පුවත්

යට ඇඳුම් නැතුව සිටීමේ හොඳ දිලුම් කියයි !
යට ඇඳුම් ආනයනය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගේ සිදුකළ අදහස් දැක්වීමක් ආණ්ඩු හිතවාදී ලීඩ් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.
ඊට අනුව රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම පවසන්නේ යට ඇඳුම ආනයනය කරනවාට වඩා ඇඳුම් නැතිව සිටීම හොඳ බවය.
පිටරටින් ගෙන්වන යට ඇඳුම් නැති වූවා කියා කිසිවෙකු මිය යන්නේ නැති බවත් මෙපමණ කාලයක් යට ඇඳුම පවා ආනයනය කිරීම ගැන සියලු දෙනාම ලැජ්ජා විය යුතු බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කර ඇත.
නමුත් කොරෝනා වෛරසය ආසාදනය වුවහොත් මිය යන බවද අමාත්‍යවරයා පෙන්වාදී ඇති බවත් එම පුවතේ සඳහන් ය.

සඳුදා සිට රට විවෘත කරයි - සුදර්ශනී
ලබන සඳුදායින් පසු රට තවදුරටත් වසා තබනු ඇතැයි, තමා විශ්වාස නොකරන බව කොරෝනා මර්දන රාජ්‍ය අමාත්‍යවරිය වන විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.
ඒ අනුව සඳුදා සිට රට ක්‍රමානුකූලව විවෘත කිරීමට රජය කටයුතු කරනු ඇති බවත් ඇය පවසයි.
රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ , වාර්තාවන රෝගීන්ගේ සහ මරණ සංඛ්‍යාවන්හි අඩුවක් ද දක්නට ඇති බවත් සති 4ක කාලයක් රට වසා තැබීම ප්‍රමාණවත් බවත් ය.
ඒ අනුව එන්නත්කරණය සහ අනෙකුත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් රට ක්‍රමානුකුලව විවෘත කිරීමට රජය කටයුතු කරනු ඇතැයි, ඇය සඳහන් කරයි.

