ඍජු විදේශ ආයෝජන මෙරටට ගෙන ඒම ප්‍රමාණවත් නොවන බවට ලෝක බැංකුව ප්‍රකාශ කරන මොහොතක ජනාධිපති අනුර කුමාර දිසානායක මෙරටට පැමිණෙන විදේශ ආයෝජන සුරක්ෂිත කිරීමට කැපවන බවට ප්‍රකාශ කිරීම අගය කළ යුතු ප්‍රශංසනීය ප්‍රකාශයක් බව ජාත්‍යන්තර ආයෝජක උපදේශක සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපති ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ පසුගියදා BMICH හි පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු...
ශ්‍රී ලංකාවේ: යල් පැන ගිය කම්කරු නීති, ව්‍යාපාරික නම්‍යශීලී සීමා වහාම වෙනස්කළ යුතු යි
''ජාත්‍යන්තර ආයෝජන මෙරටට පැමිණීම ඉතාමත්ම අඩු අගයක් ගන්නා බව ලෝක බැංකුව පෙන්වා දී තිබෙනවා. ඍජු විදේශ ආයෝජන ඉහළ මට්ටමකට ගෙන ඒමට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බවට ලෝක බැංකුවේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ට ආර්ථික විද්‍යාඥ රිචඩ් වෝකර් මහතා පෙන්වාදී තිබෙනවා. වසර 2030දී එක්සත් ජනපද ඩොලර් බිලියන 36ක ඍජු විදේශ ආයෝජන දිනාගැනීමට ශ්‍රී ලංකාව රජය ඉලක්කකොට තිබෙනවා.
මෙම ඉලක්ක ජයගැනීමට නම් අනිවාර්යෙන් ම ශ්‍රී ලංකාවේ බොහොමයක් යල් පැන ගිය කම්කරු නීති ඇතුළු ව්‍යාපාරික නම්‍යශීලී සීමාවන් වහාම වෙනස්කළ යුතු යි. ආයෝජන හිතකාමී පරිසරයක් ඇතිකිරීමට ඉඩම්, කම්කරු නීති රෙගුලාසි ඇතුළු අංශ කිහිපයක ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකළ යුතුය. මේ සඳහා රජය ගන්නා උත්සාහය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අමෙරිකානු නියෝජිතයින්ට පසුගිය සතියේ පෙන්වා දී තිබෙනවා. වත්මන් රජය යටතේ මෙරටට පැමිණෙන ආයෝජකයින්ගේ සහ ආයෝජනවල සුරක්ෂිතභාවය තහවුරු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනවා. ඔහු ආයෝජන විෂයභාර ඇමැතිවරයා ලෙස ඊට ලබාදී ඇති ප්‍රමුඛතාවය ප්‍රශංසනීය යි.
විදේශ ආයෝජන දිනා ගැනීමේ දී: ජාතිවාදය, ආගම්වාදය බැහැර කළ යුතුයි
මෙවන් අවස්ථාවක ශ්‍රී ලංකාව වැඩි වැඩියෙන් විදේශ ආයෝජන දිනාගැනීමට කටයුතු කරන බව වචනයෙන් කියා පමණක් ප්‍රමාණවත් නැහැ. ඊට වැඩපිළිවෙළක් ද සකස් කළ යුතුයි. පසුගිය රජයන් යටතේ පැවැති ආයෝජන දිනාගැනීමේ අක්‍රමවත් භාවය දුරුකොට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ නව නීති රීති සකස් කර ආයෝජන දිනාගැනීමට ක්‍රියා කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. විදේශ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවත් ජනාධිපතිවරයා පැවසුවා.
අපේ රටේ විදේශ ආයෝජන දිනා ගැනීමේ දී: ජාතිවාදී, ආගම්වාදය බැහැර කර ජාතික සමගිය ගොඩනැගීම නීතිය සහ සාමය ආරක්ෂා කිරීම කළ යුතුයි. කාර්යක්ෂම රාජ්‍ය සේවයක් නිර්මාණය කළ යුතුයි. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා විනිවිද පෙණෙන ආකාරයෙන් සහ පාරදෘෂ්‍ය අයුරින් පවත්වාගත යුතුයි. නවීන තාක්ෂණය භාවිතාකොට ජිජිටල්කරණය වූ ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කළ යුතුයි. මේවා සියල්ල ඉටුකරන බවට ජනාධිපතිතුමා අමෙරිකා එක්සත් ජනපදයේ නියෝජිත පිරිස හමුවූ අවස්ථාවේ ප්‍රකාශ කළා. එය ඉතා වැදගත්. ඒ වගේ ම මෙවැනි ඉහළ නිලධාරීන් පිරිසක් සහ අමෙරිකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රෙය් ප්‍රවීණයින් එක්ව සාකච්ඡා කිරීම රටට හොඳ දෙයක්. එය අනාගත ශ්‍රී ලංකාවේ ඍජු විදේශ ආයෝජන ඉහළ දමා ගැනීමට ලොකු බලපෑමක් කළ හැකි කටයුත්තක්. තිබෙන අඩු පාඩු මගහරවාගෙන වඩාත් විශ්වාසයෙන් ආයෝජකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් දෙයක්.''
අමෙරිකාවේ ප්‍රකට Crow Holdings සභාපති හාර්ලන් ක්‍රෝ (Harlan Crow) අමෙරිකා එක්සත් ජනපද – ඉන්දියානු සබඳතා සහ M&A ව්‍යාපාර ප්‍රධානී ක්‍රිෂ්ණා බාලම් (Krishna Balam) ඇතුළු කිහිපදෙනකු ජනාධිපතිවරයාගේ සාකච්ඡාවට එක් වූහ.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු ඇමැති සහ මුදල් ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු එක්ව සිටියහ.
(සටහන - ජේ. මුනසිංහ)