතු ය.


Large Group of diverse people profile view hand drawn.

අඹු-සැමියන් හට උදා නොවන තෘප්තිමත් ජීවිතය

විවාහක අඹුසැමියන් ප්‍රාර්ථනා කළ යුත්තේ සතුට, සමාදානය නොවේ ද, දරුවන් ඇතුව හෝ නැතුව ලද දෙයින් සෑහීමකට පත්ව තෘප්තිමත්ව ජීවත්වීම නොවේ ද, මෙහි එන ‘වැලි සිමෙන්ති’ කතාවේ අඹුසැමියන්ට එකී තෘප්තිමත් ජීවිතයක් කවදා නම් උදාවේවි ද? සිය සකලවිධ අපේක්ෂා ඔවුන්ගේ නිවස සාදන අතරතුර වැලි සහ සිමෙන්ති අතර දියවී යන අයුරු ස්ත්‍රියකගේ දෘෂ්ටියෙන් කතුවරිය මතු කරන ආකාරය විශ්මය ජනක ය. රෙදිසේදීම, ඉවීම, ගෙවල් අස්පස් කිරීම හැරුණු විට මේ කතාවේ ස්ත්‍රියට වෙන රාජකාරියක් නැත. ක්‍රියාත්මක වන්නේ සැමියාගේ අණ ය. කුමක් කළ ද ඇගේ ස්වාමියාගෙන් ඇයට අවසානයේ හිමිවන්නේ ගැරහුම් පමණි. අඩුම තරමේ සාදනු ලබන මුළුතැන්ගෙය ස්වකීය අවශ්‍යතාවලට ගැළපෙන අන්දමට නිමවාගැනීමට හෝ ඇය ඉඩක් නොලබන්නී ය. අඩුපාඩුවක් පෙන්වා දීමට ඇයට අවස්ථාවක් නොලැබෙන්නී ය. එම නිවස සාදා අවසන් වන විට පවුල් සංස්ථාව බිඳී යනු ඇතැයි යන සැකයෙන් මේ කාන්තාව පසුවන අතර සිය නිවස තුළ ඇය අත්විඳින පීඩාවේ තරම පාඨකයාට මැනවින් ඒත්තු ගැන්වෙන පරිදි මෙම කතාව කතුවරිය විසින් මනාව ගොතනු ලැබ ඇත.

 

she lives for this shit


තොරණ කොටු සහ ජීවිත කොටු

‘කොටු පැනීම’ වත්මන් සමාජයේ පවුල් ඒකක තුළ සුලභ දෙයකි. අඹුසැමියන් අතර සේම, තිස්තුන් කෝටියක් වන දේව මණ්ඩලයේ ද, ජාතක කරන ලද මව්පියන්ගේ ද නාමයෙන් හිසමත දිවුරා පොරොන්දු ලබා දෙන ප්‍රේමවන්තයන් අතරද කොටුපැනීම කලාවක් වී ඇත. ‘තොරණක්’ කෙටිකතාව හරහා පිළිඹිබු වන්නේ විවාහ ජීවිතයේ ලබන හා විඳින අතෘප්තිය සන්සිඳුවා ගැනීමට උත්සාහ කරන ස්ත්‍රියකගේ චරිත ස්වභාවය යි. තොරණක කොටුවලින් කියවෙන්නේ කතාවක විවිධ සිද්ධි ය. සැමියාට හා නැන්දම්මාට මුසාබස් පවසන මෙහි එන විවාහක කාන්තාව සිය අනියම් පෙම හමුවේ තෘප්ත වන ආකාරය කතාවේ එන තොරණේ කොටු හරහා නිරූපණය වේ. එහි දී ඔවුන්ට අත්විඳීමට සිදුවන විවිධ බාධක කතුවරිය විසින් සිත් ඇදගන්නා අන්දමට විස්තර කෙරේ. අහම්බයෙන්න් මුණගැසෙන පිරිමියකුගේ අපේක්ෂා හමුවේ මෙකී විවාහක කතගේ ආශා දියවී යන අයුරු දැක ගැනීමට නම් තොරණ දෙස අපට බලා හිඳීමට සිදුවේ.


535554377 10234445872081672 4295235209895496589 n

පරිකල්පනය සහ නිර්මාණාත්මක භාවය

කතුවරිය සිය තුන් වන කෙටිකතාව නම් කර ඇත්තේ ‘පොට්ටු’ නමිනි. විවාහක සැමියා නොමැතිව තනිවම සංචාරය කරන ශිල්පාට පොට්ටුව අවශ්‍ය වන්නේ ඇයි? පොට්ටු මංජුසාවෙන් ඉවතට ගන්නා පොට්ටුව නළල මැදින් තබන ශිල්පා ඊළඟට කරන්නේ කණ්ණාඩිය ඉදිරියට ගොස් ඇය සමග ම සංවාදයේ යෙදීම ය. මෙම සංවාද, ඇය තුළ පවතින අවිඥානික හැඟීම් මෙන්ම ඇගේ විවිධ මනෝභාව නිරූපණය කිරීම සඳහා කතුවරිය විසින් ඇගේ පරිකල්පනය මුසු කර නිර්මාණාත්මකව ගොඩනංවා තිබෙන බව පෙනී යයි.

