පුවත්

තවත් වසර පහකට රනිල් ජනාධිපති කළ යුතුයි - රුවන්
රට හරි තැනකට ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ තව වසර පහකට රටේ මුල් පුටුවේ සිටිය යුතු බව දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසයි.
2048 වසර වන විට මේ රට සංවර්ධිත රටක් බවට පත්කිරීම වෙනුවෙන් මේ වන විටත් ජනාධිපතිවරයා අඩිතාලම දමාගෙන යන බවද ඔහු සඳහන් කළේය.
දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මේ බව සඳහන් කර සිටියේ පසුගියදා කටුවනදී පැවැත්වූ එක්සත් ජාතික පක්ෂ මුල්ගිරිගල ආසන බලමණ්ඩල රැස්වීම අමතමින්ය.
මුල්ගිරිගල එජාප ආසන සංවිධායක ආනන්ද කුලරත්න මෙම රැස්වීම සංවිධානය කර තිබු අතර රැස්ව සිටි පිරිස අමතමින් ඔහු මෙසේද පැවසීය.
‘අභියෝග බාධා මැද පක්ෂයට විශාල සේවයක් කළ නායකයෙක් මෙතුමා. මේ මුල්ගිරිගල ආසනය ඇතුලු හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට විශාල සේවයක් කල නායකයෙක් විදියට ආනන්ද කුලරත්න මැතිතුමා හැදින්විය හැකියි.
පක්ශය පවා නොදි නායකත්වය සමග රැදී සිටිමින් නිහතමානි නායකයෙක් ලෙස එතුමා කටයුතු කරා. මේ රටේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති වල මුල් අඩිතාලම යොදමින් එතුමා මේ රටට විශාල සේවයක් කරලා තියෙනවා.
දැන් අපේ පක්ෂය ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න කාලය ඇවිත් තිබෙනවා.ගිය වර්ෂයේ අප්‍රේල්, මැයි මාසවල අපි තෙල් පෝලිම්, ගෑස් පෝලිම් වල හිටියේ අපට සිංහල හා දමිළ අවුරුද්ද,වෙසක් සහ පොසොන් උත්සව නිදහසේ සමරන්න අවස්ථාව තිබුණේ නෑ,රට බංකොලොත් වෙලා දැඩි දේශපාලන අස්ථාවර භාවයකට මුහුණ දීලා හිටියේ.
එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වුණා. ගෝඨාභය මැතිතුමා පළමුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට අගමැති ධූරය බාර ගන්න ඇරයුම් කරා.ඒත් එතුමා කොන්දේසි මාලාවක් ඉදිරිපත් කරලා අගමැති ධුරය භාර ගැනීම ප්‍රතික්ෂේප කරා.ඉන්පසුව ගෝඨාභය මහත්තයාගේ උපදේශකවරු එතුමාට පැවසුවා ආර්ථික අර්බුදයට කළමනාකරණය කළ හැකි සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා බව. ඒ අනුව ගෝඨාභය මැතිතුමාගෙන් ලද ඇරයුම පිළිගෙන රනිල් මැතිතුමා අපේ පක්ෂ ජේශ්ඨයින් සමඟ සාකච්ඡා කරලා 2022 මැයි 12 අගමැති ධූරය බාරගත්තා.
දැන් එතුමා IMF සමඟ සාකච්ඡා කරලා රටේ ආර්ථිකය නැවත ගොඩනැගීමේ වැඩපිළිවෙළ එතුමා පියවරෙන් පියවර ඉදිරියට අරන් යනවා. රටේ ආර්ථික ප්‍රශ්න 100% ක් විසඳලා අවසන් වෙලා නෑ. ඒත් රනිල් මැතිතුමා පසුගිය වසරක කාලය තුළ රටේ ආර්ථිකය නැවත ප්‍රකෘතිමත් කරන්න සාධණීය ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. ජුනි මස විදුලි බිලෙන් ජනතාවට දැනෙන සහනයක් ලබාදීමට අපේක්ෂිතයි. ඒ වගේම මේ අවුරුද්ද අවසානයේ එතුමා රටේ ජනතාවට සහන රැසක් ලබාදීමට නියමිතයි. කෙතරම් ආර්ථික ගැටලු තිබුණත් එතුමා රටේ දිළිඳු ජනතාව අමතක කළේ නැහැ. ඔවුන්ට සහල් සහනාධාරය,රු. 5000 දීමනාව වැනි සහන ලබා දීලා ඔවුන්ගේ ජීවන තත්ත්වය සුරක්ෂිත කරා.
රනිල් මැතිතුමා තව වසර 5කට රටේ මුල් පුටුවෙ ඉන්න ඕන රට හරි තැනකට ගැනීම සඳහා. 2048 මේ රට සංවර්ධිත රටක් බවට පත් කරන්න එතුමා දැන් අඩිතාලම දාගෙන යනවා.
මේ රටේ ඉතිහාසය දිහා බැලුවොත් අපට නිදහස ලබා දුන්නේ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමා, මේ රට කෘෂිකාර්මික විප්ලවයකට යොමුකරමින් බත් දුන් පියා ලෙස විරුදාවලිය ලැබුවේ ඩඩ්ලි සේනානායක මැතිතුමා,මේ රටට විවෘත ආර්ථිකය හදුන්වා දුන්නේ ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා.මේ රටේ දුප්පත් අහිංසක ජනතාවට නිවාස හිමිකම් ලබා දුන්නේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාය.
මේ වගේ දැවැන්ත නායකයින් සිටිය රටේ ආර්ථිකය ගොඩනගපු පක්ෂය තමා එක්සත් ජාතික පක්ෂය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ සියලු පාර්ශව එකතු කරගෙන රටේ ප්‍රශ්න විසඳන අවස්ථාවේ එතුමාගේ කකුලෙන් අදින කණ්ඩායමක් තවම ඉන්නවා.
මේ රටේ නැවත ආගම් භේදයක් ඇති කරන්න තවත් කණ්ඩායම් සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන උත්සාහ ගන්නවා.එදා ඩී. එස්. සේනානායක මැතිතුමා මේ පක්ෂය හදලා සියලු බලවේග එක මිටට ගෙන නිදහස දිනාගන්න කටයුතු කල ආකාරයට රටේ සියලු පක්ෂ එකතු කරගෙන මේ රට හරි තැනකට ගන්න රනිල් මැතිතුමා උත්සාහ කරන්නේ. මේ රට සංවර්ධිත රටක් කරන්න නම් අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් එක මිටට එකමුතු විය යුතුයි .
ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසු පැවැත්වෙන මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට පැහැදිලි ජන වරමක් ලබාගැනීමට ඔබ තමුන් වහන්සේලාගේ සහය අපට අවශ්‍යයි. අපේ පක්ෂය හැරගිය පිරිස් නැවත පක්ෂය වටා මේ වන විට නැවත ගොනු වෙනවා. මුල්ගිරිගල ආසනයේ පක්ෂ සංවිධාන ශක්තිය පෙරටම ගෙන යෑමට ඔබතමුන් වහන්සේලා ආනන්ද කුලරත්න මැතිතුමාට නිබඳ සහයෝගය ලබා දෙන්න’

