විනිශ්චයට ගැරහීමට පෙර ඔබේ භාෂාව අධ්‍යයනය කරන්න

විනිශ්චයට ගැරහීමට පෙර ඔබේ භාෂාව අධ්‍යයනය කරන්න

රාජ්‍ය සම්මාන 2025 - සම්මාන සහ නිර්දේශ කටයුතු කෙතරම් අගති රහිත ලෙස‍, ගුණාත්මක ලෙස සිදු කරන්නට සංවිධායකයින් ලෙස අප කටයුතු කළේ දැයි මාධ්‍ය සහ විවිධ ප්‍රකාශන හරහා අප ජනතාව දැනුවත් කොට තිබුණා. වාර්ෂිකව සිදුවන විවේචන පවා මෙවර දකින්නට නොලැබුණේ ඒ දැරූ වෙහෙස නිසා. (තමන්ට සම්මාන නොලැබීම නිසා ඇති වන සිත් රිදවා ගැනීම් නම් ලෝකාවසානය දක්වා පවතින්නට නියමිත බැවින් ඊට කළ හැකි යමක් නම් නෑ. )


අවසාන වටයට තම පරිවර්තිත කෙටිකතා කෘතියක් තේරී නැති හේතුව නිසා එක්තරා පරිවර්තකයෙකු‍, විවිධ මාධ්‍ය හරහා රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයට‍, විනිශ්චය මණ්ඩලවල ගරු සාමාජිකයින්ට‍, පමණක් නොව ආණ්ඩුවට ද බරපතළ, සාහසික ලෙස දේශපාලනික මෙන්ම පෞද්ගලික අපහාස කරන මට්ටමට චෝදනා එල්ල කරමින් හැසිරුණා. විවිධ අය විවිධ වාසි මත එය කර තබා ගෙන ගොස් අවසානයේ පුවත්පත් හරහාත් ඔහු චෝදනා කළ නිසා‍, ඔහු ගැනත් ඔහුගේ උත්සාහ ගැනත් ඇති අනුකම්පාව එසේ තිබිය දී ම‍, ඔහු අධිතක්සේරුවට ලක් කොටගෙන සිටින කෘතිය පිළිබඳ සත්‍යය ඉතා කෙටියෙන් එම පුවත්පත හරහා ම මෙසේ හෙළි කෙරෙනවා.

මේ‍, මව්බිම පුවත්පතට රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2025- පරිවර්තිත කෙටිකතා සමීක්ෂක මණ්ඩලයේ සාමාජික පියල් කාරියවසම් එම කරුණ අරභයා ලියූ පිළිතුරයි.

 

piyala largeපරිවර්තිත කෙටිකතා සමීක්ෂක මණ්ඩලයේ සාමාජික පියල් කාරියවසම්

මව්බිම ඉරිදා ‘රස’ සාහිත්‍ය අතිරේකයේ ඔක්තෝබර් 05වෙනි දා පළ වූ සම්මුඛ සාකච්ඡාවේ දී සත්‍යපාල ගල්කැටිය ලේඛකයා රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා පරිවර්තන කෙටිකතා සංග්‍රහය තේරීමේ දී තමාගේ කෘතියට අගතියක් වී යැයි චෝදනා කර තිබිණි. මේ ඒ සඳහා රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයෙන් ලද පිළිතුරු ලිපියකි.

