Image

දූෂණ විරෝධී පනතේ සංශෝධන සඳහා වෙන් වෙන්ව ඡන්දය විමසන්න -දිනන දකුණ සාමූහිකය පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි

දූෂණ විරෝධී පනතේ සංශෝධන සඳහා වෙන් වෙන්ව ඡන්දය විමසන්න -දිනන දකුණ සාමූහිකය පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත පිළිබඳ අද (08) පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය අවසානයේ, කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට නියමිත සංශෝධන සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙස ‘දිනන දකුණ සාමූහිකය’ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් එම සාමූහිකය පෙන්වා දෙන්නේ, යෝජිත නව සංශෝධන මඟින් ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී පනතේ පවතින ප්‍රධාන ආරක්ෂිත විධිවිධාන (safeguards) සහ විනිවිදභාවය දුර්වල වීමේ දැඩි අවදානමක් පවතින බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ද ප්‍රකාශ කර ඇති බවයි.

පසුගිය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ IMF නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ඉවාන් පපගෝර්ජියු (Evan Papageorgiou) ඇතුළු කණ්ඩායම ද මේ පිළිබඳව සිය දැඩි කනස්සල්ල නිල වශයෙන් මතු කර තිබූ බව එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම, මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති පසුබිමක, සිදුකෙරෙන සංශෝධන හෝ ඉවත් කිරීම් රටේ අනාගතයට ඍජුවම බලපාන බැවින්, ඒ එක් එක් සංශෝධනය සඳහා වෙන් වෙන්ව ඡන්දය විමසීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස දිනන දකුණ සාමූහිකය අවධාරණය කරයි.

තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වන ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුවේදී සම්මත වන පනත් කෙටුම්පතක් නීතියක් බවට පත්වීමට කථානායකවරයාගේ සහතිකය අවශ්‍ය වුවද, වත්මන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව නිල නිවාස සහ වාහන පරිහරණය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් පරීක්ෂණයක් පැවැත්වෙන බව එම සංවිධානය පෙන්වා දෙයි.

නීතිමය වශයෙන් එය බාධාවක් නොවුණද, අල්ලස් කොමිසමේ විමර්ශනයට ලක්වන කථානායකවරයෙකු විසින්ම දූෂණ විරෝධී පනතක් සහතික කිරීම සදාචාරාත්මක නොවන බව දිනන දකුණ සාමූහිකයේ නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න