එළැඹෙන 2027 වසරේ වැටුප් වැඩිවීමක් එන තෙක් කිසිදු දීමනාවක් ඉහළ නොදමන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයෙන් ව්‍යසනයට පත් ජනතාව නැවත පදිංචි කරවීමේ මහනුවර දිස්ත්‍රික් වැඩසටහන එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
මෙම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී අද පෙරවරුවේ පැවැත්විය.
එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ 2025, 2026 වසරේ සහ 2027 රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම රුපියල් 33,000ක් වැය කර ඇති බවය.
ඒ අනුව 2027 තුන්වැනි වැටුප් වර්ධකය ඇතිවූවාට පසු අයවැයට සිදුවන බලපෑම සම්බන්ධව අවධානය යොමු කරමින් අනෙක් දීමනා ගැන සළකා බලන බවත් පැවසූ ජනාධිපතිවරයා සඳහන් කළේ එතෙක් කුමන උද්ඝෝෂණ සිදුකළද එළැඹෙන වසරේ වැටුප් වැඩිවීම එනතෙක් කිසිදු දීමනාවක් වැඩි කිරීමට පියවර නොගන්නා බවය.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක,
උද්ඝෝෂණය කළත්, පාරේ හිටියත් දීමනාවන් දෙන්නැ
"අපි රාජ්‍ය සේවය පැත්තෙන් බැලුවේ මූලික වැටුප් වැඩිවීම තමයි වැදගත් කියලා. අන්න ඒ මූලික වැටුප් වැඩි කිරීම සඳහා පමණක් 2025 වසරේ වැය කරලා තියෙනවා රුපියල් කෝටි 11,000ක්. 2026 වසරේ මේ ජනවාරි මාසේම තව කෝටි 11,000ක් වැය කරනවා. 2027 ඊළඟ කොටස තියෙනවා කෝටි 11,000ක් වැය කරනවා. 2027 වෙනකොට අපේ රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම සඳහා පමණක් අපි දරණ වියදම කෝටි 33,000යි. දැන් එහෙම වැටුප් වැඩි කිරීමක් කරලා තියෙද්දි මම දකිනවා සමහර අය ආයේ මේ දීමනාව වැඩිකරන්න, අර දීමනාව වැඩි කරන්න කියනවා. වෙන්නේ නෑ. ඉස්සෙල්ලා අපි 2027දි තුන්වැනි වැටුප් වර්ධකය ඇතිවුනාට පස්සේ අපේ අයවැයට එන බලපෑම දිහා බලලා තමයි අනෙක් දීමනා ගැන කල්පනා කරන්නේ. ඒ නිසා කවුරු මොන විදිහට උද්ඝෝෂණය කළත්, පාරේ හිටියත් දීමනාවන් 2027 ඊළඟ වැටුප් වැඩිවීම වෙනතෙක් කරන්නේ නෑ.
අපරාධ මැඩපැවැත්වීමට නීතියක් සකස් කරනවා
බොහෝ අය කල්පනා කළා මේ ව්‍යවසනය නිසා අපේ ආර්ථිකය කඩා වැටෙයි කියලා.. හිතුවානේ කට්ටිය. මාස දෙක ඇතුළත සමස්තය ගත්තොත් අපි සාමාන්‍යකරණයට ඇවිල්ලා තියෙනවා. විශාල ප්‍රමාණයක්. විදුලිය, පාරවල්, සම්බන්ධය, වතුර.. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මේ රටේ අත්පත් කරගන්නා ආර්ථික ජයග්‍රහණ මේ රටේ ජනතාවට බෙදලා දෙන්න. අපිට වැදගත්ම දේ ආර්ථිකය. තව තියෙනවා අපිට නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කරන්න ඕනේ. මේක කරනවාමයි කවරුත් සැකයක් තියාගන්න එපා. අයථා ලෙස උපයාගත් දේපළ පවරාගැනීමට සමත් නීතියක් අපි ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේදී සම්මත කළා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරලා ඉක්මනට ගේනවා. සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා නීතියක් සකස් කරනවා. ඒ වගේම මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නීතියක් සකස් කිරීමට සාකච්ඡා ඇති කරමින් තිබෙනවා... ඒ නිසා මේ රටේ තහවුරු කරන්න ඕනේ. නීතියේ රේඛාවක් තියෙනවා ඒ නීතියේ රේඛාවට යටින් තමයි ඔක්කොම ඉන්නේ කියලා. කිසිම කෙනෙක් නීතියේ රේඛාවෙන් උඩට පනින්න බැහැ. එහෙම රටක් අපිට අවශ්‍යයි. ඒ නිසා මම හිතනවා එය අපි පරිවර්තනය කරමින් තිබෙනවා සමහර අයට ඒ පරිවර්තනය රිදෙනවා. මේ පරිවර්තනය රිදෙනවා වැරදි කරන අයට."

