Image

ආණ්ඩුව, ඇ. ඩොලර් ලක්ෂ 25 හොරකම් කරල ඒක ජනතාව ගෙන් හංගනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ආණ්ඩුව, ඇ. ඩොලර් ලක්ෂ 25 හොරකම් කරල ඒක ජනතාව ගෙන් හංගනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ඇ. ඩොලර් ලක්ෂ 25 හොරකම් කළා පමණක් නොව මේ හොරකම පාර්ලිමේන්තුවෙන්, මුදල් කාරක සභාවෙන් සහ ජනතාව ගෙන් ද සඟවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු අද (25) මෙම අදහස් පළ කළේ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන ඇකඩමියෙහි අනුබද්ධිත ආයතනයක් වන ලීඩ් එක්ස් කැම්පස් හි දේශපාලන විද්‍යාව සහ දේශපාලන සන්නිවේදනයට අදාළ වැඩමුළුවේ දී ය.

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන ඇකඩමියෙහි අනුබද්ධිත ආයතනයක් වන ලීඩ් එක්ස් කැම්පස් හි දේශපාලන විද්‍යාව සහ දේශපාලන සන්නිවේදනයට අදාළ වැඩමුළුවක් අද පැවැත්විණි. මෙම වැඩමුළුවෙහි ප්‍රධාන කථිකයින් ලෙස මහාචාර්ය සම්පත් රාජපක්ෂ, මහාචාර්ය කෙනඩි ගුණවර්ධන සහ මහාචාර්ය ප්‍රදීප වීරසිංහ යන මහාචාර්යවරුන් සහභාගී වූහ. මේ අවස්ථාවට මහාචාර්ය චරිත හේරත් ද එක්විය. විපක්ෂ නායකවරයා ඒ සඳහා සහභාගි වූයේ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන ඇකඩමියෙහි සභාපති බුද්ධික පතිරණ ගේ ආරාධනයෙනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

අග්‍රාමාත්‍යවරිය සත්‍ය වසන් කරනවා

''සුහුරු ආණ්ඩුවක් නිර්මාණය කරනවා කියූ, බුද්ධිමතුන්ගෙන් සපිරි රජයක් බිහි කරනවා කියූ අගමැතිවරිය අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5 ගැන මාධ්‍ය ප්‍රශ්ණ කරන විට එම සිදුවීමට අදාළ පරීක්ෂණවල තත්ත්වය පැහැදිලි කිරීම වෙනුවට විපක්ෂය විසින් සැකය සංකා ඇත්ත සිදුවීම් ලෙස රටට ඉදිරිපත් කරන්න කටයුතු කරන බවට ප්‍රකාශ කරනවා. කුමන දෙයක් සිදුකර හෝ අවධානය ගැනීමට කටයුතු කරන බවට අගමැතිනිය චෝදනා කරනු මම දුටුවා. එහෙත් අග්‍රාමාත්‍යවරිය සත්‍ය වසන් කොට අදහස් පළ කිරීම කණගාටු දායක තත්ත්වයක්. මෙම මුදල් අස්ථානගත වීම ගැන සැකයක් නැහැ; එය සත්‍ය බවට මේ වනවිට රජය ම පිළිගෙන තිබිය දී අග්‍රාමාත්‍යවරිය මේ පවසන්නේ කුමක්ද යන්න ගැටළුවක්. මෙම ඇ. ඩොලර් ලක්ෂ 25 ණය ගෙව්වේ විපක්ෂය හෝ සමගි ජන බලවේගය නෙවයි ආණ්ඩුව. මෙහි ඇති බරපතළ ම දේ වන්නේ මුදල් සම්බන්ධ වගකීම ඇත්තේ පාර්ලිමේන්තුව සතුව වුවත් මේ ගැන මාස 4ක් පාර්ලිමේන්තුවෙන්, මුදල් කාරක සභාවෙන්, ජනතාවගෙන් හා රටෙන් සඟවා තැබිම යි. මේ ගැන හෙළිදරව් වූ පසු භාණ්ඩාගාර ලේකම් එක් කතාවක් ද නියෝජ්‍ය මුදල් ඇමති තවත් කතාවක් කියන විට අගමැතිනිය ඊට හාත්පසින්ම වෙනස් කතාවක් කියමින් යනවා.

