ගල්අඟුරු ප්‍රමිතිය ගැන රටම කතා කරයි. එයට පදනම්ව ඇති මුලික ම වාර්තා දෙක පහතින් දැක්වේ. එම වාර්තාවන්හි විශ්වසනීයත්වය ගැන ආණ්ඩුව කතා කරන්නේ ද නැත. අනෙක් අතට ඒවා හදපු තැනක් පුද්ගලයෙක්, එළියට ආපු තැනක් නැත.
වාර්තා අංක එක (1) සහ දෙක (2) ගැන නිරීක්ෂණ කිහිපයක්
1. ලිපි ශීර්ෂයට අනුව වාර්තාව සකස් කර ඇත්තේ Lakvijaya Power Station LABORATORY TEST REPORT (LVPS) ය. සැබවින් ම එවැන්නක් පර්යේෂනාගාරයක් පවතින බවට කිසිදු සාක්ෂියක් (උදා. ලිපිනයක්, දුරකතන අංකයක්, ඊමේල් ලිපිනයක්, බලධාරියෙක්) සොයා ගත නොහැකිය.
2. Lakvijaya Power STATION යැයි ව්‍යවහාර කරන්නේ බලාගාර තුන ම ඇති සම්පූර්ණ පද්ධතියට යැයි සිතමු. නොරොච්චෝල නිල නාමය Lakvijaya Power PLANT ය. එහි LVPP ය. ලිපි ශිර්ෂයේ කෙටි නම LVPP නොව LVPS ය. විදුලිබල මණ්ඩලයේ වෙඩ් අඩවිය නොරොච්චෝල බලාගාරය දක්වන්නේ, WWW.LVPP.CEB.LK ලෙසය. විධිමත් පර්යේෂණ වාර්තාවක ආයතනයේ නම වැරදියට ලියවෙන්නට හැකියාවක් නැත.
3. මෙහි වාර්තා අංක 1 බලන්න. එහි පිටුව අවසානයේ නිකුත් කළ දිනය (Issue 01(01/11/2017), Revision 01(10/11/2017) සහ (amendment 0 ලෙස දැක්වේ. 2026 දෙසැම්බර් ගොඩ බෑ අඟුරු වාර්තාවකට 2017 දිනයක් ලැබෙන්නේ කෙසේ ද? එකිනෙකට වෙනස් දිනවල ගොඩබාන සහ පරීක්ෂා කරනු ලැබුවේ නම් වාර්තා දෙකේම එකම දින සඳහන් වන්නේ කෙසේ ද? යන ප්‍රශ්නය පැන නගී. (මේ ගැන සංජීව මහවත්ත විසින් පැමිණිල්ලක් කර ඇත)
4. තත්වයෙන් බාල (ප්‍රතික්ෂේප කළ යුතු මට්ටමේ) බවට ජාත්‍යන්තර පරීක්ෂණ ආයතන තහවුරු කර ඇති MV Ceylon Breeze ය. එහි නිසි ප්‍රමිතීය නැති බව ජාත්‍යන්තර පිළිගත් ආයතන තහවුරු කර ඇති බව රජය, අමාත්‍යාංශය, ගල්අඟුරු සමාගම පිළිගනී. මේ අංක 1 ලෙස ඇති MV Ceylon Breeze සැබෑ ගොඩබෑම් අවසානය (Actual Discharge Completion) 2026.01.04 දින පැය 23:10 ට (නැව් ගොඩ බෑම සම්බන්ධයෙන් වන වාර්තාව (As per Stevedores report) ය.
5. සමාජ මාධ්‍යයට මුදාහැර ඇති වාර්තාවේ යොමු අංකය (Reference No): 455 ය. එයට අනුව ගොඩබෑම ආරම්භ කර ඇත්තේ 2025 ජනවාරි දෙවන දා ය. මෙහි වර්ෂය (2025) වැරදි ය. එය අත්වැරැද්දක් විය නොහැකි ය. මන්ද, 2025 ලෙස වර්ෂය පමණක් නොව දිනය ද, වැරදි ය. (සත්‍ය දිනය හා වේලාව 2026 ජනවාරි 1 උදේ 11.45 ය. සමාජ මාධ්‍යයේ සංසරණය වන වාර්තාවේ දිනය 2025.ජනවාරි 2 ය)
6. අනෙක් අතට, 2025 දී ගොඩබෑ බව කියන භාණ්ඩ තොගයකට 2026 වාර්තා නිකුත් කළ නොහැකි වන්නේ, විධිමත් ලෙස ලබා ගන්නා ඕනෑ ම සාම්පලයක සාම්පල එකතු කළ දිනය, කල් ඉකුත්වීමේ දිනය යන්න සඳහන් විය යුතු බැවිනි.
