පුවත්

ලංකාවේ සංචාරය නවත්වා ආපසු එන්න : රුසියාව දන්වලා !
ශ්‍රී ලංකාවේ සිදුකරන සංචාර අත්හිටුවා ආපසු පැමිණෙන ලෙස රුසියාව මෙරට සිටින රුසියානුවන්ට දැනුම් දී තිබෙන බව වාර්තා වෙයි .
ඒ අනුව මෙරට සංචාරය සඳහා පැමිණ සිටි රුසියානුවන් 300 දෙනෙකු පමණ අද (05) දිනයේදී කටුනායක ගුවන් තොටුපළින් රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව මාධ්‍ය වාර්තා පවසයි .
රුසියාව බලා පියාසර කරන අවසන් එරෝෆ්ලොට් ගුවන් යානය මගින් අද දහවල් ඔවුන් මෙරටින් පිටව යාමට නියමිතව තිබෙන බවත් වාර්තා වෙයි .
මේ අතර එරෝෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවක් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රුසියානු බලධාරීන් දැනුවත් කර තිබෙන බවත් වාර්තා වෙයි . විදේශ කටයුතු අමාත්‍යංශය හරහා එම දැනුවත් කිරීම සිදුකර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර ඇත .

සිකුරාදාට රාජ්‍ය සේවකයින් : ගෙදර ඉඳලා වැඩ !
සිකුරාදා දිනය රාජ්‍ය සේවකයන් සඳහා නිවසේ සිට රාජකාරී කළ හැකි දිනයක් බවට පත්කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි .
ඒ අනුව රාජ්‍ය සේවකයන් රාජකාරියට පැමිණිය යුතු දින ගණන සතියකට දින 04ක් දක්වා අඩුවන බව ඇමතිවරයා සඳහන් කර ඇත .
ඇමතිවරයා මේ බව පැවසුවේ අදට (05) යෙදෙන ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව මාදිවෙල කේතුමතී විහාරස්ථානයේ දී පැවති මී පැළ බෙදාදීමේ හා රෝපණය කිරීමේ අවස්ථාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවත් මෙය රටේ පවතින ඉන්ධන හා මූල්‍ය අර්බුදය හේතුවෙන් ගන්නා පියවරක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත .

අගමැතිකම ඩලස්ට දෙන්නැයි ඉල්ලීමක් ?
විමල්, ටිරාන් - ගම්මන්පිල ජනපති හම්බෙන්න ගිහින් ඩලස් අලහප්පෙරුම ව අගමැති කරන්න කියලා ඉල්ලීමක් කර ඇති බවට රාවයක් හේතුවෙන් , ඊයේ දේශපාලන කරලිය උනුසුම්ව ඇති බව වාර්තා වෙයි .
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ගෙන් කළ විමසීමේදී ඔහු පවසා ඇත්තේ , ඔවුන් එවැනි කිසිම ඉල්ලීමක් කර නොමැති බවය. එසේම එවැන්නක් කවුරුන් හෝ සඳහන් කර ඇත්නම් එය ව්‍යාජ කට කතාවක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත .
ඒ වගේම ඩලස් මන්ත්‍රීවරයත් මේ පිළිබඳව ප්‍රතිචාර දක්වා ඇත.
එහිදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ මේ වෙලාවේ රනිල් ඉවත්කරන්න කුමන්ත්‍රණය කරන එක රටට කරන ලොකුම ද්‍රෝහිකමක් කියාය.
මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත .
"මේ වෙලාවේ රට ම ලොකු අර්බුදයක .. දැන් අපට ඕන ජාත්‍යන්තරව මේ ගැන කටයතු කරන්න පුළුවන් ලෝකය පිළිගත්ත නායකත්වයක්. ජනාධිපතිතුමා රනිල්ව අගමැතිවිදියට පත්කරපු එක මේ අවස්ථාවේදී ගත්තු නිවැරදි තීන්දුවක්.
රනිල්ට මාස 6-7ක් දීලා බලමු.. රට ගැන හිතලා එතුමාට මෙවෙලාවේ අපෙත් සහයදිය යුතු වෙලාවක්. මේ වෙලාවේ රනිල් ගේ කකුලෙන් අදින්න ගියොත් මිනිස්සු අපිට පන්න පන්න ගහවි...''

