රාජ්‍ය ඇමති අස්වැසුම ගැන කියන කතාව !

රාජ්‍ය ඇමති අස්වැසුම ගැන කියන කතාව !

විවිධ දේශපාලන කණ්ඩායම්වල බලපෑම්වලට හසු නොවී “අස්වැසුම” ප්‍රතිලාභී නාම ලේඛනයට නම ඇතුළත් වී නැති සියලු අයදුම්කරුවන් ජූලි 10වනදාට පෙර අභියාචනා ඉදිරිපත් කරන ලෙසත්, අභියාචනා කාල සීමාව අවසන් වීමෙන් පසු සුදුස්සන් තෝරා ගැනීමේ අවසන් ලේඛනය සකස් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ  පැවසීය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ  මේ බව සඳහන් කළේ “අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන පිළිබඳ අද (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

ආර්ථික සවියක් අවැසි පුද්ගලයන්ට සහාය වීමට ආරම්භ කළ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන පිළිබඳ ඇතැම් පාර්ශ්වයන් සමාජය තුළ ගෙන යන වැරදි ප්‍රචාර හේතුවෙන් මෙම ගැටලුකාරී තත්ත්වය මතුව ඇති බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට ප්‍රසිද්ධියට පත් කර ඇති නාම ලේඛනය කිසිසේත්ම අවසන් ලේඛනය නොවන බව ද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ  මෙසේද පැවසීය .

අපට පසුගිය කාලයේ රටක් ලෙස විශාල ආර්ථික පසුබෑමකට මුහුණ දීමට සිදු වුණා. එම තත්ත්වයෙන් රට යළි ගොඩගැනීමේ ප්‍රධාන අංගයක් ලෙස දිළිඳු ජන කොටස් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් “අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ආරම්භ කළා.

සාමාන්‍යයෙන් අපේ රටේ මෙතෙක් පැවතුණේ යම් සමාජ සුබසාධක වැඩසටහනකට ඇතුළත්වන පුද්ගලයන් එතැනින් සවිබල ගැන්වී, ආර්ථිකය සවිමත් කර ගන්නවා වෙනුවට සදාකල්ම එම සහන මත යැපීමේ ක්‍රමවේදයක්. නමුත් මෙම වැඩසටහන එතැනින් එහාට ගිය වැඩසටහනක් බව කිවයුතුයි.

එහිදී 2001 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනත ප්‍රකාරව අදාළ සුදුස්සන් තෝරා ගැනීම සිදු කෙරුණා. මෙම සුදුස්සන් තෝරා ගැනීම ක්ෂේත්‍ර 06ක් සහ ඊට අදාළ දර්ශක යටතේ තමයි සිදු වුණේ. ඒ අනුව සුදුසුකම් ලාභීන්ගේ ලේඛනයක් මේ වන විට කෙටුම්පත් කර තිබෙනවා. එය කිසිසේත්ම අවසාන නාම ලේඛනය නොවන බව අවධාරණය කළ යුතුයි.

මෙම ප්‍රතිලාභය හිමි විය යුතු, එහෙත් දැනට ප්‍රකාශයට පත් කර ඇති නාම ලේඛනයට නම ඇතුළත් නොවූ යම් පුද්ගලයෙක් හෝ පවුලක් සිටී නම් ලබා දී ඇති අභියාචනා කාලසීමාව තුළ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත තම අභියාචනා භාරදෙන ලෙස මම ඉල්ලා සිටිනවා. එසේම නුසුදුස්සෙකුගේ නම ඊට ඇතුළත් වී ඇත්නම් ඒ සම්බන්ධව ද විමසීම් සිදු කළ හැකියි.

විවිධ ප්‍රචාර හෝ පුද්ගල බලපෑම් මත කලබලයට පත් නොවන ලෙසත්, ඇතැම් දේශපාලන කණ්ඩායම්වල අවශ්‍යතා සඳහා කෙරෙන උද්ඝෝෂණ ක්‍රියාමාර්ග සඳහා එක් නොවන ලෙසත් ජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා. ඒ වගේම රජය දැනුම් දී ඇති ක්‍රමවේදය සමඟ ඊට අනුගතව කටයුතු කරන ලෙසත් සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් අභියාචනා කාලය අවසන් වීමෙන් පසු අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබාදීමේ අවසන් නාම ලේඛනය සකස් කිරීමට අපි අපේක්ෂා කරනවා. එහිදී කිසිවෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපට උපදෙස් දී තිබෙනවා.
මේ අතර වකුගඩු දීමනා, ආබාධිත දීමනා සහ වැඩිහිටි දීමනා ලබන ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය ද ඉදිරියේ දී නිකුත් කිරීමට අපේක්ෂා කරනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න