V2025

පුවත්

හිටපු සෞඛ්‍ය ලේකම් වෛද්‍ය අතුල කහඳලියනගේත් කොරෝනා මාරයාට බිලිවේ !

හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන වෛද්‍ය අතුල කහඳලියනගේ අභාවප්‍රාප්ත වී තිබේ.

 ඒ මහතා ඊයේ (22) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ බව ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල සදහන් කරයි.

වෛද්‍ය අතුල කහඳලියනගේ ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ කෝවිඩ් ප්‍රතිකාර ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙලෙස මියගොස් ඇත.

74 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා මීට ටික කලකට පෙර පිළිකා රෝගයට ගොදුරුවීම නිසා ඊට ප්‍රතිකාර ලබා තිබේ.

ඒ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු කොවිඩ් මර්දන නීති රීති අනුව සිදුකිරීමට නියමිතව තිබේ.

ඔමික්‍රෝන් බස්නාහිරින් හිස ඔසවයිද?

ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයින් 75 දෙනෙකු මෙරටදී හඳුනා ගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ඊයේ (22) ප්‍රකාශ කලේය.

ජාන විශ්ලේෂණයට භාජනය කළ සාම්පල 78 ක් අතුරෙන් මෙම ආසාදිතයින් 75 දෙනා සොයා ගෙන ඇති අතර ඉතිරි සාම්පල 03 ඩෙල්ටා ආසාදිතයින්ගේ බවට හඳුනාගෙන තිබේ.

අලුතින් හඳුනා ගත් ඔමික්‍රොන් ආසාදිතයින් කොළඹ, අවිස්සාවේල්ල, බොරලැස්ගමුව, හෝමාගම, කටුගොඩ, කොස්ගම, මඩපාත, පාදුක්ක, වැල්ලම්පිටිය, කොලොන්නාව, ගල්කිස්ස, නුගේගොඩ, අංගොඩ ප්‍රදේශවලින් සහ පරකඩුව, බදුල්ල, ගාල්ල සහ රුවන්වැල්ල යන ප්‍රදේශවලින් සොයාගෙන ඇත.

ඊයේ ප්‍රකාශයට පත් කෙරුණු ඩෙල්ටා ආසාදිතයින් තලංගම, කඩුවෙල සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවලින් හන්නදුනාගෙන තිබේ.

මෙරට ප්‍රචාරණය වන ඔමික්‍රොන් අනුප්‍රභේද දෙකක් හඳුනාගෙන ඇති අතර, ඒවායේ ඉහළ ව්‍යාප්තියක් දක්නට ලැබෙන්නේ බස්නාහිර පළාත තුළයි.

ලොකුගේ පාර කළුවර කරයි !

විදුලි පරිභෝජනය අඩු කිරීමේ යෝජනාවලියක් මීළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ඒ අනුව වීථි පහන් නිවා දැමීමට යෝජනා කරන බවත් විදුලිබල ඇමති ගාමිණි ලොකුගේ පවසයි.

ඇමතිවරයා වැඩිදුරටත් පවසන්නේ ඒ අනුව මාර්ගවල ඇති විදුලි පහන් නිවාදැමීම හා කාර්යාලවල විදුලි උපකරණ නිවා දැමීම ඇතුළු යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බවය.

වැඩිදුරටත් අදහස් දක්වන ඇමතිවරයා…

“පළාත් සභාවල වීදී ලාම්පු සැලැස්මකට දාලා නැහැ. එකින් එක විසන්ධි කරන්න වෙනවා. සැලැස්මකට දාපුවා.. හයිවේවල, ප්‍රධාන පාරවල්වල ඒවා අපිට පාලනයක් කරන්න පුළුවන්. ඒවා ගැන යෝජනාවක් කරන්න අපි බලාපොරොත්තුවෙනවා ඉදිරි කැබිනට් මණ්ඩලයේදී.”

ජනතාවට කන්නත් නෑ : ඒත් ලක්ෂ ගණනක් මල් ඉහලා !

රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවේදී පවා ආගමික උත්සව සඳහා ගුවනින් මල් හෙළීමට රජය විසින් පසුගිය වසර තුළ බදු ගෙවන්නන්ගේ මුදල් රුපියල් මිලියන ගණනින් වියදම් කර ඇති බව වාර්තා වේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ පැවසුවේ එවැනි ගුවන් ගමනක් සඳහා පැයකට වැය වන මුදල ඩොලර් 2000ක් තරම් ඉහළ අගයක් ගත හැකි බවයි.

“අපි භාවිතා කරන හෙලිකොප්ටර් වර්ගය අනුව වියදම තීරණය වෙනවා. බෙල් -412 හෙලිකොප්ටරයක් ​​පැයකට ක්‍රියාත්මක වීමට ඩොලර් 2,000ක් පමණ වැය වෙනවා. බෙල් -212 හෝ ජෙට් රේන්ජර් හෙලිකොප්ටරයක මිල අඩුයි,” යනුවෙන් විජේසිංහ පැහැදිලි කළේය.

පසුගිය වසරේ ආගමික වතාවත් සඳහා ගුවනින් මල් හෙළීම සඳහා ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටර් ගුවන් ගමන් හයක් පමණ සිදු කර ඇති බව ඔහු පැවසීය.

විජේසිංහ පවසන පරිදි බුද්ධශාසන අමාත්‍යාංශයෙන් ගුවන් හමුදාවට මල් හෙළීමට අවශ්‍ය වියදම් ගෙවනු ලබන බවකි.

- mawrata

විදුලි කප්පාදුව නැවතත්....

බලාගාර රැසක දැවිතෙල් අවසන් අදියරට පැමිණීම හේතුවෙන් හෙට (24) රාත්‍රියේ සිට විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

විදුලිබල මණ්ඩල වාර්තාවලට අනුව ජල විදුලිය නිෂ්පාදනය ඊයේ (22) දිනයේ සමස්ත විදුලි ඉල්ලුමෙන් සියයට 25 දක්වා පහළ බැස තිබූ අතර ගල්අඟුරු, ඩීසල් හා දැවිතෙල් මගින් සැපයූ විදුලි ප්‍රමාණය සියයට 72 දක්වා ඉහළ ගොස් තිබේ.

ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 108ක පමණ ධාරිතාවක් එක් කරන සපුගස්කන්ද බලාගාරය මේ වනවිට සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබෙන්නේ එහි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය දැවිතෙල් අවසන්වීම හේතුවෙනි.

විදුලි ඉංජිනේරු සංගමය අනාවරණ කරන ආකාරයට මෙගාවොට් 60ක පමණ කොළඹ වරායේ ස්ථාපිත පාවෙන විදුලි බලාගාරය සඳහා අවශ්‍ය දැවිතෙල් පවතින්නේ තවත් දින එකහමාරක පමණ කාලයකටය.

මෙගාවොට් 24ක ධාරිතාවක් සහිත උතුරු ජනනී විදුලි බලාගාරයේද දැවිතෙල් හා ඩීසල් අවසන්වෙමින් ඇතැයි විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

ඒ අනුව එළඹෙන අඟහරුවාදා දිනය වනවිට මෙගාවොට් 183ක් පමණ ජාතික පද්ධතියට අහිමිවීමට නියමිතය.

ඒ අතරවාරයේ ජාතික පද්ධතියට මෙගාවොට් 300ක් එකතු කරන යුගදනවි බලාගාරය සඳහා අවශ්‍ය දැවිතෙල් අනිවාර්යයෙන් ආනයනය කළ යුතුව තිබේ.

විදුලි අර්බුදය මෙලෙස උග්‍රවී ඇත්තේ ජල විදුලිය නිෂ්පාදනය පහත බැසීම හා නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 300ක ජනන යන්ත්‍රයක් අක්‍රිය වී ඇති පසුබිමකය.

නොරොච්චෝලේ බලාගාරයෙන් අහිමි වූ විදුලි ධාරිතාව ලබන 26 වනදා පමණ වනවිට යළි එක්කිරීමට හැකි වනු ඇති බවට විදුලිබල මණ්ඩලය විශ්වාසය පළ කරයි.

ඉස්සර සැප දැන් නෑ : සොරි හොඳේ - තිස්ස කුට්ටි

අද වන විට විදුලිය හා ඉන්ධන සම්බන්ධයෙන් ඉතාම ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

ඇති වී තිබෙන තත්ත්වය මත වෙන දා ලැබුණු සැප දැන් ලබා ගැනීමට අපහසු තාවයන් මතුව තිබෙන බවද මන්ත්‍රීවරයා පවසා ඇත .

ඒ හේතුවෙන් සිදුවන අපහසුතාවන්ට ජනතාවගෙන් හිස නමා සමාව ඉල්ලන බවද ඔහු පවසයි .

බෞද්ධ උපදේශක සභාව : ජනාධිපති මෙහෙය ඇගයේ !

දූරදර්ශි සහ ප්‍රායෝගික දැක්මක් සහිත නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෙරෙහි විශ්වාසය තබමින් ජනතා අපේක්ෂාවන් ජයග්‍රහණය කරවීමට එක්වීම සියලු පාර්ශ්ව සතු වගකීමක් බව මහා සංඝරත්නය පෙන්වා දෙති.

බෞද්ධ උපදේශක සභාව ඊයේ (21) පස්වරුවේ 12වන වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ මේ බව සඳහන් කෙරිණ.

කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමටත් අභියෝග සහ ආර්ථික දුෂ්කරතා හමුවේ රට ගොඩනැගීමටත් ජනාධිපතිතුමා කළ මෙහෙය අගයමින් බෞද්ධ උපදේශක සභාවේ දී මහා සංඝරත්නය අදහස් පළ කළහ.

ප්‍රපාතයට යමින් තිබූ රට, ජාතිය හා උරුමයන් බේරා ගැනීමට සිටි එකම නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෙරෙහි තැබූ විශ්වාසය කඩවී නැති අතර කූරගල පුදබිම, මුහුදු මහා විහාරය ඇතුළු උතුරු නැගෙනහිර වෙහෙර විහාරස්ථාන රැකගනිමින් දැයට උරුම කර දීමට පසුගිය දෙවසර තුළ ජනාධිපතිතුමා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතු බව උන්වහන්සේ පෙන්වා දෙති.

එමෙන්ම රටේ ජනතාව මුහුණපාන ගැටලු පිළිබඳ සැබෑ තොරතුරු ඉදිරිපත් කර, විසඳුම් සෙවීමට ජනාධිපතිතුමාට සහාය වීම බෞද්ධ උපදේශක සභාවේ වගකීමක් විය යුතු බව මහා සංඝරත්නය සඳහන් කළහ.

අණපනත්, කතිකා සම්මත කරගැනීමට මහා සංඝරත්නයේ මග පෙන්වීම තමා අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කරනු ලැබීය. විනාශයට යමින් තිබූ සිංහල බෞද්ධ උරුමය කොවිඩ් බාධක හමුවේ වුව ද රැකගනිමින් බහුතර ජනතාවගේ අපේක්ෂාව ඉටු කළාක් මෙන් එම ඓතිහාසික ස්ථාන සංවර්ධනයට ඉදිරියටත් කැපවන බව රාජපක්ෂ මැතිතුමා පැවසීය.

බෞද්ධ උපදේශක සභාවේ සාමාජික මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු, අමාත්‍යාංශ ලේකම්වරු හා රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

ආණ්ඩුවේ අභ්‍යන්තර ගෝරි : බිස්නස් ගෝරි !

ආණ්ඩුව සම්බන්ධයෙන් ආණ්ඩුවේ හිතවාදී මාධ්‍ය විවේචන සිදුකර සිටින්නේ ව්‍යාපාර අරමුණ ඇතිවද යන්න ගැන සැකසංකා මතුවෙයි.