අගමැතිට ළඟම අයගෙන් පරිස්සම් වෙන්න කියන්න : GR සාගලට දන්වයි !
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ළඟම ඉන්නා අයගෙන් ඔහුට ප්‍රවේසම් වෙන ලෙස දන්වන්න කියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හිටපු අමාත්‍ය , අග්‍රාමාත්‍ය කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙත පවසා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .
වාර්තා වන ආකාරයට ජනාධිපතිවරයා මේ දැනුම්දීම සිදුකර ඇත්තේ හිටපු අමාත්‍ය සාගල රත්නායක වෙත කැඳවීමක් සිදුකරමිනි.
එහිදී තම අයියණ්ඩිය වූ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ට වැරදුනේද ළඟම සිටි පිරිස නිසා බවත් ජනාධිපතිවරයා පවසා ඇත .
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට සමීපතම ලෙස සාගල රත්නායක , වජිර අබේවර්ධන , රුවන් විජයවර්ධන , පාලිත රංගේබණ්ඩාර සහ අකිල විරාජ් කාරියවසම් කටයුතු කරයි.
කෙසේ වුවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ අයගෙන්ද නැත්නම් වෙනත් පාර්ශ්වයක් වෙතින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පරිස්සම් විය යුතු බව ජනාධිපති පවසා ඇත්දැයි පැහැදිලි නැති බවයි.
මේ අතර දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ මෙරටට ඩොලර් ගෙන්වා ගැනීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් සහය දැක්වීම සඳහා ඉදිරිපත් වූ පාර්ශ්වයක් වෙතින් අග්‍රාමාත්‍යවරයා ගේ ළඟම හිතවතෙකු ලෙස පෙනී සිටින අයෙකු එක්, ඩොලරයක් වෙනුවෙන් රුපියල් 15 ක සන්තෝසමක් ඉල්ලා ඇති බවය.
එකී ඉල්ලීම හේතුවෙන් එම පාර්ශ්වය ව්‍යාපෘතියෙන් ඉවත්ව යාමට තීරණය කර ඇති බවත් වාර්තා වෙයි .
මේ අතර දේශපාලන විචාරකයන් පවසන්නේ , බලය ගැනීම වෙනුවෙන් අති දක්ශයෙක් වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ , ලද බලය පවත්වා ගැනීමට දක්ශතාවක් නොමැති බව ඉතිහාසය තුළ ඔප්පු කර ඇති බවයි.
එබැවින් මේ මොහොතේ අග්‍රාමාත්‍යවරයා පෙර වැරදි සිදුවීමට ඉඩනොදී ක්‍රියාත්මක වීමට කටයුතු කළ යුතු බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි .

ව්‍යාජ ලේඛන දාලා : කොළඹ නිවාස තිබියදී මාදිවෙලෙන් නිවාස අරගෙන !
කොළඹ තමන්ට අයිති සුපිරි පන්නයේ නිවාස තිබියදීත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සකට ආසන්න පිරිසක් ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරමින් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන්ද නිවාස ලබාගෙන ඇති බවට අනාවරණය වී ඇත.
කොළඹ තමන්ටම අයිති නිවාස ඇති මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් නිවාස ලබාදීම නීතිය අනුව තහනම් බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති. සමහර මන්ත්‍රීවරු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇත්තේ තමන්ට කොළඹ නිවාස නැති බව ව්‍යාජය දිවුරුම් ප්‍රකාශ පවා ඉදිරිපත් කරමින් බව කියති.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇති මන්ත්‍රී පිරිසට කොළඹ නගරයේ නිවාස දෙක තුනක හිමිකම ඇති අයද ඇතුළත් වෙතියි වාර්තාවේ.
මේ අතර මන්ත්‍රීවරු පිරිසක් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන කාලයක් තිස්සේ ඒවා වසා දමා වෙනත් ස්ථානවල පදිංචිව සිටින බවද පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
Lanka truth

