වෝටර්ස් ඒජ් ආයතනයේ තුනපහ හරහා කුරුඳු, සාදික්කා, එනසාල් සුවඳගෝලීය ජනතාව අතරට ගෙන යාවි යැයි අමාත්‍ය චම්පික රණවක පවසයි.
මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙම අදහස් පළ කර සිටියේ වොටර්ස් ඒජ් හෝටලය සහ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එක්ව දිවයින පුරා විවිධ ප‍්‍රදේශයන් හි ප‍්‍රචලිත ශ‍්‍රී ලංකාවේ පුරාණ ආහාර වට්ටෝරු 160 ක් ඇතුළත්ව සම්පාදනය කරන ලද කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
‘මේ රට ඉදිරියට ගෙනයන්න රාජ්‍ය අංශයට බැහැ කියලා ලොකු මතයක් ගොඩනගලා තිබෙනවා. අපේ මේ වෝටර්ස් ඒජ් හෝටල් පරිශ‍්‍රය ගත්තාහම, මේ හෝටල් පද්ධතිය කරගෙන යාම රාජ්‍යයේ වැඩකටයුත්තක් නෙමෙයි කියලා 2016 අයවැය යෝජනාවට මේ හෝටලයත් පෞද්ගලික අංශයට ලබාදිය යුතුයි කියා යෝජනාවක් ඇතුළත් උනා. අද අපේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලයත්, සාමාන්‍යාධිකාරීතුමා ඇතුළු කාර්ය මණ්ඩලයත් පෙන්වා දී තිබෙනවා ලංකාවේ ඕනෙම පෞද්ගලික හෝටලයකට වඩා සාර්ථකව මේ හෝටලය රාජ්‍ය අංශයේ අපි කරගෙන යනවා කියන එක පෙන්වා දී තිබෙනවා.
ඒ වගේම මේ රජයෙන් හැමෝම බලාපොරොත්තු වෙන්නේ බෙදිල්ල. රජයෙන් තව අයට බෙදන එක. රජයේ ආදායම් ගැන හුඟ දෙනෙක් සිතන්නේ නැහැ. ආණ්ඩුවේ ආයතන ලාභ උපයන්න ඕනේ, ආදායම් උපදවන්න ඕනේ. රටට බරක් වෙන්න හොඳ නැහැ කියන අදහස අපේ සමාජයේ නැහැ. ආණ්ඩුවේ ආයතන රටට බරක් වෙලා හරි, බදු ගෙවන ජනතාවට බරක් වෙලා හරි ඒවයින් ජනතාවට, හිතවතුන්ට, දේශපාලන හිතවතුන්ට බෙදනවා නම් තමයි ජනප‍්‍රිය වෙන්න පුළුවන් කියල මතයක් අපේ රටේ තිබෙනවා. ඒ නිසා අපි ඉතිහාසයේ සිටම බෙදිල්ල සෑම මැතිවරණයකදීම ප‍්‍රධාන තේමාවක් කර ගත්ත ජාතියක්. අපි ඒ බෙදිල්ලෙන් වෙනස් වෙලා පසුගිය වසර 3 ක කෙටි කාලය ඇතුළත මේ වෝටර්ස් ඒජ් ආයතනයේ ආදායම තෙගුණ කර තිබෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ අමාත්‍යාංශය යටතේ තිබෙන අනෙකුත් ආයතනවලත් ආදායම් දෙගුණ තෙගුණ කර තිබෙනවා. කාට හරි මේ රටේ මූල්‍ය විනය ගැන ඉගෙන ගන්න ඕනෙ නම්, රාජ්‍ය ආයතනයක ආදායම් උපදවන හැටි ඉගෙන ගන්න ඕනෙ නම් අපේ අමාත්‍යාංශය ඇවිත් ඒ ගැන ඉගෙන ගන්න කියලා අපි ඕනෙම කෙනෙකුට අභියෝගයක් හැටිය ඉදිරිපත් කරන්න කැමතියි.
මේ රටේ අංක එකේ අමාත්‍යාංශය බවට රාජ්‍ය ගිණුම් කාරක සභාව අපේ අමාත්‍යාංශය පත් කර ගත්තේ මේ සියළු කාරණා ගැන මැනවින් සිතා බලලයි කියන එක අපි සඳහන් කළ යුතුයි. රාජ්‍ය අංශයේ අපි ලාභ ලැබුවහම එම ලාභය අපි ජනතාවට ලබාදිය යුතුයි. විශේෂයෙන්ම එම ක්‍ෂෙත‍්‍රයට ලබාදිය යුතුයි. ඒ නිසා තමයි මේ වෝටර්ස් ඒජ් ආයතනය අලූත් වැඩ ගොඩක් කරගෙන ඒ ලාභාංශ නිසි විදිහට ආයෝජනය කරගෙන අලූතෙන් මේ ගමන යන්න කල්පනා කරගෙන තිබෙන්නේ. ඒ නිසා අපි කල්පනා කළා මේ ලාභය ප‍්‍රයෝජනවත් ආකාරයට ඉදිරියට ගෙන යා යුතුයි කියලා. එහි එක් පියවරක් ලෙස අපේ සූපවේදීන්ට නව නිර්මාණ කරන්න, නවෝත්පාදනයන් කරන්න අවශ්‍ය කරන තාක්ෂණික සහය ලබාදෙන, ගෝලීය මට්ටමේ කුස්සියක් අපේ අනුග‍්‍රහයෙන් මේ රටේ හැම කොනකම සිටින අයට ලබාදෙනවයි කියන එක මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි.