ඒ පුවත්පත් මණ්ඩල සභාපති ජේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ තබා ඇති ෆේස්බුක් සටහනක් හරහාය.

රාජ්‍ය ආයතනයක තනතුරු වෙනසක් හුවා දක්වමින් ඔහු මෙවැනි සටහනක් සිය ෆේස්බුක් ගිනුමේ තබා ඇත.

ඒ , "ලසන්තට ලංකා පොහොර සමාගමේ සභාපතිකම දීල. දැන්වත් ලසන්ත කට්ටියට කියන්න- දෙරණටත් ඇතුළුව (අලුත් සභාපතිගෙනුත් මිලියන දෙතුන් සීයක ඇඩ් හම්බ වෙයි) නිකරුණේ ආණ්ඩුවට පහර දෙන්න එපා කියල. දැන් ඇතිනෙ." යනුවෙනි.

මේ ෆේස්බුක් සටහන දැඩි ආණ්ඩු හිතවාදී මාධ්‍ය ආයතනයක් වන දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර මෙසේ සිය ෆේස්බුක් පිටුවේ බෙදාහැර තිබුණි.

dilith 1000px

ආණ්ඩුව අභ්‍යන්තරයේ පුවත්පත් මණ්ඩල සභාපති සැලකෙන්නේ උග්‍ර බැසිල් රාජපක්ෂවාදියකු ලෙසින් වන අතර දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවීර සැලකෙන්නේ උග්‍ර ගෝඨාභය රාජපක්ෂවාදියකු ලෙසිනි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම දේශපාලන නොව ප්‍රාග්ධන තර්කයට යටපත් වී ඇති බවයි.

 

දශක ගණනක් රාජ්‍ය නායකයකු නොගිය තැනකට ජනාධිපති ගිහින් !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (21) හදිසියේම කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත්,කොළඹ පිහිටි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ගොස් තිබේ.

දශක කිහිපයක් පැරණි එම දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ රාජ්‍ය නායකයෙකුගේ පැමිණීම සිදු වූ ප්‍රථම අවස්ථාව මෙය බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

ගොවිජන සමාලෝචන මණ්ඩලය, ගොවිජන බැංකු, පාලන, ගිණුම්, සංවර්ධන, නීති, ආයතනික සංවර්ධන (සේවා), ඵලදායී අලෙවි සහ ඉංජිනේරු ජල කළමනාකරණ යන සියලු අංශ අධීක්ෂණයට ලක් කළ ජනාධිපතිවරයා පැය තුනකට ආසන්න කාලයක් නිලධාරීන් සහ සේවකයන් සමඟ සාකච්ඡා කර තිබේ.

කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන ද එහිදී ජනාධිපතිවරයා සොයා බැලීය.

හරිත කෘෂිකර්මාන්තයක් සහ වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය රජයේ ප්‍රතිපත්තියයි. මෙවර මහ කන්නයේදී කාබනික පොහොර බෙදාහැරීම, භාවිතය සහ ලැබෙන අස්වැන්න පිළිබඳ විමර්ශනය කර, අඩුපාඩු මඟහරවා ගනිමින් යල කන්නයට සූදානම් විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 34කට අවස්ථාව දී තිබිණ. ඒ ඒ ආයතනවල කාබනික පොහොර මඟින් ලද අස්වැන්න සහ සාර්ථකත්වය පිළිබඳ සොයා බැලිය යුතු බව හෙතෙම අවධාරණය කර ඇත.

ඉහළ ප්‍රගතියක් ලබා ඇති ආයතන දිරිගන්වා එම ආයතනවල නිෂ්පාදන වැඩි කිරීමට තීරණය කෙරිණ. එමෙන්ම ඉදිරි කන්නවලදී ගොවීන් දැනුවත් කිරීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ට තාක්ෂණික දැනුම ලබාදීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

පසුගිය වසර දෙක තුළ පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන මඟින් අනුරාධපුරය, හම්බන්තොට, ත්‍රිකුණාමලය, අම්පාර සහ මඩකලපුව ඇතුළු දිස්ත්‍රික්ක 9ක සියලු ම පුරන් කුඹුරු අස්වැද්දීමට හැකි වූ බව නිලධාරිහු පෙන්වා දුන්හ.

දිවයින පුරා ඇති සෙසු පුරන් කුඹුරු ද හඳුනාගෙන තිබේ. ඉන් වැඩි ප්‍රමාණයක් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අයත් ය. ඒවා පුරන් වීමට හේතු විමර්ශනය කර, හිමිකරුවන් සහ ගොවි සංවිධාන මැදිහත් ව අස්වැද්දීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබී ය.
වී ගොවිතැන සඳහා යොදා ගත නො හැකි ඉඩම් වෙනත් භෝග සඳහා යොදා ගත යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක ශාඛා 559කින් යුත් ගොවිජන බැංකු මඟින් ගොවීන්ගේ තැන්පතු භාරගැනීම සහ ණය දීම සිදු කෙරේ. රුපියල් ලක්ෂ දෙකේ සිට දහය දක්වා කන්න සහ වාර්ෂික ක්‍රමවේදයට ණය ලබා දෙයි. එමඟින් වෙනත් පාර්ශ්වයන්ගෙන් අධික පොලී මත ණය මුදල් ගැනීමෙන් ගොවීන්ට මුහුණ දීමට සිදු වන ගැටලු රැසකින් මිදිය හැකි බව නිලධාරිහු පෙන්වා දුන්හ. මෙහි ඇති වැදගත්කම සලකා ගොවිජන බැංකු ශක්තිමත් කිරීමට සහ ඉහළ මිලක් යටතේ ගොවීන්ගෙන් වී මිල දී ගැනීමට මැදිහත් වීමට ඇති හැකියාව සොයා බලන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

සත්ත්වෝද්‍යාන ලොක්කි තාවකාලිකව ඉල්ලා අස්වෙලා !

සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ එම ධුරයෙන් තාවකාලිකව ඉවත් වී තිබේ.

ජනාධිපති ලේකම්වරයාට සහ වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් ඇය ඉල්ලා ඇත්තේ කඩාකප්පල්කාරී ක්‍රියා හා වංචාවලට සම්බන්ධ පුද්ගලයින් ගැන විධිමත් විමර්ශනයක් සිදුකොට පවතින අවදානම්කාරී තත්වය ඉවත් කරදෙන තුරු තමන් සේවයෙන් ඉවත්වන බවයි.

දින 14ක් ඇතුළත පරීක්ෂණයක් පවත්වා යලි රාජකාරී කිරීමට හැකි වාතාවරණයක් සාදා දෙනත් එසේ නොමැති වුවහොත් තමා ධුරයෙන් ස්ථිරවම ඉල්ලා අස්වීමට කටයුතු කරන බවද ඇය දන්වා ඇත.

ඉඩම් ඇමතිගේ යෝජනාව කැබිනට්ටුවේදී පත්තු වෙයි : වැඩේ අකුළගෙන !

දැනට රජය සතු කඩුවෙල ආසන්නයේ පිහිටි අක්කර 185ක් පමණ විශාල පැරණි වානේ සංස්ථා ඉඩම කිසිදු මුදල් අය කිරීමකින් තොරව (නිදහස් දීමනා පත්‍රයකින්) ප්‍රකට ව්‍යාපාරිකයකුට පැවරීම සඳහා ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන විසින් පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට ඇමැතිවරැ ගණනාවක් දැඩි විරෝධය පළ කළහ. එම නිසා අවසන් මොහොතේ එම කැබිනට් පත්‍රිකාව අමාත්‍ය චන්ද්‍රසේන විසින් ඉවත් කරගත් බව දේශයට වාර්තා වෙයි.

මේ ගනුදෙනුවට සිය දැඩි විරෝධය පළකර ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල හා විමල් වීරවංශ ප්‍රමුඛ අමාත්‍යවරුන් පිරිසකි. අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසා ඇත්තේ මෙම ඉඩම මෙලෙස පැවරැවහොත් මීට පෙර වෝටර්ස් එජ් ඉඩම පැවරීම උසාවියෙන් අවලංගු කළ පරිදි ගනුදෙනුව අවලංගු කර නැවත ඉඩම රජයට පැවරෙනු ඇති බවය.

මෙහිදී කැබිනට් ලේකම්වරයාගෙන් මෙහි නෛතික තත්ත්වය ගැන මතයද අමාත්‍යවරුන් විමසා තිබේ. ප්‍රවීණ පරිපාලන නිලධාරියකු වන කැබිනට් ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු මහතා ඒ අවස්ථාවේ ප්‍රකාශ කර ඇත්තේ රජයේ කිසියම් ඉඩමක් නිදහස් දීමනා පත්‍රයකින් පැවරිය හැක්කේ ආගමික හා සංස්කෘතික කටයුත්තකට පමණක් බවය. ව්‍යාපාරවලට ඉඩම් පැවරිය යුත්තේ දිගුකාලීන බදු පදනම යටතේ රජයේ තක්සේරැවට මිස නිදහස් දීමනා පත්‍රය මගින් නොවන බවද ඒ මහතා කියා ඇත.

මේ ආකාරයට එම ඉඩම් පැවරීම සම්බන්ධයෙන් මතු වූ දැඩි විරෝධය නිසා ඉඩම පැවරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉවත්කර ගැනීමට අමාත්‍ය චන්ද්‍රසේනට සිදුවූ බව වාර්තා වෙයි.

-Deshaya

චීන නියෝජිතයාගෙන් බැසිල්ට බරබරයක් !

මීරිගම - කඩවත අධිවේගී මාර්ගයේ ප්‍රමාදය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් කැඳවනු ලැබූ රැස්වීමකදී ඊට සහභාගිවූ චීන තානාපති කාර්යාලයේ ප්‍රධානියෙක් රජයේ මැති ඇමතිවරුන්ගේ හා නිලධාරීන්ගේ හොර මගඩි හා අකාර්යක්ෂමතාවය ප්‍රසිද්ධියේම විවේචනය කර ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

මෙම ව්‍යාපෘතියේ ඉඳිකිරීම් බාර Metallurgical Corporation of China Ltd. (MCC) චීන සමාගමේ මෙරට ප්‍රධානියා මෙන්ම චීන තානාපති කාර්යාලයේ ආර්ථික කටයුතු බාර ප්‍රධානියා ද (Commercial Councilor: LI GUANGJUN) මෙම රැස්වීම සඳහා ආරාධිතයින් ලෙස සහභාගී වී ඇත.

එසේම, මෙම රැස්වීම සඳහා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ලන්සා සහ පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රීක් නායක ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ද සහභාගී වී තිබේ.

මෙම ව්‍යාපෘතියේ දේශීය නියෝජිතයා හා විෂය බාර අමාත්‍යවරුන් අතර තිබෙන ව්‍යාපාරික ගැටුම් සම්බන්ධයෙන් ද චීන තානාපති කාර්යාල නිලධාරියාගේ ප්‍රකාශවලින් අනාවරණය වූ බව පැවසේ.

කෝපයෙන් යුතුව අදහස් දක්වා ඇති චීන නියෝජිතයාගේ බරපතල වාග් ප්‍රහාරය හමුවේ ඔහුව සන්සුන් කිරීමට මුදල් අමාත්‍යවරයා බලවත් උත්සහයක් දරා ඇතැයි ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

චීනයෙන් බරපතල චෝදනා පත්‍රයක් !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - 1 ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන කොන්ත්‍රාත්කාර සමාගමක් වන Metallurgical Corporation of China Ltd.(MCC) මුහුණ දීමට සිදුවෙන බාධා පිළිබඳව කරුණු දැක්වීමට චීන තානාපතිවරයා වෙනුවෙන් මෙම රැස්වීමට සහභාගී වූ චීන තානාපති කාර්යාලයේ ආර්ථික කටයුතු බාර ප්‍රධානියා (Commercial Councilor: LI GUANGJUN) දැඩි අප්‍රසාදය පල කරමින් පහත කාරනා වෙත ශ්‍රී ලංකා රජයේ බලධාරීන්ගේ අවධානය යොමු කරවූ බවද මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග කියා සිටියි.

