දෙමළ කිවිඳියන් ගේ කවි පමණක් ඇතුළත් පළමු පරිවර්තනය - 'දුර දසුනක හිරු ගිනිගෙන'

දෙමළ කිවිඳියන් ගේ කවි පමණක් ඇතුළත් පළමු පරිවර්තනය - 'දුර දසුනක හිරු ගිනිගෙන'

ලාංකීය සාහිත්‍යයෙහි පරිවර්තන කෘති සඳහා පවතිනුයේ සතුටුදායක ඉල්ලුමකි. එහෙත් ඒ විදෙස් සාහිත්‍ය පරිවර්තන සම්බන්ධයෙනි. මේ තත්ත්වය මධ්‍යයේ පසුගිය කාලය තුළ ඇතිවූ සාධනීය වෙනස්කමක් වනුයේ මෙතෙක් සිංහලෙන් කියවන පාඨකයින් ගේ අවධානයෙන් ගිලිහී තිබූ, නැතිනම් සිතා මතා අමතක කරන ලද අපේ ම සාහිත්‍යයක් පරිවර්තන හරහා සිංහල පාඨකයා වෙත සමීප කරවීමේ ව්‍යායාමයක් ආරම්භ වීමයි. ඒ අන්කිසිවක් නොව දෙමළ සාහිත්‍යයේ සිංහල පරිවර්තනයන්හී සංඛ්‍යාත්මක මෙන්ම ගුණාත්මක වශයෙන් ද වර්ධනයක් දක්නට ලැබීමයි.

මෙසේ දෙමළ සාහිත්‍ය කෘති සිංහල පාඨකයා වෙත සමීප කරවීමේලා දක්ෂතාව මෙන්ම දැක්මක් ද සහිත මැදිහත්කාරිනියනක ලෙස අනූෂා සිවලිංගම් අවිවාදයෙන් ම හඳුන්වා දිය හැකි ය. 'දුර දසුනක හිරු ගිනිගෙන' මැයෙන් ඇය විසින් සංගෘහිත දෙමළ කවිවල සිංහල පරිවර්තන යනු ඇගේ මැදිහත්වීම් අතර ඉහළින්ම කැපී පෙනෙන්නකි.

අහිමි කරන ලද අනන්‍යතාව

අනූෂා ශිවලිංගම්මේ කෘතියට කාව්‍ය නිර්මාණ 39ක් ඇතුළත් වෙයි. ඒ අතර දීර්ඝ කාව්‍ය මෙන්ම සංක්ෂිප්ත කාව්‍ය ද වෙයි. මෙහි ඇති විශේෂත්වය වනුයේ සියලුම කවි, කිවිඳියන් ගේ වීම ය. මෙය දෙමළ කිවිඳියන් ගේ කවි පමණක් ඇතුළත් පළමු පරිවර්තනය ලෙස හැඳින්විය හැකි ය. මෙහි ඇති තවත් විශේෂත්වයක් වනුයේ මීට දෙමල සමාජයේ සෑම කලාපයක්ම නියෝජනය වන ආකාරයෙන් නිර්මාණ තෝරා ගනු ලැබීමයි. උතුරු නැගෙනහිර මෙන්ම වතුකරය ද මෙහිදී නියෝජනය වෙයි. දෙමළ සමාජය සහ ඔවුන්ගේ සංස්කෘතිය යනු සංකීර්ණ ලක්ෂණ සහිත එකකි. යාපනය කිලිනොච්චි වැනි උතුරු පෙදෙසට අයත්වන දමිළ සමාජය සහ නැගෙනහිර දෙමළ සමාජය අතර සියුම් බෙදුම් රේඛා පවතින්නාක් මෙන්ම මේ දෙපාර්ශවය සහ වතුකරය අතරද බෙදුම් රේඛා පවතී. ඒ අතර කුල සාධකය ද ප්‍රබල ය. අනෙක් අතින් වතුකරය යනු දෙමළ සමාජය තුළ ද නොතකා හැරීමට ලක්ව ඇති කලාපයකි. විශේෂයෙන් ම ඔවුන් යනු අනන්‍යතාව අහිමි කරදමා පිටුවහල් කරනු ලබනා ප්‍රජාවකි. යටත් විජිත සමයේ ඉන්දියාවෙන් අමානුෂික අන්දමින් ගෙනෙනු ලැබ, කඳුකරයේ කැලෑ බිම් සමග ඔට්ටු වෙමින් අති දුෂ්කර තත්ත්ව යටතේ ලාංකීය ආර්ථිකයේ විශාල කොටසකට දායක වෙමින් ඒ අතරම දේශපාලන කැරම් පෙතෙහි ඉත්තන් බවට පත්ව ආපසු යවන ලද, පීඩිතයන් සේ මෙහි රැඳෙන්නට ඉඩ ලද, අදත් ඉන්දියාවේ තමිල්නාඩු, අන්ද්‍රා යනාදි කලාපයන්හී ජීවිතයේ බොහෝ දේ අහිමිව අසරණ කරන ලද මිනිස් සමූහයක් ලෙස මේ වතුකර දෙමළ ප්‍රජාව දැක්විය හැකි ය. මලයග ජනතාව ලෙස තමන් පිළිගත යුතු යැයි ඔවුන් අද හඬ නගන්නේ මෙතෙක් තමන්ට අහිමි කරන ලද අනන්‍යතාව තමනට ලැබිය යුතුය යන විශ්වාසයෙනි.