වහා ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්න

මේ අහිමි වූ මුදල් ගෙවිය යුත්තේ අප රටේ පුරවැසියන් බව අගමැතිනිය අමතක නොකළ යුතු යි. ජනාධිපතිවරයා අගමැතිනිය සහ ආණ්ඩුව බාල ගල් අඟුරු සිදුවීමේ දී පවා ඒවා බාල ගල් අඟුරු නොවන බවට පැවසුවත් බලාගාරයේ ජනන වාර්තාවෙන් ඔවුන්ගේ සියලු කතා අසත්‍ය බව සනාථ වී ගෙන් වූ ගල් අඟුරු බාල බවට ඔප්පු වුණා. ඉන් අනතුරුව වංචාවක් සිදුව නොමැති බව කිව්වත් මහජන උපයෝගීතා කොමිසම් සභා වාර්තාව සහ විගණන වාර්තාවෙන් මේ සියල්ල සනාථ වුණා. විපක්ෂය ගල් අඟුරු ගැන කතා කළේ සැකයක් සමඟ නොව සත්‍ය දත්ත මත පදනම්ව යි. මේ බාල ගල් අඟුරු ගෙන්වූයේ ජේවීපී ආණ්ඩුව මිස විපක්ෂය නොවේ. මෙහි වංචනික ක්‍රියාවක් සිදුව තිබෙනවා. ඇ. ඩොලර් ලක්ෂ 25 හොරකම් කළා පමණක් නොව මේ හොරකම පාර්ලිමේන්තුවෙන්, මුදල් කාරක සභාවෙන් සහ ජනතාව ගෙන් මේ රජය සඟවා තිබෙනවා. දැන් මේ වගකීම නිලධාරීන්ට පටවා නිලධාරීන්ට චෝදනා කරමින් ඒ ආයතනය තුළ ම පරීක්ෂණයක් සිදු කරනවා. එය පක්ෂග්‍රාහී ක්‍රියාවක්. මේ අවස්ථාවේ පූර්ණ නිගමන සනාථ කරන පරීක්ෂණ නොව විනිවිදභාවයෙන් යුක්ත පරීක්ෂණයක්. මේ පරීක්ෂණය කළ හැක්කේ පාර්ලිමේන්තු තේරීම් කාරක සාභාවකින්. එහි සභාපති සහ බහුතරය විපක්ෂයෙන් විය යුතු යි.

අපි මේ ගැන කියද්දි ආණ්ඩුව දන්නේ මඩ ගහන්න විතරයි

මෑත කාලයේ දී රාජ්‍ය පාලනයේ දුර්වලතාව, නොහැකියාව සහ අකාර්යක්ෂමතාව නිසා සමස්ත රටට ම හා ලක්ෂ 220ක් ජනතාවට විශාල පාඩු රැසක් සිදු වුණා. දෙසැම්බර් මාසයේ ඔස්ට්‍රේලියාවට ඇ. ඩොලර් ලක්ෂ 25ක් ගෙවන්න තිබුනු අතර එම ගණුදෙනුවෙන් පසු ජනවාරි මාසයේ අදාළ ආයතනවලට එම වාරිකය ගෙවී නැති බව දැක ගන්නට ලැබී තිබෙනවා. ඉන් පසු රජය මාස 3-4ක් කල්මරා හොර රහසේ මේ ගැන සොයන්න කමිටුවක් පත් කරන අතරතුර ණය කළමනාකරණ ආයතනයට මාර්තු මාසයේ දී ලන්ඩන් නුවර දී හොඳම ණය කළමනාකරණ ආයතනය ලෙස සම්මානයට පාත්‍රවෙනවා. මේ සියල්ල මැද ඩොලර් ලක්ෂ 25ක ණය වාරිකය සොයා ගැනීමට නොහැකි වුණා. විවිධ ක්‍රමවේද හරහා මේ මුදල් අස්ථානගත වූ බවට විවිධ කතා කිව්වත් තවමත් සත්‍ය අනාවරණය වී නැහැ. යම් පුද්ගලයන් දෙදෙනකු අතර මුදල් හුවමාරුවක් සිදු වන විට අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් තියෙනවා. මේ ගැන විග්‍රහ කරන විට පවා සමාජ මාධ්‍ය හරහා උපහාසයට අපහාසයට ලක් කළා. රජයන් දෙකක් අතර පවා මුදල් හුවමාරු වන විට ද මේ ක්‍රම අනුගමනය කළ යුතු වුවත් ඒ ක්‍රමවේද අනුගමනය නොකිරීම නිසා ඩොලර් ලක්ෂ 25ක් අහිමි වෙලා.

2019-2024 ගත් තීන්දු නිසා ජනතාව අද අසරණ වෙලා

සමහර කරුණු සම්බන්ධයෙන් වැඩිදුර දැනුවත් වීම අනවශ්‍ය බව අද වන විට ජන සමාජයේ සමහර කොටස්වල මතය වී තිබෙනවා. දැනුම යනු සින්නක්කර දේපළක් නොව බෙදාහැරිය යුතු දෙයක් වුවත් මෙසේ දැනුම බෙදා හැරීමම අද ජන සමාජයේ දැවැන්ත විරෝධයකට ලක්වූ දෙයක් වී තිබෙනවා. දැනුවත්භාවයකින් තොරව 2019, 2024 කාලයේ ජනතාව ගත් තීන්දු තීරණ නිසා අද රටත් ජනතාවත් දැවැන්ත අසරණ වෙලා. තොරතුරු දත්ත මත නොව මුදල් මත පදනම් වූ ප්‍රතිරූප ගොඩනැගීමටත් හරයක් නොමැති කතාවලට ඇබ්බැහි වීම නිසා ජනතාව මේ වන විට කලකිරිලා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න