කච්චතිව් ඉන්දියාවට දෙනවට උතුරේ නායකයන් විරුද්ධයි !
කච්චතිව් දුපත යළි ඉන්දියාව සතු කරගැනීමේ තමිල්නාඩු මහ ඇමැතිගේ යෝජනාවට උතුරේ දෙමළ පක්‍ෂවල විරෝධය එල්ලකර ඇත .
ඒ මෙම යෝජනාව සම්බන්ධයෙන් දකුණේ සිංහල නායකයන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති පසුබිමකය .
චෙන්නායි නුවර පසුගිය දා පැවති උත්සවයකදී තමිල්නාඩු මහ ඇමැති එම්.කේ.ස්ටාලින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගෙන් ඉල්ලා සිටියේ තමිල්නාඩු හා උතුරු ලංකා ධීවරයන්ගේ ගැටලුව විසදීමට කච්චතිව් දුපත යළි ඉන්දියාවට පවරා ගන්නා ලෙසය.
එහිදී තමිල්නාඩු මහ ඇමැති ස්ටාලින් පැවසුවේ තමිල්නාඩු ධීවරයන්ට අනුව ඉන්දු-ලංකා මුහුදේ ගැටලුවට හොඳම විසදුම වන්නේ කච්චතිව් යළි පවරා ගැනීම බවයි.
කෙසේ වුවත් ඊට විරෝධය පලකරමින් තමිල් ඊළාම් විමුක්ති සංවිධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් කියා සිටියේ කච්චතිව් දුපත කිසිසේත්ම උතුරේ ධීවරයන්ට අත්හැර දැමිය නොහැකි බවයි.
ඒ වවුනියාවේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ය.
එහිදී ඔහු මෙසේද පැවසීය .
''ඉන්දියාව එයාලගේ ආරක්ෂාව ගැන බය වෙන්න ඕනේ නැහැ. අපිට කොහොමත් කච්චතිව් ආපහු දෙන්න බැහැ. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න අපිට ඉන්දියාව, තමිල්නාඩු මහ ඇමැති කරන උදව් ගැන ස්තුති කළත්,කච්චතිව් පවරා ගන්න යෝජනාවට නම් අපි විරුද්ධයි,''
තවද කච්චතිව් දුපත යළි ඉන්දියාවට පවරා ගැනීමට කර ඇති යෝජනාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් ගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු කියා උතුරු ධීවරයන්ගේ ස්ථාවරය නම් එය නැවත ලබා දිය නොහැකි බවයි.
එසේ කිරීමෙන් උතුරේ ධීවරයන්ට විශාල හානියක් සිදුවන බැවින් තමිල්නාඩු ඉල්ලීම කොහෙත්ම ඉටුකළ නොහැකි බවද මන්ත්‍රීවරයා පවසා තිබේ.
කච්චතිව් කොදෙව්ව පිලිබඳ ප්‍රශ්නය රටවල් දෙකක් අතර ගිවිසුමක් මගින් විසඳා ගත් දෙයක් බැවින් යළිත් ඒ පිළිබඳව යම් ගැටළුවක් මතු වන්නේ නම් දෙපාර්ශවය එක්ව සාකච්ජා කළ යුතු බව ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා පවසයි.
ඉන්දු-ලංකා ධීවර ආරවුලට මෙතෙක් තිරසාර විසදුමක් ලැබී නොමැති බැවින් ඊට අදාලවම මෙම කච්චතිව් අර්බුදය ද ඉන්දියාව සමග රාජතාන්ත්‍රිකව විසඳා ගත යුතු බව ඉලංගෙයි තමිල් අරසු කච්චි නායකයා මාධ්‍යට සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ "ඩෙසර්ට් කට්' එකක් !
මතුව ඇති බරපතළ ආර්ථික අර්බුදය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, නිලධාරීන්ට සේවකයන්ට සහ අමුත්තන්ට ප්‍රධාන ආහාර වේලෙන් පසු ලබා දෙන අතුරුපස එකක් දක්වා අඩු කර ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඒ පිරිස් සඳහා මේ දක්වා ලබාදී තිබූ අතුරුපස වර්ග සංඛ්‍යාව තුනකි.
පලතුරු ඇතුළු සියලු අමුද්‍රව්‍ය මිල ඉහළ ගොස් ඇති හෙයින් අතුරුපස වර්ග තුනක් සැපයීම දුෂ්කරවී ඇතැයි පාර්ලිමේන්තු ආපන ආපනශාලා අංශයේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් ලංකාදීප වාර්තා කර ඇත .
අදාළ පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
එසේම අධික මිල ගණන් නිසා ඇතැම් ආහාර වර්ග මිලදී ගැනීමද සම්පූර්ණයෙන්ම නවතා දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර පාර්ලිමේන්තුවේ සේවකයන්ට වාර්ෂිකව ලබාදෙන නිල ඇඳුම් ප්‍රමාණයද අඩු කර ඇතැයි වාර්තා වේ.
සෑම වර්ෂයකම නිල ඇඳුම් තුනක් මෙතෙක් ලබා දුන් අතර එය එකක් දක්වා අඩු කර ඇත.
ආර්ථික තත්වය නිසා නිල ඇඳුම් තුනක් සැපයීම දුෂ්කරවී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවැසීය.
පාර්ලිමේන්තුවේ ලිපි ද්‍රව්‍ය පාවිච්චියද ආර්ථික ප්‍රශ්නය සැලකිල්ලට ගෙන සියයට 50කින් පමණ අඩු කරගෙන ඇතැයි එහි නිලධාරීහු පැවසූහ.

කොරේ පිටට මරේ : Aeroflot ගුවන් ගමන් කටුනායකට නෑ !
එරෝෆ්ලෝට් ගුවන් සමාගම ශ්‍රී ලංකා වෙත සිදුකරන වාණිජ ගුවන් ගමන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරෝෆ්ලෝට් ගුවන් සමාගමේ ගුවන් යානා ශ්‍රී ලංකාව වෙත බාධාවකින් තොරව පියාසර කිරීම සහතික කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එරෝෆ්ලෝට් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ බවත් වාර්තා වෙයි .
ඒ අනුව ගුවන් ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම ද එරෝෆ්ලෝට් ගුවන් සමාගම විසින් අත්හිටුවා ඇති බවත් වාර්තා වෙයි .
මාධ්‍ය වාර්තා පවසන ආකාරයට එරොෆ්ලොට් ගුවන් යානා සෑම සතියකම බ්‍රහස්පතින්දා , සෙනසුරාදා සහ ඉරිදා වශයෙන් සතියකට දින 03 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත ඍජු ගුවන් ගමන් සිදු කරයි.
රුසියානු ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණි විට කිසිදු හේතුවක් මත රදවා තබා ගැනීමක් සිදු නොකරන බවට ශ්‍රී ලංකාව සහ රුසියාව අතර එකඟතාවයක් ඇත.
ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන රට වන්නේද රුසියාවයි.
පසුගියදා අයර්ලන්ත රක්ෂණ සමාගමකට රක්ෂණ වාරික නොගෙවීමේ හේතුවක් මත රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ රඳවා ගත්තේය.

