V2025

පුවත්

ජී එල්ගේ ආරාධනයට කාදිනල්ගෙන් කොන්දේසි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්‍ෂණවලට අදාළව රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා සාකච්ඡාවකට පැමිණෙන්නැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් සිදුකර ඇති ආරාධනය පිළිගැනීමට නම් ප්‍රහාරයට අදාළ විමර්ශන විනිවිදභාවයකින් සිදුවන බවට විශ්වාසයක් තමා තුළ ඇතිවිය යුතු බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු අමාත්‍යවරයා වෙත දැනුම්දී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ලිඛිතව මෙම දැනුම්දීම සිදුකර ඇත.

එහිදී සඳහන් කර ඇති ආකාරයට සාකච්ඡා කරන්නට තමන් විවෘත නමුත් ඒ සඳහා කොන්දේසි කිහිපයක් සම්පූර්ණ විය යුතු බවත් එම කොන්දේසි සම්පූර්ණ වන තුරු සාකච්ඡාවට නොඑන බවත් කාදිනල්තුමා අමාත්‍යවරයා වෙත පැහැදිලිව දැනුම් දී ඇතැයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසයි.

පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ විමර්ශන විශ්වාසනීයත්වයෙන් යුතුව සිදුවීමේ වැදගත්බවත්, එම විශ්වාසය ගොඩනැගීමට නම් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ විය යුතු බවත් කාදිනල් සිය ලිපියෙන් අමාත්‍යවරයාට දැනුම් දී ඇතැයි ද සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා වැඩිදුරටත් පවසයි.

සිරිල් ගාමිණී පියතුමන් මේ බව පැවසුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති පරිදි විමර්ශන ආරම්භ කළොත් කාදිනල්තුමන්, කතෝලික සභාව හා ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගෙන බවත් එය ගොඩනැගිය හැක්කේ රජයට පමණක් බවත් ඔහු පැවසූ අතර ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්‍ෂවරයා සහ පොලිස්පතිවරයා ඉකුත් දා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය තුළ ඇතුළත් යම් කරුණුවලින් විශ්වාසය ගොඩනැගීමට වඩා විශ්වාසය පලුදු වී ඇතැයි ද පැවසීය.

හොඳටම කරන්නේ මොඩර්නා !

කොරෝනා වෛරස පාලනය සඳහා එන්නත් කෙරෙන මොඩර්නා එන්නතේ එක් මාත්‍රාවක් මඟින් ඇතිකරන ප්‍රතිදේහ ෆයිසර් එන්නත් මාත්‍රාවකින් ඇතිකරන ප්‍රතිදේහ මෙන් දෙගුණයකටත් වඩා වැඩි බව පර්‍යේෂකයන් පවසයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය, චන්දිම ජීවන්දර උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා මේ බව පවසයි.

මෙම එන්නත් දෙවර්ගය අලලා බෙල්ජියමේ දී කරන ලද අධ්‍යයනයකින් පසුව මේ කරුණු අනාවරණය කරගෙන ඇති බවත් සඳහන් වෙයි.

ඇඳිරි නීතිය තව සති දෙකක්වත් දීර්ඝ කළ යුතුයි - වෛද්‍ය සුදර්ශනී

කොවිඩ් පැතිරීම පාලනය කර ගැනීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය තව සති දෙකක්වත් දීර්ඝ කළ යුතු බව තමාගේ පෞද්ගලික මතය යැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ  පැවසුවාය.

මේ අතර කොවිඩ් ආසාදිතයන් පන්දහසක් පමණ දෛනිකව වාර්තා වුවත් සමාජයේ ආසාදිතයන් පනස් දහසක් පමණ සිටින බව විශේෂඥ මතය යැයිද ඇය සඳහන් කළාය.

කොවිඩ් රෝගීන්ගේ සහ කොවිඩ් මරණවල සැලකිය යුතු අඩුවක් පෙනෙන්නට නැති හෙයින් රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා ජනතාව ඒකරාශීවීම වැළැක්වීම තවදුරටත් කළ යුතු බව පැවසූ ප්‍රනාන්දුපුල්ලේ  සමාජයේ පවුල් පිටින් කොවිඩ් ආසාදනයවන තත්වයක් පෙනෙන්නට ඇතැයිද කීවාය.