කබ්‍රාල් ගැන හඳුන්නෙත්තිගෙන් අනාවැකියක් !
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස හිටපු රාජ්‍ය මුදල් අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් පත්කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ විරෝධය පලකරයි .
අද (14) එම පක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳව අදහස් දැක්වු අතර ඒ, එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය සභික , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසිනි.
"සාමාන්‍ය ජනාවට හිමි අර්ථසාධක අරමුදලේ කෝටි ගාණක පාඩු සිද්ධ කිරීමට වගකිව යුත්තේ මේ කබ්‍රාල් මහ බැංකු අධිපතිවරයායි. නැවතත් මේ අධිපතිවරයාගේ පළමු කටයුත්ත හැටියට අර්ථසාධක අරමුදල් කොටස් වෙළඳපොළට දාලා මංකොල්ලකෑම ආරම්භ කරයි කියලා අපි අනුමාන කරනවා. "
"කබ්‍රාල් රාජ්‍ය මුදල් ඇමති විදිහට දක්වපු කුශලතාවය, හැකියාව සහ පලපුරුද්ද මොකක්ද? (කඩා වැටෙන ආර්ථිකය ගොඩනගන්න.) මෙයට කලින් අජිත් නිවාඞ් කබ්රාල් 2006 ජූනි මාසයේ ඉඳලා 2015 ජනවාරි දක්වා මහ බැංකු අධිපති හැටියට කටයුතු කළා. මේ කාලය තුළ ඔහුගේ දක්‍ෂතාවය බැඳුම්කර ක්‍රියාවලිය සම්බන්ධ වෝහාරික වාර්තාවෙන් හෙළි වෙනවා"යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති එහිදී පැවසීය.
මේ එහිදී වැඩිදුරටත් හිටපු මන්ත්‍රීවරයා දැක්වූ අදහස් ය.
ලබැඳියාවන්ගේ ගැටුමක් !
ශ්‍රී ලංකා මහබැංකුව අපේ රටේ තිබෙන ස්වධීන ආයතනයක්. රටේ ආර්ථිකයට අදාළ මූල්‍ය ස්ථාවරත්වයක් පවත්වාගෙන යෑම සහ විනිමය අනුපාත, පොලී අනුපාත ගැන ස්වාධීනව තින්දු ගන්නවා. මහ බැංකුව භාරව ඇමතිවරයෙක් හිටියත් එහි කටයුතු සිද්ධ වෙන්නේ මහ බැංකුවේ පාලකවරයා හැටියට කටයුතු කරන මුදල් මණ්ඩලයෙන්. මුදල් මණ්ඩලය තුළ මහ බැංකු අධිපති, භාණ්ඩාගාර ලේකම්, වෘත්තීයමයභාවයකින් දායක වෙනවා. නමුත් දැන් සිදුවී තිබෙන්නේ එයට මුදල් රාජ්‍ය ඇමතිවරයා පත් කිරීමයි. උදේ මුදල් රාජ්‍ය ඇමති හවස මහ බැංකු අධිපති හැටියට පත්කරනවා. ලබැඳියාවන්ගේ ගැටුමක් බරපතළ විදිහට හැදෙනවා.
මුදල් ඇමතිවරයා විදිහට තීන්දු ගන්න සම්බන්ධ වුණු අයම මහ බැංකු අධිපති ලෙස පත්වීම කොතරම් දුරට සදාචාරමය, ආර්ථිකමය සහ ජාත්‍යන්තරයේ කොතරම් හෑල්ලු වෙනවාද කියලා බරපත, විදිහට සලකා බලන්න වෙනවා. ශ්‍රී ලංකාවේ මහ බැංකුව ගැන වැඩිපුරම සාකච්ඡාවට ලක්වුණේ මහබැංකු බැඳුම්කර වංචාවක් සමග කළු චිත්‍රයක් ඇතිවීමෙනුයි. ගෝඨාභය රාජපක්‍ෂ බලයට එන්නේම මහබැංකු බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙනවාය කියන පදනමෙන්. රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන පාලනය තුළ මහ බැංකු වංචාව සිදුවුණේ ලබැඳියාවන්ගේ ගැටුමකින්.
මහ බැංකු අධිපති වෙන්න නොසුදුසු ලක්ෂණ ,!
අර්ජුන මහේන්ද්‍රන්. අර්ජුන් ඇලෝසියස් ඥාති සම්බන්ධතාවය නිසා මහ බැංකු බැඳුම්කර පිළිබඳව තොරතුරු වෙන්දේසියේදී සැපයූවාය කියන පදනම තියෙනවා. ආණ්ඩුවේ මුදල් රාජ්‍ය ඇමතිවරයා එකම දිනයකදී මහ බැංකු අධිපතිවරයා හැටියට පත්කිරීම මොනතරම් ලබැඳියාවන් අතර ගැටුමක් ඇති කරනවාද? මහ බැංකු අධිපතිවරයෙකු ලෙස පත් කිරීමට නුසුදුසු අය මුදල් පනතේ දක්වා තිබෙනවා.
එහි 11වැනි වගන්තියට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, පළාත් සභා මන්ත්‍රීවරයෙක්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වන පුද්ගලයෙක් එයට නුසුදුසු වෙනවා වගේම මහජන මුදලින් වැටුප් ලබන රාජ්‍ය නිලධාරියෙක් හා සමාන පුද්ගලයෙක් ලෙස කටයුතු කරන අයත් නුසුදුසුයි.
බැංකු ආයතනයක අධ්‍යක්‍ෂවරුන් සහ අඩුම තරමේ සේවකයෙක් හෝ නුසුදුසු බව දක්වා තිබෙනවා. කෙනෙකුට තර්ක කරන්න පුළුවනි, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් උදේ ඉල්ලා අස්වී සවස අධිපති ධූරයට පත්වුණා කියලා. නමුත් මහ බැංකුවේම චර්යාධර්මවල අධිපති ධුරය දරපු කෙනෙක් ඉවත් වී අවුරුද්දක් යන තුරු ඒ හා සමාන මූල්‍ය ආයතනයක තනතුරක් දරන්න නුසුදුසු බව කියා තිබෙනවා.
මහ බැංකුවේ ස්වාධීනත්වයට හානියක් !
මේකට හේතුව ලබැඳියාවන්ගේ ගැටුම නිසා මහ බැංකුවේ ස්වාධීනත්වයට බාධා වීමේ හැකියාවයි. ඉතා පැහැදිලිවම නීතිය ඉදිරියේ මොන ආකාරයකට තර්ක කළත් උදේ මුදල් රාජ්‍ය ඇමතිවරයා සවස මහ බැංකු අධිපති කිරීමෙන් ස්වාධීනත්වය බරපතළ ලෙස ප්‍රශ්න කෙරෙනවා. කබ්රාල් පත්කරන්නේ එයාගේ තිබෙන අත්දැකීම්, දැනුම හා පලපුරුද්ද උපයෝගී කරගෙන ආර්ථිකය කඩා වැටීම නවත්වන්න බව කියනවා. විදේශ විනිමය අර්බුදය විසඳන්න කියල තියෙනවා.
කබ්‍රාල්ගේ හැකියාව වෝහාරික විගණන වාර්තාවේ !
රාජ්‍ය මුදල් ඇමති විදිහට දක්වපු කුශලතාවය, හැකියාව සහ පලපුරුද්ද මොකක්ද? (කඩා වැටෙන ආර්ථිකය ගොඩනගන්න.) මෙයට කලින් අජිත් නිවාඞ් කබ්රාල් 2006 ජූනි මාසයේ ඉඳලා 2015 ජනවාරි දක්වා මහ බැංකු අධිපති හැටියට කටයුතු කළා. මේ කාලය තුළ ඔහුගේ දක්‍ෂතාවය බැඳුම්කර ක්‍රියාවලිය සම්බන්ධ වෝහාරික වාර්තාවෙන් හෙළි වෙනවා. ජනාධිපති කොමිසමකින් නිර්දේශ කළ ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත විගණන සමාගමකින් සකස් කළ වාර්තාවක්. 2020 පෙබරවාරි 18-19 දවස් දෙකේදී මේ වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් කළා. එය කල්දාන්න හෝ විවාදයට නොගෙන ඉන්න මේ ආණ්ඩුවේ අද ඉන්න ඇමතිවරු විශාල උත්සාහයක් දැරුවා.
අජිත් නිවාඞ් කබ්රාල් බැඳුම්කර වංචාවන්ට තිබුණු සම්බන්ධතාවය වහන්න ඒ උත්සාහය ආණ්ඩුවේ ඇමතිවරුන් සිදුකළා. අර්ජුන මහේන්ද්‍රන්, ඇලෝෂියස් කණ්ඩායමත් ආරක්‍ෂා කරගත්තේ බැඳුම්කර වංචාවට මේ දෙගොල්ලම සම්බන්ධ නිසා. අධිපතිවරයා හැටියට පත්වීම් ලබන අජිත් නිවාඞ් කබ්රාල් වංචනික කුප්‍රකට ඉතිහාසයක් තිබෙන කෙනෙක් මිස ආර්ථිකය ගොඩදාන්න හැකි කෙනෙක් ලෙස අපි දකින්නේ නැහැ. වෝහාරික වාර්තාවෙන් හෙළිකර තිබෙනවා, අර්ථසාධක අරමුදලට පමණක් බැඳුම්කර වංචාව නිසා මිලියන 9074ක් පාඩුකර තිබෙන බව.
අනාවැකියක් !
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අපි පැහැදිලිව කරුණු ඉදිරිපත් කළා. 2013.06.05 ඔහු ආයෝජන කමිටුවට නියෝග කර තිබෙන්නේ අර්ථසාධක අරමුදලෙන් සෘජුව මහබැංකුවට මුදල් සපයනවා වෙනුවට ද්විතියික වෙළඳපොළෙන් තරගකරුවෙක් ලෙස බැඳුම්කර ගන්න කියලා. මේ නිසා සාමාන්‍ය ජනාවට හිමි අර්ථසාධක අරමුදලේ කෝටි ගාණක පාඩු සිද්ධ කිරීමට වගකිව යුත්තේ මේ අධිපතිවරයායි. නැවතත් මේ අධිපතිවරයාගේ පළමු කටයුත්ත හැටියට අර්ථසාධක අරමුදල් කොටස් වෙළඳපොළට දාලා මංකොල්ලකෑම ආරම්භ කරයි කියලා අපි අනුමාන කරනවා.
අධිකරණයට ගෙනියන්න ඕන !
මේ රටේ වැඩකරන ජනතාවගේ අරමුදලට සිදුකර තිබෙන පාඩුව මොන තරම්ද කියලා මේ වාර්තාවේ දැක්වෙනවා. අනෙක් පැත්තෙන් රජයට මේ වංචාවලින් බිලියන 10.74ක් පාඩු කර තිබෙනවා. අජිත් නිවාඞ් කබ්රාල් හිටපු මහ බැංකු අධිපතිවරයා හැටියට කෝටි 2,000ක පාඩු සිද්ධ කර තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන්, අජිත් නිවාඞ් කබ්රාල් වැනි සියලු දෙනා අධිකරණයට කැඳවන්න කියලා අපි විශාල උද්ඝෝෂණයක් ගෙනගියා.
නමුත් අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු සියලු දෙනාට දඬුවම් දෙනවා වෙනුවට කබ්රාල් මහත්තයා නැවත මහ බැංකු අධිපති පුටුවේ වාඩි කරවා තිබෙනවා. ඔහුගේ ඥාති සහෝදරිය, ශිරෝමි වික්‍රමසිංහ, අර්ජුන් ඇලෝෂියස්ගේ සමාගමේ අධ්‍යක්‍ෂවරිය හැටියට කටුයුතු කළා. මේ ආදී වශයෙන් ලැයිස්තුවක්ම වෝහාරික විගණන වාර්තාවේ සඳහන් වෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ, මහින්ද රාජපක්‍ෂ ජනතාවට වුණූ පොරොන්දුව මේකද? ඥාති මිත්‍ර සංග්‍රහ නැතිව විද්‍යාත්මක පදනමක් මත තනතුරු ලබාදෙන බව කියූ අය ක්‍රියා කරන හොඳම උදාහරණය ලෙස අජිත් නිවාඞ් කබ්රාල්ගේ පත්වීම එකතු වී තිබෙනවා. නෙළුම් මාවතේ පොදුජන පෙරමුණේ කටයුතු කරලා මහ බැංකු අධිපති පුටුවේ වාඩිවීම මහ බැංකුව දේශපාලන අණ්ඩක් බවට පත්කර ගැනීමක්. මේක රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අර්ජුන් මහේන්ද්‍රන්ව දාලා මහබැංකුව මංකොල්ලකෑවට වඩා අමුතු දෙයක් නෙවෙයි. 2006-2015 දක්වා සිදුවුනු ආකාරයට වඩා වැඩි ආකාරයකට 2015 ඉඳල අර්ජුන් මහේන්ද්‍රන්ලා සිදුකළා. එයම නැවත වටයකින් ආරම්භ කෙරෙනවා.
රට බංකොලොත් වෙමින් !
මෙය සිදු කෙරෙන්නේ රටේ දැවැන්ත මූල්‍ය අර්බුදයක්, ඩොලර් හිඟයක් සහ බරපතල ආර්ථික කඩාවැටීමක් තිබෙන පසුබිමකයි.
රට බංකොලොත් වෙමින් යන වෙලාවක ආණ්ඩුව මූල්‍ය ක්‍ෂේත්‍රයත් සමග සෙල්ලම් කරන්න පටන් ගෙන තිබෙනවා. මෙය රටට සිදුකරන ඉතා බරපතළ අපරාධයක්. ග්‍රීක බැඳුම්කර ගනුදෙනුව, හෙජිං ගනුදෙනුව වගේ අදටත් රට වන්දි ගෙවන ඉතිහාසයකට වගකිව යුතු පුද්ගලයින් අධිකරණයට ගෙනයනවා වෙනුවට නැවත මහ බැංකුවට පත්කෙරෙනවා. වෝහාරික විගණනයේදී සාක්‍ෂි දුන් නිලධාරීන් අදත් මහ බැංකුවේ කටයුතු කරනවා. අධිපති ධුරයට මේ පුද්ගලයා පත්වුණාට පස්සේ ඒ නිලධාරීන්ට ඇතිවන තත්වය මොකක්ද? ඒ වගේම රටේ මූල්‍ය ක්‍ෂේත්‍රයට ඇතිවන ප්‍රශ්න මොනවාද? මේ නිසා මහ බැංකු අධිපති හැටියට අජිත් නිවාඞ් කබ්රාල් පත්කිරීම රටේ ආර්ථීකය තව දුරටත් බංකොලොත් කරන ක්‍රියාමාර්ගයක්. ඩබ්.ඩී ලක්‍ෂ්මන් මහාචාර්යවරයා අධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයයේදී තමාට සිත් රිදවීමක් ඇති බව කීවා. අජිත් නිවාඞ් කබ්රාල් කියන්නේ සිත් රිදවීම් සාමාන්‍ය දෙයක් බවයි. එහෙම නම් ඉදිරියේදී හිත් වේදනාවට පත්වුණු නිලධාරීන් ඉල්ලා අසවීම සාමාන්‍ය දෙයක් බව කියාවි. ආරථිකය කඩා වැටීමත් සාමාන්‍ය දෙයක් බව කියාවි. බැඳුම්කර වංචාව වුණත් සාමාන්‍ය දෙයක් බව කියයි. මේ වගේ හැම දෙයක්ම සාමාන්‍ය දේවල් හැටියට හඳුන්වා දේවි. අපේ රටේ ඇතිවී තිබෙන අර්බුද පැලැස්තර දාලා විසඳන්න පුළුවන් දේවල් නෙවෙයි. පෝට් සිටි පනත සම්මත කර ගැනීම කළු සල්ලි සුදුකර ගැනීම, වගේ දේවල් සාධාරණීකරණය කරන්න ආණ්ඩුව බොහෝ දේවල් කීවා. නමුත් ඒ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ.
ආර්ථිකයේ වගේම දේශපාලනයෙත් ප්‍රතිපත්තිමය වෙනසක් !
අපි ජනතාවට අවධාරණය කරන්නේ ආර්ථිකයේ වගේම දේශපාලනයෙත් ප්‍රතිපත්තිමය වෙනසක් සිදුකළ යුතු බවයි. එසේ නොකර ආර්ථිකය හදන්න බැහැ. පුටු මාරු කලා ඔළුගෙඩි මාරු කරලා පැලැස්තරවලින් අර්බුද විසඳන්න බැහැ. මේ වගේ අමනෝඥ තීන්දුවලින් රට හදන්න බැහැ. ඒ නිසා ආර්ථික සහ දේශපාලන වෙනසක් සිදුකිරීම වෙුනවෙන් ජනතාව සංවිධානය වෙලා එකතු වෙන්න ඕනෑ. මේ යන්නෙ අපේ රට විනාශ කිරීමේ ක්‍රියාවලියයි. ඒ සඳහා තමන්ගේ ගජ මිත්‍රයන් අදාළ තැන්වල වාඩි කරගැනීමයි. ඒ නිසා ආර්ථික වගේම දේශපාලන වෙනසක් සඳහා ජනතාව වෙනස් වෙමු කියලා අපි ආරාධනා කරනවා.