චීන ඖෂධ සහ උපකරණ දිවයිනට
චීන රජය පරිත්‍යාග කළ අත්‍යවශ්‍ය ඖෂධ හා සෞඛ්‍ය උපකරණ තොගයක් දිවයිනට ඊයේ මධ්‍යම රාත්‍රියේ ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇත.
අත්‍යවශ්‍ය ඖෂධ 14ක් ඇතුළු අමෙරිකා ඩොලර් මිලියන 28 ක් වටිනා මෙම සෞඛ්‍ය ආධාර තොගය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මෙරටට රැගෙන ඒම සිදුවිය.
ඖෂධ තොගය භාර ගැනීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
චීන රජය මෙන්ම එරට බෞද්ධ සමිති සංවිධානය ඇතුළු ප්‍රජා සංවිධාන මෙම ඖෂධ හා උපකරණ පරිත්‍යාග කර තිබේ.

21ට පක්ෂ වෙන්න : විමල්ලාගේ පාර්ශ්වයේ සංශෝධන මෙන්න !
යම් පනත් කෙටුම්පතකට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී යම් සංශෝධනයක් සිදු කළොත් එකී සංශෝධනවල ව්‍යවස්ථානුකූලත්වය එකී පනතට කතානායක විසින් අස්සන් තබා මාසයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට ඕනෑ ම පුරවැසියෙකුට අවස්ථාව තිබිය යුතු බවට 21 ව්‍යවස්ථා සංශෝධනයට එක්විය යුතු බව විමල් ගම්මන්පිල වාසු ඇතුලත් මන්ත්‍රී කණ්ඩායම යෝජනා කර ඇත .
එසේම ඕනෑ ම ආණ්ඩුවක් සමග ශ්‍රී ලංකාණ්ඩුව අස්සන් කරන ද්විපාර්ශ්වීය ගිවිසුම් සහ බහුපාර්ශ්වීය ගිවිසුම් අස්සන් තැබීමට පෙර පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු බවටත් වන වගන්ති එම පනත් කෙටුම්පතට එකතු කරන ලෙසත් ඔවුන් යෝජනා කර තිබේ.
මේ කරුණු ඇතුළත් , ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධින වූ මේ පක්ෂ එකමුතුව විසින් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ඉදිරිපත් කරන සංශෝධන 17ක් හා එකතු කිරීම් 7ක් සහිත යෝජනාවලියක් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ වෙත බාරදී ඇති බවත් වාර්තා වෙයි .
පසුගිය ජුනි 01 වනදා අදාළ යෝජනාවලිය බාරදී ඇති අතර එහි පිටපතක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත යොමුකර ඇති බවත් වාර්තා වෙයි .
අදාළ යෝජනාවලිය පහත දැක්වෙයි .

හර්ෂ, යළිත් සුවසැරියට පණ දෙයි !
පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ මෙරට තිබෙන ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය නිසා 1990 සුවසැරිය පවත්වාගෙන යාම දැඩි අසීරුතාවයකට පත්වී තිබීම නිසා 1990 සුවසැරිය නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඉන්දියානු රජයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් අද (03) කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සුවසැරිය සඳහා ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කළේය.
මෙම පරිත්‍යාගය ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ සිදුකළ අතර මෙම අවස්ථාවට 1990 සුවසැරිය නිර්මාතෘ ආචාර්ය හර්ෂ ද සිල්වා , සුවසැරිය පදනමේ සභාපති දුමින්ද්‍ර රත්නායක , සුවසැරිය ප්‍රධාන විධායක නිළධාරී සොහාන් ද සිල්වා ඇතුළු පිරිසක් සහභාගී විය. මෙහිදී, අදහස් දක්වමින් 1990 සුවසැරිය නිර්මාතෘ ආචාර්ය හර්ෂ ද සිල්වා මෙසේ පැවසීය.
"පවතින ආර්ථික අර්බුදය නිසා සුවසැරිය පවත්වාගෙන යාම ඉතාමත් අපහසු වී තිබෙනවා. අපි අමාරුවෙන් ආරම්භ කරපු මේ ජනතාවාදී සේවාව නතර කරන්න දෙන්න බෑ. ඒ නිසා, මම සුවසැරියට අවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබාදෙන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා සිටියා. එයට යහපත් ප්‍රතිචාර දැක්වීම ගැන මම ඉන්දීය රජයට ස්තූතිවන්ත වෙනවා. සුවසැරිය ආරම්භ කිරීමට සහයෝගය දුන්නෙත් ඉන්දියාව. මීට අමතරව, සුවසැරියට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කරන ලෙස මා පසුගියදා කෝප් කමිටුවේදී මහා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියා. එයටත් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි මා විශ්වාස කරනවා."

