V2025

පුවත්

ජනාධිපතිගේ ආර්ථික දැක්ම අපි එකෙන්ම පිළිගන්නවා : මරික්කාර් ප්‍රසිද්ධියේ කියයි !

"රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අහන් ඉන්න කොට ඇත්තටම අපිට දැනුන දෙයක් තමයි අපි අවුරුදු ගාණක් පෙනී හිටපු, වාද කරපු, විශ්වාස කරන ආර්ථික දර්ශනය තමයි එතුමා ඉදිරිපත් කළේ.ඒ පිළිබඳව අපි එතුමාට ස්තූතිවන්ත වෙනවා සහ අපි ඒකට එකඟ වෙනවා." යැයි සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් . එම්. මරික්කාර් පවසයි .

 "හැබැයි ඒකේ ඇතුලේ අපිට විශාල ප්‍රශ්න කීපයකුත් මතු වෙනවා. මේ ආර්ථික දර්ශනය ඉදිරිපත් කරනකොට පහුගිය කාලයේ වෘත්තීය සමිති උසිගන්වලා ආර්ථිකය restructure කරන එක නවත්වන්න සියලු උපායමාර්ග දාපු පොහොට්ටුවේ අය මේක පිළිගන්නවද කියන එක මේ සභාවට දැනුම් දෙන්න ඕන. " යැයිද මන්ත්‍රීවරයා පවසයි .

මරික්කාර් මන්ත්‍රීවරයා මේ අදහස් දක්වා සිටියේ පාර්ලිමේන්තුව අමතමින් ය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .

 රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රාජාසන කතාවේදී කිව්වා මේ රටේ ජාතිවාදය තුරන් කරලා දානවා කියලා . එතුමාත් අපිත් මේ සියලු දෙනාම පෙනී හිටියේ ඒක වෙනුවෙන්. එතකොට මේ රටේ ජාතිවාදය ඇති කරලා, කැලණියේ නයි නටවලා, ඒ වගේම වඳ කොත්තු වඳ දොස්තරලා මවා පාලා ජාතිවාදය රට පුරාම ගෙනියපු පොහොට්ටුවේ කට්ටිය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මේ ජාතිවාදය නැති කිරීමේ ප්‍රතිපත්තියට එකඟ ද කියලා අපි අහනවා. 

මොකද මේ ඊයේ පෙරේදත් එක ඇමතිවරයෙක් මං දැක්කා එතුමාගේ වොයිස් කට් එකක මේ ජාතිවාදය අවුස්සන්න පොඩි උල්පන්දමක් දෙනවා මාධ්‍ය සාකච්ඡාවක දී .

ඒ වගේම ජනාධිපතිතුමා කිව්වා අවුරුදු දෙකක් රට ආපස්සට ගියා කියලා. අපි පහුගිය අවුරුදු දෙකේම නියෝජ්‍ය කතානායකතුමනි, ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටු කණ්ඩායම මේ රට පොහොර තහනම් කරලා, තෙල් පෝ්ලිම් ඇති කරල, ගෑස් පෝලිම් ඇති කරල, ලෙඩ්ඩුන්ට බෙහෙත් නැති කරල, ළමයින්ට ඉස්කෝලෙ යන්ඩ තිබ්බ තත්ත්වය නැති කරලා, තුන්වේලක් කාපු මිනිස්සු දෙවේලක් කන තත්ත්වයට පත් කරලා ,දෙවේලක් කාපු මිනිස්සු ලෙව කන තත්ත්වයට පත් කරනකොට අපි පැහැදිලිව කිව්වා. ඒ වෙලාවේ මේ පොහොට්ටු කට්ටිය අපිට කෝචොක් කලා. දැන් ජනාධිපතිතුමා ඒක කියනකොට පිළිගන්නවා ද කියල අහන්න අපි කැමතියි. 

ඇත්ත වශයෙන්ම ජනාධිපති තුමාගේ රාජාසන කතාව පොහොට්ටුවේ අයට දුන්න හොඳ කනේ පහරක් කියන එක මම පැහැදිලිවම කියන්න ඕන. අපි අප්පුඩි ගැහුවා . මොකද අපි විශ්වාස කරන ආර්ථික දර්ශනය. අපි පෙනී හිටපු ආර්ථික දර්ශනය. අපි මේ මොහොතෙත් පෙනී ඉන්න ආර්ථික දර්ශනය ඒක. අපි දක්ෂිණාංශික කඳවුරේ මිනිස්සු විදිහට අපිට ඕන ආර්ථික ප්‍රතිපත්ති තමයි එතුමා ඉදිරිපත් කළේ. පොහොට්ටුව ඒක පිළිගන්නවා ද කියලා අපි අහන්න කැමති . 

 ඒ වගේම එතුමා කිව්වා දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත ගේනවා කියලා . අපියි ගෙනාවෙ ඒක. ඒක නැති කරල ඒකාධිපති විස්ස ගෙනාවේ පොහොට්ටුවේ කට්ටිය. තමුන්නාන්සේලා ඒකාධිපති 20 ගේන වෙලාවේ කඩේ ගියේ කොහොමද කියලා කියලා මතක් කර ගන්ඩ කියලා මම කියනවා. එහෙම කඩේ ගිහිල්ලා දැන් ජනාධිපතිතුමා 19 ගේනකොට රෙද්දක් ඇඳගෙන අත උස්සනවා ද කියලත් අහන්න කැමතියි පොහොට්ටුවේ කට්ටියගෙන්.

ඒ වගේම ගිය ආණ්ඩුව කාලේ අපි ගෙනාවා ආංශික අධීක්ෂණ කමිටු ක්‍රමය. දැන් ජනාධිපතිතුමා කියනවා ඒ ක්‍රමය ගේනවා කියලා.

තමුන්නාන්සේලා ආපු ගමන් අහෝසි කරා නේ. දැන් මොකද කියන්නේ? එකඟ වෙනවද ඒකට? .

ඉතින් ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, අපිට රනිල් වික්‍රමසිංහ මැතිතුමා පෙන්නල තියෙන, රාජාසන කතාවේ කියලා තියෙන ආර්ථික දර්ශන ක්‍රියාත්මක කරන්න එක අතක් නෙමේ අත් දෙකම උස්සලා අපි සහයෝගය දෙනවා. අපි අහනවා පොහොට්ටුවේ කට්ටියගෙන් රෙද්දක් ඇඳගෙන ඒ සහයෝගය දෙන්න පුලුවන්ද? හැබැයි ඒගොල්ලන්ට ඕන මොකක්ද, මොනවා කරලා හරි ඇමැති කටු ටිකක් අරගෙන කටු සූප්පු කරන්න. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි අපි සහයෝගය දෙන්නේ වැඩපිළිවෙළට මිසක ඇමැති කටු සූප්පු කරන්න නෙමෙයි කියලා පැහැදිලිව කියන්න කැමතියි. අපිට ආරංචි දැනටමත් පොහොට්ටුව කට්ටිය ගිහිල්ලා දැනටමත් ජනාධිපතිතුමාට කියනවලු ඇයි මේ සජබ පිටිපස්සේ ඔච්චර යන්නේ, ඔය ඇමතිකම ටික අපිට දෙන්නකෝ කියලා කියනවලු. දැන් තමයි ගිහිල්ලා ජනාධිපතිතුමාගෙන් අහන්නේ මොකක්ද වැඩපිළිවෙළ කියලා. මොකක්ද වැඩපිළිවෙල කියලා දන්නේ නැතුව තමයි මේගොල්ලෝ ඡන්දෙ දීලා තියෙන්නේ ජනාධිපති ගේන්න. ඔන්න නියම දේශප්‍රේමින්.

 දේශප්‍රේමියෝ කියලා කියාගෙන ඒ රෙද්ද අස්සෙ තියෙන හොර තක්කඩිකම් දැන් එළියට එන්නේ ඇමතිකම් ලබා ගැනීම සඳහා. මේ සර්වපාක්ෂික ප්‍රෝඩාව අපි එළිදක්වනවා. මේ සර්වපාක්ෂික ප්‍රෝඩාව ඇමතිකම් ගැනීමේ ප්‍රෝඩාවක් වෙන්න බැහැ. සර්වපාක්ෂික වැඩපිළිවෙලකුයි ඕනේ මේ රටට. ජාත්‍යන්තරය අපේ රට ස්ථාවර ද නැද්ද කියලා බලන්නේ ස්ථාවර රජයක් තිබීමෙන් නෙමෙයි, ස්ථාවර රාජ්‍යයක් තිබිමෙන්. ස්ථාවර රාජ්‍යයක් තියනවනම් අනිවාර්යයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙන්න ඕන. මර්දනය නතර වෙන්න ඕන. ඒ වගේම පුරවැසි නිදහස තියෙන්න ඕන. නීතියේ ආධිපත්‍යය රකින්න ඕන. ඒ වගේම මාධ්‍ය නිදහස තියෙන්න ඕන. එහෙම නැතුව මේ ඔක්කොම එකතුවෙලා ආණ්ඩුවක් හැදුවා කියලා ස්ථාවර රාජ්‍යයක් ඇති වෙන්නේ නෑ. 

පුරවැසි නිදහස තියෙන ස්ථාවර රාජ්‍යයක් තියෙන්න ඕන. අපි කියන්නේ නෑ ගෙවල් ගිනි තියපු ඒවයෙන් නිදහස් කරන්න , ප්‍රචණ්ඩත්වයට යොමු වෙච්ච අයව බේරගන්න, කිසිසේත්ම අපි පෙනී හිටින්නේ නෑ. අපි ඒකට විරුද්ධයි. මේ 225ම හොරු කියන එකත් පට්ටපල් බොරුවක්. අපි හොරකම් කරලා නෑ නියෝජ්‍ය කතානායකතුමනි, අපිට පිළිගැනීමක් තියෙනවා. මිනිස්සු අපිව පිළිගන්නවා. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ බලය ගන්න බැරි කට්ටියක් තමයි මහ පාරේ ආණ්ඩු පිහිටුවන්න ඔය 225 ම බොරු කියන කතාව හදන්නේ. බහුතරය හොරු ඉන්නවා.

