එජාපයට දුන්නා ඇති - රටේ ආර්ථිකය මං ගන්නවා - ජනාධිපති

එජාපයට දුන්නා ඇති - රටේ ආර්ථිකය මං ගන්නවා - ජනාධිපති

වසර තුනක පමණ කාලයක් එක්සත් ජාතික පක්ෂයට ලබාදී තිබූ ආර්ථිකයට අදාළ වගකීම මෙම වසරේ සිට තමන් යටතට ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.

එසේම මීට මාස තුනකට පෙර තමන් පිහිටවූ ජාතික ආර්ථික සභාව හරහා රටේ ආර්ථික කළමනාකරණයේ වගකීම ඉටුකිරීමට කටයුතු කරන බවත් ඒ හරහා රටේ ආර්ථිකය ඉදිරියට මෙහෙයවමින් ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළකර සිටියේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් 20 වනදා කෑගල්ල පොළ භුමියේ පැවති එක්සත් ජනතා සන්ධානයේ මැතිවරණ රැළියක් අමතමින්ය.

තවද දේශිය කර්මාන්ත, දේශීය නිෂ්පාදන සහ දේශීය ආයෝජන සියල්ල ආරක්ෂා කරමින් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ වගකීම තමා භාරගන්නා බව ද මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා රට හැර නොගොස් මාතෘභූමිය ගොඩනැගීමට එක්වන ලෙස තමා සියලූ දේශීය කර්මාන්තකරුවන්ගෙන් මෙන්ම ආයෝජකයින්ගෙන්ද ඉල්ලා සිටින බවද ප‍්‍රකාශ කළේය.

එමෙන්ම ස්වාභාවික සම්පත්වලින් අනූන මේ රට ලෝකයේ දියුණු රාජ්‍යයක් බවට පත්කිරීමට කිසිදු බාධාවක් නොමැති බවත් ඊට ඇති එකම බාධාව දූෂිත දේශපාලනය බව සඳහන් කළ ජනාධිපතිවරයා දූෂිත දේශපාලනයට තිත තැබීමේ ගමන මෙම පෙබරවාරි 10 වෙනිදා පළාත් පාලන මැතිවරණයත් සමග ආරම්භ කරන බවද කියා සිටියේය.

බැඳුම්කර මංකොල්ලය කළේ කවුද කියලා රටම දන්නවා - ජනාධිපති

මේ අතර බැඳුම්කර ගනුදෙනුව පිළිබඳවද ජනාධිපතිවරයා සිය කතාවේදී අදහස් දක්වා ඇත.

ඒ 71 නැගීටීම සම්බන්ධ අතීත කතාවක්ද සිහිපත් කරමින්ය.(සංස්කරණයකි)

71 තරුණ සහෝදරවරු වරකාපොල පොලිසියට ගැහුවා. ගහලා එතන සමතලා කරා පොලිසියක් තිබුණද කියලවත් හොයාගන්න අමාරු වෙන විදිහට. දවස් දෙක තුනකට පස්සේ ඒ පහරදීමට සම්බන්ධ අයව අත්අඩංගුවට අරගෙන ඇවිත් පොලිසියේ අය ප්‍රශ්න කරන්න ගත්තා. කවුද මේකට සම්බන්ධ? කියලා පොලිසිය අහනකොට අර පහර දුන්න කෙනා කියනවා දන්නෙ නෑ කියාලා. පොලිසිය අහනවා කවුද මේ පහරදීම සංවිධානය කළේ කියලා, ඒකටත් කියන්නෙ දන්නෙ නෑ කියලා. ඒ වගේ තමයි බැඳුම්කරේ ගැනත් එක එක උදවිය කියන්නෙ. ඒත් බැඳුම්කර මංකොල්ලය කළේ කවුද කියලා රටම දන්නවා.

අගමැති සහ ජනාධිපති අතර සීතල යුද්ධයක් - හිටපු ජනාධිපති මහින්ද

මේ අතර මහනුවර ගෙලිඔය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කර සිටියේ අගමැති සහ ජනාධිපති අතර සීතල යුද්ධයක් ආරම්භවී ඇති බවය.

එසේම දුෂිතයන් නරකාදියට යවන තෙක් ජනාධිපති බලයේ ඉන්න බව පවසා ඇති බවත් ඔහුට ධුරය ලැබීමෙන් පසුව දිගටම ඉන්න බැරි බව අමතකවී ඇති බවත් එහිදී හිටපු ජනාධිපතිවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න