සාගතය වළක්වා ගන්න : අගමැති UNDP සමග තීරණාත්මක සාකච්ඡාවක !
ආහාර හිඟයක් ඇතිවීමේ තර්ජනය හමුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් සම්පාදනය කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි .
ඒ රටේ වත්මන් ආහාර තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ(FAO) මෙරට නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ(UNDP) නියෝජ්‍ය නියෝජිත මාලින් හර්විග් සමඟ අද (03) පැවැති සාකච්ඡාවකදීය.
එම වැඩසටහන ලබන මාසයේ එළිදැක්වීමට නියමිත අතර UNDP සහාය සඳහා එහිදී ආරධනා කර සිටි බවත් වාර්තා වෙයි .
මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි මෙසේද සඳහන් වෙයි.
කෘෂිකාර්මික ක්ෂේත්‍රය දැනට මුහුණ දී සිටින ප්‍රධානතම ප්‍රශ්නය පොහොර සහ ඉන්ධන හිඟය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී ප්‍රකාශ කර ඇත .
ඉදිරියේදී විය හැකි ආහාර හිඟයක් මඟහරවා ගැනීම සඳහා තමන් විසින් ආරම්භ කරන ලද නාගරික කෘෂිකර්ම වැඩසටහන පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා විස්තර කර තිබේ.
මේ අතර පොහොර හිඟය මගහරවා ගැනීමට ගොවි ප්‍රජාවට උපකාර වන නව්‍ය ගොවි ආධාර වැඩසටහනක් සම්පාදනය කරමින් සිටින බව UNDP පැහැදිලි කර ඇත .
නාගරික කෘෂිකාර්මික වැඩසටහන ආධාර කිරීමට පරිත්‍යාගශීලීන් ඉදිරිපත් වී ඇති බවත්, සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමකදී වැඩි මූල්‍ය ආධාර ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ(FAO) මෙරට නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් පැහැදිලි කර ඇත .
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ හැකි ආහාර අර්බුදයට ප්‍රතිචාර දැක්වීම සැලැස්මක් කෙටුම්පත් කරමින් සිටින බව විම්ලේන්ද්‍ර ශරන් ප්‍රකාශ කළේය.
ගොවීන් මුහුණ දී සිටින පොහොර ඉන්ධන ඇතුළු මුලික අවස්ථාවවල හිඟය පියවීමට කඩිනම් ක්‍රියාමාර්ගයක් ගතහොත් දැනට පවතින අහාර හිඟය මාස 5-6ක් ඇතුළත පාලනය කල හැකි බව අග්‍රාමාත්‍යවරයා එහිදී පැහැදිලි කර ඇත .

මල්වාන නිවස නඩුවෙන් : බැසිල් - නඩේෂන් නිදහස් !
මල්වාන ප‍්‍රදේශයේ නිවස සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එල්ල වී තිබූ චෝදනාවලින් ඔහුව නිදොස් කොට නිදහස් කර තිබේ.
ගම්පහ පූර්වගාමි මහාධිකරණ විනිසුරු නිමල් රණවීර අද (03) මේ නියෝග කළේය.
දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයේ අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිශාල නිවෙසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නීතිපති විසින් අධිචෝදනා තුනක් යටතේ නඩු පැවරීම සිදුකර තිබිණ .
කෙසේ වුවත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නිඩේෂන් එරෙහිව පවරා ඇති එම නඩුවෙන් එම විත්තිකරුවන් දෙදෙනා නිදොස් කර නිදහස් කිරීමට ඒ අනුව තීන්දුව නිකුත්කර ඇත .

සපුගස්කන්ද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙළක් !
දින 15 කට වරක් බොරතෙල් නෞකාවක් ගෙනෙමින් සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු අඛණ්ඩව සිදුකිරීමට වැඩපිළිවෙළක් සකස්කර ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශය පවසයි .
සපුගස්කන්ද පිරිපහදුව මේ වනවිට පිරිපහදු කටයුතු සක්‍රීය කර ඇති අතර එහි ඉන්ධන නිෂ්පාදනය කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යාංශය සඳහන් කර සිටියි.
මේ අතර ඉන්ධන බෙදා හැරිම අඛණ්ඩව සිදුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර සිටියි.
කෙසේ වුවත් මේ වන විටත් දිවයින පුරා ඉන්ධන හල් ආශ්‍රිතව පෝලිම් දැකගන්නට ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යංශය සඳහන් කරන්නේ විවිධ පාර්ශ්ව විසින් අනවශ්‍ය ආකාරයට ඉන්ධන තොග රැස් කිරීමට පෙළඹ ඇති නිසා මේ ආකාරයට පෝලිම් ඇතිව තිබෙන බවය.
ඇතැම් ඉන්ධන තොග රැස්කරන පිරිස් වැඩි මිලට ඒවා විකිණීමේ මාෆියාවක් දියත්කර ඇති බවත් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි .
එවැනි පාර්ශ්ව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට මේ වන විට සැලසුම් දියත්කර ඇති බවත් ඒ වෙනුවෙන් වන වැටලීම් ඉදිරියට වැඩි කිරීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා වෙයි .