විකාශන නියාමන කොමිසම ගැන තවමත් තීරණයක් නෑ !
විකාශන නියාමන කොමිසම පිහිටුවීම පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සඳහන් කරයි.
ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා සදහා බලපත්‍ර ලබාදීම ප්‍රමිතියකින් යුතුව නියාමනය කිරීම සදහා ක්‍රමවේදයක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් මේ වන විට යෝජනා මාලාවක් පමණක් සකස් කර ඇති බවද අමාත්‍යවරයා පැවසූ අතර ඒ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.
ඉදිරියේදී මේ පිළිබදව සාකච්ඡා කර සුදුසු පරිදි පනතක් සකස් කිරීමට නියමිත අතර ඒ සඳහා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට තම යෝජනා අදහස් ඉදිරිපත් කළ හැකි බවත් ඊට අදාළව එළඹෙන 07 වනදා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

රාජකුමාරි මරණයේ විමර්ශන කඩිනම් කරන්නැයි නියෝගයක් !
පසුගියදා වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට පත්වීමෙන් පසුව රාජකුමාරි නැමැති කාන්තාවක් මරණයට පත්වූ බව සඳහන් සිදුවීමට අදාළ පරීක්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
ඒ අදාළ පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් පවසා ඇත්තේ මියගිය කාන්තාව අවසන් වශයෙන් රැඳී සිටි ස්ථානයේ CCTV දර්ශන ලබාදෙන ලෙස ඉල්ලීම් කළත් ඒවා මෙතෙක් ලබා දී නොමැති බවය.
ඒ අනුව අදාළ දර්ශන ලබාගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන මෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජුල පතිරාජ අධිකරණය අවිය කරන් දක්වමින් මියගිය තැනැත්තියගේ දේහය මඟදමා තිබියදී සොයා ගත් බව පොලිස් නිලධාරීන් ප්‍රකාශ කළ ද එසේ මෘත ශරීරයක් සොයාගත් විට අනුගමනය කළ යුතු නීතිමය ප්‍රතිපාදන පවතින බවද පැවසුවේය.
එවැනි දෙයක් සිදු වූ විට අධිකරණ පෝරම සම්පූර්ණ කිරීම, සාක්කු සටහන් යෙදීම, රෝහල් පොලිස් මුරපොළ දැනුවත් කිරීම වැනි කටයුතු කටයුතු සිදුකළ යුතු වූවත් මෙම සිද්ධියේ දී එවැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමක් සිදු වී නොමැති බවට සැක පහළ වී ඇති හෙයින් ඒ පිළිබඳව සොයා බලන නියෝගයක් නිකුත් කරන ලෙසද නීතිඥවරයා ඉල්ලා සිටියේය.
ඒ අනුව මියගිය කාන්තාව අවසන් වශයෙන් රැඳී සිටි ස්ථානයේ CCTV දර්ශන හා ජාතික රෝහලේ සටහන් ලබාගෙන විමර්ශන සිදුකරන ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ අතර එම විමර්ශනවල ප්‍රගතිය ලබන 21දා වාර්තා කරන ලෙස ද නියෝග කළේය.