ඒක ඇත්ත . ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, සර්වපාක්ෂික වැඩපිළිවෙළක් හරහා තමයි මේක ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට ඒකට අපට සහයෝගය දෙන්න පුළුවන්. අපිට කියන්න මොකක්ද වැඩපිළිවෙළ කියලා. 19 ගේනවා නම් පාර්ලිමේන්තුව හරහා අපි ඒකට සහයෝගය දෙනවා. ආංශික අධීක්ෂණ කමිටු ගේනකොට, ඒ කියන්නේ ඒක පුස් කමිටුවක් විදිහට නැතුව බලතල සහිත කමිටුවක් විදිහට ක්‍රියාත්මක වෙනවා නම්, අපි එකට සහයෝගය දෙනවා. විපක්ෂයේ ඉදලා අපේ යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. ජනාධිපතිතුමා එක්ක වැඩ කරන්න පුළුවන් ඒකට. ඒක ප්‍රශ්නයක් නෑ බලතල සහිතව නම් .

 ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙනියන යෝජනා මොනවද කියලා කියන්න. ඒක රටට හොඳ නම් අපි ඒකට උදවු කරනවා. ඒ වගේම පාඩු ලබන රාජ්‍ය ආයතන නැවත restructure කරනවා නම් පොහොට්ටුවේ අයට අත උස්සන්න බැරි උනාට අපි අත උස්සනවා.

 .අද තාක්ෂණයේ දියුණුවත් එක්ක කල්පනා කරලා බලන්න. උදාහරණයක් දෙන්නම් තැපැල් දෙපාර්තමේන්තුව මිලියන 79ක් යනවා නඩත්තු කරන්න. අද අන්තර්ජාලය මෙච්චර දියුණුයි තාක්ෂණය දියුණුයි. මේවා නැවත හිතල බලන්න ඕන. පොහොට්ටුවේ කට්ටිය ළිං මැඩි මානසිකත්වයෙන් බලනව වගේ බලන්න අපි සූදානම් නැහැ. ඒ හින්දා කුහක කවුද කියලා හිතට තට්ටුකරලා අහගන්න තමන්ගෙන්ම. අවස්ථාවාදී කවුද කියලා හිතලා තට්ටුකරලා බලන්න තමන්ගේම .බොරු දේශප්‍රේමියෝ කවුද කියලා හිතට තට්ටුකරලා බලන්න තමන්ගේම. ඒ නිසා පැහැදිලිව කියන්නේ මේ වැඩපිළිවෙලවල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. රටේ මූල්‍ය බලය ව්‍යවස්ථාදායකය හරහා තමයි තියෙන්නේ . නීති හදන තැන පාර්ලිමේන්තුව. අපිට ඒකට සහයෝගය දෙන්න පුළුවන්. පොහොට්ටුවේ කට්ටියට වගේ ඇමතිකම් ඕන්නෑ ඒකට.

මේ සර්වපාක්ෂික වැඩපිළිවෙළ කියන්නේ, ගෑස් රුපියල් දෙසිය හැට හතරකින් අඩු කරල, විදුලි බිල264% කින් වැඩි කරන එක නෙමෙයි. කොළඹ නගරයේ නාගරික වතු නිවාස වල ජීවත්වන ජනතාව පොල්ගෙඩියෙ ඉඳලා අබ ඇට ඉඳලා හැම දේම සල්ලි දීල ගන්න ඕන. අද තෙල් නැතුව ඒ මිනිස්සු නන්නත්තාර වෙලා ඉන්නවා. පහුගිය කාලේ ගෑස් නැතුව ලාම්පුතෙල් වලට ගිය අය ලාම්පු තෙලුත් නැතුව නන්නත්තාර වෙලා. අද ඒ මිනිස්සුන්ට unit 0- 30 වෙනකම් සියට 264 කින් වැඩි කරහම 31-60 වෙනකන් 211 කින් වැඩි කලහමමිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ. මේකද සර්ව පාක්ෂික වැඩපිළිවෙළ කියන්නේ. 

ඒ නිසා කරුණාකරලා තවදුරටත් ජනතාවගේ වියදම වැඩි කරන්නැතුව පුළුවන් තරම් සහන ලබාදෙන සර්වපාක්ෂික වැඩපිළිවෙළක් තමයි ක්‍රියාත්මක වෙන්න ඕන. ඒකට දූෂණය නතර කරන්න ඕන. 

අපි අහන්න කැමතියි මේ කතාව. මහින්ද හොරා කියලා අපිට කියලා දුන්නේ කවුද?රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. මේ පාර්ලිමේන්තුවෙදි ම. දැන් ඒක අන්තර්ජාලයේ සැරිසරනවා. දැන් ඒක වලංගු ද? රනිල් වික්‍රමසිංහ මහත්මයාව මහ බැංකු හොරා කියලා කිව්වේ කවුද? දිනේෂ් ගුණවර්ධන මහත්මයා. දැන් ඒක නැද්ද?. ඊළඟට රනිල් වික්‍රමසිංහ මහත්මයාව හිරේ දානකම් නින්ද යන්නෑ කිව්වෙ කවුද?.මහින්දානන්ද අලුත්ගමගේ. දැන් කොහොමද නින්ද යනවා ද.

රනිල් වික්‍රමසිංහ අගමැති කරන්න මොලේ අමාරුවක් නෑ කිව්වා. කවුද කිව්වේ? අපි නෙමෙයි රෝහිත අබේගුණවර්ධන . දැන් නින්ද යනවද දන්නෑ රෝහිත අබේගුණවර්ධනට. අපි පැහැදිලිව එකක් කියන්න ඕන.මේ අරගලය මතුවෙච්ච සැබෑ කාරණා ටික අපි අවබෝධ කර ගන්ඩ ඕන. අරගලය ගෝල්ෆේස් එකේ ඉවර වෙන්න පුළුවන්. හන්දිවල ඉවර වෙන්න පුළුවන් . ගෙවල් ඇතුලෙ මනස ඇතුලේ අරගලය තියෙනවා. සම්ප්‍රදායික යුඑන්පී කාරයන්ගෙ ශ්‍රී ලංකා කාරයන්ගෙ දරුවෝ තමයි මේ පාරට බැස්සේ. ඒ දරුවෝ මොනවද කිව්වෙ. ඒ තරුණ තරුණියෝ කිව්වේ අපේ අනාගතය නැති කරපු, ජාතික සම්පත් හොරකම් කරපු හොරු ටික එලවන්න ඔවුන්ට දඬුවම් දෙන්න කියලා. පොහොට්ටුවේ ඉන්න දූෂිතයෝ එක්ක අපිට එකට ඉඳ ගන්න බැහැ. ඒ නිසා මං නම් කියන්නෙ නැහැ මෙතන. ඒගොල්ලො ගෙන් අපි අහනවා ඒගොල්ලො මහ බැංකු හොරා කියපු එක්කෙනත් එක්ක එකට වාඩි වෙන්න පුළුවන් .මේ තමයි දිව දෙකේ බොරු දේශප්‍රේමියෝ. ඒ වගේම අපි ජනාධිපතිතුමාගෙන් එකක් අහන්න කැමතියි. දෙවියෝ හැම එක්කෙනාට ම අවසාන අවස්ථාවක් දෙනවා. මහින්ද මහත්තයට අවසාන අවස්තාවක් දුන්නා. හොරා කියලා එලවපු මහින්ද මහත්තයව නැවත 2019 අගමැති කරලා හැදෙන්න අවස්ථාවක් දුන්නා. ආයෙම පවුල ගෙනත් දාගෙන මේ රට කාබාසිනියා කරලා දැම්මා. 

දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට අවසාන අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා අපි ඔබතුමාගෙන් අහනවා, ඔබතුමා ස්ථිරසාරව කියනවද පොහොට්ටුවේ දූෂිත හොර නඩය හිරේ දානවා ද නැද්ද කියන එක අපිට කියන්න. අපිට අලුතින් හිතන්න පුළුවන් එතකොට. එහෙම නැතුව ඇමතිකමකට ගිහිල්ලා ඒ කට්ටියත් එක්ක බුදියගෙන පාවලා දෙන්න අපිට බෑ. ඒ වගේම තව ප්‍රශ්නයක් අහනව ජනාධිපතිතුමාගෙන්. අපි IMF එකට යන්න කියලා දිගින් දිගටම කියද්දී, අපිට කෝචොක් කලා. මෙතන ඉඳලා කබ්රාල් කියන ද්‍රෝහියා අපිට හිනා උනා. අපිට අවඥා කළා. මං කියනවා තේරීම් කාරක සභාවක් පාර්ලිමේන්තුව හරහා දාලා මොල හතේ බැසිල් රාජපක්ෂයි, ආර්ථිකය කුඩුපට්ටම් කරපු කබ්බ්‍රාල් ටයි දඬුවම් කරනවා ද. එතකොට ඒ ගොල්ලෝ මේ රටේ ආර්ථිකය කාබාසිනියා කරලා වලපල්ලට දැම්මෙ කොහොමද කියලා හෙළි කරනවද කියලා අපි අහන්න කැමතියි.

ඒ වගේම මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි, මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ හැම පක්ෂය ම එකට එකතු කරලා ආණ්ඩු කරන එක නෙමෙයි. එතකොට විපක්ෂයක් නෑ. විපක්ෂයක් නැති උනාම ඔක්කොම එකට එකතු වෙලා හොරකම් කරන්න පුරුදු වේවි. ඩීල් දාන්න සෙට් වේවි. එතකොට හොරකම් දූෂණ වංචා ගැන එළිදක්වන්නෙ කවුද? හැමෝම එකතු වෙලා ආණ්ඩු හැදුවොත් තමයි 225ම හොරු කියලා අර පාරේ ආණ්ඩු පිහිටවන්න හදන කට්ටිය හදුන මතය තවදුරටත් සමාජගත වෙන්නේ. ඒ නිසා ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, විපක්ෂයේ ඉඳගෙන මේ රට ගොඩ දාන්න, මේ රටේ ආර්ථිකය ගොඩ දාන්න, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න, ලෝක බැංකුවට යන්න, පාඩු ලබන රාජ්‍ය ආයතන restructure කරන්න, අපි අත් දෙකම උස්සලා සහයෝගය දෙනවා.මේ වෘත්තීය සමිති කුලප්පු කරල මේ රටේ ආර්ථිකය කඩාකප්පල් කරපු අය උදවු කරනවද කියල අහන්න කැමතියි.