රෝග ලක්ෂණ නැති අය සමාජයේ සිටීම භයානක බවද ඇය පැවසුවාය.

දැනට පවතින කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රට ලොක්ඩවුන් කළද එය රටක් හැටියට දීර්ඝ කාලීනව කළ හැකි දෙයක් නොවන බවත් ඉදිරියේදී ජනතාවට කොවිඩ් රෝගය හමුවේ ඊට අනුගතව සෞඛ්‍යාරක්ෂිතව ජීවත්වීමට සිදුවනු ඇති බවත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ  ප්‍රකාශ කළාය.

දකුණු අප්‍රිකාවේ පැතිර යන සැර කොරෝනා ප්‍රභේදය දැනට එංගලන්තයටද පැතිර ඇති හෙයින් එය ශ්‍රී ලංකාවටද පැමිණීමේ අවදානමක් තිබෙන බව රාජ්‍ය ඇමැතිවරිය වැඩිදුරටත් පැවසීය.

ඔන්ලයින් ගුරු වර්ජනය අඛණ්ඩව : ආණ්ඩුවේ යෝජනා ගුරු සංගම් ඉවත දමයි

ගුරුවරුන්ට හිමිවිය යුතු වැටුප් වර්ධක ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීමට පත්කළ ඇමති අනු කමිටුවේ යෝජනා පවා නොතකා හරිමින් ආණ්ඩුව ලබාදීමට සූදානම් වන රුපියල් 5,000ක දීමනාව ප්‍රතික්ෂේප කරන අතර එය කොරෝනා මර්දන කටයුතු සඳහා යොදවන ලෙස ගුරු සහ විදුහල්පති සංගම් ආණ්ඩුවට දන්වා ඇත.

ඊයේ (30) කැබිනට් මණ්ඩලය විසින් රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට කර තිබෙන යෝජනාව කිසිසේත් බාර නොගන්නා බව ඒකාබද්ධ ගුරු සහ විදුහල්පති වෘත්තීය සංගම් අද (31) ආණ්ඩුවට නිල වශයෙන් දැනුම් දී තිබේ.

ඇමති අනු කමිටුව නිර්දේශ කර තිබෙන වැටුප් වර්ධක පවා ලබා නොදී එය අවස්ථා කිහිපයකදී වාරික වශයෙන් ඉහල දැමීමට ආණ්ඩුව කුමන්ත්‍රණකාරී ලෙස සිදුකරන කටයුතුවලට හසු නොවන බවද එම සංගම් අවධාරණය කර ඇත. ගුරුවරුන්ට හිමිවිය යුතු වර්ධක නියමිත ප්‍රමාණය වෙනුවට ඇමති අනු කමිටුව රුපියල් 3,750/- සිට 11,820/- දක්වා ලබාදිය යුතු බවත් විදුහල්පති ශ්‍රේණි සඳහා රුපියල් 6,895/- සිට 12,020/- දක්වා ලබා දියයුතු බවත් එම අනු කමිටුවෙන් නිර්දේශ කර ඇත.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලය ඊයේ (30) ගත් තීන්දු සම්බන්ධයෙන් තම ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා කොළඹ දී අද (31) පැවති මාධ්‍ය හමුවකදී එම නියෝජිතයෝ මේ බව සඳහන් කළහ.

එහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්  පැවසුවේ තම ගැටලුව විසඳීමට බව කියමින් කැබිනට් මණ්ඩලය සම්මතර කර ඇමතිවරයා විසින් ප්‍රකාශයට පත්කළ වූ යෝජනා තමන් ප්‍රතික්‍ෂේප කරන බවයි.

ගුරු විදුහල්පති සංගම් ඉකුත් 26 වැනිදා නව අධ්‍යාපන ඇමතිවරයා හමුවී ඇමති අනුකාරක සභාව යෝජනා කරන 2018 වැටුප් යෝජනාව සුබෝධනී කමිටු වාර්තා කොටසක් ලෙස ගෙන එන ලෙස යෝජනා කළ බවත්, ඇමතිවරයා අනුකාරක සභාව හෝ කැබිනට් මණ්ඩලය එම යෝජනාව සැලකිල්ලට ගෙන නොමැති බවත්ය.