ගුරු මාරු ගැන විශේෂ නිවේදනයක් !
2022 වර්ෂයේ ජාතික පාසල් ගුරු මාරු කිරීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති අතර ඊට අනුව 2021/12/31 වන දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස්ථාන මාරු ලිපි ලැබී ඇති සියලුම ගුරුවරු ජූනි මස 12 වනදා වන විට සේවා ස්ථානයට වාර්තා කළ යුතුව ඇත.
එසේම යම් ගුරුවරයෙකුට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්, සේවයට වාර්තා කිරීමෙන් පසු විදුහල්පති මඟින් අභියාචනය ගුරු මාරු අංශයට යොමු කළ හැකි බව ද අදාළ නිවේදනයේ සඳහන් වෙයි.
මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මාරු අංශයට පෞද්ගලිකව පැමිණීම අවශ්‍ය නොවන බව ද ගුරුවරුන්ට දැනුම් දී ඇත.
මේ අතර අභියාචනයට යොමු කළ අයදුම්පත් පිළිබඳ අභියාචනා තීරණය කඩිනමින් දැනුම් දෙන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

අවුරුදු 18 සම්පූර්ණ හැමෝම බදු ලිපිගොනු විවෘත කළ යුත්තේ ඇයි?
2024 ජනවාරි පළමු දින හෝ ඊට පසු වයස අවුරුදු 18ට එළඹෙන සියලු තැනැත්තන් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ බදු ලිපිගොනු විවෘත කළ යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනයකින් ප්‍රකාශ කෙරෙයි.
එයට අමතරව, වෛද්‍ය, ඉංජිනේරු, නීතීඥ, ගණකාධිකාරී, බැංකු, වාස්තු විද්‍යා ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක නියැලෙන තැනැත්තන් (ජුනි 1) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මුදල්, ආර්ථික ස්ථායිකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
අදාළ ගැසට් නිවේදනය අනුව මෙලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය වන පිරිස කවුද?
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ලියාපදිංචි සාමාජිකයින්
ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයින්
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයින්
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයින්
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයින්
ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනයේ සාමාජිකයින්
ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන්
ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයින්
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයින් (ත්‍රී රෝද රථ, මෝටර් බයිසිකල් සහ අත් ට්‍රැක්ටර් හැර)
ශ්‍රී ලංකාවේ නිශ්චල දේපළක් මිල දී ගෙන ඇති හෝ අත්පත් කරගෙන ඔප්පුවක් හුවමාරු කර ගෙන ඇති පුද්ගලයින්
මාසිකව සේව්‍ය සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රු. 20,000ට වැඩි දායකත්ව මුදලක් ඕනෑම පාරිතෝෂිත අරමුදලකට හිමිකම් කියනු ලබන සේවකයින්
දේශීය අධිකාරීන්ගෙන් ගොඩනැගිලි අනුමත සැලසුමක් ලැබූ ඕනෑම අයෙකු
ශ්‍රී ලංකාව තුළ මාසිකව රු. 100,000 ක් හෝ වාර්ෂිකව රු. 1,200,000 ක ගෙවීමක් ලබන වෙනත් ඕනෑම අයෙකු