අද මේ රටේ තරුණ තරුණියෝ රට යනවා. කොහෙද යන්නෙ? චීනෙ යනවද? කියුබාවට යනවද? රුසියාවට යනවද? නෑ. ඒ ගොල්ල යන්නේ ඇමරිකාවට යුරෝපයට. දක්ෂිණාංශික ආර්ථික රටාවක් තියෙන රටවල් වලට. ඒ නිසා තවදුරටත් මේ රටේ කඳවුරු දෙකයි තියෙන්නේ. එකක් රැඩිකල් කදවුර. අනික දක්ෂිණාංශික කදවුර. ඒ නිසා දක්ෂිණාංශික කඳවුරට රැඩිකල් කඳවුරේ අය අවස්ථාවාදීව ආවා කියලා ඒක දක්ෂිණාංශික වෙන්නේ නැහැ.

ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ කතාව අවසන් කරන්න කලින් මම තව එක දෙයක් කියන්න කැමතියි ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අවංකවම සර්වපාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න උවමනාවක් තියෙනවා නම් මේ පිහිටුවන බල සහිත කමිටු වල සභාපති ධූර දෙන්න විපක්ෂයට . ඒ වගේම අපි එතුමාගෙන් අහන්න කැමතියි මේ රටේ යථාර්ථය ඇත්ත එළිදක්වපු රංජන් රාමනායකට නිදහස ලබා දෙන්න .හොරකම් නොකරපු කුඩු විකුනපු නැති මිනී මරපු නැති ස්ත්‍රී දූෂණ කරපු නැති වංචා නැති රංජන් රංජන් රාමනායක ව නිදහස් කරන්න ඇයි මෙච්චර කල් ගන්නේ.කුඩු විකුනපු කුඩු දුමියා වත් නිදහස් කළා. අද ඒ නාලිකාව රෙදි ගලවා ගෙන කඩේ යනවා. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා වහාම ඔබතුමා රන්ජන්රාමනායක ව නිදහස් කරල ආදර්ශයක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා.

ජනාධිපති රනිල්ගේ ආර්ථික දැක්මට එකඟයි - හර්ෂ ද සිල්වා

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ආර්ථික දැක්ම සමඟ තමා එකඟ යැයි සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි .

විපක්ෂයේ හිටියත් එය කියන්නට තමාට ශක්තියක් තිබෙන බවද හර්ෂ සිල්වා මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්වෙමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මේ බව පැවසීය.

කෙටිකාලීන සර්වපාක්ෂික වැඩපිළිවෙලකට එකඟ වෙමු යැයි කී හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා සර්ව පාක්ෂික රජයක් ගැන කතා කළේ තමාට ඇමතිකමක් ගන්න නොවේ යැයිද දැන් යන්න හදන්නේ සර්වපාක්ෂික නමැති බෝඩ් එකක් ගසා තමන්ගේ කණ්ඩායමක් විතරක් එකතු කරගෙන යන ගමනක් යැයිද පැවසීය .

රුපියල අල්ලගෙන හිටියා වගේ වත්මන් ආණ්ඩුවත් අල්ලගෙන ඉන්න නමුත් සැබෑ ජනතා ප්‍රසාදයක් නැති ආණ්ඩුව රුපියල වගේම කඩා වැටෙන බවත් පැවසීය .

ආණ්ඩුවට ශක්තිමත් ජනතා ප්‍රසාදය තියෙනවා යැයි පෙන්නුවත් ඇත්ත තත්ත්වය එය නොවේ යැයිද මෙි රාජපක්ෂ හොල්මන් කරන ආණ්ඩුවක් කිව්වොත් එය වැරදි නැතැයි ද ඔහු සඳහන් කළේය .

ධානිෂ් අලී තවදුරටත් හිරේ !

ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි කලැයි කියන සිද්ධියට අදාළ ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු ලබන 26 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (12) නියෝග කළේය.

කුරුඳුවත්ත පොලිසියේ සිදුකරන විමර්ශනයකට අදාළව මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අතර අද බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදු වන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත ගත කරන ලෙස ට කොටුව පොලිසිය අධිකරණයෙන් ඉල්ලීය.

එම ඉල්ලීම සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් සිව්දෙනා ලබන 26 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය .

අරගලය අස්සේ ජාතික රූපවාහිනී සංස්ථාවේ විකාශය කටයුතු වලට බාධා කරමින් ඊට කඩාවැදීම සම්බන්ධයෙන් ද ධානිෂ් අලී නැමැත්තා චෝදනා ලබා ඇත .

ඉන්ධන අර්බුදය - සියලු පව් ගම්මන්පිලට : පිං කාන්චනට !

ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදයක් නිර්මාණය විට ප්‍රධානම වගකිය යුත්තා වන්නේ හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මෙසේ චෝදනා කළ අතර ඉන්ධන හිඟයක් ඇති වෙන්නේ යැයි එවකට අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළ නිසා ජනතාව ඉන්ධන වැඩි වශයෙන් එක් රැස් කර ගැනීමට පෙළඹීම මත ඉන්ධන හිඟයක් ඇතිවූ බවත් පැවසීය .

කෙසේ වුවත් වත්මන් විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර ඉන්ධන අර්බුදය විසදීමට ගන්නා ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බව ද ඔහු පැවසීය.

ලියුම් හුටපටය දුරදිග යයි : අනුරත් රනිල්ට ලියයි !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජවිපෙ , ජාතික ජනබලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අතර සිදුවන ලියුම් හුවමාරුව තවත් පියවරක් ඉදිරියට ගොස් ඇත .

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යොමුකළ ලිපියට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ද අද (10) තවත් ලිපියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමුකිරීම හරහා ය.

රට තුළ පවතින අර්බුදයෙන් මිදීම සඳහා කිසියම් හෝ පිළිගත හැකි වැඩපිළිවෙළක් නිශ්චිත කාලරාමුවක් සහිතව ඉදිරිපත් කරන්නේ නම් ඊට සාධනීය ප්‍රතිචාර දැක්විය හැකි බව එහි සඳහන් කර ඇති අතර අදාළ ලිපිය පහත දැක්වෙයි .

anura l 547

ජාජබ අනුර සහ ජවිපෙ අනුර අතර ප්‍රතිවිරෝධයක් !

මේ ආකාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජවිපෙ , ජාතික ජනබලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අතර ලියුම් හුවමාරුවක් ඇරඹෙන්නේ, ඔවුන් අතර පසුගියදා පවත්වන්නට යෙදුණු සාකච්ඡාව ජාජබ විසින් ඒකපාර්ශවීය ලෙස අත්හැර දැමීම සමගය.

සාකච්ඡාව සඳහා නිමිතව තිබුණේ සර්ව පාක්ෂික පාලනයක් වෙනුවෙන් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ආරාධනයයි.

මේ සඳහා පළමුව ජවිපෙ, ජාතික ජනබලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක එකඟතාව පළකර තිබූ අතර , සාකච්ඡාව සඳහා සහභාගි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද පවසා තිබිණ .

එහෙත් හදිසියේ ජවිපෙ දන්වා සිටියේ අදාළ සාකච්ඡාව සඳහා සහභාගී නොවන බවත් ඒ වෙනුවට ජවිපෙ , ජාතික ජනබලවේගය පක්ෂයේ යෝජනා ලිඛිතව ඉදිරිපත් කරන බවය.

ඒ අනුව අදාළ යෝජනා ලිඛිතව පසුගියදා ඉදිරිපත් කර තිබිණ . ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද , ජවිපෙ , ජාතික ජනබලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකර තිබිණ .

එම ලිපිය පහත දැක්වෙයි .

ranil l

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක යොමුකර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යැවුණු ඉහත ලිපියට තවත් ප්‍රතිචාරයකි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ නායකයන් දෙදෙනා කිසියම් අවංක එළැඹුමක් ගෙන අර්බුදය විසඳීමට එක්වීමට උත්සාහ ගැනෙන නමුත් කිසියම් බලවේගයක් ජවිපෙ නායකයා පාලනය කරන්න ගෙන ඇති බවක් පෙන්නුම් කරන බවයි.

බොහෝ විට එය ජාතික ජනබලවේගය පක්ෂය නොවන ජවිපෙ වියහැකි බවත් දේශපාලන විචාරකයන් පවසයි .

ජාතික ජනබලවේගය පක්ෂය මේ වන විට ජවිපෙට ඉතිහාසයේ දිනාගත නොහැකි වූ පාර්ශ්ව සහ බලවේග එක්කර ගැනීමේ සමත් බවක් පෙනුනත්, එහි තීරණාත්මක සාධකය ජවිපෙ දේශපාලනය බවට පත්වීම නිසා තවදුරටත් පක්ෂයක් ලෙස ඊට ප්‍රසාරණය වීමට නොහැකි කර ඇති බවත් දේශපාලන විචාරකයන් පවසයි .

ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ , මේ මොහොතේ අර්බුදයට විසඳුම් සපයමින් ඉදිරියට යාමට ජාතික ජනබලවේගය පක්ෂයට සහ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක වෙත අවශ්‍ය වුවත් , ඔහුම නායකත්වය දෙන, නමුත් ඔහුගේ සෘජු තීන්දු තීරණ ක්‍රියාවට නැගිය නොහැකි ජවිපෙ විලංගුවක් බවට මේ මොහොතේ පත්ව ඇති බවය.

 

සජිත්‍ට ඉන්න කියලා අපි යනවා : සජබ ජ්‍යෙෂ්ඨයන් තීන්දුවක් අරගෙන !

මේ වන විට සමගි ජනබලවේගය පක්ෂයේ ප්‍රබලයන් රැසක් සර්ව පාක්ෂික පාලනයක් සඳහා එක්වීමට පක්ෂ අභ්‍යන්තරයේ දැඩි අරගලයක් දියත්කර ඇති බව වාර්තා වෙයි .