# චීන තානාපති කාර්යාලයේ ආර්ථික කටයුතු බාර ප්‍රධානියා මෙහිදී පෙන්වා දී ඇත්තේ, චීනයේ EXIM බැංකුව හරහා ලබා දුන් ණය මුදලක් මගින් ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතියේ “කොන්ත්‍රාත්කාර පාර්ශවය මම” (I am the Contractor) යැයි උපකල්පනය කරන්නේ නම්, එම කොන්ත්‍රාත්කරු විසින් නම් කරන ලද උප කොන්ත්‍රාත්කරුවන් ඔවුන්ගේ වෘත්තීයභාවය මත පදනම්ව පත් කිරීමට ඔහුට පූර්ණ නිදහස මෙන්ම ඔහුගේ අභිමතය පරිදි කටයුතු කිරීමට අවකාශය ලබා දිය යුතු බවයි.

# එමගින් මෙම ව්‍යාපෘතිය ප්‍රමාදයකින් තොරව නියමිත වේලාවට ඉහළම වෘත්තීයභාවයකින් නිම කිරීමට හැකිවන බවත් චීන රජයේ නියෝජිතයා පෙන්වා දී ඇත.

# කොන්ත්‍රාත්කරුට ඔහු සමඟ වැඩ කළ හැකි උප කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීම ඔහුට ලැබෙන අවිවාදිත අයිතිවාසිකමක් බව සඳහන් කර ඇති තානාපති කාර්යාල නිලධාරියා, ඔහු නම් කරන ලද උප කොන්ත්‍රාත්කරුවන්ගේ හැකියාවන් සහ වෘත්තීයභාවය මෙන්ම එම ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කිරීමේදී පැන නැගෙන ගැටලු නිසියාකරව ම හදුනා ගැනීමට හැකියාව ඇත්තේ අදාළ කොන්ත්‍රාත්කරුට පමණක් බවද අවධාරණය කර තිබේ.

# නමුත් යෝජිත උප කොන්ත්‍රාත්කරුවන් අමාත්‍යවරයාගේ පුද්ගලික අනුමැතියට භාජනය විය යුතු බවට තර්ක කිරීමට මුදල් අමාත්‍යවරයා මෙහි උත්සාහ කර ඇත.

# එකඟ වූ ගිවිසුමට ප්‍රකාරව කොන්ත්‍රාත්කරුවන් අනුමත කිරීම ව්‍යපෘති උපදේශකයාට ලැබෙන පුර්ණ අයිතියක් බව චීන නියෝජිතයා මෙහිදී පෙන්වා දී තිබේ.

# එවැනි පත්වීම් අනුමත කිරීමේ අයිතියක් අමාත්‍යවරයාට හෝ මාර්ග සංවර්ධන අධිකාරියට නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

# අමාත්‍යවරයාගේ අනවශ්‍ය මැදිහත්වීම මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී පහත සඳහන් බරපතල අහිතකර බලපෑම් වලට මුහුණපෑමට සිදුවෙන බවද තානාපති කාර්යාල බලධාරියා පෙන්වා දී ඇත.

1. MCC විසින් යෝජනා කරන ලද කොන්ත්‍රාත්කරුවන් කීපදෙනෙක් ව්‍යාපෘතියේ වැඩ කිරීමට අනුමැතිය ඉල්ලා ඇති නමුත් ඒවා ප්‍රතික්ෂේප කර ඇත.

2. මෙම නාමයෝජනා එක් වරක් නොව කිහිප වතාවක්ම අදාළ උපදේශකවරයා විසින් අනුමත කර ඇත.

3. අනුමැතිය හිමිවුණු වැඩ ක්‍රියාත්මක කිරීම සඳහා කොන්ත්‍රාත්කරු විසින් ව්‍යාපෘති අධ්‍යක්ෂ දැනුවත් කර ඇත.

4. නමුත් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා තම අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබෙන තුරු බලා සිටියි. එනිසා ව්‍යාපෘති අධ්‍යක්ෂවරයාගෙන් කිසිඳු ප්‍රතිචාරයක් ලැබී නැත.

5. උප කොන්ත්‍රාත්කරුවන් අනුමත කිරීමේදී ඇතිවූ ප්‍රමාදයන් දැන් වසර දෙකකට අධික කාලයක් පුරාවට සිදුවෙමින් පවතී.

6. ඇස්ෆල්ට් ආශ්‍රිතව සිදු කෙරෙන වැඩ සදහා යෝජිත ඉහල ඝනයේ ආයතනයක් වන M/s. WKK Construction (Pvt) Ltd වසර 2කට අධික කාලයක් කිසිඳු ලෙසකින් ව්‍යාපෘතියට දායක වීමට ඉඩ ප්‍රස්තාව ලබා දී නොමැත.

මෙවැනි ක්‍රියාමාර්ග හේතුවෙන් ව්‍යාපෘතිය නියමිත වෙලාවට නිම කිරීමට නොහැකි බවත් සිදුවන ප්‍රමාදය සදහා ඔවුන් හට කිසිඳු වගකීමක් නැති බවත් පෙන්වා දී ඇති තානාපති කාර්යාල නිලධාරියා, MCC ආයතනය වෙනුවෙන් පුර්ණ වශයෙන් තමා පෙනී සිටින බවද ප්‍රකාශ කර තිබේ.