කොරෝනා මරණ 11567 ක් දක්වා ඉහළට !
තවත් කොරෝනා මරණ 136ක් ඊයේ (13) දිනට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර ඇති අතර ඊට අදාළ නිවේදනය අද (14) රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත්කර ඇත.
ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 11567ක් දක්වා ඉහළ ගොස් ඇත.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 76 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 60 දෙනා කාන්තාවන් ය.
වාර්තා වූ කොරෝනා මරණ අතර වයස අවුරුදු 30ට ආසාදිතයින් 2කි.
මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 28 ක්, ඇත.
මියගිය ඉතිරි ආසාදිතයින් 106 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

හිටපු ලේකම් : දකුණු පළාත් ආණ්ඩුකාර විලීගේ කෑලිත් ගලවගෙන ගිහින් !
දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ පුද්ගලයා ආණ්ඩුකාරවරයාගේ බලය තවමත් අනිසි ලෙස භාවිතා කරමින් වාහන අවිභාවිතයක නියැලෙන බව දකුණු පළාත් සභා ආරංචි මාර්ග හෙළි කරයි.
මෙම සිදුවීම් හෙළිදරව් වී ඇත්තේ පසුගිය දිනක සිදු කරන ලද විගණන විමසුම්ක දී බව දැනගන්නට ඇත.
මෙයට මාස කීපයකට පෙර මෙම ලේකම්වරයා සූර්යබල විදුලි ව්‍යාපෘතියක් සඳහා එක්තරා ආයතනයකින් අල්ලස් ඉල්ලීමක් සම්බන්ධයෙන් හෙළිදරව් වීම නිසා ආණ්ඩුකාරවරයා ඔහු එම තනතුරින් පහ කර තිබේ.
නමුත් ඔහු එම තනතුරෙන් යන අවස්ථාවේ දී දකුණු පළාත් සභාවට අයත් SP KR 3036 සුදු පාට ප්‍රාඩෝ රථය පළාත් සභාවේ කිසිවෙකුටත් නොදන්වා ඔහුගේ පෞද්ගලික භාවිතය සඳහා යොදා ගනිමින් පවතින බව වාර්තා වෙයි.
ඔහුගේ මෙම දූෂිත ක්‍රියා පිළිවෙත් යට ගසමින් ආණ්ඩුවේ සියලු තොරතුරු වෙනත් කණ්ඩායම් වලට දෙමින් කටයුතු කරන්නේ අන්ත දූෂිත නිලධාරිනියක ලෙස ප්‍රකට ආණ්ඩුකාර කාර්යාල ලේකම්වරියක බවත් දැන්ගන්නට ඇත.
කෙසේ වෙතත් මෙම දූෂිත ලේකම්වරයා තවදුරටත් වැවිලි අමාත්‍යාංශයට අයත් වතු සමාගමක ඉහළ තනතුරක කටයුතු කරන බව සඳහන් වේ.

මිලියන 4000ක් ඉල්ලා - විමලවීරට සහ කෝකිලාට : රවීගෙන් එන්තරවාසි !
සාවද්‍ය ප්‍රකාශයක් මගින් තම කීර්තිනාමයට සිදුකළ හානිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් අදාළ ප්‍රකාශය සිදුකළ රාජ්‍ය අමාත්‍යවරයාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති අතර, අදාළ සාවද්‍ය ප්‍රකාශය මගින් තම කීර්තිනාමයට සිදුකළ හානිය සම්බන්ධයෙන් සති දෙකක් ඇතුලත රු. මිලියන 2000 බැගින්, මිලියන 4000 ක වන්දි මුදලක් ලබාදෙන ලෙස එම පාර්ශවයන් වෙත දැනුම් දී තිබේ.
මෙසේ හිටපු අමාත්‍ය රවී කරුණානායක විසින් එන්තරවාසි යවා ඇත්තේ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධනට විරුද්ධවය.
මේ සම්බන්ධ නිවේදනයක් හිටපු අමාත්‍ය රවී කරුණානායක ගේ මාධ්‍ය ලේකම් විසින් නිකුත්කර ඇති අතර එහි මෙසේද සඳහන් වෙයි.
පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී සීනි සදහා බදු අඩු කිරීම, සීනි ආනයනය/ ගබඩාකරණය වංචනික ලෙස සිදුකිරීම, ලගම මිතුරන් සහ සමාගම් වලට සීනි ආනයනය වෙනුවෙන් තම ගබඩා පහසුකම් ලබාදීම ආදී වංචනික ක්‍රියාවන් රැසක් සිදුකළ බවට පවසමින්, 2021.08.07 දින දෙරණ නාලිකාවේ විකාශය වූ වාදපිටිය වැඩසටහනට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන විසින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට අපහාස සිදුකර ඇති අතර, ඒ හා සමාන සාවද්‍ය චෝදනාවන් ඉදිරිපත් කරමින් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක විසින් 2021.08.05 දින හිරු නාලිකවේ ප.ව. 6.55 ප්‍රවෘත්ති විකාශයන්හිදී හිටපු අමාත්‍යවරයාගේ කීර්ති නාමයට හානිවන පරිදි ප්‍රකාශයන් සිදුකර තිබේ.
මෙසේ පදනම් විරහිත සාවද්‍ය කරුණු ඉදිරිපත් කරමින් අදාළ රාජ්‍ය අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය විසින් ප්‍රසිද්ධ මාධ්‍යයන් හරහා හුදෙක් ජනතාව නොමගහැරීමේ අභිලාශයෙන් සිදුකල අසත්‍ය ප්‍රකාශයන් හේතුවෙන් පුද්ගලික වශයෙන් හා දේශපාලනමය වශයෙන් හිටපු අමාත්‍යවරයාගේ කීර්තිනාමට බලවත් හානියක් සිදුවූ අතර එමගින් ඒ මහතාගේ මානසිකත්වයටද එල්ල වී ඇත්තේ දැඩි ප්‍රහාරයකි.
රවී කරුණානායක මහතාගේ දියණියට අයත් සමාගමක් වෙතද පසුගියදා මෙවැනිම අසත්‍ය චෝදනාවන් ඉදිරිපත් වූ අතර එම චෝදනා සියල්ල සාවද්‍ය බවට තහවුරු කරමින් එම සමාගම මගින් මාධ්‍ය වෙත නිවේදනයන්ද නිකුත්කර තිබියදීත්, නැවත නැවත මේ ආකාරයෙන් දූෂමාණ ප්‍රචාරයන් මුදාහැරීම මගින් හිටපු අමාත්‍යවරයාගේ මෙන්ම ඔහුගේ පවුලේ කීර්තිනාමය වෙත දැඩි බලපෑමක් එල්ලවී ඇති අතර එයින් ඔවුන් ලැබූ මානසික පීඩනය ඉතාමත් දැඩිය.
අදාළ හානිය වෙනුවෙන් එක් අයෙකුගෙන් රු. මිලියන 2000 බැගින් රු. මිලියන 4000 ක වන්දියන් ඉල්ලා එන්තරවාසි යොමුකිරීමට මේ වනවිට පියවර ගෙන ඇති අතර, දෙසතියක් ඇතුලත අදාළ වන්දි මුදල් නොලැබුණහොත්, ඔවුනට විරුද්ධව ඉදිරි නීතිමය පියවර ගැනීමටද නියමිතය.