මේ පිරිස අතර පක්ෂයේ ප්‍රධාන තනතුරු දරන ජ්‍යෙෂ්ඨයන් ද වීම විශේෂත්වයකි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට රට ආර්ථික වශයෙන් බරපතළ අර්බුදයකට පත්ව ඇති මේ අවස්ථාවේ සාමූහිකව රට ගොඩනැගීමට උත්සාහ දැරිය යුතු බව ඔවුන්ගේ අදහස වී ඇත.

එසේ නොකළහොත් ජනතාව හමුවේ තම දේශපාලනය ප්‍රතික්ෂේප වනු ඇති බවද ඔවුන්ගේ ස්ථාවරය වී ඇත.

කෙසේ වුවත් තවදුරටත් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස අත්තනෝමතික ලෙස කටයුතු කළහොත් පක්ෂය ලෙස එක්වීම පසෙක තබා පෞද්ගලිකව සර්ව පාක්ෂික පාලනයක් වෙනුවෙන් එක්වීමට මෙම ජ්‍යෙෂ්ඨයන් පිරිස තීන්දු කර ඇති බවත් වාර්තා වෙයි .

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35000ක නැවක් අදත් එයි !

අද (11) රාත්‍රියේ මෙට්‍රික් ටොන් 35,000ක පෙට්‍රල් තොගයක් සහිත නැවක් කොළඹට පැමිණීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

එම තොගය හෙට (12) ගොඩබෑමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත .

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහාය ඇතිව මේ සඳහා ගෙවීම් ඊයේ අවසන් කළ බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

 

රාජපක්ෂ කාලේ නොනිල පොලිසි : ආයෙත් හිස ඔසවන ලකුණු ?

ජනතා විරෝධය හමුවේ හකුළාගෙන පළාගිය රාජපක්ෂ රෙජීමය යටතේ විවිධ චෝදනා ලැබූවන් යළිත් ක්‍රමයෙන් හිස ඔසවමින් සිටින බවට චෝදනා නැගෙයි.

ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට රාජපක්ෂ රෙජීම පාලනය වෙනුවෙන් සහ රෙජීම පාලනයට සහය දක්වමින් විවිධ අපරාධ සහ නීති විරෝධී ක්‍රියාවල නිරත වූවන්, ඔවුන්ට සහයදුන් අපකීර්තිමත් නිලධාරීන් ඇතුළු පාර්ශ්ව මේ අතර වෙයි.

ඔවුන් පොලිස් සේවයේ පත්වීම් , ස්ථාන මාරු වල සිට සමහර පොලිස් විමර්ශන වලට බාධා එල්ල කිරීමට උත්සාහ ගනිමින් සිටින බවත් වාර්තා වෙයි .

එසේම ඇතමුන් පසුගිය දේශපාලන "හයිය" යළිත් අත්පත් කරගෙන මෙන් නීති නොතකා, රාජ්‍ය නිලධාරීන් පවා අපහසුතාවට පත්වන ලෙසින් හැසිරීමට ගෙන ඇති බවටත් වගකිවයුතු අංශ වෙත මේ වන විටත් පැමිණිලි ලැබී ඇති බවත් වාර්තා වෙයි .

මේ සම්බන්ධයෙන් දැනටමත් පීඩාවට පත්වූ නිලධාරීන් මැසිවිලි නගන්නේ , නමට රාජපක්ෂවරුන් පළවා හැරුණත්, ඔවුන් කාලයක් තිස්සේ ගොඩනැගූ අනීතික පාලන ක්‍රමවේද යළිත් හිස එසවීම ඛේදවාචකයක් බව පවසමිනි.

 

ගෝඨාභයට කොන්දේසි මත වීසා ලැබෙයි !

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තායිලන්ත විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ගෝඨාභය රාජපක්ෂ එරටට පැමිණීමේ කිසිදු ගැටලුවක් නොමැති බවද තායි විදෙස් අමාත්‍යංශය පවසා ඇත.

එලෙස පැමිණෙන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරට තුළ දින 90ක කාලයක් රැඳී සිටීමේ අවසරය හිමිවන බවත් තායි විදෙස් අමාත්‍යංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .

මේ අතර තායිලන්තයේ අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන්-ඕ-චා සඳහන් කර ඇත්තේ මානුෂීය හේතු මත, රටක ස්ථිර ව රැකවරණය ලැබෙන තෙක් තාවකාලිකව ගෝඨාභය රාජපක්ෂ එරට රැඳී සිටිනු ඇති බවය.

එසේම එරට රැඳී සිටින කාලය තුළ දේශපාලන කිසිවක් කටයුතු සිදු නොකරන බවට ද පොරොන්දු වී ඇති බවත් ඔහු පවසයි .

ජනතා විරෝධය හමුවේ මෙරටින් පළාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පළමුව මාලදිවයිනට සහ පසුව සිංගප්පූරුව වෙත ගියේය . එහිදී වාරයක් වීසා දීර්ඝ කෙරුණු අතර එම වීසා කාලය අදින් (11) අවසන් වෙයි.

ඒ අනුව තවත් දින 90ක කාලයක් තායිලන්තයේ සිටීමට ඔහුට අවස්ථාව හිමිවෙයි.

කෙසේ වුවත් මීට පෙර මාධ්‍ය වාර්තා පළවුණේ සිංගප්පූරු වීසා කාලය අවසන් වූ පසු ගෝඨාභය රාජපක්ෂ ලංකාවට පැමිණීමට නියමිත බව පවසමිනි.

එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා විදෙස් මාධ්‍ය හමුවේ පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මේ මොහොතේ ලංකාවට පැමිණීම මෙරට තිබෙන දේශපාලන ආතතිය තවත් උත්සන්න කරනු ඇති බව ය.

 

මාස 04 අයවැය විවාදයට දින නියම වෙයි !

මෙම වසරේ ඉදිරි මාස හතරෙහි වියදම් සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අගෝස්තු 30,31,සහ සැප්තැම්බර් 1 , 2 යන දින වල ප්ැව් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (10) පස්වරුවේ රැස්වි තීන්දුව ගෙන ඇති බවත් වාර්තා වෙයි .

අයවැය විසර්ජන පනත් කෙටුම්පත අගමැති දිනේෂ් ගුණවර්ධන විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

සෑම පක්ෂයකටම සාධාරණ නියෝජනයක් සහිත: පාලන ව්‍යුහයක් !

සෑම පක්ෂයකටම සාධාරණ නියෝජනයක් සහිත පාලන ව්‍යුහයක් සකස් කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ පක්ෂ කිහිපයක් සමග ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවල දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු කණ්ඩායම, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් තමිල් මක්කල් තේසීය කුට්ටනි පක්ෂය, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලි සන්ධානය සාකච්ඡා සඳහා එක්ව සිටියහ.

පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටු පත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවත් අතුරු කමිටු කිහිපයක් පිහිටුවීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙන බව සඳහන් කළේය.

ජාතික සභාව ඇති කිරීම ප්‍රධාන ඉලක්කය බව පෙන්වා දුන් ඒ මහතා සියලු පක්ෂවල නියෝජනය සහ සන්ධාන තුළ ඇති අනෙකුත් පක්ෂ සහ කණ්ඩායම්වල සම්පූර්ණ නියෝජනයක් ඒ සඳහා අවශ්‍ය බව පැවසීය.

කමිටු සභාපතිවරුන් වෙත කැබිනට් අමාත්‍යවරුන් හාසමාන බලයක් සහ නියෝජනයක් ලබාදීමටත්, අවශ්‍ය අවස්ථාවල ඔවුන් කැබිනට් සාකච්ඡා සඳහා සහභාගීකර ගැනීමේ වැදගත්කමත් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

කමිටු ක්‍රමය නියෝජනය කරනවාද, ඒසේ නැති නම් ආණ්ඩුවට එක්වනවාද යන්න ඒ ඒ පක්ෂ සාකච්ඡා කොට තමන් වෙත දැනුම් දෙන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න ඇතුළු පිරිසක් මේ සාකච්ඡා සඳහා එක්ව සිටියහ.

රන්ජන් නිදහස් කිරීමට සියල්ල සූදානම් !

බන්ධනාගාර ගතකර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට පෙර ඔහු අධිකරණය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳව කනගාටුව පළ කරමින් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම සුදුසු බව නිර්දේශ කර තිබේ.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ දීර්ඝ කාලයක් දඬුවම් විද තිබීම, යහපත් කල් ක්‍රියාවෙන් සිටීම සහ සමාජයට දායකත්වයක් ලබාදීමට හැකිවීම මත ජනාධිපති සමාව දීම සාධාරණ යයි රජය විශ්වාස කරන බවය.

ඒ අනුව රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා සිය දිවුරුම් ප්‍රකාශය ඉදිරි දින දෙක තුන ඇතුළත ලබාදීමට නියමිතව ඇති බවත් ජනාධිපතිවරයා විසින් ඔහු නිදහස් කිරීමේ ලේඛන සඳහා අත්සන එළඹෙන සතියේ තැබීමට නියමිතව ඇති බවත් ආරංචි මාර්ග පවසයි .

බොහෝදුරට එළඹෙන සතියේ මුල් දින කිහිපය ඇතුළත රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට ජනාධිපති සමාව යටතේ නිදහස ලැබීමට නියමිත නියමිත බවත් වාර්තා වෙයි .

WhatsApp: Group Chatsවලින් රහසිගතව ඉවත්වෙන හැටි !

WhatsApp සඳහා නව පුද්ගලිකත්ව විශේෂාංගයක් Meta විසින් හඳුන්වා දී තිබේ.

ඒ අනුව රහසිගතව (නිහඬව) Group Chats වෙතින් ඉවත් වීමටත්, තමා Online දැයි බැලිය හැක්කේ කවුරුන්ද යන්න පාලනය කිරීමටත්, එක වරක් පමණක් බැලිය හැකි පණිවිඩවල Screenshots ගැනීම වැළැක්වීමටත් හැකි නව විශේෂාංග WhatsApp වෙත ලැබෙනු ඇත.