එසේම අමාත්‍යවරයා විසින් අසාදු ලේඛනගත කර ඇති උප කොන්ත්‍රාත්කරුවන් මෙම ව්‍යාපෘතියට නම් කර ඇති බවද ඔහු පෙන්වා දී තිබේ.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි

සංස්කාරක සටහන : යහපාලනයත් හොඳටම කරලා !

විශේෂ වාර්තාකරුවකු විසින් සිදුකර ඇති මේ අනාවරණය අනුව පළමුව රටක් ලෙස ලජ්ජා වියයුතුව ඇත. ඒ මෙරට රාජ්‍ය ඉදිකිරීම් ආශ්‍රිතව ඇත්තේ, අදාළ යටිතල පහසුකම ඉදිකිරීම හරහා එය රටේ සංවර්ධනයට දායක කරගැනීමේ උත්සාහය නොව මහා පරිමාණ ඉදිකිරීමට මැදිහත්වීම හරහා කොමිස් ගැනීම වන නිසාය. මේ අනාවරණය කියවීමේදී අපට හැඟී ගියේ ලංකාවේ ඇතැම් දේශපාලන - ව්‍යාපාරික ප්‍රජාවන් සමඟ ගනුදෙනු කිරීම දැන් චීනාටත් එපා වීගෙන එන තත්ත්වයක් ඇතිවෙමින් තිබේද යන්නය. රටේ කොයි වැඩේ පිටුපසත් ගැහිල්ලේ අඩුවක් නැති කම චීනුන්ට දරාගන්න නොහැකිව ඉස්මුරුත්තාවට ගොස් ඇත්තේ අද ඊයේ වුවත් රටට මේවා ඉස්මුරුත්තාවට ගොස් ගොඩක් කල්ය.

සැබවින්ම මෙකී අනාවරණය ගැනම කිහිපදෙනෙකු සමඟ සිදුකළ කතා බහේදී මතුවූ පොදු කරුණක් වූයේ යහපාලන සාමය තුළටත් මේ ගනුදෙනු වල මුල් ඇදී ඇති බවයි. අද මේ යන වලි සංවර්ධනය පිණිස හෝ සංවර්ධනය කඩිනම් කරගනු පිණිස යන වලි නොව බිස්නස් වැලි බවය. බිස්නස් වලියේ මුල තමන්ට දෙන එකාට කොහොම හරි වැඩේ අරගෙනදීමය. විශේෂයෙන් වත්මන් ආණ්ඩුවට හිතවත් තොරතුරු මුලාශ්‍ර මේ බව පැහැදිළිවම කියයි. එසේම මේ සම්බන්ධව තවත් චෝදනා යහපාලනයට අදාළවත් ඕනෑ තරම් බව ඔවුන් පවසයි. අපි කියන්නේ, මේ රටේ ජනතා විනිශ්චය වෙනුවෙන් ඒ තොරතුරුත් එළියට පැමිණිය යුතු බවයි. ඒ තොරතුරු නිරවද්‍ය බවට වගකීම අදාළ පාර්ශව ගත යුතුව ඇත. එවිට මිනිසුන්ට කවුරු කවුරු ගැනත් හරියට විනිශ්චය කරගන්න අවස්ථාව හිමිවනු ඇත.

කරූ කිව්වේ බොරු !

''පාර්ලිමේන්තුවේ කළ පහරදීම් ගැන පරීක්ෂණය රනිල්, මහින්ද එකතුවෙලා නැවැත්තුවා.'' ඇතුළු හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සම්බන්ධව ආන්දෝලනාත්මක කරුණු කිහිපයක් 'Sandeshaya by Saroj' යූටියුබ් නාලිකාව වෙනුවෙන් මාධ්‍යවේදී සරෝජ් පතිරණ සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු කතානායක කරූ ජයසූරිය විසින් අනාවරණය කර ඇති නමුත් ඒ චෝදනා සාවද්‍ය බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කර ඇත.

ඒ පසුගියදා පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

එහිදී හිටපු කතානායකවරයා පවසන කරුණු වැරදි බව දින වකවානු සහිතව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පෙන්වාදී ඇත.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට එහිදී හිටපු අග්‍රාමාත්‍යවරයා දැක්වූ අදහස් මෙසේය.

මම පුදුම වූනා කරු ජයසුරිය අපේ හිටපු කථානායකතුමා කරපු ප්‍රකාශය පිළිබඳව, චෝදනා ගණනාවක් තිබෙනවා ඒවා ගැන සම්පුර්ණයෙන්ම කතා කරන්නෑ මට කතාකරන්න වුවමනත් නෑ අද අපේ පර්ශිකයන් කෘත්‍යධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් ඉන්න නිසා විශේෂයෙන්ම අපිට බලපාන කරන දෙක තුනක් ගැන විතරක් සඳහන් කරලා මං පැහැදිලි කරන්නම් . විශේෂයෙන්ම ඒ චෝදනා අතර අපිට විශේෂයෙන්ම සඳහන් කරපු චෝදනාවක් තමයි එතුමා පක්ෂයේ අනුදැනුම ඇතුව ගිහින් මහින්ද රාජපක්ෂ රජයේ ඇමති කමක් ගත්ත කියලා ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රීලංකා නිදහස් පක්ෂයයි අතර එකඟත්වයක් තිබුනේ යුද්ධය ගැනත් එක විසඳන එක ගැනත් තවදුරටත් සාකච්චා කරන්න වෙන එකක් තිබුනේ නෑ . එතුමා ගිහින් ඇත්ත වශයෙන්ම රජයේ ඇමතිකම් ගත්තේ මට දැනුම් දීල නෙවෙයි මම එදා ඉන්දියාවේ හිටියේ එහෙනම් එක අපේ එකගතාවය අනුව කරපු එකක් නෙවෙයි . අපිට නොකියා ගත්ත නිසා අපේ එකඟතාවයෙන් ඉවත්වුණා