20 අත ඉස්සූ දයාසිරිට කර්මය සිහිවෙලා !
20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීමට සිදුවීම තමන් කළ එක ම කරුමය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ පසුගියදා පැවති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමිනි.
එහිදී ඔහු ප්‍රකාශ කළේ, 21 වන සංශෝධනයට විරුද්ධව යම් පිරිසක් ක්‍රියාත්මක වන බව ය.
එය පරාජය කිරීම සඳහා ක්‍රියා කරන ලෙස මහ ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ශ්‍රීලනිප මහ ලේකම්වරයා සඳහන් කළේ ය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .
“මම 18ට විරුද්ධව වැඩ කරපු කෙනෙක්. මම කරපු එක ම කරුමේ තමා 20ට ඡන්දය දෙන්න ලැබීම. 21 නොකරන්න විශාල ජනමතයකුත් පාර්ලිමේන්තුව ඇතුළේ පක්ෂය ඇතුළේ, සමහර අයගේ පුද්ගලික න්‍යාය පත්‍ර මත මේ වැඩපිළිවෙළක් යනවා අපි ඒකට විරුද්ධ විය යුතු යි. මම මේ රටේ ජනතාවගෙනුත් ඉල්ලන්න කැමති යි ඡන්දය විමසන දවසට කරුණාකරලා හැමෝම තමන්ගේ ආසනයේ ඡන්දය දුන්න මන්ත්‍රීවරයාගේ ගේ ගාවට පොඩ්ඩක් එකතු වෙන්න. එකතු වෙලා කියන්න තියෙන ටික කියන්න මේකට ඡන්දේ දෙන්න කියලා.”

අධිකරණ ඇමති : ඇමරිකානු තානාපතිනිය සහ නවසීලන්ත මහකොමසාරිස් හමුවෙයි !
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස්වරයා වන මයිකල් ඇපල්ටන් (Michael Appleton ) මහතා අතර හමුවක් ඊයේ (02) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැති අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වන ජූලි චන්ග් (Julie Chung) ද හමුවිය.
ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශය විසින් නිකුත්කර ඇති නිවේදනයේ මෙසේ සඳහන් වෙයි.
වර්තමානය වන විට රට තුළ පවතින දේශපාලන වාතාවරණය හා යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යතුමා විසින් මහ කොමසාරිස්වරයා සහ තානාපතිනියන් වෙත දැනුවත් කළ අතර, ශ්‍රී ලංකාව එම රටවල් අතර දිගු කාලයක සිට දැඩි මිත්‍රත්වයක් පවත්වාගෙන යන බවත්, මෙරට ආර්ථික සංවර්ධන කටයුතු සඳහා මෙන්ම ශ්‍රී ලංකාව මේ වන විට පත්ව ඇති දුෂ්කර තත්වයෙන් ගොඩ ඒම සඳහා සහයෝගය අපේක්ෂා කරන බවත් සඳහන් කල අමාත්‍යතුමා එම රජයන් විසින් ලබා දෙන සහයෝගය ඉතා අගය කරන බව ද අධිකරණ අමාත්‍යතුමා මෙහිදී පැවසීය.
මෙම අවස්ථාවන් සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණෟඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා ද එක්විය.