කබ්‍රාල්ගේ පත්වීමට එරෙහිව නඩු !
හිටපු රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්‍රාල්ගේ මහ බැංකු අධිපති පත්වීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියක් දියත්කර ඇත.
ඊට අදාළ මෝසම සහ පෙත්සම අද (14) දහවල් අභියාචනාධිකරණ කාර්යාලය වෙත විද්‍යුත් තැපැල් මගින් යොමු කර ඇති බවත් වාර්තා වෙයි.
මෝසම මගින් හෙට (සැප්. 15) දින මෙම පෙත්සම විභාගයට ගන්නා ලෙස ඉල්ලා ඇත.
ජනාධිපති කොමිෂන් සභා නිර්දේශයක් මත සිදු කළ වෝහාරික විගණන වාර්තා ගණනාවකට සම්බන්ධ පාර්ශවයන් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉතිරිපත් කර ඇත.
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයට නැවත පත් කිරිම මගින්, අපරාධමය වරදකට සම්බන්ධ මහ බැංකුවේ සතු සාක්ෂි විනාශ කිරීමට, වෙනස් කිරීමට හා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට අවස්ථාවක් හිමිවේ. මහ බැංකුවේ සිදුව ඇති මහ පරිමාන දුෂණ හා වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර එයට සම්බන්ධ පාර්ශවයන්ට නඩු පැවරීම සිදු කරන ලෙස ද පෙත්සම මගින් ඉල්ලයි.
දකුණ සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් කොළඹ අභියාචනාධිකරණයේ නඩු පැවරීම සිදු කටයුතු කර ඇත.
ඊට අදාළ ඔහු විසින් නිකුත්කර ඇති නිවේදනයේ මේ කරුණු සඳහන් අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
ජනාධිපති විමර්ශන කොමිෂන් සභා නිර්දේශයක් මත සිදු කළ වෝහාරික විගණන වාර්තාවේ නිර්දේශ අනුව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ට විරුද්ධව නීති මගින් කටයුතු කරන ලෙස නියෝග කරමින් නීතිපතිවරයා සහ පොලිස්පතිවරයාට මැන්ඩමූස් ආඥාවක් (Writ of Mandamus) නිකුත් කරන ලෙස ද, හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ඉදිරිපත් කළ පෙත්සම මගින් ඉල්ලා ඇත.
වොහාරික විගණන වාර්තාවේ අති විශාල චෝදනා සංඛ්‍යාවක් එල්ල වී ඇති අජිත් නිවාඩ් කබ්රාල් අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස ද,
මුදල් පනතේ 12 වගන්තිය අනුව, ජනාධිපති ලේකම් හා මුදල් අමාත්‍යවරුන්ට අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ කිසිදු තනතුරක් සඳහා පත් කිරීම වලක්වන ලෙස ද,
අපරාධමය වරදක් පිළිබඳ සාක්ෂි වෙනස් කිරීම, විනාශ කිරීම හෝ වෙනස් කිරීම සිදු කළ හැකි බැවින් අජිත් නිවාඩ් කබ්රාල් නැවත මහ බැංකු අධිපති ධූරය සඳහා පත් කිරීම වලක්වන ලෙස ද, පෙත්සම මගින් ඉල්ලා ඇත.
දකුණ, මධ්‍ය හා ඌව පළාත් හි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමින් දැක්වෙන්නේ 2006 ජූලි සිට 2015 ජනවාරි දක්වා කාල සීමාව තුල මහ බැංකු අධිපති ධූරය දැරූ අජිත් නිවාඩ් කබ්රාල් පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස 2021 සැප්තෑම්බර් 13 දින දක්වා කටයුතු කර ඇති බවයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් බැඳුම්කර වංචා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂමක් පත් කල බව ද, එහි නිර්දේශයක් ලෙස සිදු කළ වෝහාරික විගණන වාර්තාව මගින් කබ්රාල් සම්බන්ධයෙන් කරුණු ගණනාවක් හෙළි කර ඇත.
වෝහාරික විගණන වාර්තාව මගින් හෙළි කර ඇති කරුණු සම්බන්ධයෙන් අපරාධමය චෝදනා එල්ල වී ඇති අජිත් නිවාඩ් කබ්රාල් සම්බන්ධයෙන් නීතිය ක්‍රියත්මක විය යුතු බවත්, ඔහු නැවත මහ බැංකු අධිපති ධූරයට පත් වන්නේ නම් මෙම සාක්ෂි විනාශ කිරීමට ඇති ඉඩ වලක්වාල ලෙස ද, පෙත්සමින් ඉල්ලා ඇත.
නීතිඥ සමාගමේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක ඇතුළු පිරිසක් පෙත්සම වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ඇත.

බැසිල්ගේ අයවැයෙන් පීඩනය ජනතාවට - තිස්ස විතාරණ
ඉදිරි කාලයේදී ජනතාවට සෑහෙන පීඩනයක් ඇතිවෙන තත්ත්වයක් මෝරාගෙන එන්නේ යැයි සම සමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ පවසයි.
මන්ත්‍රීවරයා මෙසේ අදහස් පළ කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි බද්දේගම සමිත හිමියන් අපවත්වී තෙමසක් පිරීම සහ අදට (14 ) යෙදෙන උන්වහන්සේගේ 69වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඇල්පිටිය ශ්‍රී නීග්‍රෝධාරාම විහාරස්ථානයේ සංවිධානය කර තිබූ ලේ දන් දීමේ වැඩසටහනකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කර ඇත.
“දැන් තියෙන දේශපාලන තත්ත්වෙ නම් දරුණුයි. පවතින ආර්ථික තත්ත්වය පදනම් කරගෙන දැනටම අයවැය සම්බන්ධව බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා ප්‍රසිද්ධියේම කියලා තියෙනවා එන අයවැයේ දී ජනතාවට, රටට සහන මුකුත් දෙන්න හම්බ වෙන්නේ නැහැ යම් බරක් පටවන්න සිද්ධ වෙනවා යි කියලා.
ඒ කියන්නේ ඔහු , අපි දන්නවා දේශපාලන වශයෙන් දකුණට බරයි. ඇමරිකාවේ පුරවැසියෙක් හැටියටත් ඇමරිකාවේ දේශපාලනයටත් බරයි. මේ තත්ත්වය තුළින් අපිට හිතන්න පුළුවන් ඉදිරි කාලයේදී ජනතාවට සෑහෙන පීඩනයක් ඇති වෙන තත්ත්වය මෝරගන එනවයි කියලා. බඩු මිල පාලනය කිරීමට දැන් හදිසි නීතියක් පනවලා තියෙනවා අත්‍යවශ්‍ය භාණ්ඩ දීමට යම් පියවර ගන්න. ඒක හරි විදිහට ක්‍රියාත්මක කරොත් නම් ඒකෙන් යම් සහනයක් තියෙයි. නමුත් ඒවා අපි කලින් ඉතිහාසය දන්නවා කියන කතා කෙරෙන දේවල් නෙවෙයි. අපි ප්‍රාර්ථනා කරනවා ඒක හරියට කරයි කියලා. මේ තත්ත්වය යටතේ ආයතන තුළ රැකියා අවස්ථා අඩු වේගන යනවා. පංගුවක් ආයතන වහලා තියෙනවා. ඇතැම් ඒවා සේවකයන්ගේ සංඛ්‍යාව අඩු කරගෙන යනවා. ඒ පැත්තෙන් බර ජනතාවගේ කර පිට දාන තත්ත්වයක් තමයි යන්නේ. අනෙක් පැත්තෙන් බැලුවහම මේ උපරිම බද්ද කෝටිපති ව්‍යාපාරිකයකුට වුණත් සියයට දාහතරයි. දැන් මේ වගේ ආර්ථික අර්බුදයක් මැද අපි කවුරුත් පිළිගන්නවා, ආර්ථික අර්බුදයක් තියෙනවයි කියලා. බර දාන්න ඕන මුලින්ම බර දරන්න පුළුවන් අයට. ඉතින් ඇතිවන ලකුණු අනුව අපිට හිතන්න පුළුවන් ඒ අයට බර දාන්නෙ නැතුව සියයට දාහතරක් උපරිම ආදායම් බදු කියලා කියන්නේ ලෝකෙම අඩුම ආදායම් බද්ද තියන රටක් වෙනවා අපේ රට. ඉතින් ඒ තත්ත්වය වෙනස් කිරීම තුළ ප්‍රසිද්ධියේ දැනුම්දීමක් කරලා නැහැ. ඉතින් මේක රජයේ දෙපාර්තමේන්තුවලටත් කියලා තියෙනවා වියදම කපන්න කියලා.
වියදම කපනවා ඒ කියන්නේ ව්‍යාපෘති නවත්තලා. ඒව හරහා ජනතාවට රැකියා අවස්ථා ලැබෙන එක එන්න එන්නම බහිනවා. ඉතින් මේ වගේ දරුණු තත්ත්වයකට තමයි රට ගමන් කරන්නේ. අපි සමසමාජ පක්ෂය හැටියට අනෙකුත් පක්ෂ දහයක් එක්ක මීට දවස් කිහිපයකට පෙර සාකච්ඡාවක් පැවැත්වූවා. අපි සන්ධානය හිටියට මේ තත්ත්වය හරහා මේ ජනතාවට වැඩි සහනයක් දෙන පිළිවෙළක් හරියට ක්‍රියාත්මක වෙන්න ඕන.
බඩු මිල අඩුවෙන නිසි වැඩපිළිවෙළක් හරියට ක්‍රියාත්මක කරන්නත් ඕන. ඉතින් ඒ පැත්තට බර දාලා ජනතාවගේ කරපිට වක්‍ර බදු ආදිය නොදා පුළුවන් තරම් බර දරන්න පුළුවන් කෝටිපතියන්ට තමයි මේ බර දාන්න ඕන කියන ඉල්ලීම අපි සමසමාජ පක්ෂයේ අය හැටියට කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී මේ ගැන සාකච්ඡා තියේවි. අපි ඉල්ලලා තියෙනවා සාකච්ඡා. නමුත් තවම අපි එක්ක සාකච්ඡා පවත්වලා නෑ.
– aruna