දෙවනි කාරණය තියෙන්නේ එතුමාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් අත්සන් කර කියල පසුගිය පාර්ලිමේන්තුවේදී එහෙම එකක් සිදුවුනේ නෑ . එහෙම එකකට කවුරුත් ඉඩ දෙන්නෙත් නෑ . එතුමා විපක්ෂයට කතාකරන ඉඩදෙන එකේ ප්‍රශ්නයක් තිබුන්නෑ . මම කියන්නේ පුලුවන්තරන් කතාකරලා මහන්සි වෙන්න දෙන්න මහන්සි වුණායින් පස්සේ වෙන එකක් කරන්න බෑ කියලයි . එක අපි දෙන්නාගේම උපක්‍රමයක්

තුන්වෙනි එක සඳහන් කරලා තිබුනේ එදා පාර්ලිමේන්තු මිරිස්කුඩු ගැසීම , පුටු කැඩීම මමයි දැන් ඉන්න අගමැතිතුමයි සාකච්චා කරයි කියලයි දැන් මාධ්යේ තියෙන්නේ මං පුදුම වුණා . මොකද මේක කරපු කෙලින් කියන්නේ නැතුව වැඩසටහන කරපු සරෝජ් ඇවිත් කිව්වා " ආ මේකේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ නේද " නෑ මං නම් කියන්නෑ කියල පත්තරේට දැම්මා මේ ටික .

මං ඇත්ත තත්වේ කියන්නම් අපහු අගමැතිකම සහ ඇමතිකම ලබාගත්තට පස්සේ දෙසැම්බර් මාසේ සහ ජනවාරි මාසේ මේ ගැන හොයාබලන්න තිලක් මාරපන අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් කොමිටියක් පත්කරා . ඒ කොමිටියේ තිලක් මාරපන ඇමතිතුමා පොලිසියට එක එක නියෝග දුන්න කියල කිව්වා .තිලක් මාරපන ඇමතිතුමාගෙන් මම අද ඇහුවා . නෑ මම එහෙම එකක් දුන්නේ නැහැ අපේ වාර්තාවේ තියෙන්නේ මේ යට විරුද්ධව ක්‍රියා කරන්න කියලා . දැන් කොහොමද පොලිසියට දෙන්නේ . මම ඇවිල්ල පොලිසියට බලපෑම් කරන්නද . පොලිස් අමාත්‍යංශය තිබුනේ ජනාධිපතිතුමා යටතේ . ඒ වාර්තාව දුන්නේ මාර්තු මාසේ මේ ගැන ක්‍රියා කරන්න කියල බලන ගමන් තමයි පාස්කු ප්‍රහාරය සිද්ධවුණේ . ඉතින් එවෙලාවේ විපක්ෂය කතාකරල තිබුනා කථානායකතුමා එක්ක මේක අතරමග අපි ගිහින් නඩු දාන එක විශාල ප්‍රශ්නයක් වෙයි . දැන් තියෙන්නේ රටට තියෙන උවදුරට මුහුණ දෙන්න . මේක දැනට පැත්තකට තියමු කියල කිව්වා . මම කිව්වා මැයි මාසේ වෙනකොට අපිට විශාල ප්‍රශ්නයක් තිබුනේ මමයි දැන් ඉන්න අගමැති තුමයි එකතු වෙලා කර කියල චෝදනාව බොරුවක් . මම පුදුම වෙනවා තවත් කාරණා ගණනාවක් තියෙනවා ඒවා අදාල යට කියන්න පුළුවන් . එත් මේ කරුණු ටික කෘත්‍යධිකාරී මණ්ඩලයටත් එහි සභිකයින්ටත් පැහැදිළ කරලා දෙනවා

මහ කන්නය අත්හළ ජනාධිපති: යල කන්නයට උපදෙස් දෙයි !

මෙවර මහ කන්නයේ දී කාබනික පොහොර බෙදාහැරීම, භාවිතය සහ ලැබෙන අස්වැන්න පිළිබඳ විමර්ශනය කර, අඩුපාඩු මගහරවා ගනිමින් යල කන්නයට සූදානම් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසූ බව වාර්තා වෙයි.

ජනාධිපති මෙසේ පවසා ඇත්තේ අද (21) ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණය සඳහා එක්වෙමිනි.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙවර වනුයේ “කෘෂිකාර්මික ඉඩම්වලින් ප්‍රශස්ත ඵලදායීතාව ලබාගත හැකි වන පරිදි ආයතනික, සහායක, නෛතික සහ කළමනාකරණ සේවාවක් සැකසීම හා කාලානුරූපව පවත්වාගෙන යාමය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, එම අරමුණු නිසි අයුරින් සිදු වන්නේ ද යන්න සොයා බැලීම ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයේ අපේක්ෂාව වූ බවයි.

දශක කිහිපයක් පැරණි එම දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ රාජ්‍ය නායකයෙකුගේ පැමිණීම සිදු වූ ප්‍රථම අවස්ථාව මෙය බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ගොවිජන සමාලෝචන මණ්ඩලය, ගොවිජන බැංකු, පාලන, ගිණුම්, සංවර්ධන, නීති, ආයතනික සංවර්ධන සේවා, ඵලදායී අලෙවි සහ ඉංජිනේරු ජල කළමනාකරණ යන සියලු අංශ අධීක්ෂණයට ලක් කළ ජනාධිපතිතුමා පැය තුනකට ආසන්න කාලයක් නිලධාරීන් සහ සේවකයන් සමග සාකච්ඡා කරමින් කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග සොයා බලා තිබේ.

හරිත කෘෂිකර්මාන්තයක් සහ වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය රජයේ ප්‍රතිපත්තිය බවත්ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ.

එසේම ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, වී ගොවිතැන සඳහා යොදාගත නොහැකි ඉඩම් වෙනත් බෝග සඳහා යොදාගත යුතු බවයි.

නෑ නෑ කිව්වට පැය 4 ක විදුලි කප්පාදුවක් ගැන ගම්මන්පිල කියයි !