රට බෙදෙයි කියා : 21 ගැන බැසිල්වාදීන් බොරු විදියි !
රටට අහිමිවූ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රතිසංස්කරණ යළිත් දිනා ගැනීමට සූදානම් වෙමින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාවද්‍ය මත සමාජ ගතකිරීමේ තත්ත්වයක් පිළිබඳව දේශපාලන විචාරකයන් අනතුරු අඟවයි .
ඔවුන් පවසන්නේ පොදුජන පෙරමුණේ බැසිල් වාදීන් මේ සඳහා මැදිහත්ව සිටින බව නිරීක්ෂණය වන බවයි.
පසුගිය සමයේ විවිධ ආකාරයට 21 සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කළ මේ නඩය දැන් රට බෙදීමක් සහ සන්ධීය රාජ්‍යක් ඇතිවීමක් ගැන අදහස් දක්වමින් සිටින බවත් ඔවුන් පවසයි .
දේශපාලන විචාරකයන් සිදුකරන මේ චෝදනාව පසුගියදා පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හමුවේ දී ද සඳහන් වූ බවත් දේශපාලන විචාරකයන් නිරීක්ෂණය කර ඇත .
එහිදී බැසිල් වාදියෙක් වන පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අනූප පස්කුවල් පවසා ඇත්තේ පළාත් සභා ක්‍රමය නිසා රට කැබලි වී සන්ධීය රාජ්‍යයක් බිහි වීමේ අවධානමක් පවතින නිසා පළාත් සභා ක්‍රමය පවතින තුරු ජනාධිපතිවරයාගේ බලතල ඉවත් කිරීමට තමන් විරුද්ධ බවයි .
ජනාධිපතිතුමනි පළාත් සභා ඇති නිසා විධායක බලය අඩුකරන්න එපා !
එහිදී ඔහු මෙසේද පවසා ඇත .
“අතිගරු ජනාධිපතිතුමනි. අපි දන්නවා ජනාධිපති ක්‍රමය ආරම්භ උනේ 1978 සිට. එය ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කල දෙයක් කියල. අපි 1987 දක්වා එයට එරෙහිව සටන් කලා. සරසවි ශිෂ්‍යයෝ විදිහටත් සටන් කරා නමුත් 1978 ඉන්දු-ලංකා ගිවිසුම හරහා ඇති වූ පළාත් සභා ක්‍රමය නිසා රට කැබලි වීම, වෙන්වීම සන්ධීය රාජ්‍යක් කරා ගමන් කිරීම වළක්වා ගැනීම සඳහා අපට තියෙන ප්‍රධාන ආරක්ෂක යාන්ත්‍රනය තමයි ජනාධිපති ක්‍රමය ඒක නිසා අපිට සිද්ධ වෙනවා පළාත් සභා ක්‍රමය තිබෙන තෙක් ජනාධිපති ක්‍රමය ශක්තිමත්ව ආරක්ෂා කරගන්න. ඒක නිසා අපි 21 වන සංශෝධනයේ ජනාධිපති බලතල ඉවත් කිරීමට සපුරා විරුද්ධයි.
ඒ වගේම ඒ අදහස ප්‍රකාශ කරන කොට අපිට කියනවා නම් අපිට මරනීය තර්ජනයක් එල්ල වෙනව කියල අපි මරණයට බය නෑ කියල කියන්න කැමතියි.
පොහොට්ටු පොඩ්ඩන්ගේ අලි බොරු !
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය මත කිසිම ආකාරයකට රට බෙදීමක් සිදුනොවන බවත්, එය ජාතිවාදී කොටස් විසින් අවස්ථාවාදී ලෙස පවසන ඓතිහාසික බොරුවක් බවයි .
13 + සඳහා එකඟ බව මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ පවා පවසන විට නිහඬව සිටි මේ පිරිස හැමවිටම වෙනත් පාලනයක් පැමිණි විට රට බෙදීමක් ගැන පවසමින් ජනතාව නොමග යවන බවත් සිහිපත් කර සිටියි.
ජාතිවාදීන් ඇතුළු ඊනියා දේශප්‍රේමීන් නිසා වර්තමානය වන විට රට දරුණු මූල්‍ය අර්බුදයක් වෙත මෙන්ම සාගතයක් දක්වා ඇදවැටී ඇති බවත් , විධායකය ශක්තිමත් නම් රට ආරක්ෂිත බව සඳහන් ප්‍රෝඩාව තේරුම් ගන්න ඊට වඩා නිදසුනක් අනවශ්‍ය බවත් දේශපාලන විචාරක මතය වී ඇත .

