එළැඹෙන ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ නිවේදනය සැප්තැම්බර් 30 වනදා නිකුත් කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව මැතිවරණ කොමිසන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරණයට අදාල නාමයෝජනා නිවේදනය නිකුත් කළ දිනයේ සිට දින 16 ත් දින 21 ත් අතර කාලය තුළදී නාම යෝජනා සහ ඇපතැන්පත් මුදල් බාර ගැනීම සිදුකෙරෙන අතර නාමයෝජනා බාර ගන්නා දිනයේ සිට සති හතරක් සති හයත් අතර කාලය තුළදී ඡන්ද විමසීම පැවැත්විය යුතු බව මැතිවරණ නීතියේ සඳහන් බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.
එසේම මැතිවරණ කොමිසමේ සභාපති මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට අපේක්ෂකයින් 17 දෙනෙකු මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති බවය.
පිළිගත් දේශපාලන පක්ෂ 14 ක් ලිඛිතවත් තවත් දේශපාලන පක්ෂ දෙකක් වාචිකවත් සහ ස්වාධීන අපේක්ෂකයෙකුත් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට දැනුම් දී තිබෙන බවද ඔහු වැඩිදුරටත් සදහන් කර තිබේ.

