ජනාධිපතිවරයා ඇතුළු ව්‍යවස්ථා කුමන්ත්‍රණකරුවන්ට දඬුවම් ලබාදිය යුතු යැයි ‘දිදුලන හඳවත’ සංවිධානය පවසයි.
එම සංවිධානයේ සම කැඳවුම්කරු ප්‍රවීණ ගීත පද රචක ලේඛක රවී සිරිවර්ධන මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව ප්‍රකාශ කර සිටියේය.
මාධ්‍ය හමුව සඳහා ලක්ෂ්මන් විජේසේකර, කෞශල්‍යා ප්‍රනාන්දු, අමා විජේසේකර ඇතුළු කලාකරුවන්, ලේඛකයන්, සමාජ ක්‍රියාකාරීන් පිරිසක් එක්ව සිටි අතර පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිදුකළ දේශපාලන කුමන්ත්‍රණය පිළිබඳව සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පුරවැසියාගේ වගකීම කවරේද යන්න ඔවුන් අදහස් දැක්වීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවි සිරිවර්ධන මහතා
ඔක්තෝබර් 26දා කුමන්ත්‍රණකාරීව ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවක් පිහිටුවූ අවස්ථාවේ මේ කුමන්ත්‍රණයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම වෙනුවෙන් අපි පෙනී සිටියා. එදා සිදුවුණේ අශිෂ්ට වැඩක්. ඒ අශිෂ්ට දේශපාලනය වෙනස් කිරීම වෙනුවෙනුයි අපි පෙනී සිටින්නේ.
අපි මේ සම්බන්ධයෙන් රටේ සබුද්ධික පුරවැසියන් සමඟ සටනේ සිටියා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ දේශපාලන පක්ෂයක් අනීතිකව ක්‍රියා කරනවිට ඊට විරුද්ධව පෙනී සිටීම නෙවෙයි. ඊට එහා ගිය දෙයක් එහි තිබෙනවා. නමුත් අපේ කාර්ය භාරය අවසන් නැහැ. ඒක මීට වැඩිය පුළුල් දෙයක්. මේ රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් දිනා ගන්නා තුරු ඉදිරියට යනවා. අපි සූදානම් සක්‍රියව ඉදිරියටම යෑමට. ‘ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම’ යනු එක කුමන්ත්‍රණයක් පරාජය කිරීම නෙවෙයි. ශිෂ්ට සම්පන්න දේශපාලනයක් වෙනුවෙන් අප පෙනී සිටිනවා.’ ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය’ දැන් පරාද වී තිබෙනවා.
අපි ඉදිරිපත් කළ සටන් පාඨ අතරින් මුල්ම කාරණය තමයි මේ රටේ ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දෙනවා. එය බරපතළ දෙයක්. එයට සම්බන්ධ වුණු පිරිස්වලට මොනවාද කළ යුත්තේ. මීට සම්බන්ධ වුණු ජනාධිපතිවරයා ඇතුළු සියලු දෙනාටම විශේෂ කමිටුවක් හරහා දඬුවම් කළ යුතුයි. එහෙම වුණොත් සමාජයට සාධාරණයක් සිදුවේවි. අපි ආණ්ඩුවට බල කරනවා ව්‍යවස්ථා කුමන්ත්‍රණකරුවන්ට වහාම දඬුවම් දෙන්න කියලා. කුමන්ත්‍රණකරුවන් සමඟ ඩීල් දාන්නට හැකියාවක් නැහැ ආණ්ඩුවට
‘දිදුලන හදවත’ නමින් අපේ මාසික ප්‍රකාශනය අපි අද නිකුත් කරනවා. අපේ අදහස් උදහස් මෙන්ම සමාජ දේශපාලනික ප්‍රශ්න ඒ හරහා රටේ ජනතාව සමඟ බෙදාහදා ගැනීමට අපි සූදානම්. පුරවැසියාට ඉතා දියුණු දේශපාලන සාක්ෂරතාවක් ඇති කිරීමටයි අප සූදානම් වන්නේ.
