Image

Freedom 250 බේස්බෝල් තරඟාවලිය ඇමරිකානු උරුමයට සහ ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවේ දශක හතරක ගමන් මගට උපහාර

Freedom 250 බේස්බෝල් තරඟාවලිය ඇමරිකානු උරුමයට සහ ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවේ දශක හතරක ගමන් මගට උපහාර

ජූලි 3වන දා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය, එක්සත් ජනපදයේ 250 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන Freedom 250 බේස්බෝල් තරගාවලියේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවට හිමි දිගුකාලීන ඇමරිකානු උරුමය සමරමින් ප්‍රවීණ පුහුණුකරු ජිම් ඩිමික් අනුස්මරණ බේස්බෝල් ක්ලැසික් තරගාවලිය දියත් කළේ ය.

තරගාවලිය නිල වශයෙන් දියත් කිරීම සඳහා කොළඹ රාජකීය විද්‍යාලයේ දී ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, ආදි ශිෂ්‍යයන් සහ ශ්‍රී ලංකා බේස්බෝල්/සැහැල්ලු පන්දු සංගමයේ නිලධාරීන් සමග ජේන් හොවෙල් වැඩ බලන තානාපතිනිය එක් වූ අතර, මැරීන් ආරක්ෂක බළකායේ ගනරි සාර්ජන්ට් කයිල් ඇපරිසියෝ සමාරම්භක පළමු පන්දුව යොමු කළේ ය.

රිච්මන්ඩ් විද්‍යාලය ශූරතා තරයට සුදුසුකම් ලබයි

මෙම තුන්කොන් තරගාවලියේ දී කොළඹ රාජකීය විද්‍යාලය, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය යන පාසල් තුන එක්ව තරග වැදුණි. මෙම පාසල් තුනේ ඉතිහාසය ශ්‍රී ලංකාවේ ඇමරිකානු බේස්බෝල් ක්‍රීඩාවේ වර්ධනය සමග සමීපව බැඳී ඇත. රාජකීය විද්‍යාලයට එරෙහිව ලකුණු 26-10 ක ජයක් ලබා ගනිමින් කිංග්ස්වුඩ් කණ්ඩායම තරගාවලිය ආරම්භ කළ අතර, අනතුරුව රිච්මන්ඩ් විද්‍යාලයට එරෙහිව ලකුණු 15-7 කින් පරාජයට පත් විය. රාජකීය විද්‍යාලයට එරෙහිව ලකුණු 7-7ක් ලෙස ජය පරාජයෙන් තොරව තරගය අවසන් කරමින් රිච්මන්ඩ් විද්‍යාලය ශූරතා තරඟයට සුදුසුකම් ලබා ගත්තේය. එහෙත් අවසන් තරඟයේ නැවත හමුවේ දී කිංග්ස්වුඩ් විද්‍යාලය ලකුණු 11-6ක ජයක් වාර්තා කරමින් Freedom 250 ශූරතාව දිනා ගත්තේ ය.

දෙරට අතර සබඳතා ශක්තිමත් කරමින් සිටීම පිළිබඳව අප ආඩම්බර වෙනවා

"ඇමරිකාව සිය නිදහසේ 250 වන සංවත්සරය සමරන මේ අවස්ථාවේ දී, අපගේ ජාතියේ ශ්‍රේෂ්ඨතම සම්ප්‍රදායන්ගෙන් එකක් වන බේස්බෝල් ක්‍රීඩාව සැමරීමට ලැබීම අපට මහත් ආඩම්බරයක්. පරම්පරා ගණනාවක් තිස්සේ, ඇමරිකාවේ ජාතික විනෝදාංශය ලෙස සැලකෙන බේස්බෝල් ක්‍රීඩාව කණ්ඩායම් හැඟීම, නොපසුබට උත්සාහය සහ ක්‍රීඩාශීලිත්වය තුළින් ප්‍රජාව එකට එක් කර තිබෙනවා. අදටත් එම ක්‍රීඩාව ඇමරිකානුවන් සහ ශ්‍රී ලාංකිකයන් අතර මිත්‍රත්වය ගොඩනැගීමට දායක වෙනවා. ඇමරිකානු පුහුණුකරුවකු ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට ප්‍රථම වරට හඳුන්වා දුන් බේස්බෝල් ක්‍රීඩාව අදටත් තරුණ ක්‍රීඩකයන් දිරිමත් කරමින් අප දෙරට අතර සබඳතා ශක්තිමත් කරමින් සිටීම පිළිබඳව අප ආඩම්බර වෙනවා,” යැයි වැඩ බලන තානාපති හොවෙල් තවදුරටත් පැවසුවාය.

බේස්බෝල් ඇමරිකානු ජීවන රටාව සමග තදින් බැඳී ඇති ක්‍රීඩාවකි. වසර 150කට වැඩි කාලයක් තිස්සේ, පවුල්වල සාමාජිකයන් බේස්බෝල් ක්‍රීඩාංගණවල එකට රැස්වී, දරුවන් ප්‍රධාන ලීග් බේස්බෝල් ක්‍රීඩකයන් වීමේ සිහින දකිමින්, ප්‍රජාව බේස්බෝල් ක්‍රීඩාව වටා එක්රොක් වී තිබෙනවා. අදටත්, ඇමරිකාවේ ජාතික විනෝදාංශය ලෙස සැලකෙන බේස්බෝල් ක්‍රීඩාව ලොව පුරා සිටින තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආභාෂය ලබා දෙමින්, කණ්ඩායම් හැඟීම, ක්‍රීඩාශීලිත්වය සහ ක්‍රීඩාවට ඇති පොදු ආදරය තුළින් මිනිසුන් අතර බැඳීම් ගොඩනගයි.