ස්වකීය අනන්‍යතාව වෙනුවෙන් නැගී සිටීමක්

අනූෂා ගේ කවි එකතුව වින්දිතයන් ගේ ද, වින්දිතයන් බවට පත් කතුන් ගේ කවිවලින් සමන්විත ය. පුරුෂ බලාධිකාරිය හමුවේ තැළෙන කතුන් ගේ හඬ මෙහි අපට හමුවෙයි. එසේම ඒ කවි අතර ජන වර්ගයක් ලෙස තමන් පීඩාවට සහ ගර්හාවට මෙන්ම අයිතියවාසිකම් අහිමි කරලීමට ලක් කිරීමට එරෙහි විරෝධයක් ද තිබේ. මේ කිවිඳියෝ දීර්ඝකාලීන යුද්ධයක දී පොදුවේ තමන් ලද පීඩනය මෙන්ම කාන්තාවන් ලෙස තමන් විඳි සුවිශේෂී කටුක අත්දැකීම් මෙසේ කවියට නගති; එය එක් අතකින් විරෝධය පෑමකි; ස්වකීය අනන්‍යතාව වෙනුවෙන් නැගී සිටීමකි; තම හිමිකම් තමනට ලැබිය යුතු බව සිහි කැඳවීමකි; එසේම ලංකාවෙහි තමන් ද පූර්ණ හිමිකම් සහිත ජනතාවක් බව මතක් කර දීමකි. ඒ අතරම සමාජයෙහි කතක ලෙස තමනට ඇති දෙවන පෙළ සැලකිල්ලට එරෙහි කැරැල්ලක්ද එහි දැකිය හැකි ය. මේ කවි යනු යටහත් ආයාචනා නොවේ. බහුතරය හමුවේ බැගෑපත්ව දණ නැවීමක් ද නොවේ. උස් ස්වරයෙන් කරනා මුරගෑමකි.

දෙමළ යනු දෙවන පෙළ ජීවී කොට්ඨාසයක් නොවේ

දුර දසුනක හිරු ගිනිගෙන 01මේ කවි අපට කෙළින් ම පවසනා දෙයක් තිබේ. ඒ, දෙමළ යනු දෙවන පෙළ ජීවී කොට්ඨාසයක් නොවන බවයි. එසේ ම තමන් මර්දකයා හමුවේ බැගෑපත් වීමට සූදානම් නැති බවයි. ඒ කවි අතර කෝනේෂවරියනි මැයෙන් එන කවිය සුවිශේෂී ය. ඒ යුද්ධය හමුවේ අතිශය දරුණු ලෙස අපහරණයට ලක්වූ දෙමළ කතුන් ගේ චෝදනා පත්‍රයකි; නැගී සිටීමකි. එහි එන වදන් දැඩි සේ ප්‍රහාරාත්මකය. එසේම එම අදහස පළ කිරීමට ඊට වැඩියෙන් සුදුසු තවත් වදන් නොමැති යයි සිතෙන තරමටම ඒවා ගැළපෙයි. දෙමළ ප්‍රජාව තමන් ගේ අනුකම්පාව යටතේ සිටිය යුතු යයි විශ්වාස කරනා සිංහල පිරිස්වලට නම් මේ කව බෙහෙවින් අපුල දනවනු නියත ය. එහෙත් මේ කව අන් කවි අතර ද සුවිශේෂී වන්නේම ඉන් පළවන නිර්භීත, අභියෝගී ස්වරය නිසා ම ය.

