Language Switcher

Ad

Ad 01

V2025

ජාත්‍යන්තර ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් රෝසි සේනානායකගෙන් සුබපැතුම්!

කොළඹ මහ නගර සභාවේ ප්‍රථම නගරාධිපතිනිය වූ රෝසි සේනානායක ජාත්‍යන්තර වැඩිහිටි දිනය සහ ලෝක ළමා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් ඒක් කර තිබුණා ය.

මතු පළ වන්නේ එම සුබ පැතුම් පණිවිඩය යි.

ජාත්‍යන්තර වැඩිහිටි දිනය සහ ලෝක ළමා දිනය වෙනුවෙන් කොළඹ මහ නගර සභාවේ ප්‍රථම නගරාධිපතිනිය ලෙසත්, මවක් සහ මිත්තනියක් ලෙසත් මාගේ හදවතින්ම සුබපැතුම් එක් කරමි...!

මෙම දිනයන්හි දී අප නැවත වරක් සිහිපත් කරන්නේ අපේ රටේ දරු පරපුරේ අයිතිවාසිකම් සහ වැඩිහිටි ජනතාවගේ ගෞරවය හා සුරක්ෂිතභාවය වෙනුවෙන් පෙනී සිටීමේ වැදගත්කම යි. ශ්‍රී ලංකාවේ අප මෙම කණ්ඩායම් දෙකම සමරන්නේ ඔක්තෝබර් 01 වන දින වීම මට නම් ඉතාම සුවිශේෂී කරුණකි.

ළමා සුරක්ෂිතතාව සහ මාතෘ සත්කාර වෙනුවෙන් මාගේ කැපවීම

මම නිරතුරුව ම කාන්තා සහ ළමා අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නැඟුවෙමි. ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළ කෙටි කාලය තුළ දී, මවක් සහ මිත්තනියක් ලෙස ලද අත්දැකීම් පෙරදැරි කරගෙන මෙරට අනාගතය වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට මට හැකි විය. මුළු ලංකාවේ ම ගැබිනි මව්වරුන්ගේ පෝෂණය තහවුරු කිරීමටත්, අඩු බර දරු උපත් අවම කිරීමටත් මූලික පියවර ගනිමින්, සෑම ගැබිනි මවකටම රු. 20,000ක පෝෂණ මල්ලක් ලබා දීමේ වැඩසටහන ආරම්භ කිරීමට හැකිවීම මාගේ දේශපාලන ජීවිතයේ විශාලතම ජයග්‍රහණ අතර වේ.

අධිකරණ අමාත්‍යාංශය සමග එක්ව ළමා ආරක්ෂණ පනත ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමත්, මුල් ළමාවිය සංවර්ධනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50ක ආධාර ලබා ගනිමින් අනාගත ළමා පරපුරේ හෙට දවස වෙනුවෙන් පදනම දැමීමට හැකිවීමත් මට මහත් සතුටකි.

ලෝක ළමා දිනය වෙනුවෙන් දරුවන් සඳහා වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් දියත් කිරීමට හැකිවීමත්, මම අත්දුටු මාතෘත්වය නිසාම ලබාගත් තීරණ වේ. දරුවකුගේ මුල් වසර පහ කෙතරම් තීරණාත්මක දැයි මම හොඳින්ම දනිමි. එමෙන්ම, මුල් ළමාවිය අධ්‍යාපනය නොමිලේ ලබාදීමේ වැදගත්කම මම නිරන්තරයෙන්ම පෙන්වා දී ඇත්තෙමි. මා විසින් හඳුන්වා දෙන ලද 'Think Equal' නම් සමාජ සහ චිත්තවේගීය අධ්‍යාපන විෂය මගින් සංවේදනය (Empathy) සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව කුඩා කල සිට ම දරුවන්ට ඉගැන්වීම මගේ විශාල බලාපොරොත්තුවකි. මම විශ්වාස කරන්නේ මෙවන් වටිනාකම් මුල් බැස ගැනීම අනාගතයේ දී කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැනි ගැටලු විසඳීමට මග පෙන්වන බවයි.