ඊළඟට අද අපේ රටේ අපනයන ක්‍ෂෙත‍්‍රය 1990 දී යම් අපනයන ප‍්‍රමාණයක් කළා නම් යම් යම් ක්‍ෂෙත‍්‍රවල ඒ ක්‍ෂෙත‍්‍රම තමයි අඩු වැඩි වශයෙන් අදත් අපේ අපනයන් සිදුවෙන්නේ. තේ, පොල්, රබර්, ඇඟලූම් තමයි අපේ ප‍්‍රධාන අපනයනයන්. අපේ අපනයන විවිධාංගීකරණය වෙලා නැහැ. ලෝකයේ අනෙක් රටවල් අපනයන විවිධාංගීකරණය කරගෙන ඒ අපනයන ක්‍ෂෙත‍්‍රය විශාල ඉදිරි ගමනක් සකස් කරගෙන තිබෙනවා. ඒ වගේම අපේ අපනයන යන්නේ බහුතරයක් රටවල් වර්ග දෙකකට. එකක් උතුරු ඇමරිකාව. අනෙක යුරෝපය. මේ රටවල් දෙකට තමයි 60% ක් අපේ අපනයන යන්නේ. අපේ අපනයන භූගෝලීය විදිහටත් විවිධාංගීකරණය වෙලා නැහැ. අනෙක් පැත්තෙන් අපට මොනවද අලූතෙන් ලෝකයට ලබාදෙන්න පුළුවන් . මොනවද අපට තිබෙන සුවිශේෂත්වයන් කියලා අපි කල්පනා කර නැහැ. අපේ මේ පුංචි රටට තිබෙන සුවිශේෂත්වයන් තමයි අපගේ බලගතු ජීව විවිධත්වය. මේ බලගතු ජීව විවිධත්වයත් සමග ගොඩනැගී තිබෙන එළවළු, පළතුරු, ධාන්‍ය ආදිය විවිධ ආහාර වර්ගවල විවිධත්වය. එයිනුත් සුවිශේෂී වෙනවා අපගේ කුළුබඩු. ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මැතිතුමාගේ පොතක පළවෙනි වාක්‍යයේ තිබෙනවා යුරෝපීයයන් පෙරදිග ලංකාවට පැමිණියේ කුරුඳු සුවඳ සොයාගෙනයි කියායැයී සඳහන්ව තිබෙනවා. මේ කුරුඳු ලංකාවට ආවේනික ශාකයක්.
කවරු මොනවා කිව්වත් කුරුඳු ලෝකේ වෙන කොහේවත් නැහැ. මේ රටේ පමණයි තිබෙන්නේ. මේ රටටම ආවේණික තවත් කුළුබඩු වර්ග විශාල ප‍්‍රමාණයක් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම මේ රටේ ඉතිහාසය ගොඩනැගූ අපේ සිංහල ජනතාව මේ රටේ ඇතිකර තිබෙන ආහාර සම්ප‍්‍රදාය, ආහාර විවිධත්වය ලෝකයේ පැරණිම එකක්. මේ ලෝකයේ අපේ හෝමෝසේපියන් මානව වර්ගයා, මුල් වකවානුවක විශේෂයෙන්ම ඝර්ම කලාපීය රටවල ආසියාතික රටවල්වල තමයි පටන් ගත්තේ ධාන්‍ය, ශාක වර්ග, සත්ව වර්ග තමන්ට ඕනෙ විදිහට හීලෑ කර ගැනීම. කැලේ තිබූ වී වලින් තමන්ට ඕනෑ විදිහට වී වර්ග තනා ගැනීම. කැලේ තිබූ පළතුරු වලින් තමන්ට ඕනේ විදිහට පළතුරු තනා ගැනීම, කැලේ සිටි සතුන්ගෙන් තමන්ට ඕනේ විදිහට සතුන් හීලෑ කර ගැනීම. වෘකයාගෙන් බල්ලා සේම, කැලෑවේ සිටි වල් ගවයාගෙන් ගවයා ඇතිකර ගන්න වගේම කුරුල්ලන් ඇතුළු අනෙකුත් සතුන් සියළු දෙනාම හීලෑ කිරීම ආරම්භ උනේ වසර 12,000 කට පෙර.