43 සේනාංකය : 21ට පක්ෂයි !
21 වෙනි සංශෝධනයට තමන් පූර්ණ සහයෝගය දක්වන බව 43 සේනාංකය පවසයි.
‘විසි එක්වෙනි සංශෝධනය ද? මහ මැතිවරණය ද? ආර්ථික ප්‍රතිසංස්කරණ ද? මැයෙන් 43 සේනාංකය විසින් (2) පවත්වන ලද මාධ්‍ය හමුවක දී වැඩිදුරත් අදහස් දැක්වූ එහි සභාපති, හිටපු අමාත්‍ය කරු පරණවිතාන මහතා පෙන්වා දෙන්නේ රට බරපතල ප්‍රතිසංස්කරණ කිරීමේ හැකියාවක් වත්මන් ජනාධිපතිවරයා සතුව නොමැති බවය. අද ඇතිවී තිබෙන අර්බුදයන්ට මූලික වශයෙන් වගකිව යුත්තේ වත්මන් ජනාධිපතිවරයාය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨය හමුදාකරණය කිරීම මගින් පෞද්ගලිකකරණය කිරීමට උත්සාහ දැරුවේ වත්මන් ජනාධිපතිවරයා යටතේය. එමෙන්ම ඔහු බලය අවභාවිතා කරමින් බරපතල අපරාධකාරයන්ට ජනාධිපති සමාව ලබා දුන්නේය. අධිකරණය අද මේ තීරණ අනෙක් පැත්ත හරවා තිබේ.
‘දෙවියන්ගෙ නාමයට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අත තියන්න එපා. ඒවා කරන්න ඊළඟ ආණ්ඩුවක් ආවට පස්සෙ ජනතාවගෙ කැමැත්තෙන්, අනුමැතියකින්. කරපු මෝඩ වැඩවලින් සමාජයට විශාල හානියක් වෙලා තියෙනවා. ඒවා පිළිසකර කරන්න ජනතාවට උදව් කරන්න. අධ්‍යාපනය නම් කාබනිකකරණය කරන්න ලෑස්ති වෙන්න එපා.’
විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා විසින් ගෙන එන ලද 21 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පරණවිතාන මහතා සඳහන් කළේ, එම කෙටුම්පත තවත් දියුණු විය යුතු බවය.
‘මේක දියාරු නොකර වඩා ශක්තිමත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනෙ. මේක සම්මත කරගන්න මැදිහත් වෙන එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙ යුතුකම.
පොහොට්ටු පක්ෂයේ පිරිසක් මෙය පරාජය කරන්න කුමන්ත්‍රණ කරමින් ඉන්නවා. ඒවාට නායකත්වය දෙන්නෙ ද්විත්ව පුරවැසි භාව්‍ය සහිත බැසිල් රාජපක්ෂ මැතිතුමා. නමුත් පොහොට්ටු පක්ෂයේ විශාල පිරිසක් ඉන්නවා 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය දෙන්න. මහින්ද රාජපක්ෂ මැතිතුමා දෙවතාවක් බලයට පත්වුණේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියලා. ගෙනාවෙ 18 වෙනි සංශෝධනය. ජනාධිපති ධුරයට තුන්පාරක් එන්න සංශෝධනය කරගත්තා. අයියා කරපු බොරුව තමයි මල්ලිත් කළේ. හොඳ ව්‍යවස්ථාවක් ගේනවා කියලා 20 ගෙනාවා.’
දැන් පාර්ලිමේන්තුවට කළ හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී සංශෝධනයක් ගෙනැවිත් නැවත 19 තියෙන තැනින් පටන්ගෙන එහි අඩුපාඩුත් හදාගෙන ගැඹුරු ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම බව පරණවිතාන මහතා පෙන්වා දුන්නේය.
‘ද්විත්ව පුරවැසි බැසිල් රාජපකෑ මහතාගේ මුදල්වලට හෝ දේශපාලන බලයට හෝ පාදඩ මැර බලයට හෝ මේ සංශෝධනය වට්ටවන්න ඉඩදෙන්න එපා කියන එක අපි ඒ පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා’
රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සාදාගෙන තිබෙන වත්මන් ආණ්ඩුව වෙනස් කොට කෙටිකාලීනව සර්ව පාක්ෂික ආණ්ඩුවක් සෑදිය යුතු බව 43 සේනාංකය මෙහිදී අවධාරණය කළේය.
‘එම ආණ්ඩුවේ රාජපක්ෂලා නොවන ඕනෑම කෙනෙකු අගමැති වුනාට කමක් නැහැ. දැන් තියෙන ආණ්ඩුවම වුණත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බවට පරිවර්තනය කරලා කාරක සභා ක්‍රමය ගෙනැල්ලා 21 න් ඇතිවෙන්නාවූ ප්‍රජාතන්ත්‍රවාදී සන්දර්භය යටතේ කෙටිකාලීන ආණ්ඩුවක් පවත්වාගෙන යන්න. එතකොට තමයි වර්තමාන ආර්ත්ජික අර්බුදය හමුවේ ජාත්‍යන්තර සහයෝගය, දේශීය වශයෙන් ජනතා සහයෝගය ලබාගත හැක්කේ. අවම දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවෙන්න නම් මේ ප්‍රතිසංස්කරණය වෙන්න ඕනෙ.
අවාසනාවට සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ තර්කයේ තවමත් එල්ලිලා ඉන්නවා. අමු සොහොනක කිරුළු දරා පලක් වෙද? මේ වෙලාවෙ කරන්න තියෙන හොඳම දේ තමයි 21 වෙනි සංශෝධනය සම්මත කරලා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදලා ඒ ආණ්ඩුවෙ වගකීම පාර්ලිමේන්තුවෙ සියළු දෙනාම දරමින් පක්ෂ විපක්ෂ බේදයක් නැතිව තාවකාලික ආණ්ඩුවකට එකතු වෙලා පුළුවන් ලැබෙන පළමු අවස්ථාවේ දීම ජනතාවට තමන් කැමති කෙනෙක් බලයට පත් කරගන්න අවස්ථාවක් දෙන එක.’
මේ අවස්ථාවට එක් වූ 43 සේනාංකය වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර මහතා සඳහන් කළේ 21 වෙනි සංශෝධනය ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට වෘත්තීය සමිති ව්‍යාපාර සහ බහුජන සංවිධානවලින් ඉල්ලා සිටින බවය.
’21 වෙනි සංශෝධනය සාර්ථකව අපි ජයග්‍රහණය කළහොත් අර ද්විත්ව පුරවැසියාගේ බාධාවලට ඉඩනොදී ශක්තිමත්ව ගෙනාවොත් තමයි අපිට ඊළඟට නියම සර්ව පාක්ෂික ආණ්ඩුවක් මේ පාර්ලිමේන්තුව තුළ ගොඩනගා ගන්න පුළුවන්. 21 වෙනි සංශෝධනයෙන් පිහිටුවන ජාතික සභාව ශක්තිමත් කරලා තිබ්බොත් පාර්ලිමේන්තුවෙ ඉන්න මන්ත්‍රීවරු දේශපාලනඥයන් පමණක් නෙවෙයි වෘත්තීය සමිති නායකයන්ට විද්වතුන්ට මේ සඳහා මැදිහත් වෙලා රටට හිතකර ප්‍රතිසංස්කරණ සිදුකර ගත හැකිවෙනවා’
– Media unit
Page 322 of 464