කබ්රාල් මහ බැංකු අධිපති ලෙස පත් කෙරේ
ජනාධිපතිවරයා විසින් මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් පත් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ සැප්තැම්බර් 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා අදාළ පත් කිරීම සිදු කර ඇති බවයි.
ලබන 15 වනදා ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත කබ්රාල් මීට පෙර වසර 09 කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධුරය හොඹවා ඇත.
කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වූයේ, අද උදෑසනයි.

තවත් කොවිඩ් මරණ 135ක්
තවත් කොවිඩ් මරණ 135ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඊයේ (12) දින තහවුරු කර ඇති එම මරණ 135ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,431ක් දක්වා ඉහළගොස් ඇත.
කාන්තාවන් 64 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 71 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

කොරෝනා අස්සේ මර්දනය : තවත් වාර්තාවක් එළියට !

ජවිපෙන් ජාතික රෝහලට උපකරණ පරිත්‍යාගයක් !
කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කරන රෝහල්වල කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණ සහ අත්‍යවශ්‍ය ඖෂධ ලබා දීමේ වැඩපිලිවෙල යටතේ ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (13) දින කොළඹ ජාතික රෝහල වෙත එම භාණ්ඩ ලබා දීම සිදු කෙරිණි.
මෙම අවස්ථාවට ජවිපෙ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි, හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල යන අය සහභාගී වූහ.
එම භාණ්ඩ භාරගැනීම සඳහා ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා සම්බන්ධ වූ අතර සමස්ත ලංකා සුවසේවා සංගමයේ සභාපති එස්.බී. මැදිවත්ත ද ඊට එක්විය.
ඉදිරි දිනවලදී රට පුරා පිහිටි කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කරනු ලබන අනෙකුත් රෝහල්වෙතද මෙම භාණ්ඩ ලබා දීමට නියමිත බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

හංසමාලිටත් කොරෝනා !
කොතලාවල පනතට එරෙහිව අගෝස්තු 03 දින පැවති සාමකාමී විරෝධතාවයට සහභාගීවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන සිරගත කළ කෝෂිලා හංසමාලි Covid19 ආසාදනය වී තිබීම නිසා අඹේපුස්ස ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන ගොස් ඇත.
මින් පෙර වාර්තා වූ ආකාරයට, මෙම විරෝධතාව නිසා අත්අඩංගුවට ගෙන සිරගත කළ තවත් තිදෙනකුට කෝවිඩ් ආසාදනය වූ බව අනාවරණය විය.
ඒ ඔවුන් අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයේදී කෝවිඩ් ආසාදිත නොමැති බවට තහවුරුවූ පසුබිමකය.
. නමුත් අගෝස්තු 26 දින වාර්තා වූයේ චමීර කොස්වත්ත, වසන්ත මුදලිගේ සහ අමිල සන්දීප කෝවිඩ් ආසාදියන් ලෙස හඳුනාගත් බවය.
ඒ අනුව, ඔවුන් රැඳවුම් භාරයේ පසුවන විට වසංගතයට ගොදුරු වී ඇති බව පැහැදිලිය.