බේස්බෝල් ක්‍රීඩාවේ කල් පවතින කාර්යභාරය දෙරට අතර පාලමක්

දශක හතරක් තිස්සේ, එක්සත් ජනපදය පුහුණුකරුවන් ගේ හුවමාරු වැඩසටහන්, ක්‍රීඩා උපකරණ පරිත්‍යාග, තරුණ සංවර්ධන වැඩසටහන්, ප්‍රජා සම්බන්ධතා වැඩසටහන් සහ ශ්‍රී ලංකා බේස්බෝල්/සැහැල්ලු පන්දු සංගමය සමග හවුල්කාරිත්වයන් ඇතුළු ක්‍රීඩා රාජ්‍ය තාන්ත්‍රික වැඩසටහන් මගින් ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවේ වර්ධනයට සහාය ලබා දී ඇත. Freedom 250 බේස්බෝල් තරගාවලිය ඇමරිකාවේ 250 වන නිදහස් සංවත්සරය සහ ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවේ 40 වන සංවත්සරය යන අවස්ථා ද්විත්වය ම සමරයි. වසර පුරාම, එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලාංකික පාසල්, පුහුණුකරුවන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම හවුල් වී, අප දෙරට අතර පාලමක් ලෙස බේස්බෝල් ක්‍රීඩාවේ කල් පවතින කාර්යභාරය හඳුනා ගෙන ඇත. තව ද සංස්කෘතිය හරහා මිනිසුන් සම්බන්ධ කිරීමට හැකි ක්‍රීඩා රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ බලය පිළිබඳවද මේ තුළින් උදාහරණයක් සපයයි.

පුහුණුකරු ජිම් ඩිමික් පිළිබඳව

බේස්බෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබුවේ 1985 දී එක්සත් ජනපද මැරීන් බළකායේ ප්‍රවීණයෙකු සහ ජාතික බේස්බෝල් හෝල් ඔෆ් ෆේම් පුහුණුකරුවකු වන ජේම්ස් "ජිම්" ඩිමික් විසිනි, ඔහු රටේ පළමු බේස්බෝල් කඳවුර පැවැත්වීම සඳහා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ මුලපිරීමක් හරහා ශ්‍රී ලංකාවට පැමිණියේ ය. කොළඹ රාජකීය විද්‍යාලය, ක්‍රීඩාව මුල් බැස ගත් මුල් පාසල් හතර අතරින් එකක් වූ අතර, එම මුල් ක්‍රීඩකයින් ගෙන් බොහෝ දෙනෙක් අදටත් ශ්‍රී ලංකා බේස්බෝල් ක්‍රීඩාවේ ප්‍රමුඛ භූමිකාවන්හි කටයුතු කරති. පුහුණුකරු ඩිමික් ගේ දැක්ම සහ කැපවීම ක්‍රීඩාවේ අඛණ්ඩ වර්ධනය සඳහා අඩිතාලම දැමූ අතර, ඔහු ශ්‍රී ලංකා බේස්බෝල් ඉතිහාසයේ වඩාත් බලපෑම්කාරී චරිත අතරින් එකක් ලෙස පිළිගැනේ.

Image 01

ක්‍රීඩාව තුළින් ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින කල් පවත්නා මිත්‍රත්වය සමරමින්, පුහුණුකරු ජිම් ඩිමික් අනුස්මරණ බේස්බෝල් ක්ලැසික් තරගාවලියේ ආරම්භක තරගයට පෙර වැඩ බලන තානාපතිනි ජේන් හොවෙල් ශිෂ්‍ය ක්‍රීඩකයන්ට සුභ පතයි.

Image 02 පුහුණුකරු ජිම් ඩිමික් අනුස්මරණ බේස්බෝල් ක්ලැසික් තරගාවලියේ ආරම්භක තරගයට පෙර, සහභාගී වන කණ්ඩායම්වල නායකයින් සමග එක්සත් ජනපද තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපතිනි ජේන් හොවෙල්.

Image 03

ඇමරිකාවේ ජාතික විනෝදාංශය සහ ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවේ වසර 40ක ඉතිහාසය සමරමින්, එක්සත් ජනපද තානාපති කාර්යාලයේ Freedom 250 බේස්බෝල් තරගාවලියේ කොටසක් ලෙස පැවැත්වෙන පුහුණුකරු ජිම් ඩිමික් අනුස්මරණ බේස්බෝල් ක්ලැසික් තරගාවලිය ආරම්භ කරමින්, මැරීන් ආරක්ෂක බළකායේ ගනරි සාර්ජන්ට් කයිල් ඇපරිසියෝ, සමාරම්භක පළමු පන්දුව යොමු කළේ ය.

Image 04

 ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය නියෝජනය කරන ක්‍රීඩකයින්, පුහුණුකරු ජිම් ඩිමික් අනුස්මරණ බේස්බෝල් ක්ලැසික් තරඟාවලියේ තරා වදිති. දශක හතරකට පෙර ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවේ ආරම්භයට දායක වූ එක්සත් ජනපද මැරීන් බළකායේ සාමාජික ඇමරිකානු පුහුණුකරු සිහිපත් කරමින් මෙම තරඟාවලිය පැවැත්විණි.

Image 05

 1985 දී රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේ දී කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් සඳහා පුහුණු සැසියක් මෙහෙයවන පුහුණුකරු ජිම් ඩිමික්.

Image 06

පුහුණුකරු ජිම් ඩිමික් ගේ ඡායාරූපය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න