Meta සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් පැවසුවේ මෙමඟින් WhatsApp පණිවිඩ ද "මුහුණට මුහුණ හමුවී කරන සංවාද තරම්ම ආරක්ෂිත හා පෞද්ගලික" වනු ඇති බවයි.

එක්සත් රාජධානියේ ආරම්භ වන ගෝලීය ප්‍රවර්ධන ව්‍යාපාරයකදී ඒවා ඉස්මතු කෙරෙමින් මෙම මාසය තුළ ක්‍රමයෙන් විශේෂාංග පරිශීලකයන් වෙත ලැබීමට නියමිතය.

srtgdrtyh

රහසිගතව(නිහඬව) ඉවත් වෙන්න

දැනට WhatsApp Group chat එකකින් යම් කෙනෙකු ඉවත් වීමේදී හෝ ඉවත් කිරීමේදී එහි සිටින සියලුම සාමාජිකයින්ට එම පුදගලයා ඉවත් වූ බව හෝ ඉවත් කරන ලද බව දන්වනු ලැබේ.

පෞද්ගලික Group Chat එකකදී මෙය අක්‍රීය කළ හැකි ක්‍රම තිබුණ ද රහසිගතව (නිහඬව) ඉවත් වී යාමේ ක්‍රමයක් නැත. මේ නිසා "exit group" විධානයෙන් අදාල Group Chat එකෙන් ඉවත් වීම අපහසුතාවක් දනවන්නක්, ලැජ්ජාවක් ඇතිකරන්නක් හෝ යම් ගැටුමකට මුල පිරීමක් විය හැක.

නව විශේෂාංග සමඟින්, Group Chat එකෙහි සිටින අනෙකුත් පරිශීලකයින්ට දැනුම් නොදී, කණ්ඩායම් පරිපාලකයින්ට (Group Admin) පමණක් දන්වමින් පරිශීලකයින්ට එයින් පිටව යාමට හැකි වනු ඇත.

නිෂ්පාදන ප්‍රධානී ඒමි වෝරා පැවසුවේ "මිනිසුන්ට තමන්ගේ Chats (සංවාද) සම්බන්ධයෙන් වැඩි පාලනයක් සහ පෞද්ගලිකත්වයක් ළඟා කර ගැනීමට බලගැන්වීම් කරන නිෂ්පාදන විශේෂාංග ලබා දීම" කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වී ඇති බවයි.

"පෞද්ගලික සංවාද සඳහා වඩාත්ම ආරක්ෂිත ස්ථානය WhatsApp බව අපි විශ්වාස කරනවා," ඇය පැවසුවාය.

"මේ පරිමාණයේ වෙනත් කිසිදු ගෝලීය පණිවිඩ සේවාවක් ඔවුන්ගේ පරිශීලකයින්ගේ පණිවිඩ, මාධ්‍ය, හඬ පණිවිඩ, වීඩියෝ ඇමතුම් සහ Chat back-ups සඳහා මේ තරම් ආරක්ෂාවක් සපයන්නේ නැහැ."

නව යාවත්කාලීන කිරීම සමඟ පරිශීලකයන්ට තමා Online සිටින බව පෙනෙන්නේ කාටද යන්න පාලනයට හෝ සම්පූර්ණයෙන්ම එය කිසිවෙකුට නොපෙනෙන ලෙස සකස් කිරීමටත් අවස්ථාව ලැබේ. එය මෙතෙක් පැවතියේ "Last seen" සැකසුම සඳහා පමණි.

ඇලන් ටියුරින් ආයතනයේ පර්යේෂණ සහකරුවෙකු වන ජැනිස් වොං බීබීසී පුවත් සේවයට පැවසුවේ, "පරිශීලකයින්ට වැඩි පාලනයක් ලබා දීම සැමවිටම සතුටක්. පරිශීලකයින්ට එයට කැමතියි වගේම පරිශීලකයින් වැඩි පාලනයක් ලැබිය යුතු යි."

නමුත් පරිශීලකයින්ව නව විශේෂාංග භාවිතා කිරීමට පොළඹවන්නේ නැත්නම් හෝ ඇප් එක තුළ ඒවා ඇති ස්ථාන පිළිබඳව සම්පූර්ණයෙන් දැනුවත් නොකළහොත් ඒවායේ වාසිය සීමා සහිත විය හැකි බව ඇය සඳහන් කළාය.

"ඒක default ලෙසම ලැබෙන්නේ නැත්නම් හෝ පරිශීලකයන්ට සැකසුම් නැවත පරීක්ෂා කරන්නැයි ඉල්ලා සිටින්නේ නැත්නම් ඒවා දෙන එකේ තේරුමක් නැහැ. මොකද, එහෙම එකක් කරන පුළුවන් බව එතකොට පරිශීලකයන් දන්නේ නැහැනේ," ඇය කියයි.

 126247473 96cf7cfa 6477 4b1f bc71 72c3ef44f865.png

Family Centre හරහා දෙමව්පියන්ට තම දරුවා යහළුවන් සේ එකතු කරගෙන ඇත්තේ කවුද, කතා කරන්නේ කාටද යන්න දැකිය හැකි නමුත් කතා කරන්නේ මොනවාද යන්න දැකිය නොහැක.

Snapchat වෙත ළමා ආරක්ෂාව

අඟහරුවාදා (ඊයේ), Snap විසින්ද Snapchat වෙත ක්ෂණික ඡායාරූප බෙදාගැනීම් සඳහා නව විශේෂාංග ඇතුලු තවත් යාවත්කාලීන ලැබෙන බව නිවේදනය කළේය.

සමාගම විසින් Family Centre විශේෂාංගයක් දියත් කර ඇති අතර, එමඟින් තම දරුවන්ගේ ක්‍රියාවන් පිළිබඳව දෙමාපියන්ට අධීක්‍ෂණය කිරීමට ඉඩ ලැබෙන නිසා ළමා ආරක්ෂණ පහසුකම් බලාත්මක වේ.

කෙසේ වෙතත්, මෙය ක්‍රියාත්මක වන්නේ දෙමාපියන් සහ Snapchat පරිශීලකන් යන දෙපාර්ශවයම මෙම අධීක්ෂණය සඳහා එකඟතාව පළ කළහොත් පමණි.

Family Centre හරහා දෙමව්පියන්ට තම දරුවා යහළුවන් සේ එකතු කරගෙන ඇත්තේ කවුද, කතා කරන්නේ කාටද යන්න දැකිය හැකි නමුත් කතා කරන්නේ මොනවාද යන්න දැකිය නොහැක.

Snapchat හි ආරක්ෂාව පිළිබඳ ගෝලීය ප්‍රධානී ජැකලීන් බෝෂර් පැවසුවේ Family Centre මඟින් දෙමාපියන්ට "ඔවුන්ගේ යොවුන් වියේ දරුවන්ගේ අන්තර්ජාල ජීවිතයට පිවිසුමක්" සපයන බවයි.

"අපි දන්නවා දෙමව්පියන්ට තමන්ගේ තරුණ දරුවන්ගේ ඔන්ලයින් ජීවිතය කොතරම් වැදගත් ද කියලා" ඇය පවසයි. "අපි හිතනවා මේ විශේෂාංගවලින් තරුණ දරුවන් මෙන්ම දෙපාපියන් දෙගොල්ලොම ප්‍රතිලාභ ලබමින් අන්තර්ජාල ආරාක්ෂාවට සහ යහපැවැත්මට ඉඩක් ලැබේවි කියලා."

ඇප් එක තුළ ඇති මෙම Family Centre එක හරහා දෙමව්පියන්ට තම දරුවා සමඟ අනවශ්‍ය ලෙස සම්බන්ධ වන්නන් වාර්තා කිරීමට ද හැකියාව තිබේ.

එළඹෙන සරත් සෘතුවේ සිට, යොවුන් පරිශීලකයින්ට ද ඕනෑම සැක සහිත ගිණුමක් හෝ අන්තර්ගතයක් පිළිබඳව තම දෙමාපියන්ට දැනුම් දීමට ද හැකි වනු ඇත.

BBC සේවය

ලියුම් වැඩෙත් නැගලම යයි : රනිල්ගෙන් අනුරටත් ලියුමක් !

සර්ව පාක්ෂික පාලනයක් වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජවිපෙ , ජාතික ජනබලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අතර සාකච්ඡාවක් සඳහා ඊයේ (09) දින නියමව තිබූ නමුත් අවසන් මොහොතේ එම හමුව අවලංගු විය.

එහෙත් අදාළ සාකච්ඡාවට සම්බන්ධ සිය යෝජනා ඇතුළත් ලිපියක් ජාතික ජනබලවේගය පක්ෂය විසින් ජනාධිපති වික්‍රමසිංහ වෙත යොමුකර තිබිණ .

මේ අතර වාර්තා වන්නේ ඊයේ ජාතික ජනබලවේගය පක්ෂය යොමුකළ ලිපියට ජනාධිපතිවරයා අද (10) ම ප්‍රතිචාර දක්වා ඇති බවය.

ඒ අනුව සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකට ලිපියක් යවමින් සඳහන් කර ඇති බව වාර්තා වෙයි .

සර්ව පාක්ෂික පාලනයක් ඇති කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තමා විසින් යොමු කරන ලද ලිපියට පිළිතුරු ලිපිය ලැබුණු බවත් එම පිළිතුරු ලිපියේ සඳහන් කරුණු ගැන විශේෂ අවධානය යොමු කළ බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි .

"අදාළ සාකච්ඡා සඳහා සම්බන්ධ නොවීමට ඔබ විසින් ගෙන ඇති තීරණයට මගේ කණගාටුව පළ කරමි"යනුවෙන්ද ජනාධිපතිවරයා අනුර දිසානායකට යැවූ ලිපියේ සඳහන් බව ලංකාදීප පුවතක සඳහන් වෙයි.

සාකච්ඡාව නැවතුණේ අන්තිම මොහොතේ !

