Image

බලය රැකගන්නට අන්තවාදීන් කුලප්පු කරන මේ ගමනේ අවසානය තවත් ගැටුමක් ද? - බුද්ධික පතිරණ

බලය රැකගන්නට අන්තවාදීන් කුලප්පු කරන මේ ගමනේ අවසානය තවත් ගැටුමක් ද?  - බුද්ධික පතිරණ

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ගිහි ඇඳුමකින් අධිකරණය දක්වා රැගෙන ඒම තුළ ආණ්ඩුව චේතනාන්විතවම රට අන්තවාදීත්වයකට තල්ලුකර ඇති බව සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පවසයි.

මෙම සිදුවීම් ඔස්සේ සියලු ජාතීන් හා ආගම් තුළ සිටින සුළුතරයක් වූ අන්තවාදී කණ්ඩායම් අතර උත්කර්ෂයක් ඇති කරමින්, ඒ උත්කර්ෂය තමන්ගේ ඡන්ද බවට පත්කර ගැනීම ආණ්ඩුවේ සැලසුම නම්, එය තවත් ලේ වැගිරෙන ඛේදවාචකයකට උඩගෙඩි දීමක් බවට ඔහු චෝදනා කළා.

ඥාණසාර හිමියන් අධිකරණයට රැගෙන ඒමේදී බන්ධනාගාරය සිය නිත්‍ය නියෝග පවා උල්ලංඝණය කර ඇති බවත්, සිදුව ඇති වගකීම් විරහිත ක්‍රියාව වසන් කිරීමට ආණ්ඩුවද එකිනෙකට නොගැලපෙන ප්‍රකාශ සිදුකරමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළා.

බුද්ධික පතිරණ මහතා මේ අදහස් පළ කළේ, කෝට්ටේ පිහිටි සමගි ජනබලවේග පක්ෂ මූලස්ථානයේ (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බුද්ධික පතිරණ මහතා…,

“මේ සිදුවීම ගැන බෞද්ධ සමාජය පමණක් නොවෙයි, මධ්‍යස්ථ සෑම ආගමිකයෙකුම කම්පාවට පත්ව සිටිනවා. මෙය රජය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක කළේ අශෝබන ක්‍රියාවක්. සෑම ආගමකම, සෑම ජාතියකම අන්තවාදීන් සුළු පිරිසක් සිටින බව අපි දන්නවා. දැන් මේ සිදුවීම ඔවුන් අතර දැවැන්ත සංවාදයක් ඇති කරලා ඉවරයි. ඒවා අවසානයේ ගැටුම්වලට හේතුවෙන කාරණා. මේ මොහොතේ අපි කතා කරන්නේ ඥාණසාර හිමියන්ගේ අදහස් උදහස්, කතාකරන ආකාරය, විවිධ අගම් ගැන දරණ මතය භික්ෂූත්වයට අදාළද කියන එක නෙමෙයි. උන්වහන්සේ සම්බන්ධයෙන් අධිකරණය ලබාදී ඇති තීන්දුව ගැනත් නෙමෙයි. ප්‍රශ්ණය තියෙන්නේ අධිකරණයේ සිරදඬුවමකට ලක්ව සිටින භික්ෂුවක නැවත අධිකරණයට හෝ වෙනත් එළිමහන් ස්ථානයකට රැගෙන යාමේදී ක්‍රියාකළ යුතු ආකාරය ගැන ප්‍රශ්ණයක්. බන්ධනාගාර නිත්‍ය නියෝගවල පැහැදිලිව සඳහන් වී තිබෙනවා එවැනි සිරකරුවෙකු බන්ධනාගාර ඇඳුමෙන් අධිකරණයට ඉදිරිපත් නොකළ යුතු බව, යම් අයෙකු අධිකරණයට ඉදිරිපත් කරන්නේ නම්, වරදකරු කිරීමට පෙර සැරසී සිටි ඇඳුමෙන් රැගෙන යායුතු බවත් එම නියෝගවල දක්වා තිබියදි තමයි ඥාණසාර හිමියන් මේ ආකාරයට සිවිල් පුරවැසියෙකු අදින ආකාරයේ සුදු කමිසයක් සහ සරමක් අන්දවා රැගෙන එන්නේ.”

පුජ්‍ය ගලබඩඅත්තේ ඥාණසාර ස්වාමීන් වහන්සේට අන්දවා තිබූ ඇඳුම බැලූ බැල්මටම කඩි මුඩියේ මසන ලද ඇඳුමක් බව පැහැදිලි වන බව පැවැසූ බුද්ධික පතිරණ මහතා කියා සිටියේ, මේ සම්බන්ධයෙන් ඇති වී තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වය පාලනය කිරීම ආණ්ඩුව දැන් බණ්ඩාරනායක ඝාතනය වැනි ඈත අතීතයේ සිදුවූ සිදුවීමක ඡායාරූප හා මේ සිදුවීමේ ඡායාරූප පවා සන්සන්ධනය කිරීමට පියවර ගෙන ඇති බවයි.

“බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වූ තල්දූවේ සොමාරාම ස්ථවිරයන් සුදු ඇඳුමකින් අධිකරණයට රැගෙන යන ආකාරය දැක්වෙන ඡායාරූප නිකුත් කරමින් මෙම සිදුවීම් එකිනෙක සමාන කිරීමට දරණ උත්සාහය අසාර්ථකයි. දැන් වොෂිං මැෂින් බලකාය කියන්න හදනවා බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවූ සෝමාරාම හිමිටත් සැලකුවේ මෙහෙමයි කියලා. ඒක වැරදියි. මේ ඝාතනයෙන් පස්සේ සෝමාරාම හිමියන් සිය කැමැත්තෙන් උපැවැදි වුණා. ඊට පස්සේ බුද්ධාගම අතහැරල වෙනත් ආගමකට ගියා.  එම අවස්ථාවේ නීතිය ක්‍රියාත්මක වුණේ ගිහියෙකුට අදාළ වන ලෙසයි. ඒ නිසා ඒ පිංතූරයි මේ පිංතූරයි ගලප්පමින් මේකයි ඒකයි සාධාරණීකරණය කරන්න ආණ්ඩුවට බෑ. එහෙම කරන්න හදනවානම් ඒක සම්පූර්ණයෙන් නොමග යැවීමක් හා ජනවිඥානය විකෘති කිරීමක්. ඒ වගේම තවත් භික්ෂූන් තිස් ගණනක් සම්බන්ධයෙන් කටයුතු කර ඇත්තේ මෙලෙසම බවත් රජය කියනවා. නමුත් එහෙම දෙයක් අපි කිසිදු තැනක දැකල නෑ. අඩුම ගණනේ සමාජ මාධ්‍යයක ඡායාරූපයක්වත් පළ වෙලා තියෙනවාද කවර හෝ හිමිනමක් චීවරය ඉවත් කර අධිකරණයට ඉදිරිපත් කරපු.”

 

 සමගි ජනබලවේගය කවදත් ආගමික සහ සංස්කෘතිය අනන්‍යතා වෙනුවෙන් පෙනී සිටියා.

“2020 අපිට මතකයි කොරෝනා කාළේ මිය ගිය ඉස්ලාම් භක්තිකයින්ගේ සිරුරු ආදාහනය කිරීම ඔවුන්ගේ ආගමික සම්ප්‍රදායන්ට නොගැලපෙන බව අපි කීවා. අපි එහිදී ඉස්ලාම් භක්තිකයින්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටියා. ත්‍රිකුණාමලයේ විහාරස්ථානයක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවකදී භික්ෂූන් වහන්සේලාට පහරදෙන අවස්ථාවක අපි කිව්වේ, සම්බුද්ධ චීවරය ඇදල, උන්වහන්සේලාට පහරදෙනවා වෙනුවට අදාළ ගැටලුවට නීතිමය රාමුව ඇතුලේ විසඳුම් දෙන්න කියලා. ඒ නිසා මෙවැනි දේ සම්බන්ධයෙන් අපි මැදිහත් වෙන්නේ විවිධත්වය තුළ ඒකත්වය යන දර්ශනය තුළ සිටිමිනුයි.”

දශක තුනක් පුරා පැවැති යුද්ධයෙන් පස්සේ, 2009 සිට ගොඩනැගෙමින් තිබූ ආගමික හා ජාතික සංහිදියාව කඩාකප්පල් කරන ආකාරයේ මෙවැනි අමනෝඥ තීරණ හරහා යළි රට තුළ ලේ වැගිරෙන ඛේදවාචකයකට පාර නොකපන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද බුද්ධික පතිරණ මහතා මෙහිදී අවධාරණය කළා.

ඔහු සඳහන් කළේය. භික්ෂූවකගේ සිවුරු ඉවත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ සංඝ සමාජය විසින් බවයි, බන්ධනාගාරයට හෝ වෙනත් ආයතනයකට හෝ පුද්ගලයෙකුට අවශ්‍ය ලෙස නීති, වගන්ති වෙනස් කරමින් කටයුතු කිරීමේ බලයක් නොමැති බවද පෙන්වා දුන් ඔහු, ඒ අනුව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අධිකරණයට රැගෙන ආ ආකාරය, රාජ්‍යයේ පැවැත්මට අහිකර බලපෑමක් බවත්, එමගින් ලෝකයටම නරක ආදර්ශයක් ලබාදී ඇති බවත්, අන්තවාදීන්, අන්තවාදීන් අතර ගැටුමකට මග හෙළිකර ඇති බවත් ඔහු පෙන්වා දුන්නා. එමෙන්ම ආණ්ඩුව පත්කිරීමට මුල් වූ අත, පුටුව, බුලත් කොළය, පොහොට්ටුව නියෝජනය කළ වාමවාදී හා ජාතිකවාදී බලවේගවලටත්, සමස්ථ සංඝ සමාජයටත් මේ ඔස්සේ ආණ්ඩුව බරපතල අතුල් පහරක් එල්ල කර ඇති බවත් ඔහු අවධාරණය කළා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න