සාහිත්‍ය කෘතියක්, නිර්මාණයක් පරිවර්තනය කිරීම භාෂා පරිවර්තකයකුගේ, එනම් දිව්රුම් දුන් භාෂා පරිවර්තකයකුගේ කාර්යයකට වඩා ඉඳුරා වෙනස් වන කාර්යයකි. මන්ද සාහිත්‍යකරුවකුගේ නිර්මාණාත්මක ප්‍රවේශය තුළ යම් නිශ්චිත සමාජ දේහයක භාෂාමය මෙන්ම භාෂා කේන්ද්‍රීය ලෝකයේ දේශපාලනයක්, භාෂා ආධිපත්‍යයට එරෙහිව ගෙන යන්නා වූ අරගලයක් පවතින හෙයිනි. එහෙයින් ඕනෑම සාහිත්‍ය නිර්මාණකරුවෙක් සියුම් ලෙස තමාගේම භාෂා ලෝකයක් ‍ගොඩනගා ගනී. එසේම ඒ ගොඩනගා ගැනීම මතවාදී අරගලයක ස්වරූපය ද ගනී. පියදාස සිරිසේන කතාකරුවාගේ කතා කීමේ විලාසයෙන් (භාෂා භාවිතයෙන්) මාර්ටින් වික්‍රමසිංහගේ කතා කීමේ විලාසය (භාෂා භාවිතය) වෙනස් වන්නේ එහෙයිනි.


book20review 65263741
මේ ප්‍රවිශ්ටයෙන් මා උත්සාහ කරන්නේ ඕනෑම සාහිත්‍යකරුවකු තමන් විසින් සකසා ගත් භාෂා ලෝකයක තම වැඩබිම පවත්වාගෙන යන බව ස්ථාපිත කිරීමට යි. ඒ අනුව උසාවි භාෂා පරිවර්තකයන්ගෙන්, පාර්ලිමේන්තු භාෂා පරිවර්තකයන්ගෙන්, ආගමන විගමන අංශයේ භාෂා පරිවර්තකයන් නොව, ආගමික පතපොත පරිවර්තනය කරන්නන්ගෙන් සාහිත්‍ය පරිවර්තන නිර්මාණකරුවා වෙනස් වෙයි. මා මෙහි දී සාහිත්‍ය නිර්මාණකරුවා ලෙස පරිවර්තකයා හඳුන්වන්නේ එය මුල් නිර්මාණකරුවා තරමට ම නිර්මාණාත්මක ක්‍රියාවලියක් – විඳවීමක්, අරගල කිරීමක් වන හෙයිනි. මෙම අරගලයේ දී පරිවර්තකයා විශේෂයෙන් සාහිත්‍ය නිර්මාණ පරිවර්තනය කරන මුල් කෘතියක් කියැවීමේ දී අවධානය කළ යුතු කරුණු හතරක් අනිවාර්යයෙන් දක්වාලිය හැකි වේ.

පරිවර්තනය කරන මුල් කෘතියක් කියැවීමේ දී අවධානය කළ යුතු කරුණු හතරක්

* පළවෙනි කරුණ වන්නේ භාෂාව පිළිබඳ සංසන්දනාත්මක කියැවීමේ හැකියාවයි (මෙය තිරස් සහ සිරස් අතට කියැවීමට හැකියාවක් ඔහුට තිබිය යුතු වෙයි).

* දෙවන කරුණ වන්නේ නිශ්චිත කෘතිය බිහි වූ සමාජ දේහයේ සංස්කෘතික සංඥාර්ථ – භාෂා සංස්කෘතිය සමග ගෙන කියැවීමේ ශික්ෂණයක් පරිවර්තකයා සතු විය යුතුය (ජීවිත කාලයෙන් හරි අඩක්ම දොස්තොව්ස්කි සහ ටොල්ස්ටෝයි පරිවර්තනය කරනු ලබන ඇමරිකානු ජාතික Richard Pevear ගේ සහ රුසියානු ජාතික Larissa Volokhonsky ගේ පරිවර්තන කලා කේන්ද්‍රීය ජීවන ගමන පිළිබඳව සොයා බලන්න. එය වීර චාරිකාවකි.)

* තුන්වනි කාරණය වන්නේ පරිවර්තන උපක්‍රම කෙරෙහි අවධානය උපරිමව තිබිය යුතු වීමය (නිදසුනක් ලෙස ඒ.පී. ගුණරත්න හියු නෙවිල්ගේ ජනකතා සංග්‍රහය සිංහලට පරිවර්තනය කිරීමේදී වන්නි බස යොදාගැනීම දක්වාලිය හැකිය. මන්ද හියු නෙවිල් පෙරළා ඉංග්‍රීසියට එකතු කරගත් කතා යටත්විජිත පුරවැසියාගේ භාෂා ව්‍යවහාරයෙන් පොහොසත්වීම නිසා ය.)