මෙහි දෙවන (2) නැව් (MV NS Guangzhou) වාර්තාව බලන්න.
එහි ද, ලිපි ශිර්ෂය, වාර්තාව අවසානයේ දිනය හා වාර්තා වේ වර්ෂය වැරදිය.
නැව් ගොඩ බෑම සම්බන්ධයෙන් වන වාර්තාව (As per Stevedores report) අනුව, Actual Discharge Completion 2026.01.04 දින පැය 23:10 සිට 2026 ජනවාරි 09 වැනිදා පෙ.ව. 07:45ට දක්වා ගොඩබෑම සිදුව ඇත.
සමාජ මාධ්‍යයේ බෙදාහැර ඇති සහ දේශපාලනඥයින් හා ක්‍රියාකාරීන් උපුටා දක්වන වාර්තාවේ සඳහන් වන වාර්තාවේ • ගොඩබෑම කාලය: 2025 ජනවාරි 05 ප.ව. 15:25 සිට 2025 ජනවාරි 09 දක්වා ය. • වාර්තාව නිකුත් කළ දිනය: 2026 ජනවාරි 09. • යොමු අංකය (Reference No): 456.
2026 ගොඩ බෑ ගල්අඟුරු සඳහා 2025 ජනවාරි 09 වාර්තාවක් නිකුත් කරන්නේ කෙසේද? මේ වාර්තා ගැන විශ්වාසයෙන් කතා කරන පුද්ගලයින් පැහැදිලි කළ යුතුය.
ඉහත වාර්තා දෙක හි විශ්වසනීයත්වය පිළිබඳ ගැටලු කිහිපයක්
- රසායනාගාර වාර්තාවක් ලෙස හඳුනාගත නොහැකි තත්ත්වයක් (අනන්‍යතාවයක් නැත).
- මූලික තොරතුරු (ගොඩබෑමේ දිනය, වේලාව, යොමු අංකය, නිකුත් කළ දිනය) පවා වැරදි.
- සාමාන්‍ය රසායනාගාර වාර්තාවක සඳහන් විය යුතු පුද්ගලයාගේ නම, තනතුර, අත්සන, දිනය/වේලාව ආදිය මෙහි නොමැත (දෙකම වාර්තාවලටම අදාළය).
යොමු අංක 455 සහ 456 ද නොසැලකිල්ලෙන් ටයිප් ගැසූ අංක නොවන්නේ කෙසේ දැයි මේ වාර්තා ලියූ ආයතන ප්‍රධානීන් ම කිව යුතුය.
එවැනි දුර්වල වාර්තාවක් මත පදනම්ව ගල් අඟුරු තත්වය (ප්‍රමිතිය) ගැන ආණ්ඩු පක්ෂය හා විපක්ෂ/සිවිල් ක්‍රියාකාරීන් මේ සිදු කරමින් සිටින සංවාදයේ හරය, විද්‍යාත්මක බව හා වටිනාකම කුමක් ද? අනෙක් අතට කිසිදු පාර්ශවයක් ගල් අඟුරු පැටවීමේ හා බෑමේ ස්ථානවල දී ලබාගත් වාර්තා දත්ත ගැන කතා නොකරන්නේ ඇයි?
සාමාන්‍ය පරිගනකයකින් වර්ඩ් (MSWord) ලියවිල්ලක් ලෙස සකස් කළ ආකෘතියක, දත්ත යතුරුලියන කළ විට සිදුවන අත් වැරදි ආකාරයේ ස්වභාවයක් මේ වාර්තා දෙකෙහි ඇත.
පටවන ස්ථානයේ හෝ ගොඩ බෑමේ ස්ථානයේ වාර්තා මත පදනම්ව සැපයුම්කරුට ගෙවීම් සිදු කරයි, දඩ ගසයි නම් එම වාර්තා වත පදනමක්ව මේ සංවාදය සිදු නොකරන්නේ මන්ද? එම වාර්තා විශ්වාස නොකරන්නේ නම් වෙනත් තුන්වන පාර්ශවයකින් ප්‍රමිතිය පරීක්ෂා කර මේ සැක සංකා දුරු නොකරන්නේ මන්ද?