මීට අමතරව 2023 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වී ඇති, හෝ 2024 ජනවාරි 01 දින හෝ ඊට පසු වයස අවුරුදු 18 ට එළඹෙන සියලු තැනැත්තන් ද නව විධිවිධානයට යටත්ව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති බව ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනයේ දැක්වේ
ඉදිරියේ දී බදු ලිපි ගොනුවේ අංකය ඉතා වැදගත්
අවුරුදු 18ට සම්පූර්ණ වන රටේ සියලුම දෙනාට ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වන ලෙස දැනුම් දුන්නේ ඔවුන් සෑම දෙනාගෙන්ම බදු අය කිරීමේ බලාපොරොත්තුවෙන් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේ දී රජයත් සමග කරන සියලුම රාජකාරී ගනුදෙනුවල දී මෙම බදු අංකය ඉතාම වැදගත් අනන්‍යතාවය ඔප්පු කිරීමක් ලෙස භාවිත කරන බැවින් එය අත්‍යවශ්‍ය සාධකයක් වනු ඇති බවයි.
"විශේෂයෙන් 2023 අයවැය ලේඛනයේ යෝජනාවක් තිබුණා අපේ රටේ අවුරුදු 18ට වැඩි සියලුම පුරවැසියන් සඳහා බදු ලිපි ගොනුවක් විවෘත කරනවා කියලා. මේකෙන් අදහස් වෙන්නේ නැහැ මේ සියලු දෙනාගෙන් රජය බදු මුදලක් ගන්න යනවා කියලා. සියලු දෙනා ලියාපදිංචි කිරීමේ අරමුණ යම් කිසි නියාමනයක් කිරීම රාජ්‍ය ආදායම."
"සමහරක් අයට ඒ ලිපි ගොනුව තුළින් තමයි අපි තීරණය කරන්නේ රජයෙන් දෙන ආධාරය ඔහුට ලබාදීම සිද්ධ වෙන්නේ ඒ ලිපිගොනුවේ තොරතුරු අනුව. ඒක ලෝකයේ බොහෝ රටවලට තියෙන දෙයක්. ඒ නිසා පළමු කාරණාව තමයි ඒ සියලු දෙනාගෙන් බදු අය කරන්න යනවා කියලා, සියලු පුරවැසියන් ලියාපදිංචි කරනවා කියන කාරණාව ඇතුළේ."
"මේ ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ මේ ජුනි මාසයේ පළමු වෙනිදා ඉදලා මේ රටේ බදු ගෙවිය හැකියැ යි කැපී පෙනෙන පන්තීන්වලට නියමයක් කරලා තියෙනවා කරුණාකර බදු ලිපි ගොනුවක් විවෘත කරන්න කියලා. විශේෂයෙන් වෛද්‍යවරුන්, නීතිඥවරු, ඉංජිනේරුවරුන් මේ වගේ කැපී පෙනෙන කණ්ඩායම් ඉන්නවා. ඒ වගේ කණ්ඩායම් 14කට ඒ කාරණාව පිළිබඳව සඳහන් කරලා."
" කොටස් දෙකක් තියෙනවා. දෙවන කොටසේ 2024 වසර වෙනකොට මෙතෙක් ලියාපදිංචි නොවී තිබුණු අවුරුදු 18ට වැඩි සියලුම දෙනා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුයි කියන කාරණාව. ඒකෙනුත් අදහස් වෙන්නේ නැහැ සියලු දෙනාගෙන් බද්දක් ගන්න යනවා කියලා. සියලු දෙනාම මේකෙන් ලියාපදිංචි වෙලා ඒ අයට සුබසාධන දීමනා ගෙවීම් තීරණය වෙන්නේ මේ බදු ලිපි ගොනු හරහා යි."
"විශේෂයෙන් පුරවැසියෙකුට ඔහු රජය සමග තියෙන සුවිශේෂී අයිතිවාසිකම් ලියැවිල්ලක් බවටත් මේ ලිපි ගොනුව පත්වෙනවා. ලෝකයේ බොහෝ දියුණු රටවල මේක අනුගමනය කරනවා. රජයට හැකි අයගෙන් ආදායම් ගන්නවා වගේම රජයෙන් ආධාරයක් අවශ්‍ය අයට ඒවා ලබාදීමත් මේ බදු ලිපි ගොනු තුළින් තමයි සිද්ධ වෙන්නේ."
"එමෙන්ම ඉදිරියේදී ඔවුන් රජය සමග කරන සියලුම රාජකාරී ගනුදෙනුවල දී මේ බදු අංකය ඉතාම වැදගත් අනන්‍යතාවය ඔප්පු කිරීමක් ලෙස භාවිත කරනවා," මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
බීසීසී