* සිව්වැනි කාරණය වන්නේ නිර්මාණාත්මක සංකේතමය අතින් මුල් සාහිත්‍යකරුවා තරමට ම පරිවර්තකයා ද ශික්ෂණයක් ලබා තිබීමය (නිදසුනක් ලෙස ජපන් කතාකාර ඉනොඋඒ යසුෂිගේ Shotgun කෙටිකතාව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විසින් ‘වෙඩික්කාරයා’ ලෙස පරිවර්තනය කර ඇති ආකාරය බලන්න.)


ඉතා නොසැලකිල්ලෙන් දෘඪ හෝ ඍජු අරුත් මුද්‍රණය කිරීම


ඉහත උදාහරණ සහිත කරුණු හතරෙන් මා විසින් ස්ථාපිත කිරීමට උත්සාහ කරනු ලැබුවේ අප පරිවර්තිත කෙටිකතා කියැවීමේ දී හුදු කතා කියැවීම මෙන්ම භාෂා කේන්ද්‍රීය දේශපාලනය කෙරෙහි අවධානයෙන් කියැවීම කළ බව දක්වා සිටීමට ය. තව ද මෙම අවධානයේ දී අපට හමු වූ බොහොමයක් පරිවර්තන කෙටිකතා සංග්‍රහ ඉතා නොසැලකිල්ලෙන් මෙන්ම භාෂා කේන්ද්‍රීය, එනම් දෘඪ හෝ සෘජු අරුත් මුද්‍රණය කිරීමට (පරිවර්තන ලෙස) උත්සුක වී ඇති බව ය.

වෘතාන්තවේදය විසින් නිරන්තරව යෝජනා කරනු ලබන සුමට හෝ පහසු බව මෙන්ම භාෂා රටා ග්‍රහණය කරගැනීමේ පහසු සන්නිවේදන මාර්ගයකට කියවන්නා රැගෙනයෑමේ සංග්‍රහශීලීත්වයට වඩා ඉතා දුර්වල මෙන්ම කටුක මාර්ගයකට කියවන්නා තල්ලු කිරීමට පරිවර්තකයා උනන්දු වී ඇති බව මෙන්ම අධිවිශ්වාසයක් ද පරිවර්තකයින්ගේ මුද්‍රණය කිරීමේ හදිස්සිය මත ප්‍රදර්ශනය කරනු ලැබී ය.

එහෙයින් මෙවැනි පරිවර්තන ඉතා බාල ලෙස මුල් කතාකාරයින්ගේ කීර්තිය පමණක් නොව ඔවුනොවුන්ගේ විශිෂ්ට කතා විනාශ කර, විකෘති කර දැමීමක් ද බොහෝ පරිවර්තන කෙටිකතාවලින් සිදු වූ අයුරු දැකගන්නට ලැබුණි. විශේෂයෙන්ම භාෂා සංස්කෘතික කෝෂ සමග අරගලයක නොයෙදුණු, පදානුගතවම කුරිරු ලෙස වචන – අරුත් විනාශ කළ කතා බොහොමයක් පැවැති එක් කතා සංග්‍රහයක එන මේ දළ පරිවර්තන දක්වමි. මුල් කෙටිකතාව The Snow Child වන අතර කතාකාරිය ඉංග්‍රීසි භාෂාවෙන්ම කතා කලාවේ යෙදෙන ඇන්ජලා කාටර්ය. කතාව ආරම්භයේ දී ම කාටර් මෙසේ කියයි.

 

angela carter 1ඇන්ජලා කාටර්

“The Count and his wife go riding, he on a grey mare and she on a black one, she wrapped in the glittering pelts of black foxes: She wore high, black, shining boots with scarlet heels, and spars.”