ආණ්ඩුව වෘත්තීය සමිතිවල ඉල්ලීම නොසලකා කටයුතු කරන්නේ නම් ඉල්ලීම් ලබාදෙන තුරු මේ වන විට දින 51ක් තිස්සේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වෙමින් ඉතා ශක්තිමත්ව කැපවීමෙන් දියත් කර ඇති අරගලය තවදුරටත් පෙරට ගෙනයාමට සිදුවන බව ද ඔහු කීවේය.

සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ සහ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති පරාක්‍රම වීරසිංහ යන අය මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූහ.

ශෙහාන් මාලක 07 වන දිනටත් අද රහස් පොලීසිය හමුවට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීම් ලැබූ ෂෙහාන් මාලක ගමගේ අද (07) වැනි දිනයටත් එම දෙපාර්තමේන්තුව හමුවට පමුණුවා ඇත.

ෂෙශාන් මාලක පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී, ඔහු සිදුකළ නිරීක්ෂණයක තොරතුරු හෙලිදරව් කළේය.

එම නිරීක්ෂණයට අනුව වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයට ගෙනඒමට කටයුතු කළ පුද්ගලයන් පවා, වත්මන් ආණ්ඩුව පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ට සාධාරණය ඉටු කරනු ඇතැයි විස්වාසයක් නොමැති බව ඔහු සඳහන් කළේය.

මෙම අනාවරණයත් සමග ෂෙහාන් මාලකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි දන්වා තිබිණි.

ඊයේ හයවැනි දිනයටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශ ලබාදීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ෂෙහාන් ප්‍රකාශ කළේ, තමා පිළිබඳව උපන් දා සිට මේ දක්වා සියලු තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් සොයාගෙන ඇති බවයි. කෙසේ නමුත් තමාගේ සුළු හෝ වැරැද්දක් සොයා ගැනීමට ඔවුන් අසමත් වී ඇති බවයි ඔහු පවසන්නේ.

තමාව ප්‍රශ්න කිරීමෙන් පසුව හෝ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කර ඊට වගකිව යුතු පුද්ගලයන්ට දඬුවම් ලබාදීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, විශේෂයෙන් පාස්කු කොමිසමේ වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු පවසයි.

LNW

රෝහල් OPDවලට : PCR - රැපිඩ් පරීක්ෂණ පහසුකම් ඉල්ලයි !

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් කොරෝනා ආසාදිතයන් බවට පත් වීම වැළැක්වීම සඳහා සහ පුරවැසියන්ගේ පරීක්ෂණ අයිතිය තවුරු කිරීමට පී.සී.ආර්. සහ ආර්.ඒ .ටී. ඇතුළු කොරෝනා පරීක්ෂණ පහසුකම් රෝහල් බහිර රෝගී අංශයට ලබා දෙන්න ලෙස වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා තිබේ.

අදාළ ඉල්ලීම ලිඛිතව සිදුකර ඇති අතර ඒ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් විසිනි.

රෝගියෙකු රෝහලට ඇතුලුවීමේදී බාහිර රෝගී අංශය තුළ පී.සී.ආර්. සහ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීමේ පහසුකම ඇති කිරීම මගින් සෞඛ්‍ය සේවකයන් කොරෝනා ආසාදිතයන් බවට පත්වීම වැළැක්වීම මෙන්ම වසංගතය පැතිරයෑම වැළැක්වීම ද සිදුවන බවත් අදාළ ලිපියේ අවධාරණය කර ඇත.

වෛද්‍ය ජයරුවන් වෙනුවෙන් : CID යෙන් දින 14 ක ඉල්ලීමක් !

වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටීමට දින 14 ක කාලයක් ලබා දෙන ලෙස නීතිඥයින් අද(31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණු පසුබිමකය.

අදාළ කැඳවීම සිදුකර තිබුනේ youtube නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී වැරදි තොරතුරු ජනතාවට ලබාදුන් බවට සිදුකර තිබුණු පැමිණිල්ලකට අනුවය.

පැමිණිල්ල සිදුකර ඇත්තේ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපතිවරුන් විසිනි.