2048 දී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් බවට පත්කිරීම ඉලක්කයයි - ජනපති
මීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ඒ අනුව ජනාධිපතිවරයා අවධාරණය කළේ තම අරගලය 2048 වන විට ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම බවය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “ජාතික පරිවර්තන මාර්ග සිතියම” රටට ඉදිරිපත් කරමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
"මම රටේ ආර්ථිකය හැසිරවීමේ වගකීම භාරගත් දින පටන්ම මම විටින් විට ආර්ථිකය පිළිබඳ සැබෑ තොරතුරු හෙළිදරව් කළා."
"මට අවශ්‍ය වුණේ ආර්ථිකයේ සැබෑ චිත්‍රය සෑමවිටම ඔබ හමුවේ තැබීමට."
"රට වෙනුවෙන් සිදුකළ යුතු කාර්යභාර්ය පිළිබඳවත් මම ඔබව දැනුවත් කළා."
"පීඩාකාරී ආර්ථිකයකින් දුක්විඳිමින් සිටි අප දැන් ක්‍රමක්‍රමයෙන් සහනදායී මට්ටමකට එළඹෙමින් සිටිනවා. දුර්වල ආර්ථිකය කිසියම් ස්ථාවර මට්ටමකට පත්වෙමින් තිබෙනවා."
"පසුගිය කාලයේ අපි ක්‍රියාත්මක කළ නිවැරදි පිළිවෙත් නිසා මෙම තත්ත්වය අපිට උදා කරගන්න පුළුවන් වුණා. ඒ වගේම අපි එකතුවී අභියෝගයන්ට මුහුණ දුන් නිසා."
"තව ටික කාලයක් මේ මාර්ගයේම ඉදිරියට යෑමෙන් දුෂ්කරතා සහ පීඩාවන් අවම කරගනිමින් යහපත් ආර්ථිකයක් නිර්මාණය කරගැනීමට පුළුවන්කම ලැබෙනවා. ශ්‍රී ලංකාව දැන් වර්ධනාත්මක සමෘද්ධිමත් ගමනක් යෑමට සූදානම්."
"අපේ ගමන ඉදිරියට යාමට අනුගමනය කළයුතු පිළිවෙත් මම අද ඔබට ඉදිරිපත් කරනවා."
"යහපත් අනාගතයක් ගොඩනැංවීම වෙනුවෙන් අප වර්තමානයේ මෙම පියවර ගතයුතුමයි. මෙහිදී අප ගන්නා තීරණ දුෂ්කර මෙන්ම වේදනාකාරී වෙන්න පුළුවන්. ජනප්‍රිය නොවන්න පුළුවන්."
"නමුත් රට යළිත් ඉහළට ඔසවා තැබීමට හැකිවන්නේ ඒ තුළින්."
"සාම්ප්‍රදායික දේශපාලනයේ යෙදෙන ඇතැම් කණ්ඩායම් ආර්ථීක පුනර්ජීවනය වළක්වාලීමට විවිධ උත්සාහයන් ගන්නවා."
"ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ බොරු බියක් ජනතාව තුළ ඇති කරන්න වෙහෙස වෙනවා. රට විකුණන්න යනවා කියන සටන් පාටයෙන් තවදුරටත් ජනතාව මුලා කරන්න උත්සාහ ගන්නවා."
"2048 වනවිට ලෝකයේ පූර්ණ සංවර්ධිත රාජ්‍යක් බවට පත්වීමේ අපේ ඉලක්ක ඉටුකර ගැනීමට අපේ ආර්ථිකය හැඩගස්වා ගත යුතුයි."
"බංකොලොත් රටක් පැරණි ක්‍රමවේදවලින් ගොඩගැනීම සිදුකළ නොහැකියි. ඒ නිසා අපි අලුතින් සිතා අලුත් ගමනක් ආරම්භ කළ යුතුයි."
"ආර්ථික ප්‍රතිසංස්කරණවලින් ජීවන මට්ටම ඉහළ යනවා. එය වරදක් ද?. ව්‍යාපාර සඳහා නව අවස්ථා නිර්මාණය වෙනවා."
"රුපියල් මිලියන ගණනක පාඩු පියවා ගැනීම සඳහා ජනතාවට බර පැටවීමේ සම්ප්‍රදාය අවසන් වෙනවා.ලෝකයේ වඩාත්ම වේගවත් වර්ධනයක් සහිත රටක් බවට ශ්‍රී ලංකාව පත්වෙනවා."
"මේ ප්‍රතිසංස්කරණ ඔස්සේ අපේ වෙළෙඳපොළ පුළුල්කර ගැනීමටත් අවකාශ සැලසෙනවා."
"මේ ගමන ලෙහෙසි පහසු ගමනක් නොවේ. බොහෝ අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා."
"මීට වසරකට පමණ පෙර රට ඇදවැටී තිබූ තත්ත්වයට යළි රට ඇද දැමීමට අපි කිසිවෙකුටවත් ඉඩ දෙන්නේ නැහැ."
"දැන් සමහරුන්ට අමතකයි. රටේ ආර්ථිකය -7.8කි ඇකිලුනා. විදේශ විනිමය සංචිතය අන්තිම අඩියට වැටුණා. රට බංකොළොත් වුණා. දින ගණන් පෝලිම්වල ඉන්න වුණා. ආහාර හිඟ වුණා. රැකියා ආදායම් මාර්ග නැති වුණා. විදුලි බල කප්පාදු තිබුණා. ජනතාව නොසන්සුන් වුණා."
"රට භාරගත් වෙලාවේ මට තිබුණු එකම ශක්තිය මේ අසීරු වැල් පාලමෙන් එගොඩ කරන්න හැකි බවට මා තුළ විශ්වාසය හා අධිෂ්ඨානය පමණයි."
"අප මුලින්ම රට දැඩි මූල්‍ය පාලනයකට යටත් කළා. IMF සහාය ලබාගත්තා. ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු වෙනත් මූල්‍ය ආයතන සමග එක්ව රටට ණය ආධාර ලබාගැනීමේ වැඩසටහන් ආරම්භ කළා."
"මෙහිදී අපිට අසල්වැසි ඉන්දියාව විශාල ලෙස සහාය වුණා, බංග්ලාදේශය, ජපානය, චීනය, පැරිස් සමාජය අපේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න එකඟ වුණා. අපේ විදේශ ශ්‍රමිකයින් උපරිම ලෙස දායක වුණා."
"2022 වසර හා සසඳන විට මේ වසරේ මුල් කාර්තුවේ විදේශීය ශ්‍රමිකයින් එවන මුදල් 80.6%කින් ඉහළ නැංවී තිබෙනවා. නව බදු ප්‍රතිපත්ති නිසා 2023 පළවෙනි කාර්තුවේ රුපියල් බිලියන 210ක අතිරේක ආදායමක් ලබා තිබෙනවා.
"70%ක් දක්වා ඉහළ නංවා තිබුණු උද්ධමනය දැන් 25.2% දක්වා පහත වැටිලා. මේ නිසා ජීවන බර ක්‍රමක්‍රමයෙන් පහසු වෙලා. සමාජයටම ඒක දැනෙමින් පවතිනවා."
"මෙතැන් පටන් අපි ඉදිරියට යන්නේ, අපේ ඊළඟ ක්‍රියාපිළිවෙත ප්‍රධාන කුලුනු 04ක් මත ක්‍රියාත්මක වෙනවා."
- රාජ්‍ය මූල්‍ය සහ ප්‍රතිසංස්කරණ
- ආයෝජන ප්‍රවර්ධනය
- සමාජ ආරක්ෂණ ජාලය
- රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ

බෲනෝ දිවාකර ලබන 07 දක්වා රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරි බෲනෝ දිවාකර ලබන 7 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, අද (01) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරි බෲනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත්තේ ඊයේ (31) පස්වරුවේදීයි.
පොලීසිය පැවසුවේ, නතාශා එදිරිසූරිය කරන ලද ප්‍රකාශය සාමාජ මාධ්‍ය වෙත මුදා හැරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි.

මෙරට රියැදුරු බලපත්‍රය ඉතාලියටත් වලංගුයි
ඉතාලියේ රැකියාවල නිරත වන ශ්‍රී ලාංකිකයන්ට මෙරට වලංගු රියැදුරු බලපත්‍රය එරටදී භාවිත කිරීම සඳහා අවසර ලබා දීමට ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා මනෙල්ලා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ වෙත එකඟතාව පළ කර තිබේ.
ඉතාලියේ රැකියාවල නිරත ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ට මෙතෙක් කලක් ගැටලුවක්ව පවතින අන්තර්ජාතික රියැදුරු බලපත්‍ර ලබාගැනීමේ දුෂ්කරතාව මගහැරවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට අමාත්‍යවරයා ඉතාලි තානාපතිනියගෙන් කරන ලද ඉල්ලීමකට අනුව එම එකඟතාව පළ කර ඇත.
එමෙන් ම, මෙරට සිටින ඉතාලි ජාතිකයන්ට එරට රියැදුරු බලපත්‍රය මෙරටදී භාවිත කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවට ද අමාත්‍යවරයා ඉතාලි තානාපතිනියට මෙහිදී දැනුම් දී තිබේ.
අමාත්‍යවරයා හා ඉතාලි තානාපතිනිය අතර අධිකරණ අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණ තිබේ.
මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බවට ද අමාත්‍යවරයා ඉතාලි තානාපතිනියට දැනුම් දී ඇත.
විවිධ රැකියාවල නිරතව ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධන කටයුතු මෙන් ම, පොදු කටයුතුවලදී ඔවුන්ට අවශ්‍ය සහය ලබා දෙන ලෙසට ද මෙහිදී අමාත්‍යවරයා ඉතාලි තානාපතිනියගෙන් ඉල්ලා ඇත.
බොහෝ කලෙක සිට දෙරට අතර පවත්නා මිත්‍රත්වය තවදුරට ත් වර්ධනය කර ගැනීමට ද දෙපාර්ශවය සිය කැමැත්ත පළ කර තිබේ.

සමෘද්ධි බැංකු විගණනයට යටත් කෙරේ !
සමෘද්ධි බැංකු කාලයක් තිස්සේ විගණකාධිපතිවරයාගේ විගණනයට යටත්වී නොපවතින හෙයින් වහාම එම බැංකුද විගණනයට යටත් කිරීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා ) නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
සමෘද්ධි බැංකු සමෘද්ධි දෙපාර්තමේන්තුව යටතේ ඇති බැවින් ඒවා විගණනයට යටත් කිරීම සුදුසු බව විගණකාධීපතිවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් මත දෙකක් පවතින හෙයින් නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇතැයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ.
දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධිලාභීන්ට මාලු දැල් ලබාදීමේදී විශාල මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවී ඇතැයි තොරතුරු අනාවරණයවූ බව කෝපා කමිටුව පවසයි.
මීට සම්බන්ධ ප්‍රාදේශීය ලේකම්වරයා සහ සමෘද්ධි නිලධාරීන් ඇතුළු නිලධාරීන්ට දඩුවම් හිමිවියයුතු බැවින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් කිරීමට එම අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියකින් දන්වන බව කෝපා සභාපතිවරයා පැවසීය.
ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා සමෘද්ධිය සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට පසුගියදා කැඳවා තිබූ අතර එහිදී මෙම තොරතුරු අනාවරණය විය.
දෙපාර්තමේන්තුවට 2023 අප්‍රේල් 30 වනවිට 22646 ක් වූ සමස්ත සේවක සංඛ්‍යාවෙන් 17512 දෙනකු අන්තර්ග්‍රහණය කර ඇතත් ඉතිරි පිරිස අන්තර්ග්‍රණය කිරීම ප්‍රමාද වීම සහ නිලධාරීන් 3027කට විධිමත් පත්වීම් ලිපි ලබාදී නොතිබීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණ. 2015 වසරේ කැබිනට් තීරණයක් අනුව මෙම නිලධාරීන්ගේ පත්වීම් හා විනය බලධරයා සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් ලෙස සැලකීම නිසා මෙම අනුමත කිරිම් කළ යුත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවද නැතහොත් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවද යන්න ගැටලු සහගතවූ බව නිලධාරීහු පැවසුහ.
මේ අනුව මෙම නිලධාරීන්ගේ බදවා ගැනීම හා උසස්වීමේ පටිපාටි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමතියට යොමුකිරීමට පියවර ගෙන ඇති බවද එම නිලධාරීහු සඳහන් කළහ.
එසේම දේශපාලනික කරුණු හේතුවෙන් දෙපාර්තමේන්තුවේ පරිපාලනයේ යම් අපහැදිළිතා නිර්මාණයවී ඇති බැවින් කඩිනමින් එම ගැටලු විසදා කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කළේය.
සමෘද්ධි බැංකු පද්ධිතිය පරිගණකගත කිරීමේ වැඩපිළිවෙල පිළිබදවද අවධානය යොමුවිය. මෙහිදී සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මෙම ක්‍රියාවලිය දැනටමත් දිස්ත්‍රික්ක පහක ආරම්භ කර ඇති බවයි. මේ වසරේ දෙසැම්බර් මාසය වනවිට බැංකු ජාලගත කිරීම අවසන් කරන බවද ඔහු සඳහන් කළේය.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ලබන වසරේ ජනවාරි මාසයේදී කෝපා කමිටුව හමුවට නැවතත් කැඳවීමට මෙහිදී තීරණය කෙරිණ
මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේශන්, ඩී.වීරසිංහ, ආචාර්ය හරිනි අමරසූරිය ද, සභාපතිවරයාගේ අවසරය මත රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි ද එම අවස්ථාවට සහභාගිව සිටියහ.