කබ්‍රාල්ගේ පත්වීමට හිටපු ආණ්ඩුකාරත් බාල්දියක් පෙරළයි !
බැඳුම්කර කොමිසමේ, වෝහාරික විගණන වාර්තාවේ නම සඳහන් පුද්ගලයන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ අර්ජුන මහේන්ද්‍රන් නැවත වරක් මහ බැංකුවේ අධිපති ලෙස පත් කිරීම දේශපාලන බංකොලොත් භාවය ඉක්මවා ගිය උද්දච්චකමක් බවත් එය වැලැක්විය නොහැකි රටක් ලැජ්ජා විය යුතු යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
නිවේදනයක් නිකුත්කරමින් ඔහු මේ බව සඳහන් කරන අතර එහි මෙසේද දැක්වෙයි.
රටට කතා කළ ජනතාවගේ විරෝධයට හා කෝපයට බඳුන් වූ බැඳුම්කර කොමිසමකින්, වෝහාරික විගණන වාර්තාවකින් ලබැදියාවන් අතර ගැටුමක් ඇතැයි පැහැදිලි ලෙසම දක්වා ඇති හිටපු මහ බැංකු අධිපතිවරුන් දෙදෙනාට නැවත ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල් පුටුව ලබා දිය යුතුයැයි සිතන ආණ්ඩුවක් අපට ඇත. රටක් බංකොලොත් කළ මිනිසුන් සිරගෙවල්වල සිටිය යුතු යුගයක නැවත ඔවුන් කැඳවා තනතුරු ලබාදීමට උත්සහ දරන රටක් බිහිව තිබේ.
බැඳුම්කර වංචාව විමර්ශන කිරීම සඳහා පත් කරනු ලැබූ ජනාධිපති කොමිෂන් සභාව (Presidential Commission of Inquiry to Investigate, Inquire and Report the Issuance of Treasury Bonds) හි නම සඳහන් වු පුද්ගලයෙකු නැවත එම තනතුරට පත්වීම රටක අසමත්බව පෙන්වන්නකි.
අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධූරයට පත් කිරීමට යෝජනා වූ විට, ජනතාවට එයට විරුද්ධ වූවේ ඔහුගේ 2001 – 2004 සමයේ පැටිකිරිය නිසාය. අවසානයේ යහපාලන ආණ්ඩුව කුඩේ කුඩු කර මහේන්ද්‍රන් රටෙන් පැන නම ද ස්ත්‍රී-පුරුෂ භාවය හැර අන් සියල්ල වෙනස් කර ගත්තේය. වෝහාරික වාර්තාවේ අජිත් නිවාඩ් කබ්රාල්ට ද එක හා සමාන චෝදනා ඇත. ඒ වෝහාරික වාර්තාව දැන් නීතිපති ලඟ ගල් කර ඇත.
මුදල් පනතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මහ බැංකු අධිපති විය නොහැකි බව පැහැදිලිවම දක්වා ඇත. මන්ත්‍රීවරයෙකු පමණක් නොව, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ද වු පුද්ගලයෙකුට මන්ත්‍රී ධූරයෙන් ඉවත්වී දින දෙක තුනකින් මහ බැංකුවේ අධිපති ධූරය ලබා ගැනීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැත. එවැන්නක් සිදුවිය හැක්කේ බංකොලොත් ‘බනානා රිපබ්ලික්’ එකක පමණී.
එස්ටර් වාර්තාවේ කියූ ‘සුපිළිපන් සහ වගකීම් සහිත’ භාවය කොතැනකද?
පළමුව, ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීමට පාදක වූ 1949 නොවැම්බර් ප්‍රකාශයට පත් ‘Report on the Establishment of a Central Bank for Ceylon’ වාර්තා ප්‍රතිඑලයක් ලෙසිනි. එම වාර්තාවේ 16 වන පිටුවේ මහ බැංකුවේ අධිපතිවරයා බවට පත් වන පුද්ගලයා ‘The Governor should be a man of recognized and outstanding competence in and integrity and responsibility’ විය යුතු යැයී සඳහන් ය.
බැඳුම්කර කොමිසන් වාර්තා වේ ප්‍රසන්න ජයවර්ධන විනිසුරුතුමන් එස්ටර් වාර්තාව උපුටා දක්වා ඇත්තේ ‘ලබැඳියාවන් අතර ගැටුම’ හෙළි කරමිනි. එවැන්නකු නැවත මහ බැංකු අධිපති ලෙස පත් කර ගත යුතුද?
දෙවනුව, 2014 ජූනි 30 දින සංශෝධිත 422 වගන්තිය මුදල් පනතේ (422 වගන්තිය) 11 වගන්තිය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මහ බැංකුවේ අධිපතිවිය නොහැකිය. දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් මුදල් රාජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළ පුද්ගලයා එම තනතුරින් ඉල්ලා අස්වී දින දෙක - තුනකින් ස්වාධීන තනතුරක් වන ‘මහ බැංකු අධිපති ධූරයට’ පත්වීම කිසි ලෙසකින් හෝ සදාචාර සම්පන්න වන්නේ නැත. දේශපාලන පක්ෂය නියෝජිතයෙකු අගවිනිසුරු ධූරයට පත් වූවා හා සමාන තත්වයක් - මහ බැංකුව තුල නිර්මාණය නොවිය යුතුය.
රජයේ ඒකාබද්ධ අරමුදලින් වැටුප් ලබන පුද්ගලයෙකු, ප්‍රාදේශීය සභාවක, පළාත් සභාවක මහජන නියෝජිතයෙකුට මෙම තනතුරට පත් විය නොහැකි නම්, දවස් දෙකකට කලින් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී එම තනතුරට පත්වීමේ සදාචාරය කුමක් ද?
තෙවනුව, 2019 ජනවාරි මස ශ්‍රී ලංකා මහ බැංකුව ‘අචාර ධර්ම පද්ධතියක්’ පැනවීය. බැඳුම්කර වංචාව, බැඳුම්කර කොමිසම හා සිවිල් සමාජයෙන් හිටපු මහ බැංකු අධිපතිවරුන් වූ අජිත් නිවාඩ් කබ්රාල් හා අර්ජුන මහේන්ද්‍රන්ට එල්ල වු විවේචන එයට හේතු විය. එහි 3.6 හි දැක්වෙන්නේ දැනට මහ බැංකුවේ සමාජිකයෙකු (බැංකුවේ) තනතුරින් ඉවත්වීමෙන් වසරක් යන තුරු බැංකු හෝ වෙනත් මුල්‍ය ආයතනයක තනතුරක් දැරීය නොහැකි බව ය. ලබැඳියාවන් අතර ගැටුමක් ඇති නොවන සේ මහ බැංකුවේ නිලධාරීන් තනතුරින් පසුව ද, කටයුතු කළ යුතු යැයි එයින් හඟවයි. දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් මන්ත්‍රී ධූරයක් දරා, පසු දින මහ බැංකුවේ අධිපතිවන්නට හැකි නම් මේ ආචාර ධර්ම පද්ධතිය හෝ යහපාලන ආණ්ඩුව සමයේ මහ බැංකු මංකොල්ලයෙන් පසුව ඇති වූ සංවාදයේ කිසිදු තාර්කික ඵලයක් නැත.
පුදුමය නම්, මේ ආචාර ධර්ම පද්ධතිය සකස් කිරීමට හේතු වූ පුද්ගයින් දෙදෙනාගෙන් අයෙකුම නැවත මහ බැංකුවේ අධිපති ලෙස පත් කිරීමට රජය උත්සහ දැරීමය. මහ බැංකුවේ පහළ තනතුරක් දරන අයෙකුට පැවරෙන ආචාර ධර්මීය සාධකය මහ බැංකු අධිපති ධූරයට අදාල නොවන්නේ ඇයි දැයි අර්ජුන මහේන්ද්‍රන් හෝ අජිත් නිවාඩ් කබ්රාල් හෝ මහ බැංකු අධිපති පුටුවට පත් කරන පත්වීම් බලධාරී ජනාධිපතිවරයා රටට හෙළි කළ යුතුය.
මහ බැංකු ඉතිහාසයේ සිදු වූ විශාලතම වංචාවන්ට ලැබැඳියාවන් අතර ගැටුම් චෝදනා එල්ලවන පුද්ගලයින් දෙදෙනාගෙන් අයෙකුට ආපසු මහ බැංකුව බාරදීම රටක ගමන් කරන මාවත පෙන්වයි.
එදා අර්ජුන මහේන්ද්‍රන් නැවත පත් කිරීමට විරුද්ධ මම ද ඇතුළු පිරිසක් අධිකරණයට ගියේය. පෙලපාලි ගියේය. පිකටිං කළේය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එම විරෝධය සලකා මහේන්ද්‍රන් නැවත පත් කළේ නැත. අද, වසර 15 කට පසුවත්, 2006 මහ බැංකු අධිපති වූ කබ්රාල්ට වඩා එම තනතුරට අලුත් මුහුණක් රජයට හමුවී නැත.
යහපාලන ආණ්ඩුව හා එහි පාර්ශවරුවන් වූ පිරිස් මහ බැංකු දුෂිතයන්ට එරෙහිව කටයුතු කළේ නැත. ජනතා විමුක්ති පෙරමුණ හැර, මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කිසිවෙකුත් මුදල් රාජ්‍ය ඇමති සහ ඔහුගේ අතීත ක්‍රියාකාරකම් ගැන පාර්ලිමේන්තුවේ දී හෝ ඉන් පිටත දී කටක් ඇරියේ නැත. තමන්ට දේශපාලන වාසියක් ලැබෙන බැවින් හෝ අද හෝ ප්‍රමාද වී හෝ විපක්ෂය අවදිවීම මේ දුෂිත දේශපාලනයේ ලැජ්ජා නැති රංගනයේම කොටසකි.
මහ බැංකු බැඳුම්කර කොමිසම සහ වෝහාරික විගණනයේ චෝදනා එල්ල වී ඇති අර්ජුන මහේන්ද්‍රන් හා අජිත් නිවාඩ් කබ්රාල් දෙදෙනා කිසි ලෙසකින් හෝ නැවත මහ බැංකු අධිපති ධූරයට පත් නොකළ යුතුය. එය වැලැක්වීම සඳහා සියළු පාර්ශවයන් එක් විය යුතුය.
ජෝන් එස්ටර් වාර්තාව, මහ බැංකුවේ ආචාර ධර්ම සංග්‍රහයේ අදාල උපුටන පහත දැක්වෙයි.

ජනවරම විමසා වහාම මැතිවරණයක් කැඳවන්න - සජිත්
වහාම ඉල්ලා අස්වී ජනවරම විමසන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලයි.
ජනතාව හාමතේ සිටින බවත් එය තවදුරටත් දරා ගත නොහැකි බවත් ඔහු පවසන අතර ඒ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.
මේ අතර හම්බන්තොට දෙබරවැව පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියේ නැවත වරක් රට තුළ පෝලිම් යුගය සහ සලාක යුගය නිර්මාණය වෙමින් ඇති බවත් දවසින් දවස ආණ්ඩුව විසින් ජනතාව පීඩනයට අසහනයට සහ අවාසනාවන්ත ඉරණමක් වෙත තල්ලු කරමින් සිටින බවත් ය.
මේ රජය බලයට පත්වූ සැණින් රටේ ධන කුවේරයන්ට බදු සහන ලබාදෙමින් රාජ්‍ය ආදායම අහිමි කර ගැනීමෙන් තම අදූරදර්ශි වැඩ පිළිබඳ ආණ්ඩුව ආරම්භ කළ බව විපක්ෂ නායකතුමා පැවසීය.
දිනපතා ඔප්පු වෙමින් තිබෙන්නේ ආණ්ඩුවේ අදූරදර්ශී අකාර්යක්ෂම අදක්ෂ වැඩපිළිවෙළ බව පැවසූ විපක්ෂ නායකතුමා විටින් විට සිදුවෙමින් තිබෙන එකම දෙය වන්නේ ඔලුගෙඩි මාරු කිරීම පමණක් බවද පැවසීය.
මේ වන විට ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ සංවෘත ආර්ථිකයක් කරා ගමන් කිරීමට බවත්,නමුත් ආණ්ඩුව කළ යුතුව තිබුණේ සාර්ව ආර්ථික විචල්‍යයන් මනා කොට කළමනාකරණය කරමින් මේ රටේ ජනතාවට මූල්‍ය උත්තේජකයක් ලබාදීම බවද ඒ මහතා පැවසීය.
මේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය සම්පූර්ණ වෙනසක් සිදුවිය යුතු වුවත් ,වර්තමාන රජය ඇස්බැන්දුම් ක්‍රියාත්මක කරමින් සිටින බවද ආණ්ඩුව ඇමතිවරුන් මාරුකිරීමේ සංගීත පුටු තරගයක් ආරම්භ කොට ඇති බවද හෙතෙම පැවසීය.
මේ වන විට රට බංකොලොත් වී ඇති බවත් මේ බංකොලොත් බවින් රට ගොඩනගන්නට වර්තමාන ආණ්ඩුවට කිසිදු හැකියාවක් නැති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

