සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමට චීනය කටයුතු කරන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ Xizang ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් වැන්ග් ජුන්ෂෙන්ග් ( Wang Junzheng) ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවේ පැවසීය.
රට නැවත ගොඩනගන වැඩපිළිවෙලේදී චීනය සතු අත්දැකීම් ශ්‍රී ලංකාව සමග බෙදා හදා ගැනීමට සුදානම් බවද ඔහු කීය.
චීන නියෝජිත පිරිසක් සමඟ මෙරට සංචාරයක නිරත වැන්ග් ජුන්ෂෙන්ග් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (23)හමු විය.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පසුගිය චීන නිල සංචාරයේදී දෙරටේ ජනාධිපතිවරුන් අතර ඇති කරගත් අවබෝධතාව සහ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩ සහයෝගීතාවෙන් කටයුතු කරන බව පැවසූ වැන්ග් ජුන්ෂෙන්ග් චීන රජයේ සහාය ඇතිව දැනට ශ්‍රී ලංකාවේ ආරම්භ කර ඇති ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ නව ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා සහාය ලබා දෙන බව සඳහන් කළේය.
එමෙන්ම, රජයේ ප්‍රමුඛ වැඩසටහන් වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සහ අල්ලස හා දූෂණය පිටුදැකීමේ වැඩසටහනට සහාය ලබා දෙන බවත්, විශේෂයෙන් ග්‍රාමීය දිළිඳු බව පිටුදැකීමේදී චීනය සතු අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
ආපදාව හමුවේ චීනය ශ්‍රී ලංකාවට ලබා දුන් හදිසි සහ මානුෂීය ආධාර පිළිබඳව මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව අත නොහැර යළි ගොඩනැඟීම වෙනුවෙන් ලබා දෙන අඛණ්ඩ සහාය ඇගයීමට ලක් කළේය