මාර්තු මාසය වන විට පැය 04ක විදුලිය කැපීමේ අවදානමක් පවතින බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ එම අවදානමෙන් මිදීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වැදගත් බවය.

හංවැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් උදය ගම්මන්පිල අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

"කවුරු හරි ඇවිල්ලා කියනවා නම් අපිට ඇති වෙන්න ඩොලර් තියෙනවා, අපිට ඇතිවෙන්න රුපියල් තියෙනවා, ආණ්ඩුවට කිසි ප්‍රශ්නයක් නෑ කිව්වොත් ජනතාවත් කල්පනා කරනවා මොන එහෙකට ද අපි ඉතිරි කරන්න යන්නේ කියලා. අපිත් ජොලියේ ජීවත් වෙන්න ඕනේ කියලා. අපි දැන් පැය 24 ම විදුලිය දෙන්න උත්සහයෙන් මට තේරෙන විදියට නම් මාර්තු අග වනවිට කොහෙන් හරි ලොකු ඩොලර් ණයක් ගත්තොත් පොළියත් එක්ක ආපහු ගෙවන්න වෙනවා. එහෙම නැතුවුණොත් අපිට පැය 4ක විතර විදුලි කැපීමකට යන්න වෙනවා මාර්තු අග වෙද්දි. ඊට වඩා හොඳ නැද්ද අපි ඊළඟ වැස්ස එනතුරුම පැය එක හමාර ගානේ කපාගන්න තැනකට ගියොත්. දවස් දෙකක් හොඳ හෝටලයකින් කාලා දවස් 28ක් බඩගින්නේ ඉන්නවා ද? එහෙම නැත්නම් එළවළු පළතුරු ටික කඩෙන් ගෙනල්ලා ගෙදර උයාගෙන කාලා දවස් 30 වේල් තුනම කනවා ද කියලා ප්‍රශ්නයක් තමා දැන් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නයේ දී හැමෝම කැපකිරීම් කළ යුතු වෙනවා. කැපකිරීම් කරන්න නම් ප්‍රශ්නයක් තියෙනවා යන්න ජනතාව දැනගන්න ඕනේ. දෙක මෙහෙම කැපකිරීම පිළිබඳ ආදර්ශය දේශපාලන නායකයෝ දෙන්න ඕනේ."

ජනාධිපති වෙනුවෙන් සජබ මන්ත්‍රීනි ඩයනාගෙන් යෝජනාවක් !

ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කොවිඩ් නිසා අහිමිවූ කාලය වසර දෙකකින් දීර්ඝ කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ අද (21) පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.

ඒ සඳහා තුනෙන් දෙකක යෝජනාවක්ද සම්මත කළ යුතු බවද ඇය පැවසුවාය.

ජනාධිපතිවරයා ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ කල්තැබීමේ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ ඒ බව සඳහන් කළාය.

"මේක ග්ලෝබල් ක්‍රයිසීස් එකක්. හැමෝම එකතුවෙලා එක හා සමානව වැඩ කරලා අපි ජනාධිපතිතුමාට පිහිට වෙන්න ඕනේ. ගරු ජනාධිපතිතුමාට ඇත්තටම අවුරුදු 2ක් නැති වුණා."

"මම මේ පාර්ලිමේන්තුවේ අද යෝජනා කරනවා පාර්ලිමේන්තුවට ගෙනල්ලා තුනෙන් දෙකක බලයක් අරගෙන එතුමාට නැවතත් මේ නැතිවුණු අවුරුදු 2ක ලබා දෙන්න ඕනේ."

"අපේ මේ පාර්ලිමේන්තුවත් අවුරුදු දෙකකින් දීර්ඝ කරන්න ඕනේ කියලා මම යෝජනා කරනවා මේ පාර්ලිමේන්තුව තුළ."

ශ්‍රීලනිපයේ හදිසි හමුවක් : තීරණාත්මක තීන්දුවක් ගන්න සූදානමක් ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි රැස්වීමක් අද (21) කැදවා තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

අද පස්වරුවේ පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී ඉදිරි මැතිවරණවලට තනිව තරඟවැදීම, ආණ්ඩුවේ වත්මන් අර්බුදය හා ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ඉදිරිපත්වී ඇති යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරනු ඇති බවයි.

එසේම මේ වන විට පක්ෂ නායකත්වය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් වන ලිට්මස් පරීක්ෂණයක් කෙරෙන බවක් , බොහෝ දුරට මේ සභාව ඒ වෙනුවෙන් විය හැකි බවත් දේශපාලන විචාරකයන් පවසයි.

ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් ආණ්ඩුවට හිතවාදී ස්ථාවරයේ සිටින බවත් පක්ෂ නායක මෛත්‍රී සමග සිටින්නේ සීමිත පිරිසක් බවටත් පලවන ප්‍රචාර බවයි.

පාස්කු ප්‍රහාරය ගැන ඓතිහාසික විවාදයක් : මහින්දානන්දගේ අභියෝගය හරීන් බාරගෙන !

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ රූපවාහිනී විවාදයකට එන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ අභියෝගයක් සමගි ජන බලවේගයේ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී අද (21) බාරගත් බව වාර්තා වෙයි.

අලුත්ගමගේ අමාත්‍යවරයා මෙම ආරාධනය කළේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදී අදහස් දක්වමින් සිටින අතරතුරදීය.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දිගින් දිගටම කතා කළ නිසා තමා ඒ සම්බන්ධයෙන් ඔහුට විවාදයකට ආරාධනා කරන බව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා එහිදී පැවසීය.

"පාස්කු ප්‍රහාරය ගැන අපි අපේ සාක්ෂි අරගෙන එන්නම්. ඔයාලා ඔයාලගේ සාක්ෂි අරගෙන එන්න. අරගෙන අපි විවාද කරල බලමු." යැයි අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

තමා ඊට සූදානම් බවත් විවාදවලට බිය නොවන බවත් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එහිදී පවසා ඇත.

Page 378 of 463