යුරෝපයේ සතර දෙසින් විත් බොලොඤ්ඤා නගරයට : අගමැතිට ඉතිහාසගත විරෝධයක් !
උතුරු ඉතාලිය මෙන්ම දකුණු ඉතාලියේද සියලුම ප්‍රධාන නගර වල වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව 12 වන ඉරුදින ඉතාලියේ බොලොඤ්ඤා ( BOLOGNA ) නගරයට රොක්වූ අතර ඒ සියල්ලන් කළු ඇදුමින් සැරසී පැමිණීමම අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට ඇති සැබෑ විරෝධත්වයේ තීවෘ බව ලොවටම කියාපාන ප්‍රධාන සාධකයක් විය.
තවද ග්‍රීෂ්ම ඍතුවේ උච්චතම දේශගුණික තත්වයක් තුළදී දැඩි හිරු රශ්මිය මධ්‍යයේ කළු ඇඳුමින් සැරසී මේ ශ්‍රී ලාංකිකයන් ඉල්ලා සිටින්නේ දිනෙන් දින අතපසු වෙමින් පවතින කුරිරු පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් වහා රටට හෙළි කරන ලෙසයි.
එසේම චූදිතයන් අධිකරණය හමුවට ගෙනෙන ලෙසයි. තවදුරටත් කල් මරන්නේ නැතිව වින්දිතයන්ට යුක්තිය ඉටුකරන ලෙසයි.
තවද ඉතාලියේ වෙසෙන සැබෑ දේශප්‍රේමී ශ්‍රී ලාංකියන් පමණක් නොව ජර්මනිය , ප්‍රංශය, ස්විස්ටර්ලන්තයේ සිටද විශාල පිරිසක් සහභාගී වූ මේ සාධාරණ විරෝධතාව දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව ඒකරාශි වීම ඉතාම සුවිශේෂී තත්වයක් විය.
සතිදෙකෙන් මහමොළකරුවන් අල්ලනවා කියමින් බලයට ආ රාජපක්ෂලාට පාක්ෂිකයන්ගෙන්ම විරෝධය …….!
පාස්කු ප්‍රහාරයෙන් පසුව පාස්කු වින්දිතයන් මෙන්ම සිංහල බෞද්ධ ප්‍රජාව අතරත් ඇතිවූ දැඩි විරෝධය හා මුස්ලිම් ප්‍රජාව කෙරෙහි ඇතිවූ ජාතිවාදී හැඟීම් හා කළකිරීම් , ශ්‍රී ලංකාව තුළ තවදුරටත් ජාතික ආරක්ෂාව අනතුරේ යැයි කදිමට දේශපාලන වේදිකාවේ ජනප්‍රිය සටන් පාඨයක් කරගත් බව නොරහසකි.
බලය ලැබූ සැනින් සති දෙකක් වැනි කෙටි කලකින් සාධාරණය ඉෂ්ඨ කරන බවට සපත වූ රාජපක්ෂ ආණ්ඩුවේ කල්මැරීම කාටත් ගැටලුවක් වී ඇත.
ඒ සමග යුරෝපයේ වෙසෙන රාජපක්ෂ ආණ්ඩුව බලයට ගෙන එන්නට කටයුතු කළ බොහෝ පිරිස් පවා අද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටු කරන්නැයි බලකරමින් දැවැන්ත සාමකාමී නිහඬ විරෝධතාවක් දක්වා උණුසුම් වනතරමටම ආණ්ඩුව කෙරෙහි දැඩි කළකිරීමක් හා විරෝධයක් නිර්මාණය වී හමාරය.
පවතින කොරෝනා සෞඛ්‍ය ආරක්ෂක නීති රීති වලට අනුගත වෙමින් අවමය සහභාගී විය හැක්කේ 40දෙනෙකු පමණක් යැයි තිබියදී 300 කට ආසන්න පිරිසක් එක්වන තරම් විශාල විරෝධයක් රාජපක්ෂ පාලනයට එරෙහිව නිර්මාණය වීම තුළ ජාත්‍යන්තරයේද දැඩි අවධානය මේ කෙරෙහි යොමු වීමට ප්‍රභල සාධකයක් වනු ඇත.
සුමුදු මද්දුමආරච්චි
මිලානෝ
ඉතාලිය.
https://www.newstube.lk/news?start=7668#sigProIdc8f8cfd3e7