ඔක්තෝබර් 26දාට වඩා පුළුල් කාර්යභාරයක් දැන් අපට තිබෙනවා. ජනතාවට අමු අමුවේ බොරු කියන මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොහොට්ටු පක්ෂයේ වැඩපිළිවෙළ පරාජය කළ යුතුයි. ඒ වගේම එජාපය ප්‍රමුඛ ආණ්ඩුවේ ජනතාවට එරෙහි පියවර ලත්තැනම ලොප්කළ යුතුයි. වඩා ඉදිරිගාමී දේශපාලනයක් ගැන පුරවැසියා සමඟ සංවාදගත වියයුතුයි.
සිරිසේන අත්තනෝමතිකව වැඩ කළා - නීතිඥ විරංජන හේරත්
ජනාධිපතිතුමා ඔහුගේ නිල කාලය සම්බන්ධයෙන් ගැටලුවක් ආ විට ශ්‍රේෂ්ඨාධිකරණය මතය විමසලා එය නිරවුල් කර ගත්තා. එහෙත් අගමැතිවරයා ඉවත් කිරීම, පත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසුවේ නෑ.
ජනාධිපතිවරයා රටේ ඉහළම පුරවැසියා. ඔහුට සදාචාරයක් තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් නෛතික ගැටලුවක් ඇත්නම් ඒ පිළිබඳ විමසන්න. ඔහු ඒක කරන්නේ නැතිව ඔහුට ඕන විදියට ඊනියා නීතිඥ මණ්ඩලයකින් උපදෙස් අරන් හිතුමනාපෙට වැඩ කළා.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී බවට රටේ ඉහළම අධිකරණය තීන්දුවක් ලබාදී තිබෙනවා. රටේ තියෙන උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒකට පයින් ගහනවා කියන්නේ දඬුවම් ලැබිය හැකි වරදක්. ජනාධිපතිවරයකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කරනවා නම් ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ආ හැකියි.
පුරවැසියන් අපහරණයට ලක්වුණා - ප්‍රවීණ ලේඛක නාට්‍යවේදී අසංක සායක්කාර
ව්‍යවස්ථා කුමන්ත්‍රණය නිසා පුරවැසියන් අපහරණයට ලක්වුණා. දැන් එහි එක් කොටසක් ඉවරයි. අපි දිගටම පුරවැසියා වෙනුවෙන් පෙනී සිටිනවා. දේශපාලකයන් කටයුතු කරමින් සිටින්නේ ජනතාව හරක් කියලයි. මහින්ද රාජපක්ෂලා පොහොට්ටුවේ සාමාජිකත්වය ප්‍රසිද්ධියේ ලබාගෙන දැන් කියනවා නැහැ කියලා. මේවා කොච්චර විහිළු සහගත දේවල්ද? අපේ සටන අවසන් නැහැ. අපි මේ සටන දිගටම කරගෙන යා යුතුයි.
කුමන්ත්‍රණය අවසන් නෑ : ගේම් දේශපාලනයත් තවම තියනවා - දිදුලන හදවත සම කැඳවුම්කරු ප්‍රවීණ මාධ්‍යවේදී විමල් කැටිපෙආරච්චි
කුමන්ත්‍රණය ඉවර නැහැ. ගේම් දේශපාලනය තවම යනවා. මිනිස්සු පාරට බැස්සේ රනිල්ගේවත්, සජිත්ගේවත්, ප්‍රශ්නෙකට නෙවෙයි. රටේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්නයක් නිසයි. මේ රටේ මාධ්‍ය මර්දනයක්, වාරණයක් තිබෙනවා. කෝ එය වෙනුවෙන් මාධ්‍යවේදීන් පෙනී සිටිනවා. මාධ්‍ය සහෘදයන් මාධ්‍ය මර්දනයට එරෙහි විය යුතුයි. මේ රටේ අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම සම්බන්ධයෙන් කෝ මාධ්‍ය ආවරණයට ඉඩ දුන්නේ නෑ. මේවා ඉතාම වැරැදි දේවල්. රටේ ජනතාවගේ අයිතිවාසිකමක් ඒවා දැකබලා ගන්න එක.
මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම එයාලගේ අවසාන තුරුම්පුව පාවිච්චි කිරීමට බලාගෙන ඉන්නවා. ඒ තමයි ජාතිවාදය සහ ආගම්වාදය ඉස්සරහට දැමීම. අපි එයට විරුද්ධව සිටිය යුතුයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