නතාෂාට පබ්ලිසිටි දුන්නට බෲනෝ අත්අඩංගුවට !
නතාෂා එදිරිසුරිය බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් කළ ප්‍රහසන වැඩසටහන යු ටියුබ් නාලිකාවට ඔස්සේ අන්තර් ජාලයට මුදා හරිමින් ඇයට ආධාර අනුබල ලබා දුන් බව කියන බෲනෝ දිවාකර අද (31) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
යු ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් අදාල පුද්ගලයා ආගමික නිදහසට හානි වන ආකාරයේ ප්‍රකාශ ප්‍රචාරය කරමින් එයට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බෲනෝ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
එම විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා බෲනෝ දිවාකර අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබු අතර පැය 8 ක ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසුව අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
අත්අඩංගුවට ගත් බෲනෝ දිවාකරගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු ඔහු හෙට (1) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .

ජනාධිපතිගෙන් ජුනි 1 වනදා විශේෂ ප්‍රකාශයක් !
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් පසුගිය මාස 09ක කාලය තුළ රජය ගෙන ඇති පියවර සහ ශ්‍රී ලංකා රාජ්‍යයේ සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙහි ඉදිරි පියවරයන් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.
එම විශේෂ ප්‍රකාශය හෙට (01) රාත්‍රී 8.00ට මෙරට ලියාපදිංචි සියලුම රූපවාහිනී, ගුවන්විදුලි සහ නව මාධ්‍ය අවකාශ ඔස්සේ සමස්ත මහජනතාවගේ දැනගැනීම සහ අවබෝධය උදෙසා විකාශය කිරීමට සැලසුම් කර තිබේ.
එමඟින් ශ්‍රී ලංකාවේ ජාතික පරිවර්තන මාර්ග සිතියම පිළිබඳ පැහැදිලි අවබෝධයක් මහජනතාවට ලබාගත හැකි අතර, එහිදී අපේක්ෂිත ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වන මෙහෙයුම් යෝජනාවලිය ද ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනපති සහ IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ අතර හමුවක් !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා (Kenji Okamura) අතර හමුවක් අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා විය.
එමෙන්ම දැනට පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ඈන් මාරි ගුල්ඩ් (Anne Marie Gulde), ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නිත්‍ය නියෝජිත ආචාර්ය සර්වත් ජහාන් (Sarwat Jahan) යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
https://www.newstube.lk/news?mdrv=www.newstube.lk&start=3492#sigProId9d89d5b6d1

කංචනගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් !
පාර්ලිමේන්තු විවාදයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි කළ ප්‍රකාශයක් මාධ්‍යවල පළකිරීමෙන් මන්ත්‍රී වරප්‍රසාද කඩවූයේ යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ආයතන රැසක් වරප්‍රසාද කමිටුවට කැඳවන ලෙස කථානායකවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි කළ ප්‍රකාශය අසත්‍ය බවත් එම සිද්ධියට සම්බන්ධ සියලු දෙනා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව කැඳවන වන ලෙස ඉල්ලා සිටින බවත් අමාත්‍ය කංචන විජේසේකර ලිපියෙන් වැඩි දුරටත් පවසයි.

IMF ප්‍රධානියෙක් ලංකාවට !
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මණ්ඩලයේ නියෝජ්‍ය කළමණාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසන ආකාරයට කෙන්ජි ඔකමුරා මෙම මස 31 හා ජූනි මස 01 යන දිනයන්හි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.
මෙම සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩපිළිවෙලෙහි මෑත කාලීන ප්‍රවණතා, ඉදිරියේ දී ආර්ථිකය සවිබල ගැන්වීමට ඇති අවස්ථා හා ඊට ඇති බාධා හා ප්‍රමාදයන් අවම කරගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට ද නියමිතය.