අනෙක් අතට, යුද්ධය ඇරඹීමටත් පෙර තෙල් - ගෑස් නැති වූ ලංකාවේ දැන් නොරොච්චෝලේ වසා දැමිය නොහැකිය. 2026 දී නැවත එල් නිනෝ තත්වයක් ඇති විය හැකි බවට වාර්තා පලවී ඇත. වැස්ස අඩු වන්නේ නම්, ජල විදුලි උත්පාදනය ද අර්බුදයක් වනු ඇත. මැද පෙරදිග තෙල් අර්බුදය නිසා ඩීසල් සැපයීම ද සැක සහිතය.
ගල් අඟුරු වංචාවක් තිබේ නම්, එයට ක්‍රියාත්මක වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අල්ලස් කොමිසමේ වැඩකි. රටේ බලශක්ති අර්බුදය විසඳාගැනීම රාජ්‍යයේ, ආණ්ඩුවේ ප්‍රශ්නයක් පමණක් නොව මිලියන 22 ක පුරවැසි ප්‍රශ්නයකි. රට වැසියාට ගෑස්-තෙල්-පොහොර ප්‍රශ්න මදිවාට විදුලි කැපීමක් අවශ්‍ය නැත.
රටේ බලශක්ති අර්බුදය පාර දිගේ පොලිම්වලින් පෙනේ. ආණ්ඩුව හා විපක්ෂය ඉදිරිපත් කළ යුත්තේ ගොඩ යන ක්‍රමයක් මිස තවදුරටත් රට අවුලන විස්තර විකාශනයක් නොවේ. විද්‍යාත්මක දත්ත මත පිළිගත් පර්යේෂණාගාර වාර්තා එයට පදනම් විය යුතුය.
අනෙක් අතට නැවත අවධාරණය කර පැවසිය යුත්තේ -- මේ සාකච්ඡා කරන්නේ ලංකාවට ගල් අඟුරු පටවන (දකුණු අප්‍රිකානු වරායේ) වාර්තාව හෝ පුත්තලට බානු ලැබීමෙන් පසුව නිල වාර්තා ගැන නොවේ. මුදල් ගෙවීම සඳහා භාවිත කරන ‘නිල අනුමැතිය සහිත -- accredited) වාර්තා ගැන නොවේ. (ඒ කිසිවක් ලංකා රජය ප්‍රසිද්ධ කර නැත) මේ කතා කරන්නේ Lakvijaya Power Station LABORATORY TEST REPORT (LVPS) ශිර්ෂය යටතේ සමාජ මාධ්‍යයේ සංසරණය වන වාර්තා ගැන පමණී. එම වාර්තාවන් හි විශ්වසනීය නොවන කරුණු ගැනය.
මෙම ලිපියෙන් මතු කරන්නේ සරල ප්‍රශ්නය
සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ වන Lakvijaya Power Station LABORATORY TEST REPORT (LVPS) යැයි රසායනාගාරයක් තිබේ ද? එසේ තිබේ නම්, එක කොතැනක, කාගේ භාරයේ ක්‍රියාත්මක වන්නේ ද? එය පිළිගත් ආයතනයක් ද?
මේ සමඟ ඇති මේ වන විටම රටම කතා කරන මේ වාර්තා දෙක සකස් කළ පුද්ගලයින් කවුද? එව වාර්තාවන් හි ඇති දිනයන්, වේලාවන් හි වැරදි පිළිබඳ වගකීම දරන්නේ කවුද?
මේ වාර්තා සහ එහි ඇති දත්ත, ගල් අඟුරු නිසා අන්ද මන්දවී ඇති ආණ්ඩුව පිළිගන්නවා ද? රටේ ගල් අඟුරු ගැන විශ්ලේෂණ වාර්තා ඉදිරිපත් කරන දේශපාලන පක්ෂ, විපක්ෂය, පිළිගන්නවාද? යන්න පමණී.
(වාර්තා දෙක අමුණා ඇත)
රජිත් කීර්ති තෙන්නකෝන්