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ ජනාධිපති වික්‍රමසිංහ සූක්ෂම ආකාරයට සියලු පාර්ශ්ව සර්ව පාක්ෂික පාලනය වෙත කැඳවන බවක් පෙන්නුම් කරන බවයි.

ඒ අර්බුදයට පිළියම් යෙදීමේදී බරපතළ ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුකිරීම අනිවාර්යයක් බවත් ඒ තුළ ලංකා ආර්ථිකය ව්‍යුහාත්මකව වෙනස් වනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැකි බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

ඊට උද්ඝෝෂණ , විරෝධතා වෙනුවට සාකච්ඡාව , සම්මුතිය ඔස්සේ ප්‍රවේශය ගැනීමට ගන්නා උත්සාහයක් ලෙසත් දේශපාලන විචාරකයන් මේ ලිපිහුවමාරුව හඳුන්වයි.

පළාත් සංවර්ධනය විධිමත්ව පවත්වා ගෙන යන්න : ආණ්ඩුකාරවරුන්ට ලිපියක් !

පළාත් සභා ක්‍රියාත්මක නොවන පසුබිම තුළ පළාත් පරිපාලන හා සංවර්ධන ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වාගෙන යාම මෙන්ම පළාත් සභාවේ වියදම් කළමනාකරණය පිළිබඳ වගකීම ආණ්ඩුකාරවරුන් වෙත පවරා ඇති බව වාර්තා වෙයි .

මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක සියලු පළාත් ආණ්ඩුකාරවරුන් වෙත මේ පිළිබඳ ලිඛිතව දැනුවත් කර ඇති බවත් වාර්තා වෙයි .

වර්තමාන අභියෝගාත්මක කාලසීමව තුළ රාජ්‍ය වියදම් කළමනාකරණය කරමින් මහජන සේවා ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාම අතිශයින් වැදගත් බවත් , පළාත් සභා පරිපාලනය, සංවර්ධන කටයුතු හා පළාත් සභා වියදම් කළමනාකරණය කිරීමේදී ජාතික ප්‍රතිපත්ති හා ප්‍රමුඛතා සමග අනුගතව කටයුතු කිරීම මෙන්ම ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා සපුරාලීම ඉතා වැදගත් බවත් එම ලිපියේ අවධාරණය කර ඇත .

එහිදී තම පළාතේ සංවර්ධන ප්‍රමුඛතා හඳුනා ගැනීමේදී මෙන්ම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුකාරවරු පළාතේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ජනාධිපති කාර්යාලය සමග මනා සම්බන්ධීකරණයක් පවත්වා ගත යුතු බවත් ලිපියෙන් දන්වා ඇත.

ඒ අනුව අවම වශයෙන් දෙසතියකට වරක් තම පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡාවක් පවත්වා පළාත් සභාව හරහා ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන කටයුතු පිළිබඳ නිරන්තර කථිකාවක් පවත්වා ගැනීමට කටයුතු කරන ලෙසත් දැනුම් දී තිබේ.

මෙම අසීරු කාලවකවානුව තුළ ජාතික ඉලක්ක සපුරා ගැනීම සඳහා ආණ්ඩුකරුවන් දක්වන දායකත්වය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධානයෙන් පසුවන බව ද ජනාධිපති ලේකම්වරයාගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

රට කොහෙටද ගෙනියන්නේ ? මෛත්‍රීපාලට ප්‍රශ්නයක් !

" රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව අපි බලාපොරොත්තු වුණේ මීට වඩා ජාතික එකඟතාවයක් පොදු එකඟතාවයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කතාකළා සර්ව පාක්ෂික ආණ්ඩුව සහ එම ආණ්ඩුවෙ වැඩපිළිවෙළ පිළිබඳව සහ ව්‍යුහය පිළිබඳව විග්‍රහයක්. නමුත් ඒ පිළිබඳව පැහැදිලි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම පිළිබඳව අපි කණගාටු වෙනවා." යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි .

සමාජයීය, දේශපාලනික, ආර්ථික ප්‍රශ්න වෙනුවෙන් තම පක්ෂය ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය .

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කර සිටියේ අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .

විශේෂයෙන්ම අද දවසේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජාත්‍යන්තර සම්බන්ධතාවය පිළිබඳව. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඇගේ ධූර කාලය තුළ අපේ රටේ තිබුන හොඳම විදේශ ප්‍රතිපත්ති පැවතුනු කාලය. මුළු ලෝකෙන්ම අපිට උදව් උපකාර ලැබුණා. සුළු පරිමාණ, මහා පරිමාණ සෑම දේකටම සහයෝගය ලැබුණා. 2015 සිට 2019 වන තෙක් මාගේ කාලය තුළ දී වෙනත් නායකයන්ට වඩා ජාත්‍යන්තර සබඳතා තර කර ගැනීමට මා කටයුතු කරා.

ලෝකයේ හැම රටක්ම අපිට ඕනේ. ඇමෙරිකාවත් ඕනේ, එංගලන්තයත් ඕනේ, ජර්මනියත් ඕනේ, පිලිපීනය ඕනේ, ඉන්දියාවත් ඕනේ, චීනෙත් අපිට ඕනේ. ලෝකේ හැම රටක්ම අපිට අවශ්‍යයි. ඉන්දියාව අපේ දීර්ඝකාලීන මිත්‍රයෙක්. බුදුදහම පැමිණුනු දා සිට ඉන්දියාව අපේ මිත්‍රයෙක්. අපිට ගොඩක් උදව් කරා ඉන්දියාව හැම ප්‍රශ්නයකදීම ඉන්දියාව අපේ ලඟින් හිටියා. එල්ටීටීඊ යුද්ධය කාලේ ඉන්දියාව ගොඩක් අපට උදව් කරා.

චීනයත් ඒ වගේමයි චීනයත් දීර්ඝකාලීන අපේ මිත්‍රයෙක්. හැම ප්‍රශ්නයකදීම චීනය අපි සමග හිටියා. කොරෝනා කාලයේදී. සෑම කාලයකදීම චීනය අපිට උදව් කරා.ඒ කියන්නේ දීර්ඝකාලීන මිත්‍රයෙක්. චීනයේ අධිතාක්ෂණික නෞකාවක් ලංකාවට ඒමට තිබෙනවා. මෙම නෞකාවේ දෙදහක් පමණ කාර්ය මණ්ඩලයක් සිටිනවා. ඒ අයට ආහාර පාන ලබාදිය යුතුයි.

එම නිසා එම නෞකාව බරපතළ අර්බුදයකට ලක් වෙලා තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යවරයා වත් නොදැනුවත්ව මෙම ප්‍රශ්නය නිර්මාණය කරලා තියෙන්නේ.

අධිතාක්ෂණික උපකරණ වලින් යූවාන් වෑන්ග් 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට ශ්‍රී ලංකා රජයෙන් අවසර ඉල්ලන්නේ 2022 ජුනි මස 28 වෙනිදා. ශ්‍රී ලංකා රජය එයට අවසර ලබා දෙන්නේ 2022 ජුලි මස 12 වෙනිදා. මේ අනුව චීනයෙන් මෙම නෞකාව ජූලි මස 14 වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට පිටත් වෙනවා.

2022 අගෝස්තු මස 08 (පෙරේදා) නිල වශයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය මෙරට චීන තානාපති කාර්‍යාලයට දැනුම් දී තිබෙනවා නෞකාවේ ගමන ප්‍රමාද කරන ලෙසට. මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණීමට බලාපොරොත්තු වෙන්නේ අගෝස්තු මස 11 වැනිදා. චීනයේ සිට මහ මුහුදේ දින 24 ගිය පසුව නැවට එන්න එපා කියලා ශ්‍රී ලංකා රජය දැනුම් දෙනවා. ඒ වන විට ශ්‍රී ලංකාවට පැමිණීමට දින තුනක් පමණයි ඉතිරිව තිබුණේ.

මෙම නැවට අගෝස්තු 15වන දිනෙන් පසුව මෙරටට පැමිනෙන ලෙස වාචිකව විදේශ කටයුතු අමාත්‍යාංශය මෙරට චීන තානාපති කාර්‍යාලයට දැනුම් දී තිබේ.

එපමණක් නොව පාකිස්ථානයේ යුද නෞකාවක් වන PNS ටයි මූර් නෞකාව සිය මංගල ගමනේ එක් නැවතුම් පොළක් ලෙස අගෝස්තු 12 වෙනිදා කොළඹ වරායට පැමිණීමට නියමිතයි. මෙම නෞකාවත් චීනයේ නිෂ්පාදිත නෞකාවක්. මෙම නෞකාව කොළඹ වරායට පැමිණෙන්නේ චීනයේ සිටයි.

පාකිස්තාන නෞකාවට කිසිදු බලපෑමක් නොකිරීමටත්, චීන නෞකාවට පැමිණීම ප්‍රමාද කරන ලෙසත් දැන්වීම රටවල් අතර තවත් රටක් හෑල්ලුවට ලක්කරීමක් නෙවෙයිද? 11 සහ 12 පැමිණීමට නියමිත නෞකා දෙකම චීනයේ නිෂ්පාදිත නෞකාවන්.

ජූනි මාසය මුලදී රුසියානු ගුවන් සමාගමට අයත් එරෝෆ්ලෝට් ගුවන් යානයක් අධිකරණ නියෝගයක් අනුව ශ්‍රී ලංකාවේ රඳවා ගැනීම මත රුසියාව සමග තිබූ සබඳතාවය පළුදු වුණා.

මෙම ප්‍රශ්නයට මා මැදිහත්වී ජුනි මස 05 වන දින රුසියානු ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඉල්ලීමක් කරා ශ්‍රී ලංකාවට රුසියානු ගුවන් යානා පැමිණීම අත්හිටවීමේ නියෝගය ඉවත්කරන ලෙස. රුසියානු ජනාධිපතිවරයා කඩිනමින් එයට පිළිතුරු එවා තිබුණා. එහි ඇතුලත් කොන්දේසි මාධ්‍යයට හෙළි නොකර එවකට ජනාධිපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව මා විසින් එය බාර දෙන ලදී.