වතුකරයේ වෘත්තීය සමිති නායක ගුණසිංහ සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වේ !
ශ්‍රි ලංකා මහඡන වතු සේවක සංගමයේ හිටපු සභාපති ගුණසිංහ සූරියප්පෙරුම මහතා අද (30) අලුයම අභාවප්‍රාප්ත විය.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියදෙනවිට වයස අවුරුදු 77 කි.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නුවරඑලිය ආසනයේ හිටපු සංවිධායකවරයකු වන ඔහු කඳපොල මහින්ද මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
ගුණසිංහ සුරියප්පෙරුම මහතා තරුණයකුව සිටියදී, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නුවරඑලිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. විලියම් ප්‍රනාන්දු මහතා සමග දේශපාලනයට පිවිසි අතර දිවංගත විජය කුමාරණතුංග මහතා සමග මහජන පක්ෂය බිහි කිරීමට පුරෝගාමී වූවෙකි.
88/ 89 භීෂණ සමයේදී තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් මුදා ගැනීමට කටයුතු කල මොහු එකල එජාප ආණ්ඩුවේ මාධ්‍ය මර්දනයට එරෙහිව ප්‍රථම උද්ඝෝෂණ රැලිය නුවරඑළියේදී සංවිධාන කළේය.
මධ්‍යම පලාත් සභා මන්ත්‍රිවරයකු හා නුවරඑලිය මහා නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු ලෙස ද ඔහු නුවරඑළිය ප්‍රදේශයට විශාල සේවයකර ඇති සමාජ සේවකයෙකි.
ගුණසිංහ සූරියප්පෙරුම මහතා, බැංකු කිහිපයකම විධායක තනතුරු හා රාජ්‍ය ආයතන කිහිපයකම වගකීම් දරා ඇති ප්‍රකට සමාජ ක්‍රියාකාරික සේන සුරියප්පෙරුම ගේ වැඩිමල් සොයුරාය.
ගුණසිංහ සූරියප්පෙරුම මහතාගේ අවසන් කැමැත්ත අනුව අවමංගල්‍ය කටයුතු පැය 24ක් ඇතුලත සිදුකිරීමට පවුලේ ඥාතීන් තීන්දු කර ඇති අතර ඒ අනුව ඔහුගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද (30) සවස 4 ට නුවරඑලිය නාගරික සුසාන භූමියේදි සිදුකෙරිණ.

සංචාරක පැමිණීම ලක්ෂ 5 පනියි !
2023 වසරේ මැයි 28 දින දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 516,946 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර ඇත.
ඊට අනුව 2023 මැයි මස මුල් දින 28 තුළ දී 75,769ක සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟම මෙලෙස දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයින් ප්‍රමාණය පන්ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබේ.
මැයි මාසය තුළ මේ දක්වා වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර එම ගණන 20,971කි.
එසේම රුසියාව 6,872 ක්, ජර්මනිය 6,362 ක් සහ එක්සත් රාජධානිය 5,464ක් වශයෙන් මැයි මාසය තුළ වැඩිවශයෙන් සංචාරකයින් පැමිණි සෙසු රටවල් අතර පෙරමුණේ පසුවන අතර එහි වැඩිදුර තොරතුරු පහත සටහනෙහි දැක්වෙයි.

බොර තෙල් මිල පහළට !
ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළ ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට එක්සත් ජනපදයේ ණය සීමාව සම්බන්ධයෙන් ඇතිව තිබූ මතගැටුම සමනයවීම ඊට ප්‍රධාන හේතුව වී තිබේ.
එහිදී බොර තෙල් මිල පහළයාම දැක්වෙන ආකාරයට බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 75.71 දක්වාද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බැරලයක මිල ඩොලර් 71.48 දක්වාද අඩුවී ඇත.
එසේම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දක්වා ඇත්තේ සමස්තයක් වශයෙන් බොර තෙල් මිල 2%කින් පමණ පහළගොස් ඇති බවයි.

ආරක්ෂක අමාත්‍යාංශයෙන් සැර නිවේදනයක් !
මෑත කාලීනව විවිධ පාර්ශව විසින් ආගමික සමගියට හානිවන අන්දමින් සිදුකරන ප්‍රකාශ සහ ක්‍රියාවන් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.
ඊට අනුව රටේ ආගමික ආරවුල් ඇතිකරමින් පවතින සාමකාමී තත්ත්වය කඩාකප්පල් කිරීමේ අපේක්ෂාවෙන් සිටින විවිධ අරමුණු සහිත කණ්ඩායම් පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කර තිබෙන්නේ , පසුගිය සමයේ අත්විඳින ලද දරුණු ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ඒමට උත්සහා දරන්නාවූ අවස්ථාවක විවිධ කණ්ඩායම් විසින් රටතුළ තවත් අර්බුදයක් නිර්මාණය කිරීමට උත්සහ දරණ බවය.
එබැවින් යම් පුද‍්ගලයෙකු හෝ සංවිධානාත්මක කණ්ඩායමක් එවැනි පටු චේතනාවකින් කටයුතු කිරීමට උත්සහා දරන්නේනම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන පරිච්ඡේදය සහ දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ), (ආ) අනුව නීතිය දැඩිලෙස ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
Page 195 of 474