මේ සම්බන්ධව අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන සඳහන් කර සිටියේ,

"වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහත්මයා කොවිඩ් ආසාදනය වෙලා දැනට කොවිඩ් සුව වීමෙන් පසුව ඇති වෙන යම් යම් සංකූලතා හේතුවෙන් යම් යම් උපදෙස් මත විවේක සුවයෙන් ගත කළ යුතුයි කියන වෛද්‍ය උපදෙස් ලබා දීලා තියන නිසා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් මගින් දැනුම් දුන්නා. වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහත්තයාට දින 14 ක කායලක් එම ප්‍රකාශය ලබා දීම සඳහා ලබා දෙන්න කියලා. දින 14 කට පස්සේ ජයරුවන් බණ්ඩාර මහත්තයා ඇවිල්ලා සාකච්ඡාවේදී යම් කිසි කරුණක් හෙළිදරව් කරලා යම් කිසි ප්‍රශ්නයක් අහන්න තියනවා නම් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ ප්‍රකාශයක් ලබා දෙයි." යනුවෙනි.

රුපියලේ ඓතිහාසික කඩා වැටීමක් !

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (31) දිනයේ දී රු. 204.89 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහන පෙන්වා දෙයි.

එය මෙතෙක් ඉතිහාසයේ ඒක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් ‌වාර්තා වූ වැඩිම ‌රුපියල් අගය වේ. මීට පෙර වාර්තා වූ ඉහළම අගය වූයේ 2021 අප්‍රේල් 15 දින ඩොලරයේ විකුණුම් මිල රු. 204.62 ක් ලෙසින් වාර්තා වීමය.

මේ අතර මෙරට විනිමය වෙළඳපොළ පාලනය කිරීමේ ශක්තිය සම්පූර්ණයෙන්ම මහ බැංකුවෙන් ගිලිහී තිබෙන බවත් එය නීති රීති දමා හෝ තර්ජනය කර හෝ මහ බැංකුවේ බලතල පාවිච්චි කර පාලනය කිරීමට නොහැකි වනු ඇති බවත් අනාවරණය කරයි.

“මේ වනවිට කළු කඩය තුළ ඩොලර් එකක් රුපියල් 240, රුපියල් 250, රුපියල් 260 වගේ මිල ගණන් වලට අලෙවි වෙනවා. ඒ කියන්නේ විනිමය වෙළඳපොළ පාලනය කිරීමේ ශක්තිය සම්පූර්ණයෙන්ම මේ වනවිට මහ බැංකුවෙන් ගිලිහී ගොස් තිබෙනවා. නීති රීති දාල හෝ තර්ජනය කරලා හෝ මහ බැංකුවේ බලතල පාවිච්චි කරලා, මහ බැංකුවට මේක පාලනය කරන්න ලැබෙන්නෙ නෑ.“

යනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන පවසා ඇති අතර ඒ අන්තර්ජාල youtube නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.

එසේම ලංකාවේ ණය වර්ගීකරණයේ ඉදිරි දැක්ම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය CCC සෘණ මට්ටම දක්වා පහත දමා ඇති බවත් මූඩීස් ණය වර්ගීකරණ ආයතනය ලංකාවට අනතුරු හඟවා තිබෙන බවත් මෙවැනි තත්ත්වයක් තුළ 2022 කල් පිරෙන බැඳුම්කර ශ්‍රී ලංකාවට නැවත ගෙවීමට නොහැකිවේ යැයි විශ්වාසයක් මේ වනවිට ආයෝජකයින් තුළ ඇතිවී තිබෙන බවත් ඔහු සඳහන් කර තිබේ.

කොරෝනා මරණ 9000 පනියි !

තවත් මරණ 194ක් ඊයේ (30) දිනට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

ඊට අදාළ නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (31) නිකුත්කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 9,185ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර එළැඹෙන සැප්තැම්බර් 06 වනදායින් පසු තවදුරටත් රට වසා තබන්නේද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීන්දු දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී විමසනු ලැබිණ.

ඊට ප්‍රතිචාර දක්වමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පවසා සිටියේ පවතින තත්ත්වයන් අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් තීරණය කරනු ඇති බවය.

පින්නවලදී ප්‍රථම වරට නිවුන් අලි උපතක්

පින්නවල අලි අනාථාගාරයේදි පළමු වරට නිවුන් අලි පැටවුන් උපතක් සිදුව තිබේ.

අද අළුයම 4.00ට පමණ පළමු පැටවා උපත ලැබූ අතර, දෙවන පැටවා දහවල් 12.00ට පමණ උපත ලබා තිබේ.

