රාජ්‍ය සේවකයන්ට ජනපතිගෙන් පණිවුඩයක්

රාජ්‍ය සේවකයන්ට ජනපතිගෙන් පණිවුඩයක්

කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

පුරවැසියා වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක් කල් පැවති සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම්වලට මින් ඉදිරියේදී මුහුණු දීමට සිදු නොවන බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස අද (03) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යංශයේදී වැඩ භාරගැනීමෙන් අනතුරුව අමාත්‍යාංශ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී මේ බව සඳහන් කළේය.

ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට පැවරී තිබෙන කාර්යභාරය අතිමහත් වන අතර රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය අනුව දිළිඳු බව තුරන් වන්නේද නැතිද යන වග තීරණය වන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය.

පුරවැසියා තෘප්තිමත් කිරීම සඳහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ඇති කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අවශ්‍ය බවද ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

ඉදිරි දින 40ක කාලය සංක්‍රාන්තික කාලයක් වන අතර එම කාලය තුළ රාජ්‍ය සේවාව බිඳ නොවැටී පවත්වාගෙන යාමට රාජ්‍ය සේවකයා කටයුතු කළ යුතු බවද ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

ඉදිරි මහ මැතිවරණයෙන් පසුව මෙම අමාත්‍යංශ සඳහා නව අමාත්‍යවරුන් පත් කරන බවටද ජනාධිපතිවරයා ඉඟි පළ කළේය.

මෙතෙක් සිටි නායකයින් මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්න කළ ආකාරයෙන් මින් ඉදිරියට මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්න කිරීමට ලක් නොකරන අතර එවැනි මාධ්‍ය සංදර්ශන තමන් පිළි නොගන්නා බවත් රාජ්‍ය සේවකයාගේ ගරුත්වය රකිමින් පුරවැසියා තෘප්තිමත් වන රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න