මේ ඒ කවිය අවසන් වන ආකාරය යි.

අපේ යෝනි

උපද්දනු ඇත

හෙටක්

එහෙයින්

දමා අත් බෝම්බයක්

පුපුරුවා හරිනු

ඉන්පසු

දලු නොදමනු ඇත යෝනි

සිහල ස්ත්‍රීනි

නුඹලාගේ යෝනි

දැන් නිදහස්

දූෂණය ඉරණම බවට පත් කරන ලද විටක එය එලෙසින් ම භාර නොගෙන නැගෙන කතුන් ගේ දැඩි ස්වරය මේ කවියෙහි මනාව දක්නට ලැබෙයි. ඒ අතර ම තවත් කවියකින් ඉදිරිපත් වනුයේ කෙලෙසීමට ලක්වූ පසුව කතකට තමන් ගේ ම සමාජයෙන් ද එල්ලවන ගර්හාව පිළිබඳව ය.

ඉසිරී විසිරුණු

කොණ්ඩය බැඳ

පොඩිවී ඇඹරී ගිය

ඇඳුම හරිගස්සමින්

නැගිටිමි

‘මේකි කැමැත්තෙන් තමයි...

ඒ වචන මා කීතු කරයි

හැරී බැලුවෙමි

අම්මා අයියා අක්කා

මේ හැමෝම

මා වැරදිකාරියක කර...

තෝ මැරෙන්න තිබුණා

නැත්නම්

ඌව මරන්න තිබුණා

දැන් අලේ ගෞරවය...

පත්තු වුණි උණ්ඩ දිගටම

ඒත් මම

සිනාසුනෙමි

මේ අනූෂා විසින් පරිවර්තනය කරන ලද තවත් අගනා කෙටි කවකි.

කුරුසයෙන් ම

පහරකෑමට නියමිත

ඒ බව නොදැන

කුරුස බර දරාගෙන

අකුරට යන දේවතාවියන්

මේ කවි දෙමළ සමාජයෙහි කාන්තා නියෝජනය පිළිබඳ විචාරාත්මක කඩාවැදීම් ය. දශක ගණනාවක යටපත් කර දැමීමේ කෝපය ඉන් පළවෙද්දී ම, කතකට තම සමාජයෙහි ඇති තැන කෙබඳුදැයි විමසන්නට ද ඒ කවි සහය වෙයි. මනුෂ්‍යත්වයේ කවර අර්බුදයක දී වුව කාන්තාවන් ගේ සුවිශේෂී කැපවීම ගැන මෙන්ම සමාජය තුළ කතක ගේ තත්ත්වයෙහි ඇති සංකීර්ණත්වය ගැන ද මේ කවි සාක්ෂි දරයි. අනූෂා මෙසේ දෙමළ කිවිඳියන් තෝරා ගැනීම මෙන් ම එහි දී වතුකරයේ නියෝජනය ගැන ද වෙසෙස් අවධානය යොමු කිරීම ඉතා වැදගත් ය.

මේ කවි කියවන විට මට ඇතිවූ එක් සිතුවිල්ලක් තිබේ. ඒ, මෙහි ඇති කවි ගැන අදාළ කිවිඳියන් ද ඉන්නා මණ්ඩපයක සාකච්ඡා කරන්නට හැකි නම් කෙතරම් අගේ ද යන්න යි.

චූලානන්ද සමරනායකචූලානන්ද සමරනායක

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න