පින්නවල අලි අනාථාගාරයේ නිවුන් අලි උපතක් සිදු වූයේ ප්‍රථම අවස්ථාවේ මෙයයි.

අවුරුදු 24ක් පමණ වයසැති ‘සුරංගි’ නම් කෙනරක් මෙම අලි පැටවුන් බිහි කර ඇත. 1996 වසරේ ත්‍රිකුණාමලය සුරංගල්ගම ප්‍රදේශයේ උපත ලැබූ එම මෙම කෙනර 1997 වසරේදී පින්නවල අලි රංචුවට එක් වූ අතර ඇය 2009 වසරේදී කනක නම් අලි පැටවෙකු ද බිහි කළාය.

අලි අනාථාගාර නිලධාරීන් ප්‍රකාශ කළේ, කෙනෙර සහ පැටවුන් දෙදෙනා නිරෝගී සුවයෙන් පසුවන බවය.

වවුනියාව සෙට්ටිකුලම් ප්‍රදේශයෙන් හමු වූ පණ්ඩු නම් ‘හස්තියා’ මෙම අලි පැටවුන් දෙදෙනාගේ පියා ලෙස සැලකෙයි.

image ali 1

WhatsApp Image 2021 08 31 at 3.29.45 PM

රජයේ වියදම් සීමා කරන්න - මුදල් ඇමති

රජයේ වියදම් සීමා කිරීම මෙන්ම අනවශ්‍ය වියදම් කපා හරින්නැයි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත. 

රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ  ඊයේ(30) කැබිනට් රැස්වීමේදී කරුණු පැහැදිලි කර තිබේ.

එහිදී අදහස් දක්වා ඇති ඔහු පවසා ඇත්තේ  කොවිඩ් වසංගතය හමුවේ ආර්ථිකය බරපතළ ගැටලුවකට මුහුණ දී ඇති බැවින් ,රජයේ අපේක්ෂිත ආදායම විශාල ලෙස පහතවැටී ඇති අතර ,මේ වසරේ පුනරාවර්තන වියදම් පියවාගැනිමට පවා එය ප්‍රමාණවත් නොවන බවය.

මේ තත්වය තුළ , රජයේ ප්‍රතිපාදන වෙන් වී ඇතත් ,මෙතෙක් ආරම්භ කර නොමැති ව්‍යාපෘති,මිලදී ගැනීම්,ගොඩනැගිලි ඉදිකිරීම්, ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම් ආදිය අත්හිටුවන ලෙස මුදල් අමාත්‍යාංශය අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ .

කැබිනට් රැස්වීමේදී  පහත සදහන් කරුණු කෙරෙහි ද දැඩිව අවධානය යොමු කරන ලෙස අමාත්‍යවරයා දැනුම් දී ඇත.

එනම්, සේවක බඳවා ගැනීම් සඳහා මූලික කටයුතු සිදු කර මෙතෙක් පත්වීම් ලිපි නිකුත් නොකළ, තනතුරු සඳහා බඳවා ගැනීම් අත්හිටුවීමට ද රජය තීරණය කර තිබේ .

සුභ සාධන කටයුතු සඳහා හඳුනාගෙන ඇති ප්‍රතිලාභී ලැයිස්තු නැවත සමාලෝචනය කර සහනාධාර අඩුආදායම්ලාභින්ට පමණක් සීමා කිරීමට ද තීරණය කර ඇත.

මේ අතර ,අමාත්‍යංශ ලේකම්වරුන්ගේ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අනුමැතිය මත, ගෙවනු ලබන වැටුප් නොවන දීමනා සහ බිල්පත් පියවීම් යනාදිය නැවත සමාලෝචනය කර, සේවයේ සැබෑ ලෙසම නිරතවන නිලධාරීන්ට පමණක් ගෙවීමට ද මුදල් අමාත්‍යාංශය නිර්දේශකර ඇත.

තම ආයතනවල නිලධාරීන් චක්‍රිය ක්‍රමයකට කැඳවීමේදී ඔවුන්ට පැමිණීමට අදාළව ගෙවනු ලබන ඉන්ධන දීමනා ආදිය පැමිණෙන දිනට පමණක් සීමා වන සේ ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙස අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත .

වියදම් සීමා කිරීමෙන් ඉතිරි කරගත හැකි අරමුදල් ප්‍රමාණය පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබා දෙන්නැයි මුදල් අමාත්‍යංශය ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

තවද දැඩි මූල්‍ය විනයක් පවත්වා ගන්නැයි ද එහිදී උපදෙස් දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ  සඳහන් කළේය.

තවත් ස්පුට්නික් මාත්‍රා 15,000ක් මෙරටට

තවත් ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,000ක් මෙරටට රැගෙන ආවේය.

ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් යානයකින් එම එන්නත් මාත්‍රා අද (31) අලුයම මෙරටට රැගෙන ආ බව ගුවන්තොටුපල වාර්තාකරු පවසයි.

එම එන්නත් තොගය රුසියාවේ මොස්කව් නුවර සිට ඩුබායි වෙත රැගෙන විත් ඇති අතර එරට සිට අදාළ භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයෙන් මෙරටට රැගෙනවිත් ඇත.

එම එන්නත් තොගය, මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට දෙවන මාත්‍රාව ලෙස ලබාදීමට නියමිත ය.

ගුරුවරුන්ට රු.5000ක දීමනාවක්

ගුරු – විදුල්පති සේවා සංවෘත සේවා කිරීමටත්, වැටුප් වැඩිවීම අයවැය මගින් අදියරගතව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මේ අතර සැප්තැම්බර් හා ඔක්තෝම්බර් මාස සඳහා රුපියල් 5,000 ක දීමනාවක් ලබා දීමට ද කැබිනට් අනුමැතිය හිමිව ඇත.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර CIDයට කැඳවයි

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර  (31) උදෑසන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවා තිබේ.

මෙලෙස කැඳවා ඇත්තේ ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම හා එම පරීක්ෂණ සිදුකිරීම සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් ඇති බවටත්, ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව යන ආයතන තුළ සිදුවන වංචා සහ දූෂණ සහ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය විනාශ වීම සම්බන්ධයෙන් ඔහු Truth with Chamuditha යූ ටියුබ් නාලිකාවට දැක්වූ අදහස් හේතුවක් කරගනිමිනි.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය විසිනි.

ඒ අනුව,  (30) සවස වෛද්‍ය ජයරුවන් බණ්ඩාර හමුවීමට පැමිණ ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම කරුණු සම්බන්ධයෙන් වෛද්‍යවරයා දන්නා තොරතුරු ලබාගැනීමට අවශ්‍ය බැවින් හෙට උදෑසන 8.30ට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ලිඛිත දැනුම්දීමක් කර තිබේ.

ත්‍රිකුණාමලයෙත් කොරෝනා දත්තවල බරපතළ වෙනසක් !

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් තුන්වන රැල්ලේදී ආසාදිතයින් 8,200ක් හඳුනාගෙන ඇති බව දිස්ත්‍රික් වෛද්‍ය අධිකාරි වෛද්‍ය ඩී. ජී. එම්. කොස්තා පවසයි.

කෙසේවෙතත් වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව එම දිස්ත්‍රික්කයෙන් මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 3,600ක් ලෙසය.

ඒ අනුව බරපතළ දත්ත වෙනසක් පවතී.

වෛද්‍ය අධිකාරි වෛද්‍ය ඩී. ජී. එම්. කොස්තා වැඩිදුරටත් පැවසුවේ තුන්වන රැල්ල තුළ එම දිස්ත්‍රික්කයේ මරණ 200කට අධික ගණනක් වාර්තා වන බවය.

එජාප හිටපු මන්ත්‍රී ගුණසේකරත් කොරෝනාට බිලි !

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ටියුඩර් ගුණසේකර කොවිඩ් ආසාදිතව මිය ගොස් තිබෙන බව වාර්තා වෙයි.

මිය යන විට ඔහු 86 වැනි වියෙහි පසුව ඇත.

හිටපු ජනාධිපති ජේආර්. ජයවර්ධනගේ ප‍්‍රභල ආධාරකරුවකු වූ ඔහු 77 මහ මැතිවරණයෙන් මහර ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුණු අතර ඔහු ගම්පහ ප‍්‍රථම දිසා ඇමැතිවරයාද ටියුඩර් ගුණසේකර ය.

