බැඳුම්කර වාර්තාවේ එජාපයට අවාසි කොටසක් නැතැයි ඒකාබද්ධය කනස්සල්ලෙන්

බැඳුම්කර වාර්තාවේ එජාපයට අවාසි කොටසක් නැතැයි ඒකාබද්ධය කනස්සල්ලෙන්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති බැඳුම්කර කොමිසම් වාර්තාවේ එක්සත් ජාතික පක්ෂයට හෝ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට බරපතල අවාසි සහගත කරුණු නොමැතිවීම ගැන ඒකාබද්ධ විපක්ෂය බලවත්සේ කනස්සල්ලට පත්ව සිටින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එම තත්වය යටතේ, එජාපයට අවාසි සහගත කොටස් පාර්ලිමේන්තුවට ලබාදී ඇති වාර්තාවෙන් ඉවත්කර ඇතිබව පවසමින් ඒකාබද්ධය මාධ්‍ය ප්‍රචාරයක් දියත්කර තිබේ.

'ඉරිදා මව්බිම' පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කර ඇති ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති වාර්තාවේ ඉතා වැදගත් තොරතුරු රාශියක් වසන් කර ඇති බව එම වාර්තාවේ පිටු 100කට වඩා අඩුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබීමෙන් පෙනී යන බව කියා සිටියි.

රවීගේ බලපෑම මත සිදුවූවක් ද ?

 බැංකු ක්‍රමය, මූල්‍ය ක්‍රමය සහ බැඳුම්කර වෙළෙඳපොළ ක්‍රියාවලියට අයත් වාර්තාවේ ඇතුළත්වන සංවේදී තොරතුරු රහසිගතව තබා ගැනීම පිළිබඳව විරෝධතාවක් නැතත් එවැනි තොරතුරු ඇතුළත් වන්නේ පිටු කීපයක පමණක් බැවින් බැඳුම්කර වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට ඒවා අත්‍යවශ්‍ය බවත් ඔහු පවසයි.

විශේෂයෙන් කොමිසමේ මුල් වාර්තාවේ පිටපතක් තමා ලබාගත් බව රවි කරුණානායක මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබූ අතර ඔහුගේ බලපෑම මත ඔහු හා එජාපයට අවාසියක් වෙතැයි සිතන කොටස් හිතාමතා ඕනෑකමින් ඉවත් කරවා ගෙන පාර්ලිමේන්තුවට වාර්තාව දුන් බවට සැකයක් තිබෙන බවද ගුණවර්ධන මහතා කියයි.

එහිදී ඔහු මෙසේද පවසා ඇත.

''ජනාධිපතිට භාරදුන් කොමිෂන් වාර්තාවේ මුල් පිටපත අපට ලබානොදුනහොත් බැඳුම්කර විවාදයේදී අප විවාද කරන්නේ සමහර වැදගත් කරුණු නොදැනයි. ඒ නිසා පැහැදිලි විවාදයක් වෙන්නත් එජාපය කර ඇති මහ පරිමාණ වංචාවක් හෙළිදරව් කර ගැනීමටත් අදාළ වන පරිද්දෙන් ජනාධිපති ළඟ ඇති මුල් වාර්තාවේ පිටපත් ඒකාබද්ධ විපක්ෂයට ලබා දෙන්නැයි ජනාධිපති වෙත ලිපියක් මේ සතියේ යවනවා.''

වාර්තාවේ මුල් පිටපතක් දෙන්න - දිනේෂ්

ජනාධිපති කාර්යාලය කතානායකවරයා මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙන්නේ මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිසමේ පූර්ණ වාර්තාවක් නොවන බව ප්‍රකාශ කරන ඒකාබද්ධ විපක්ෂය, ජනාධිපති කොමිසම ජනාධිපතිවරයාට භාර දුන් අසංශෝධිත වාර්තාවේ මුල් පිටපතක් ලබාදෙන ලෙස ලිඛිත ඉල්ලීමක් කිරීමට යයි.

මේ සතිය ඇතුළත ජනාධිපති වෙත එම ලිඛිත ඉල්ලීම කිරීමේ කටයුත්ත ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා වෙත පවරනු ලැබ තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න