කැබිනට් පත්‍රිකාවක්වත් නැතිව කෙරවලපිටිය බලාගාරය විකුණන්න හදනවා' - ජවිපෙ
පසුගිය සඳුදා සූම් තාක්ෂණය ඔස්සේ රැස්වූ කැබිනට් මණ්ඩලයට අවසන් මොහොතේ හෝ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොකර කෙරවලපිටිය යුගදනවි එල්එන්ජී බලාගාරය ඇමරිකානු සමාගමකට විකිණීම සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවේ කිහිප දෙනෙකු ගෙන යන ක්‍රියාමාර්ගය වහා නැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.
එම පක්ෂයේ නායක අනුර දිසානායක අද (12) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ආණ්ඩුවට මේ බව අවධාරණය කළේය.
රටේ ජනතාව කොරෝනා වසංගතයෙන් බැටකන අතර වර්තමාන පාලකයන් ජාතික සම්පත් විශාල ප්‍රමාණයක් විදේශිකයන්ට පැවරීමේ ක්‍රියාමාර්ගවල යෙදී සිටින බව ජවිපෙ නායකයා එහිදී සඳහන් කළේය.
ඔහු තවදුරටත් මෙසේද පැවසිය.
'' මේ පාලනය ගොඩනැගීමේ ප්‍රධානම සාධකයක් කරගත්තේ ජාතික සම්පත් ආරක්‍ෂා කරනවා කියන මතය. පැවති රනිල්-මෛත්‍රී ආණ්ඩුව ජාතික දේපළ විකිණීමට විරුද්ධව විශාල මතයක් ගොඩනැගී තිබුණා. ඒ මතය කොල්ලකමින් වර්තමාන පාලනය පිහිටවූවා.
හම්බන්තොට වරාය විකිණීමේදී අදාළ ගිවිසුම සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේදී ඊට විරුද්ධව මේ කිසි කෙනෙක් ඡන්දය දුන්නේ නැහැ. මහින්ද රාජපක්‍ෂ මහත්මයාගේ සිට රාජපක්‍ෂවරු ගණනාවක් පාර්ලිමේන්තුවේ හිටියත් වරාය චීනයට ලබාදීම හෝ බදු සහන ලබාදීමේ ගැසට් නිවේදනයට විරුද්ධත්වය ප්‍රකාශ කළේ නැහැ. එදත් එම විකිණීමට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඡන්දය පාවිච්චි කළේ අපේ මන්ත්‍රී කණ්ඩායම විතරයි.
එදත් අපි පෙන්වා දුන්නේ මොවුන් ව්‍යාජ දේශප්‍රේමය තවරා ගත් අය බවයි. ඔවුන් ගෙන ගියේ බොක්කේ දඩමස් තියාගෙන හක්කේ බුදුරැස් තියෙන ක්‍රියාකලාපයක්. වර්තමාන බලය පිහිටුවාගෙන අපේ රටේ විශාල ජාතික සම්පත් ප්‍රමාණයක් විකිණීමට සූදානම් වෙනවා. ඒ වගේම විකුණා තිබෙනවා.
කොවිඞ් වසංගතය හමුවේ ආණ්ඩුවේ මේ ක්‍රියාකලාපයන් ගැන සංවාදයක් කිරීමේ හැකියාව රට තුළ නැති තත්වයක් තුළ පවා ආණ්ඩුව කරන්නේ ජාතික සම්පත් විකුණා දැමීමයි.
පසුගියදා කැබිනට් මණ්ඩලය සූම් තාක්ෂණය ඔස්සේ කැඳවූ අවස්ථාවේ ඊට පෙර ලබා නොදුන් කැබිනට් පත්‍රිකාවක්, එම අවස්ථාවේදී පවා පත්‍රිකාවක් ලෙස ලබා නොදී මුදල් ඇමති බැසිල් රාජපක්‍ෂ වාචිකව ඉදිරිපත් කළ කරුණු අනුව කෙරවලපිටිය බලාගාරයෙන් 40%ක් සහ ගෑස් ගෙන එන නළ පද්ධතියත් ගෑස් ගබඩා කරන ටර්මිනල් බලාගාරයත් ඇමරිකානු සමාගමකට විකුණන්න තීරණය කරලා.
විකිණීමේ කොන්දේසි, මිල ගණන්, අත්සන් කරන ගිවිසුම ආදී සියලු දේ පිළිබඳ අධිකාරී බලයක් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලබාදී තිබෙනවා.
ආර්ථික ගැටලු, කොවිඞ් ව්‍යසනය, සම්බන්ධයෙන් උත්තර ජනතාව අපේක්‍ෂා කරද්දී ඇමරිකානු සමාගමකට කෙරවලපිටිය බලාගාරය පවරා දීමේ අවසන් තීන්දුව ගෙන තිබෙනවා. ඇමතිවරුන්ට කිසිදු අදහසක් ඉදිරිපත් කරන්න ඉඩ නොදී එම පත්‍රිකාව සම්මත කළ බව කාර්ය සටහන්වල සඳහන් කර තිබෙනවා.
වරාය ආසන්නයේ ඉතාමත් වටිනා අක්කර 13ක් චීන සමාගමට :
මීට පෙර 2021.07.31 දින වරාය ඇමතිවරයා කොළඹ වරාය ආසන්නයේ ඉතාමත් වටිනා අක්කර 13ක් චීනයේ සී.අයි.සී.ටී. සමාගමට පවරා දෙන්නකැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර සම්මත කරගත්තා.
අපේ වරාය අධිකාරියට විශාල පර්යන්ත ප්‍රමාණයක් අද අයිති නැහැ. නමුත් විශාල ආදායමක් උපයන්නේ නාවික සේවා සැපයුම් ලබාදීම මගිනුයි. එමගින් 2018දී බිලියන 5.6ක ආදායමක් උපයා තිබෙනවා.
පසුගිය වසර දෙකේ යම් ප්‍රමාණයක ආදායම් අඩුවෙන්න ඇති. නමුත් දැන් ඒ සේවා සැපයීමේ අයිතිය අවුරුදු 35කට චීන සමාගමට ලබාදී තිබෙනවා. ඒවෙනුවෙන් අක්කරයක් බදුදී තිබෙන්නේ මාසයකට රු. ලක්‍ෂ 8.5ක් වැනි මුදලකට.
අක්කර එක හමාරක් සිමෙන්ති සමාගමකට ලබාදී තිබෙන්නේ මාසික කුලිය ලක්‍ෂ 22කට.
නමුත් චීනයට ලබාදී තිබෙන්නේ ලක්‍ෂ අට හමාරක කුලියකට. තවත් ඉඩමක් අක්කර 1.25ක් පමණ දී තිබෙන්නේ ලක්‍ෂ 135ක් වූ මාසික කුලියකට.
ජාතික දේපළ නිසි තක්සේරුවකට යටත් නොකර විශාල ධනයක් මේ අය උපයා ගන්නවා. ඒ ධනය සුදු කර ගැනීම සඳහා කළු සල්ලි සුදු කර ගැනීමේ පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත්තා.
සෙලෙන්දිවා : ජාතික සම්පත් විකිණීමේ මෙහෙයුම
මීට පෙර පර්ක් ආයතනය වශයෙන් ජාතික සම්පත් විකිණීමේ මෙහෙයුම් සිදුකළ ආයතනය අහෝසි වූවාට පසුව සෙලෙන්දිවා ආයතනය පිහිටුවා එම කාර්යය කරගෙන යන්න පටන් ගෙන තිබෙනවා.
ඩොලර් මිලියන 400ක් උපයා ගන්න විදේශ කටයුතු අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ල, ගෆුර් ගොඩනැගිල්ල, හිල්ටන් හෝටලය සහ අනුබද්ධ ක්‍රීඩා සංකීර්ණය විකුණා දැමීම සඳහා රාජපක්‍ෂ ආණ්ඩුව අප්‍රේල් 31වැනිදා පත්‍රිකාවක් සම්මත කරගත්තා.
කොම්පඤ්ඤ වීදියේගුවන් හමුදාවට අයත් ඉඩමක්, අක්කර 42ක් වූ වැලිකඩ බන්ධනාගාර ඉඩම විකුණා දැමීමට සැලසුම්කර තිබෙනවා.
දේපළ විකුණා ජීවත්වන නාස්තිකාර පියෙකුගේ භූමිකාව අද මේ පාලකයන් ප්‍රවේශ වී තිබෙනවා. හැබැයි ආණ්ඩුව බලයට ආවේ විකිණූ සම්පත් ආපහු ගන්නවා කියලා. බහුතර ජනතාවක් ජාතික සම්පත් ආරක්‍ෂා කරගන්න පරමාර්ථයෙන් ඉන්නවා. මේ පාලකයෝ බලයට ආවේඅන්න ඒ ජනතාවගේ ලෙංගතුභාවය අඩු මිලට කොල්ලකමිනුයි.
''කොමිස්වලට රටේ දේපළවිකුණමින් තිබෙනවා''
කොවිඞ් වසංගත තත්වය හමුවේ කවුරුත් තිගැස්මට පත්වෙලා ඉන්න වෙලාවක යටිකූට්ටු ලෙස කොමිස්වලට රටේ දේපළවිකුණමින් තිබෙනවා.
රාජපක්‍ෂ පවුලට අයිති දේපළ විකුණනවා නම් අපි කවුරුත් බාධා කරන්නේ නැහැ. ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයාට හෝ ඔහුගේ පාලනයට රටේ සම්පත් පවරා දී නැති බව ඔවුන් තේරුම් ගත යුතුයි.
මේ පාලකයන්ගෙන් වැඩි පිරිසකගේ දේපළ තියෙන්නේ, දරු මුණුබුරන් ඉන්නේ එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස්වල. එවැනි පාලකයෝ මේ රටේ පුරවැසියන්ට අයිති සම්පත් විදේශ සමාගම්වලට පවරා දෙමින් තිබෙනවා.
මේ අයට අපේ රට හෝ රටේ පුරවැසියන් පිළිබඳව ආදරයක් තිබෙනවා නම් වෙන රටක පදිංචි වෙන්නේ නැහැ. මේ අය ඇවිත් ඉන්නේ බිස්නස් එකකට බව පසුගිය ජනාධිපතිවරණයේදී අපි ජනතාවට අවධාරණය කළා. මොවුන් විවිධ විදේශ සමාගම්වලට අපේ රටේ දේපළ පවරා දෙන්න බලයට පත්වුණු කොන්ත්‍රාත්කරුවන්. රටේ පාලකයන් නෙවෙයි.
අපේ රටේ මුල් පුටුවෙත් මුදල් අමාත්‍යාංශ පුටුවෙත් වාඩිවෙලා ඉන්නේ ජාතික සම්පත් විකිණීමේ ක්‍රියාවලියක ඉන්න අය. මේ තත්වය පරාජය කළ යුතු බව ජනතාවට අවධාරණය කරනවා.
කොවිඞ් තත්වය හමුවේ මේ සම්බන්ධයෙන් ජනතාව සමග කරුණු පැහැදිලි කරන්න බාධා වී තිබෙනවා. නමුත් ආණ්ඩුව ඒ තත්වය තුළ රටට විනාශකාරී ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. මේ ක්‍රියාදාමයට එරෙහිව පොදු ජනතාව කරළියට පැමිණිය යුතුයි.
පසුගිය 06වැනිදා බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් සම්බන්ධ අඩංගුව සූම් තාක්‍ෂණය මගින් වාචිකව ඉදිරිපත් කර කෙරවලපිටිය බලාගාරයේ අයිතිය ඇමරිකානු සමාගමකට ලබාදීමට ගත් තීන්දුව වහාම හකුළා ගත යුතුයි.
මෙවැනි කැබිනට් පත්‍රිකාවක්වත් නැතිව ලංකාවේ පළවැනි වතාවට තීන්දු අරන් තිබෙනවා. රටට, ජනතාවට විතරක් නෙවෙයි කැබිනට් මණ්ඩලයටත් හංගනවා.
රටට ඉදිරිපත් කරන්න බැරිනම්, ජනතාවට ඉදිරිපත් කරන්න බැරිනම්, විවෘතව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ඉදිරිපත් කරන්න බැරිනම් ඒ හැම දේකින්ම කියවෙන්නේ මේ ක්‍රියාවලිය ඇතුළේ තිබෙන හොරකමයි.
කෙරවලපිටිය බලාගාරය, වරාය ඉඩම්, අපේ රටේ පෞරාණික දේපළ විකිණීම සඳහා රාජපක්‍ෂ කොන්ත්‍රාත්කරුවන් දරන ප්‍රයත්නය පරාජය කළ යුතුයි. සියලු දෙනාට එය වෙනුවෙන් පෙළගැසෙන ලෙස අපි ආරාධනා කරනවා.”

තවත් කොරෝනා මරණ 144 ක් : ආසාදිතයින් 122ක්ම අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්මවූවන්
ඊයේ දිනයේදී පුද්ගලයන් 144 ක් කොවිඩ් 19 වෛරසය වැළඳීමෙන් මරණයට පත්ව ඇත. ඒ අනුව මෙරට තුළ සිදු වූ සමස්ත මරණ ප්‍රමාණය 11,296 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 77 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 67 දෙනා කාන්තාවන් ය.
ඊයේ මියගිය පුද්ගලයන්ගෙන් 21 ක් අවුරුදු 30 - 60 අතර වේ. අවරුදු 30 ට අඩු එක් අයෙක්ද මියගොස් ඇත.
අද (12) වාර්තා කරන ලද මෙම මරණ 144 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.
අවසන් දින 30 තුළදී පමණක් කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 5500 ඉක්මවන පිරිසක් මියගොස් ඇති අතර, එය සමස්ත මරණවලින් 50% ඉක්මවන ප්‍රමාණයකි.
Page 427 of 462