2015දී මා ජනාධිපති වන කාලවකවානුවේදී ජාත්‍යන්තර සබඳතා ඉතාමත් පහළ මට්ටමකට වැටී තිබුණා. විවිධ මට්ටමේ සම්බාධක අපේ රටට පැනවී තිබුණා GSP ප්ලස් බදු සහනය අහිමි වී තිබුණා.

යුරෝපයට මත්ස්‍ය අපනයනය සම්පූර්ණයෙන් නැවතී තිබුනා.

ත්‍රිවිධ හමුදාවට සමහර රටවල යුද පුහුණුව සහ අධ්‍යාපනය තහනම් වී තිබුණා.
රාජ්‍ය නායකයන්ට විදේශ රටවලට ගමන් කිරීමට පවා නොහැකි තත්ත්වයක තිබුනේ. හමුදා නිලධාරීන්ට ලෝකයේ ප්‍රධාන රටවලට ඇතුල්වමට විසා බලපත්‍ර නොලැබීමේ තත්වයක රට තිබුණේ.

මම සම්පූර්ණයෙන්ම එම තත්ත්වය වෙනස් කරමින් මේ රටට නැවතත් ලෝකේ පිළිගත හැකි රාජ්‍යයක් බවට පත්කරා. එංගලන්තේ බකිංහැම් මාලිගය ද, ඇමරිකාවේ ධවල මන්දිරය ද, රුසියාවේ ට්‍රිම්ලිනයද, චීන ජපාන කොරියා ජර්මනිය ඉන්දියාව ඇතුළු මුළු ලෝකයේම සියලු මහාද්වීප ආවරණය වන පරිදි මේ රටේ මිනිසුන්ට පිළිගැනීම නැවත මා ඇති කරා. නමුත් 2019න් පසු බොහෝ රටවල් අපෙන් ඈත් වුණා.

දමිළ ඩයස්පෝරාවේ අය හට පසුගිය කාලයේ මෙරට ආයෝජණය කිරීමට හිටපු ජනාධිපතිවරයා ආරාධනා කලත්, හිටපු ජනාධිපතිතුමා ධූර කාලය තුල එකඳු දිනයක්වත් යාපනය අර්ධත්වීපයට ගියේ නැත.

පළමුව ජපාන මොනෝරේල් ව්‍යාපෘතිය නතර කිරීමෙන් ජපානය අපට අහිමි වුණා.

කොරෝනා වැළඳී මිය යන පුද්ගලයන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් භුමදානය කිරීමට අවසර ලබාදී තිබියදී පටු දේශපාලන වුවමනාවන් මත ලෝකයේ බොහෝ රටවල් භූමදානය සිදුකරද්දී එයට ඉඩ නොදී මුස්ලිම් රටවල් බොහොමයක් අපි තරහා කර ගත්තා. අඩුමගානේ එයට අවසරදී එලෙස විය යුතුයි කියා ශ්‍රී ලංකාවේ කෙනෙක් කතා කරන්නත් බය උනා. ඒ මොහොතේ මම පමණයි මුස්ලිම් ජනතාවට එම අයිතිය දිය යුතුයි කියලා කතාකල එකම සිංහල නායකයා. මාස ගණනකට පසු මානව හිමිකම් කවුන්සිලයෙන් ප්‍රශ්න ඇතිවෙයි යන බිය මත අවසර ලබා දුන්නා. ඒ වෙන විට වෙන්න ඕන ටික සිදු වෙලා අවසන්.

කටාර් රාජ්‍යයේන් මෙරට දරුවන්ට ආධාර කිරීමට ස්ථාපිත කර තිබූ අරමුදල තහනම් කිරීමෙන් එම රාජ්‍යයත් අපට නැති කරගත්තා. එම අරමුදල නැවත විවෘත කෙරේ තෙල් ඉල්ලන්න මීට මාස කීපයකට කලින් අපේ දූත පිරිසක් එහි ගිය අවස්ථාවේ ඔවුන් කළ ඉල්ලීමකට අනුවයි.

රුසියාවේ හොඳ හිත පළුඳු කරගත්තා. චීනයේ හොඳ හිත දැන් නැති කරගන්නවා. 2019 සිට මේ දක්වා මෙරටට විදෙස් රාජ්‍ය නායකයෝ කීදෙනෙක් පැමිණියාද? අසල්වැසි ලගම මිතුරා ඉන්දියාවේ රාජ්‍ය නායකයා වන නරේන්ද්‍ර මෝදි මහතා වත් මෙරටට පැමිණියේ නෑ. නරේන්ද්‍ර මෝදි ජනාධිපතිතුමා මගේ කාලය තුළදී 4 වතාවක් මෙරටට පැමිණියා. වතුකරයේ ජනතාවට නිවාස පනස් දහසක් ලබාදීමට කටයුතු කරා. සුවසැරිය ගිලන් රථ සේවය ලබා දුන්නා. තවත් ආධාර රාශියක් ලබා දුන්නා.

චීනයෙන් ආනයනය කරන ලද චින්දාවෝ බයෝටෙක් සමාගමට අයත් කාබනික පොහොර ප්‍රතික්ෂේප වීම හා එම පොහොර ප්‍රවාහනය කල හිපෝ ස්පිරිට් නෞකාවට වන්දි ගෙවීම් වැනි කාරණා නිසාවෙන් චීනයේ හොද හිත තවදුරටත් පළුඳු විය.

එයින් වුණු භයානකම පාඩුව නම් මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකුවක් ජාත්‍යන්තරයේ අසාදු ලේඛණගත වීමයි.

චීන ජනාධිපතිතුමා සී ජිං පින් මහතා දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල මෙරටට ත්‍යාග කලා. ශ්‍රී ලංකා පොලිසියට ජීප් රථ 250ක් පරිත්‍යාග කරා. මම බලයේ සිටිද්දී එයින් ජීප් රථ 100ක් ලබාගත්තා. ඉතුරු රථ150ක් ලබා ගැනීමට මගෙන් පසුව බිහිවූ ගෝඨාභය රාජපක්ෂ රජයට හැකි වුණේ නැහැ.

2018දී ඇතිවූ පොහොර ප්‍රශ්නයේදී පාකිස්තානයේ ජනාධිපතිතුමා සතියෙන් පොහෙර නැවක් එවලා පොහොර ප්‍රශ්නය විසඳන්න උදව් කළා. එහෙම බැඳීමක් අපට තිබුණා.

ඉන්දියාවෙන් මෙරටට තෛභාෂා පුහුණු පාසලක් පරිත්‍යාගයක් ලෙස ලැබුණා.

නෙදර්ලන්ත රජයෙන් තාක්ෂණික පුහුණු පාසලක් පරිත්‍යාගයක් ලෙස ලැබුණා. එහි වැඩ තවමත් අවසන්ව නැත.

කටාර් රාජ්‍යයත්, ඉරාන රාජයාත් බොහොම ළඟින් අපට උදව් කළා. මුස්ලිම් රටවල් බොහොමයක් ගෙවුණු වසර දෙකේදී අපි නැවතත් ඈත් කරාගත්තා.

ඇමරිකාව,ජපානය,පිලිපීනය,කොරියාව,එංගලන්තය,පකිස්තානය,ජර්මනිය වගේ හැම රටක්ම මගේ කාලේදී අපට ආධාර දුන්නා.

මෙරට පවතින විදේශ තානාපති කාර්යාලයන්ගෙන් ප්‍රධාන කිහිපයක්ම මෙරටින් ඉවත්ව යෑමේ අවධානමක් මේ වන විට ඇතිව තිබේ.

නැවතත් මුල සිට ජාත්‍යන්තර සබඳතා ගැන සිතා බලන්නට කාලය එළබ ඇත. නිසියාකාරයෙන් ජාත්‍යන්තර සබඳතා අප කළමනාකරණය නොකර ගතහොත් ඉතාමත් නරක තැනකට මේ රට පත්වනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් සභාව, යුරෝපා සංගමය සහ ලෝකයේ සියලු රටවල් සමඟ හොඳ හිත තබා ගත්තේ නැත්නම් ස්ථීර වශයෙන්ම අපේ රටට මෙම අර්බුදයෙන් ගොඩ ඒමට හැකියාවක් නැහැ. සියලු රටවල් සමඟ ඉතා මිත්‍රශීලීව කටයුතු කරගත යුතුයි. මේ මොහොතේ ජාත්‍යන්තර සබඳතාව අතිශයින්ම වැදගත් වෙනවා. වහාම විදේශ රටවල් අපේ රට සමඟ ඈත්වෙන වැඩ කටයුතු වළක්වාගත යුතුයි.

රට කරවන්නේ කොහොමද : එරානුත් ආණ්ඩුවට උපදෙස් දෙයි !

ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින අර්බුදවලට විසඳුම් සෙවීමට සහාය දෙන බහුපාර්ශ්වික ආයතනවල න්‍යාය පත්‍රවලට එකඟ වීමෙන් පමණක් රටේ අර්බුද විසඳිය නොහැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න අවධාරණය කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පවත්වන විට ඔවුන්ගේ න්‍යාය පත්‍රය අනුව පමණක් නොව අපේ න්‍යාය පත්‍රය ද සාකච්ඡාවට බදුන් කිරීමට රජය උපාය ශීලී විය යුතු යැයිද කීය

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාෂය පිළිබඳව පාර්ලිමේන්තුවේ අද අග්ගෝස්තු 10 පැවති විවාදය අමතමින් ඉරාන් වික්‍රමරත්න මහතා එසේ පැවසීය.

එහිදී වැඩි දුරටත් කථා කළ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට විදුලි ගාස්තු සංශෝධනය කරන්නට උපදෙස් දී තිබෙනවා. ඛනිජ තෙල් සංස්ථාවේ ශේෂ පත්‍රය ප්‍රතිව්‍යූහ ගත කරන්නත් කියනවා. විදේශ ණය පරිමිතිය - ප්‍රමාණය විශාල කරන්නට ද කියනවා. අපේ මුළු ණය ප්‍රමාණයෙන් විදේශ ණය 30 % පමණ වෙනවා.