මෙම රිද්මයානුකූල ඉංග්‍රීසි ජනකතා රිද්මය සහිත වැකිය පරිවර්තකයා විසින් පරිවර්තනය කරනු ලැබ ඇත්තේ මෙසේ ය.

“වංශාධිපතියා සහ ආර්යාව වෙළඹුන් පිට නැගී ගමන් කරමින් සිටියහ. ඔහු නැගී සිටි වෙළඹ අළු පාට විය. ඇය නැගී සිටි වෙළඹ කළු පාට විය. ඇය දිලිසෙන කළු නරියා නමින් හඳුන්වනු ලබන ලොම් කබායක් හැඳ සිටි අතර, රතු අඩි සහිත උස, කළු පැහැ, දිලිසෙන සපත්තු පැළඳ සිටියාය.”

ඉංග්‍රීසි වාක්‍යයේ කළු නරියෙක් නමෙන් ඇත්තේ කළු නරින්ගේ හමින් කළ දිලිසෙන ශීත කබායක් වැන්නක් බව ඕනෑම වයසක හැරී පොටර් කතා මාලාව කියවන්නෙකුට වුව වැටහේ.

තවද “They come to a hole in the snow: this hole is filled with blood.” යන කොටස පරිවර්තනය වී ඇත්තේ “ඔවහු ගැටිත්තකින් යුතු හිම සහිත පෙදෙසකට පැමිණියහ. එම ගැටිත්ත ලෙයින් පිරී ඇත.” යනුවෙනි. “hole” යන්නට “ගැටිත්තක්” ලෙස සිංහල භාෂාවෙන් වහරනවා ගම්ලත් ශබ්දකෝෂයේ සිට මලලසේකර, ඉපැරණි ඩබ්.ඇස්. රණසිංහ, 1955 දී මුද්‍රණය වූ ඒ.පී. ද සොයිසා යන ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂවල පවා මට සොයාගත නොහැකි විය.

කතාව ආරම්භයේ දී ම ප්‍රදර්ශනය වූ තවත් විකෘති හෝ කුරිරු පරිවර්තන දෝෂයක් මෙසේ දැක්විය හැකිය. “So they ride on again: here is a raven: perch on a bare bough.”  යන කොටස සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත්තේ “නැවත ඔවුහු පැදීම ආරම්භ කරති. වංශාධිපතියා අත්තක වසා සිටින ‘ඇත්කඳ ලිහිණියකු’ දකියි.” යනුවෙනි.

Raven යනු අපේ කපුටාට වඩා තරමක් විශාල, ශීත රටවල වැඩියෙන් ජීවත් වන කපුටකු මිස, ඇත්කඳ ලිහිණියෙකු ගැන මේ වාක්‍යයේ මේ ඉංග්‍රීසි ජනවහරට අදාළ රිද්මයානුකූල කියාපෑමේ හැඟවුම නොකරයි. බොරලැස්ගමුවේ ජී.එස්. පෙරේරාගේ ‘හෙළදිව පුවත’ කෘතියේ ඇත්කඳ ලිහිණි ලවා යපස් මළපහ කරවූ තාක්ෂණික උපක්‍රමයක් ගැන සඳහන් වෙතත්, ඇත්කඳ ලිහිණියා අලංකාර, මනඃකල්පිත සත්වයෙක් පමණි. එඩ්ගා ඇලන් පෝ, බ්රෑම් ස්ටෝකර්, පුරාණ ගොතික් නවකතා ලියූ Horace Walpole, William Beckford ගේ කෘති කියවුවහොත් මේ පරිවර්තකයාට ඕනෑ තරම් විශාල කපුටන් හමු වනු ඇත්තේය.