 

33cd23b5da9c12301f61dcc69a38ed14

 
 ශිල්පා පසුවන්නේ ස්වකීය සම්ප්‍රදායත්, සංස්කෘතියත් යන කාරණා දේවත්වයෙන් සලකමිනි. තමා දේවත්වයෙන් සලකන ඒ සංස්කෘතික කාරණා ඇයට ඇගේ සිතැඟි ඉටුකර ගැනීමට බාධාවක් වුව ද අවසානයේ ලෞකික සුඛවිහරණය උදෙසා ඇය ක්‍රියා කරන්නේ ඒ බාධක කිසිවක් මායිම් නොකරමිනි. නුපුරුදු දේශයක ඇයට මුණ ගැසෙන අසංක නම් වූ මගපෙන්වන්නා, ඔහුගේ නිවසේ දී එරමිණියා ගොතාගෙන භාවනා කරන විට ඔහු දෙස විනාඩි පනහක් පමණ ඉවසීමෙන් බලා සිටින ශිල්පා අවසානයේ ඔහුගේ උකුළ මත වාඩිවන්නේ කුමක් අරබයා ද, ආශා සිරවී පවතින පවුල් සංස්ථාවෙන් මඳකට ඈත් වූ විට දැනෙන නිදහස හමුවේ ශිල්පා ක්‍රියා කළේ කුමන බලාපොරොත්තුවෙන් ද? කතාව කියවීම පාඨක ඔබට බාර කරමි.


වැඩිහිටි මානසික ව්‍යාකූලත්ව

සංස්කෘතික කාරණාවක් වන වැඩිහිටියන්ට සැලකීම අපි නිතැතින් ම උරුමකරගෙන සිටිමු. ජීවිතයේ අවසාන කාර්තුව ගෙවන බහුතරයක් වඩිහිටියෝ සෞඛ්‍යයෙන් පිරිහුණු අය වෙති. එවන් වැඩිහිටියෙකු මානසික ව්‍යාකූලත්වකට ගොදුරු වී තිබීම වඩාත් සංකීර්ණ තත්ත්වයකි. ‘අපි දෙන්නා’ නම් වූ කෙටිකතාව හරහා කතුවරිය අපට ගෙන එන්නේ එවැනි මානසික රෝගයකින් පෙළෙන බාලම්මාගේත් ඇගේ ඥාති දියණියකගේත් කතාවකි. රැකබලාගන්නිය අත්විඳින සංකීර්ණතා පාඨකයාට අවබෝධ වන පරිදි කතුවරිය විසින් මේ කතාව ගොතා ඇත.


MotherCombing OilonCanvas 18x18Inch
ගැහැනියකගේ අවිනිශ්චිත ආශා

ජීවිතයේ නිවැරදි තීරණයක් ගත නොහැකිව, එහෙත් හමුවන තීරණාත්මක ගැටලු හමුවේ කුමක් හෝ තීරණයක් ගෙන තිබුණ ගැහැණුන්ගේ කතා ‘වංකගිරියක’ නම් වූ කෙටිකතාවෙන් අපට කියවා ගත හැකිය. මේ කතාවල හමුවන ගැහැනුන් විවිධය. ඔවුන්ගේ මනෝභාව විවිධ ය. ඔවුන් මුහුණපාන සංකීර්ණතා විවිධ ය. ඔවුන් මහාද්වීපික ගැහැනුන් මෙන් රැඩිකල් මත දැරුව ද ඔවුන්ට ඇත්තේ දූපත් මානසිකත්වයකි. මේ තත්ත්ව දෙකට මැදිවූ අතීරණාත්මක ගැහැනියකගේ අවිනිශ්චිත ආශාවල ස්වභාවය මේ කතාව හරහා දිගහැරෙයි.