ප්‍රශ්න විසඳීමට ආධාර දීමට එකඟ වන වෙනත් පාර්ශ්වයන් සමඟ ගනු දෙනු පිළිබඳව සාකච්ඡා කිරීමට සිදු වේ. ලංකාවට තිබෙන සුවිශේෂී ප්‍රශ්ණය ඩොලර් නැතිවීමය. අය වැය සම්බන්ධ මූල්‍ය හා ගෙවුම් ශේෂය පිළිබනධව ද ප්‍රශ්ණ තිබෙනවා. එහෙත් අපට බැංකු පිළිබඳ ප්‍රශ්ණයක් නැහැ. අපි අපේ බැංකු පද්ධතිය ආරක්ෂා වන විදිහට සාකච්ඡාවල නිරත නොවන්නේ නම් තවත් අර්බුදයක් උද්ගතවීම වැළක්විය නොහැකියි .

විශේෂයෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනාව ලංකාව කිසිසේත් සැලකිය යුතු නැතැයි ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

 අපි ඒ ස්ථාවරයෙ දැඩිව සිටිය යුතුයි. නැතිනම් එක ප්‍රශ්ණයක් විසඳන්නට යෑමේදී තව ප්‍රශ්ණයකට රට තල්ලුවන්නට පුළුවනි.

බැංකු අර්බුදයක් ඇතිවුවහොත් එය විසඳන්නට තවත් දශකයක් ගතවනු ඇතයි මන්ත්‍රී වරයා කීය.

අප මුහුණ දෙන ආර්ථික අර්බුදය තුළ ණය පිළිබඳව විශාල ගැටලුවක් පෙනෙන්නට තිබෙනවා.රාජ්‍ය ණය පිළිබඳ රජයේ සංඛ්‍යා ලේඛණ අනුව චීනයෙන් ලැබුණු ණය ප්‍රතිශතය 10 % යැයි සඳහන්.ආසියානු සංවර්ධන බැඔකුවෙන් 13% යි, ලෝක බැංකුවෙන් 9 % ස්වෛරීත්ව බඳුම්කර ප්‍රමාණය (ඇයි එස් බී)47%, ජපානයෙන් 10 % ඉන්දියාවෙන් 2% අනෙක් සියලු රටවලින් 9% ලෙස සඳහන් වෙනවා.

එහෙත් සැබැවින්ම චීනයෙන් ඊට වැඩියෙන් ලැබී තිබෙන බව සංඛ්‍යා ලේඛණ වලින් ඔප්පුවේ. චයිනා එක්සිම් බැංකුවෙන් රාජ්‍ය ආයතනවල සෘජුව දී තිබෙන බැවින් ඒවා රජයේ ණය ලෙස රජය වාර්ථා කර නොමැත. රාජ්‍ය සංස්ථාවලට ලබා දී තිබෙන මේ ණය ද රජයේ ණය වන අතර මේවා ආපසු ගෙවන්න වෙන්නේත් ‍රජයටමයි.

ඒ වගේම විදේශ මුදල් වාරික මූල්‍යකරණයේ දී (Foreign Currency Financing) චයිනා ඩිවෙලොප්මෙන්ට් බැංකුවට ගෙවිය යුතු මුදල ද රාජ්‍ය ණය ලෙස ඇතුළත් කර නැත.එසේ බලන කල චීනයෙන් ලැබුණු මුළු ණය ප්‍රමාණය 20 % පමණ වෙනවා.

අපේ අර්බුදයේ විශාලත්වය පැහැදිලි කරන තවත් කරුණු පෙනෙන්නට තිබේ.කටුනායක ගුවන් තොටුපොළේ දෙවන පර්යන්ත ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතියට ජපානයේ ජයිකා ආයතනය පොරොන්දු වූ ඩොලර් මිලියන 570 ක සහන ණය ආධාරය නතර කර තිබෙන අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ පලමු අදියර වන කඩවත සිට මීරිගම දක්වා මාර්ග ඉදිකිරීම සඳහා චීනයේ එක්සිම් බැංකුවෙන් දෙන ලද ඩොලර් මිලිය 51 ක ණය ආධාරයද නවතා ඇතැයි වාර්ථාවෙනවා.

ඒ වගේම සාර්ව ආර්ථික ස්ථාවර භාවයක් ඇති කරන තෙක් ශ්‍රී ලංකාවට ණය නොදෙන බවට 2022 ජුලි 29 වන දින ලෝක බැංකුව නිවේදනය කළා. මෙවන් අර්බුද මැද රටේ ප්‍රශ්න විසඳ ගන්නේ කෙසේ ද යැයි රජයෙන් අසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට විදුලි ගාස්තු සංශෝධනය කරන්නට උපදෙස් දී තිබෙනවා. ඛනිජ තෙල් සංස්ථාවේ ශේෂ පත්‍රය ප්‍රතිව්‍යූහ ගත කරන්නත් කියනවා. විදේශ ණය පරිමිතිය - ප්‍රමාණය විශාල කරන්නට ද කියනවා. අපේ මුළු ණය ප්‍රමාණයෙන් විදේශ ණය 30 % පමණ වෙනවා. මෙහිදී අවදානමක් ගැන සඳහන් කිරීමට කැම්තියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන විට, ඔවුන්ගේ න්‍යාය පත්‍රය පමණක් අනුගමනය කිරීමට එකඟ වීම වෙනුවට අපගේ න්‍යාය පත්‍රය සාකච්ඡාවට ඇතුළත් කිරීමට රජය උපායශීලී විය යුතුය.

ජනාධිපති තුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය පිළිබඳව අවධානය යොමු කරමින් ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

“අල්ලස දූෂණය හා වංචාව මේ සමාජයෙන් මුළුමණින් තුරන් කිරීම අනිවාර්‍ය කාරණයක්. අල්ලස හා දූෂණය මැඩලීමේ ජාතික ප්‍රතිපත්තියක් මම ක්‍රියාවට නංවනවා, ජා.මූ. අරමුදල සමඟ දූෂණ මැඩලීමටත් එළඹෙනවා” යැයි එම ප්‍රතිපත්ති ප්‍රකාශණයෙන් ප්‍රකාශ කළා.

එහෙත් අපේ රටේ දූෂණය පිළිබඳව තිබෙන සංස්කෘතියෙන් බැහැර වීම කළ හැක්කේ කෙසේ ද. මේ සංස්කෘතියට ප්‍රධානතම හේතුව අල්ලස හා දූෂණයයි. ජනපති තුමා බැංකු හොරා කියලා වත්මන් අගමැති තුමත් එදා කිව්වා.

දශක හතරක කාලයක ඉතිහාසය අධ්‍යයන කරන විට පැහැදිළි වන කරුණ නම් ප්‍රජාතන්ත්‍රවාදය, ආගම්වාදය, ජාතිවාදය හා ජාතික ආර්ක්ෂාව කියමින් වචන ඉස්සරහට දාගෙන දේශපලනඥයන් හා ඉහල නිලධාරීන් දම්වැල් පුරුක් වගේ අඩු වැඩි වශයෙන් මේ රටේ මහජන මුදල් කෙතරම් කොල්ල කෑවා දැයි සොයා ගන්නට ක්‍රමය්ක් නැත.

 රට හදන්නට නම් වෘත්තිය වේදීන්ද ඉදිරිපත්විය යුතුයි !

 චෝදනාවලට ලක්වන තම සහචර නිලධාරීන්ව දේශපාලනඥයන් ආරක්ෂා කරනවා, නිලධාරීන් තම හාම් පුතා ආරක්ෂා කරනවා. නිලධාරීන් තම සේවා යෝජකයන් වන දේශපාලනඥයන් ආරක්ෂා කරයි. සහ ඉතිහාසය පුරාවටම මෙම දෙපාර්ශ්වය දෙක ආත්ම බන්ධනයක් හරහා නීතියේ හිඩැස් හරහා රිංගා යන අයුරු දැකගත හැකි වූ අතර රට ගොඩනැගීමට දේශපාලකයන්ට අමතරව වෘත්තිකයන් ද ඉදිරිපත් විය යුතු බව ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.

මාස කිහිපයකට තෙල් පිරිපහදුවේ කෝටි 300ක අතිකාල ගෙවලා !

තෙල් පිරිපහදුවේ සේවකයන් සඳහා පසුගිය මාස කිහිපයේදී අතිකාල දීමනා ලෙස රුපියල් කෝටි 250 ත් 300 ත් අතර ප්‍රමාණයක් ගෙවා ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (10) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම අතිකාල දීමනා ගෙව්වේ කාට දැයි සොයා බලා ගෙන යන බව පැවසූ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද සඳහන් කළේය.

අතිකාල දීමනා ගෙවීම තවදුරටත් කළමනාකරණය කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසුවේය.

අමාත්‍යවරයා මෙසේ පැවසූවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා :

වහලා තිබුණු තෙල් පිරිපහදුවේ සේවකයන්ට රුපියල් කෝටි 40 ක දීමනා ගෙවලා තියෙනවා කියලා ආරංචියි. ඒක ලොකු අපරාධයක්.

අමාත්‍ය කංචන විජේසේකර :

පුවත්පත්වල මේ ගැන තොරතුරු සඳහන් වුණාම මම මේ ගැන සොයල බැලුවා. ඛනිජ තෙල් සංස්ථාවේ මූල්‍ය කළමනාකරුගෙන් විමසුවා. ඒ සේවකයන්ට අතිකාල දීමනා විදිහට කෝටි 250 ත් 300 ත් අතර ප්‍රමාණයක් ගෙවලා තියෙනවා කියලා ඔහු දැනුම් දුන්නා.

පිරිපහදුව මාර්තු අප්‍රේල් මාසවල වැහුවේ නෑ. ඒක වැහුවේ පසුගිය මාසේ විතරයි. දින හතම ඉන්ධන නිකුත් කළා. ඉතින් ඒ සේවකයන්ට අතිකාල දීමනා ගෙවන්න වෙනවා. ගෙවීම් යම් මට්ටමකට කළමනාකරණය කරගෙන තිබුණා.

(මූලාශ්‍රය lankadeepa )

Page 295 of 465