p0285rc1
පරිවර්තන කලාවත් දේශපාලන න්‍යායපත්‍රයත් එකට එකතු කිරීම

දැන් අපගේ තර්කය වන්නේ මෙවැනි මූලික හැකියාවකින් සහ කැපවීමකින් තොරව කතා පරිවර්තනය කරන්නෙකු ඉතා බරපතළ ලෙස පරිවර්තන සාහිත්‍යය විනාශ කර දමනු ලබන බව ය. මන්ද පාසල් සහ උසස් අධ්‍යාපන ආයතනවලත් සාමාන්‍ය කතන්දර කියවන්නුත් ඇන්ජලා කාටර් තේරුම් ගන්නේ කියවන්නේ මේ බිඳුණු භාෂා ප්‍රතිබිම්භය මත වීමය. ඇන්ජලා කාටර් මතු නොව, ඉංග්‍රීසි භාෂාවට පෙරී එන වෙනත් භාෂාවන්ගෙන් ලියැවුණු කතා මේ පරිවර්තකයා අතින් විනාශ වී, කෙලෙසී ඇති ආකාරයට උදාහරණ දීමට මම උත්සුක නොවෙමි.

 එහෙත් පරිවර්තන කලාවත් දේශපාලන න්‍යායපත්‍රයත් එකට එකතු කරමින්, එයට සාහිත්‍ය අනුමණ්ඩලය විසින් පත්කරනු ලැබූ, කතා විනිශ්චයට ලක් කළ විනිශ්චය මණ්ඩලය අපහසුතාවට ලක් කිරීමට වඩා මේ පරිවර්තකයා කළ යුත්තේ භාෂාව අධ්‍යයනයයි. තවද ජිනදාස ලේල්වල, සිරිල් සී. පෙරේරා, ඒ.පී. ගුණරත්න වැනි පරිවර්තකයින් හැදෑරීම යි.


සාහිත්‍යය සහ රාජ්‍යය අතර ඇති සබඳතාව

ධනවාදී සහ සමාජවාදී රාජ්‍ය පිළිබඳව සහ ඒවායේ සංස්කෘතික ක්‍රියාකාරකම් පිළිබඳව වූ සංවාදය ඉතා ගැඹුරු එකක් බව මම ඔබට මෙතැනදී මතක්කර දීමට කැමති වෙමි. ධනවාදයත් සමාජවාදයත් ඒ හා බැඳුණු කේන්ද්‍රීය රාජ්‍ය පිළිබඳවත් ඔබට ඇත්තේ ඉතා අල්ප අවබෝධයක් බව මේ මොහොතේ ලංකාව සමාජවාදී රාජ්‍යයක් බව සඳහන් කිරීමෙන් පැහැදිලි වේ.

 
ඔබේ වචන ඔබ පරීක්ෂාවට ලක්කිරීමේ මාර්ගයක් සකසා දෙයි. එහෙයින් අවසාන වශයෙන් ලෙනින් සහ ප්‍රථම සෝවියට් සමාජවාදී ආණ්ඩුවේ අධ්‍යාපන කමිටු ප්‍රධානියා වන ලුනචාර්ස්කි අතර ඇති වූ සංවාදයකින් මෙම සටහන නිමා කරමි.

ලෙනින්: මොනවද මුද්‍රණය කරන්නේ පාසල් ළමයින්ට, උසස් පාඨශාලාවල කියවන්න?

ලුනචාර්ස්කි: මක්සිම් ගෝර්කිගේ නවකතා ලේඛන සෑහෙන ප්‍රමාණයක්.

ලෙනින්: නෑ. මක්සිම් ගෝර්කි නෙමෙයි, ඉස්සෙල්ලාම ළමයින්ට කියවන්න දෙන්න ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ පොත්, ලේඛන.

මෙම සංවාදයෙන් සාහිත්‍යය සහ රාජ්‍යය අතර ඇති සබඳතාව ලෙනින් ප්‍රකට කරන ආකාරය ඔබට තේරුම් යනු ඇතැයි අපි විශ්වාස කරමු.

පියල් කාරියවසම් - සාමාජික/ ඉංග්‍රීසි – සිංහල කෙටිකතා සමීක්ෂණය, 2025 රාජ්‍ය සාහිත්‍ය උළෙල


(උපුටා ගත්තේ Kalpana Ambrose Face book පිටුවෙන්)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න