සමනල හැඟීම් මෝදු වීම

මෙහි එන අවසාන කෙටි කතාව වන්නේ ‘කනදරාවේ කාන්ති’ ය. කාන්ති එක් දරු මවකි. ඇගේ සැමියා ඇයට අහිමි වන්නේ නොසිතූ මොහොතක ය. ඇයටත් ඇගේ එකම පුතාටත් තනි රැකීම සඳහා මිය ගිය පුරුෂයාගේ ඥාති පුත්‍රයෙකුට ඔහුගේ නිවසෙන් අනුමැතිය හිමිවේ. යෞවනත්වය පසුකරමින් සිටින වෙනුරගේ හැඟීම් කාන්ති ඉදිරියේ මුදා හැරෙන ආකාරය මේ කතාවෙන් නිරූපණය වේ. අතිශය දුෂ්කර ග්‍රාමයක වෙසෙන වෙනුර වන් තරුණයන්ගේ සමනල් හැඟීම් ක්‍රමයෙන් මෝදුවීම කාන්ති වැනි මැදිවියේ කතකට කෙසේ නම් පාලනය කළ හැකි ද, ස්වභාවික ආශා තෘප්ත කර ගැනීම වෙනුවෙන් වෙනුර ක්‍රියා කරන්නේ කෙසේ ද, වෙනුරගේ කවකටු පෙට්ටියේ සලකුණු මැකුණු කෝණමානයෙන් සහ කැඩුණු කවකටුවෙන් සංකේත්වත් වන්නේ මොනවා ද, ඇගේ තනිකම මෙන්ම කාන්සිය නිවාදැමීමට වෙනුරට හැකියාවක් ලැබේ ද, කාන්ති එය භාරගන්නේ කෙසේ ද, ගාමන්ට් රස්සාව කරන කාන්තිට තෙල් සාත්තුවෙන් ලැබෙන සුවය කෙබඳු ද? පිළිතුරු සියල්ල ‘කනදරාවේ කාන්ති’ කියවන විට ලැබෙනු ඇත.
 

3005071 PBXLLTPB 7

නොලියූ කෙටිකතා

කතුවරිය සිය පෙරවදනේදී සඳහන් කර ඇති දෙයක් මම මෙහි දී උපුටා දැක්වීමට කැමත්තෙමි.

‘අවසානයේ දී මේ කෙටිකතාමය වියමන්වලට ‘නමක්’ යෝජනා කිරීමට අවැසි වූ විට, මම එය ස්ත්‍රීන්ගේ ලිංගික හෝර්මෝනයෙහි නමින්, එනම් 'ඊස්ට්‍රජන්' යනුවෙන් හැඳින්වීමට කැමති වූයෙමි. තව ද මේ කතා කිසිදු ආකාරයකින් 'ඕතෙන්ටික් ගුණයෙන්' නොපිරිහුණු, කොටින්ම ලිවීමේ අත්දැකීම පවා කිසිදු ආකාරයකින් ආයාසකර නොවුණු බැවින්, ඒවා 'ලියූ කෙටිකතා' යනුවෙන් හැඳින්වීමට වඩා 'ස්‍රාවය වූ කෙටිකතා' යනුවෙන් හැඳින්වීමට ද අදහස් කළෙමි.’

පිරිමි අපේක්ෂාවල යටත්වීමට සිදුවන, සකලවිධ ආශා විවිධ හේතු නිසා යටපත් කරගෙන සිටින, කුටුම්බයක් තුළ සිය ආශා අවතැන් කරගෙන ජීවත් වන, සංස්කෘතිය සහ සභ්‍යත්වය හමුවේ රාමුවකට කොටුවී සිටින, ජීවත්වන සමාජ පන්තියේ සීමාවල අසීමිතව නතුවුණ, අසීමිත සහ අතෘප්තකර සිතැඟි කෙසේ හෝ මුදුන්පමුණුවා ගැනීමට වෙහෙසෙන විවිධ කාන්තාවන් අපට මෙම කෙටිකතා පොත හරහා මුණගැසේ. කියවන පාඨකයින් ලෙස අප කළ යුත්තේ එසේ මුණගැසෙන කාන්තාවන්ට විනිශ්චයන් ලබා දීම නොව ඔවුන්ව තේරුම් ගැනීමට උත්සාහ කිරීම ය. පුරුෂයාගේත් ස්ත්‍රියගේත් චිත්තවේග ක්‍රියාකරන අන්දම වටහාගැනීමට උත්සාහ කිරීම ය.

කෙටිකතා සංග්‍රහයට ලබාදී ඇති නමෙහි පරිසමාප්ත අර්ථයෙන්ම මෙය ස්ත්‍රීන්ගේ කතා ස්‍රාවයකි. රචනාකොට තිබෙන සුමට හා සරල බස් වහර නිසා කියවන පාඨකයා පළමු කතාවේ සිට අවසාන කතාව දක්වා ම එකම ස්ථරයක රඳවා තබාගැනීමට කතුවරිය සමත්වී ඇති බව කිව යුතු ය. ඇයගේ පරිකල්පනය ද විශිෂ්ට ය.
 

(චතුරංග වර්ණකුලසූරිය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න