තරුණයන් 11 දෙනෙකු රාජපක්ෂ පාලන සමයේදී ( 2008 – 2009 ) පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන සැකකරු තවදුරටත් ලබන සැප්තැම්බර් මස 19 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඊයේ (04) නියෝග කර තිබේ.
ජනාධිපති නිතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා නොදීම සම්බන්ධයෙන් නිතිපතිවරයාගෙන් උපදෙස් විමසා ඇති බව සමූහ මංකොල්ල හා සමූහ මිනිමැරුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා අධිකරණයට දන්වා ඇත.
එම කාරණය සම්බන්ධයෙන් පැමිණිල්ලට අවශ්‍ය නම් අධිකරණ නියෝග ඉල්ලා සිටිය හැකි බව මහේස්ත්‍රාත් වරයා මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා තිබේ.
එහිදී ශවේන්ද්‍ර ප්‍රනාන්දුට ප්‍රකාශයක් ලබා දිය හැකි බවත් මෙම සිද්ධියේදී සිදුව ඇත්තේ වෘත්තීය ගනුදෙනුවක් බවත් වෘත්තීය ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ඇති නෛතික බාධාව ඉවත් කරදෙන්නේ නම් ඒ මහතා ප්‍රකාශයක් ලබා දීමට සුදානම් බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස ඇතුළු නිතිඥ මඩුල්ල අධිකරණයට දන්වා ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිතිඥයා සහ සේවා දායකයා වෙනුවෙන් රිති මාලාවක් පනවා ඇති බව පෙන්වා දුන් නලින්ද ඉන්ද්‍රතිස්ස ප්‍රකාශයක් ලබා දිමෙන් එම රීති කඩවිය හැකි බව අධිකරණයට පෙන්වා දුන් අතර අවශ්‍ය වන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියෝගයක් ලබා ගන්නා ලෙසට ඉල්ලා තිබේ.
සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩගෙන් ප්‍රකාශ ලබා ගත් බවත් එම ප්‍රකාශවලට අදාලව ජනාධිපති නිතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දුගෙන් ප්‍රකාශයක් ලබා ගත යුතු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටීම සම්බන්ධයෙන් ඒ මහතා මේ අදහස් පළ කර ඇත.
මෙම සිද්ධියට අදාළව තමන් පැහැරගත් වාහනයක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට එම ස්ථානයට ඉදිරි දිනයක යන බව අධිකරණයට දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ල මිනිමැරුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා අගතියට පත් පාර්ශ්වයට සාධාරණයක් ඉටු විය යුතු බවද අධිකරණයට දන්වා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කර ඉදිරි නඩු දිනයේ අධිකරණයට දන්වා සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහේස්ත්‍රාත් වරයා නියෝග කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී දසනායක, නිලන්ත සම්පත් මුණසිංහ, සුමිත් රණසිංහ, ලක්ෂ්මන් උදය කුමාර, නලින් ප්‍රසන්න වික්‍රමසූරිය, වී.අයි ධර්මදාස, කේ කිත්සිරි, තුෂාර මෙන්ඩිස්, හෙට්ටිහැන්නදි, ඇන්ටන් ප්‍රනාන්දු, ජනක කුමාර ඇතුලු ඇප මත මුදා හැර සිටින අතර ඔවුන් සම්බන්ධයෙන් වන නඩුව ලබන සැප්තැම්බර් මස 19 වනදා කැදවන ලෙස මහේස්ත්‍රාත් වරයා නියෝග කර තිබේ.