මියගිය හිටපු මන්ත්‍රීවරයා පෝලන්තයේ පළමු ශ්‍රීලංකා තානාපතිවරයා ලෙසද සේවය කර ඇත.

එන්නත් පරදන කොරෝනා ප්‍රභේදයක් හමුවෙලා !

කොවිඩ් එන්නතෙන් ලබාදෙන ප්‍රතිදේහ ශක්තිය අභිබවා යා හැකි බවට සැලකෙන නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගැනීමට හැකිවී ඇති බව එරට බෝවන රෝග පිලිබඳව විමර්ෂණය කරන ජාතික පර්යේෂණ ආයතනය සඳහන් කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම නව කොවිඩ් ප්‍රභේදය C.1.2 යනුවෙන් හඳුන්වනු ලබන අතර මෙය මෙම වසරේ මැයි මාසයේ සිට එරට තුන්වන කොවිඩ් රැල්ලේදී හඳුනාගත් ප්‍රභේදයක් බව වාර්තා වේ.

C.1.2 ප්‍රභේදය ඉකුත් ජනවාරි මාසයේදී හඳුනා ගනු ලැබූ C.1 ප්‍රභේදයේ විකෘතිතාවයකින් පැමිණෙන බව විද්‍යාඥයින් සඳහන් කරයි.

මෙම වෛරසය වුහාන් වලින් හමුවූ පළමු කොවිඩ් ප්‍රභේදයට වඩා බොහෝ සෙයින් විකෘතිතාවයෙන් යුක්ත වන අතර මෙය ඇල්ෆා, බීටා සහ ගැමා වෛරස් ප්‍රභේදයන්ට සාපේක්ෂව කෙටි කාලයක් තුලදී වේගවත් විකෘතිභාවයක් පෙන්නුම් කරනු ලබන බවට විද්‍යාඥයින් තහවුරු කර තිබේ.

C.1.2 කොවිඩ් ප්‍රභේදයේ N440K සහ ‍Y449H යන විකෘතිතාවයන් පෙන්නුම් කරනු ලබන බව විද්‍යාඥයින් සඳහන් කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මේ නිසා කොවිඩ් -19 වෛරසයට එරෙහිව ලබාදෙන එන්නතින් මිනිස් සිරුරේ නිපැදවෙන ප්‍රතිදේහ ශක්තිය අභිබවා යෑමට මෙම වෛරසයට හැකියාව ලැබෙනු ඇති බව විද්‍යාඥයින් විශ්වාසය පළකර තිබේ.

නව C.1.2 ප්‍රභේදය කොවිඩ් ප්‍රභේශයට වඩා භයානක වනු ඇත්දැයි හඳුනා ගැනීමට තවදුරටත් පර්යේෂණ සිදු කිරීමට අවශ්‍ය බව විද්‍යාඥයින් සඳහන් කර තිබෙන බව වාර්තා වේ.

වෛරසය පලමුවරට දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනීමෙන් අනතුරුව එංගලන්තය, චීනය, කොංගෝ රාජ්‍යයෙන්, මොරිෂස්, නවසීලන්තය, පෘතුගාලය සහ ස්විට්සර්ලන්තය යන රටවලින්ද වාර්තා වී ඇති බව පර්යේෂකයින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

– aruna

සුසාන භුමිවල ඉඩ මදිවෙලා !

කොරෝනා ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානය සඳහා තවත් සුසානභූමිය තුනක් සූදානම් කරමින් ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් සී නිව්ස් වෙබ් අඩවිය සඳහන් කරන්නේ ත්‍රිකුණාමලය පුත්තලම සහ අම්පාර යන ප්‍රදේශවල මෙම සුසාන භූමිය සූදානම් කරමින් පවතින බවය.

මේ අතර දැනට කොරෝනා මෘත දේහ භූමදානය කරන මඩකලපුව ඔට්ටමාවඩි සුසාන භූමියට අයත් තවත් අක්කර 2 ක භූමි ප්‍රදේශයක් යා කරමින් එය පසුගිය සතියේ දී තවත් පුළුල් කර ඇති බවත් පුවතේ සඳහන් වෙයි.

එම සුසාන භූමියේ මේ වන විට භූමදානය කර ඇති මෘත දේහ ප්‍රමාණය 2264කි.

Page 432 of 462