මේ ලෝකයේ ධාන්‍ය ඉතිහාසය ගැන කියනවා නම් ලෝකයේ පැරණිම මිනිසුන් විසින් හදපු ධාන්‍ය තිබෙන්නේ රටවල් දෙකක. එකක් චීනය. අනෙක ලංකාව. අපගේ හෝටන් තැන්නෙන් හමුවූනා වසර 12,000 කට කලින් අපි ධාන්‍ය වැවූ ජාතියක් බව අපට හෙළි උනා. ඒ අනුව මේ ලෝකයට ආහාර ලබාදෙන්න, ආහාර විශේෂඥතාවය ලබාදෙන්න අපට බලගතු ඓතිහාසික උරුමයකුත් තිබෙන බව අපි අමතක කළ යුතු නැහැ. අපේ ඓතිහාසික උරුමයයි, අපේ ජීව විවිධත්වයයි එකට එකතු කළවිට හොඳ අපනයන භාණ්ඩයක් බවට ඉදිරියේදී අපට පරිවර්ථනය කර ගන්න පුළුවන්. ලෝකය පුරාම ගියහම ජපානයේ ආහාර, බීම වර්ග හැමතැනම ප‍්‍රචලිත වෙලා තිබෙනවා. චීන ආහාර, චීන සම්ප‍්‍රදායන්, චීන ආහාර ලෝකය පුරාම පැතිරිලා ගිහින් තිබෙනවා. ඉන්දියාවේ ආහාර සම්ප‍්‍රදායන්වල විශාල විවිධත්වයක් තිබෙනවා. එයත් ලෝකය පුරා පැතිර ගොස් තිබෙනවා. ඒ වගේම තායිලන්තයේ තායි ආහාර ලෝකය පුරාම පැතිර ගොස් තිබෙනවා වගේම එය තනිකරම රටේ රජතුමා යටතේ පවතින විශේෂ ස්ථානයක් සහිත පර්යේෂණාගාරයක්.
අපේ රටෙත් නිසි අපනයනයක් කරනවා නම් තේ, පොල්, රබර් ඉක්මවා ගිය බලගතු අපනයන භාණ්ඩයක් බවට අපගේ ආහාර පත් කළ හැකියි, පත් කළ යුතුයි. ඒ නිසා අපගේ වෝටර්ස් ඒජ් ආයතනය මේ ලබාගත් ලාභය පාවිච්චි කර අපනයන ක්‍ෂෙත‍්‍රයේ අපට තිබෙන බාධා මැඩ පවත්වලා, ලෝකය පුරාම ඉන්න ලෝකවාසීන්ට, ප‍්‍රධාන වශයෙන්ම විදේශවල වාසය කරන ලක්ෂ තිහක් වූ ශ‍්‍රී ලාංකිකයින්, ලංකාවේ ජනගහණයෙන් ප‍්‍රතිශතයක් ලෙස ගතහෝත් 15% ක්. ඒ නිසා අපේ නිවැරදි සූපශාස්ත‍්‍රයන්ට අනුකූල වෙච්ච අපේ ආහාර රසය ගෝලීය වෙළෙඳපොලට නිකුත් කිරීමේ අභියෝගය අද වෝටර්ස් ඒජ් ආයතනය භාර ගන්නවා කියන එක මේ අවස්ථාවේදී ප‍්‍රකාශ කළ යුතුයි.
අද අප මේ තබන පුංචි පියවර මගින් විදේශ රටවල්වලට අපේ මේ සූපවේදී ඥානය, ගුණය, ඓතිහාසික උරුමය ලබාදෙන මේ ගමන අනාගතයේ ඩොලර් බිලියන ගණනක දැවැන්ත ව්‍යාපාරයක් බවට පරිවර්ථනය වෙයි කියා අපි විශ්වාස කරනවා. මේ රට තුළ ජේම්ස් ටේලර් 1968 දී ගම්පොළ ප‍්‍රෙදේශයේ පුංචි තේ පැලයක් හිටෙව්වා. එම පුංචි තේ පැලය අති විශාල බලගතු ව්‍යාපාරයක් බවටත්, සිලෝන් ටී නමින් බලගතු සන්නාමයක් බවට පරිවර්තනය වෙලා ඉදිරියට ගියා. ඒ වගේ මේ වෝටර්ස් ඒජ් ආයතනයේ තුනපහ හරහා කුරුඳු, සාදික්කා, එනසාල් සුවඳ ගෝලීය ජනතාවගේ හදවත් දිනා ගන්නා සුවඳක් බවට පත් කරන්නට මේ ආයතනයට හැකියාව ලැබේවා’