අභියෝග මැද නායකත්වය සහ මාතෘත්වය

ලෝක රූ රැජිනක්, මහකොමසාරිස්වරියක්, රාජ්‍ය අමාත්‍යවරියක් සහ ප්‍රථම කොළඹ කාන්තා නගරාධිපතිනිය ලෙස මා ඉටු කළ භූමිකා රැසකි. එහෙත්, මෙම සියලු රාජකාරිවලට වඩා මා අගය කරන්නේ මවක් සහ මිත්තනියක් ලෙස ලැබූ වටිනාකමයි. මිත්තනියක වීම මාගේ ජීවිතයේ වඩාත්ම අගය කරන තනතුර බව මම අවිවාදයෙන්ම පිළිගනිමි.

ප්‍රථම කොළඹ කාන්තා නගරාධිපතිනිය ලෙස මම මුහුණ දුන් අභියෝග අතිමහත්ය. දේශපාලනයේ දී පුරුෂ පාර්ශ්වයට සාපේක්ෂව නිතරම දවසේ පැය 24 පුරාම සතියේ දින 7 පුරාම (24/7) තම රාජකාරී පිළිබඳව අවධානයෙන් සිටීමට සිදුවන බව මට දැනී ඇත. එහෙත්, දේශපාලන ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනය 25%ක් අනිවාර්ය කිරීමට මා හඬ නැඟීම, එම වීදුරු සිවිලිම බිඳ දැමීමට හැකිවීම මා ලද විශිෂ්ටතම ජයග්‍රහණය යි.

මාතෘත්වයේ සහ වෘත්තීය ජීවිතයේ සමබරතාව පවත්වා ගැනීමට මාගේ දරුවන් වැඩී ස්වයංපෝෂිත වූ පසුව දේශපාලනයට පිවිසීමත්, මගේ සැමියාගෙන් ලැබුණු විශාල සහයෝගයත් උපකාරී විය. දරුවන් සහ පවුල වෙනුවෙන් කැප කිරීමට තිබූ අවස්ථා වැඩ කටයුතු නිසා අහිමි කර ගැනීම මගේ විශාලතම පසුතැවීම යි. මාගේ සැමියාගේ සහ දියණියගේ අකල් වියෝවෙන් මා ලැබූ කම්පනය, ජනතාවගේ ජීවිත යහපත් කිරීමට මාව පොලඹවන 'ඇයි' (My Why) බවට පත් වී තිබේ.

අනාගත නායිකාවන්ට මාගේ පණිවුඩය

තරුණ කාන්තා නායිකාවන්ට මා දෙන උපදෙස නම්: අනෙකුත් කාන්තාවන්ට සහයෝගය දෙන්න. අප සියලු දෙනාම එක් සහෝදරත්වයක් බව මතක තබා ගන්න. ඔබගෙන් එක් අයෙක් වීදුරු සිවිලිමක් බිඳ දමන විට, එය අප සැමටම ප්‍රයෝජනවත් වේ. ආයතනික මානසිකත්වයන් සහ නොදැනුවත්ව සිදුවන ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ පක්ෂග්‍රාහීත්වය යනු අප මුහුණ දෙන විශාලතම බාධක බව සිහි තබා ගන්න. කරුණාව, දයාව, සංවේදනය පිරි, පැහැදිලි දැක්මක් ඇති නායකයින් වන්න. ඔබගේ ගමනේ දී කුමන විවේචන පැමිණිය ද ශක්තිමත්ව ඉදිරියට යන්න.

මා මිය ගිය පසු මා සිහිපත් කිරීමට මා කැමතිම බයිබල් පාඨය 2 තිමෝති 4:7 යි: “මම යහපත් සටන සටන් කළෙමි, දිවීම අවසන් කළෙමි, ඇදහිල්ල රැක ගතිමි.”

ඔබ සැමටම යහපතක්ම වේවා...!

රෝසි සේනානායක.
(බර්නාඩින් රෝස් සේනානායක)
කොළඹ මහනගර සභාව: ප්‍රථම නගරාධිපතිනිය.