රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට නම් සියලු ක්ෂේත්‍රවල කාර්යක්ෂමතාව සහ විනිවිඳභාවය තහවුරු කළ යුතු බවත්, වත්මන් රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව ආර්ථික මෙන්ම සමාජයීය වශයෙන් නව තලයකට ඔසවා තැබෙන වැඩපිළිවෙළක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය (2025- 2029) හඳුන්වා දීම සහ ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය (NCSOC) විවෘත කිරීමේ අවස්ථාවට අද (19) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එක් වෙමිනි.
ඩිජිටල් ආර්ථික පරිවර්තන වැඩපිළිවෙළෙහි සුවිශේෂී අවස්ථාවක් ලෙස ආරක්ෂිත, විශ්වාසනීය සහ සියලු පුරවැසියන් ආවරණය කෙරෙන ඩිජිටල් පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT), ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව ලෝක බැංකුවේ තාක්ෂණික සහායද ඇතිව ශ්‍රි ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය 2025-2029 හඳුන්වා දී තිබේ.
සයිබර් ආරක්ෂණය සඳහා අවශ්‍ය නීති සහ පරිපාලන රාමුව සකස් කිරීම, සයිබර් ආරක්ෂණය පිළිබඳ දැනුම සහ කුසලතාවලින් පරිපූර්ණ වූ ශ්‍රම බළකායක් නිර්මාණය කිරීම, මහජනතාවගේ සහ පාසල් දරුවන්ගේ සයිබර් ආරක්ෂණය පිළිබඳ දැනුම සහ ආකල්ප වර්ධනය, රාජ්‍ය ආයතනවල සයිබර් ආරක්ෂණ සූදානම වැඩිදියුණු කිරීම, ශ්‍රී ලංකා සර්ට් ආයතනයේ ධාරිතාව වැඩිදියුණු කිරීම, තීරණාත්මක ඩිජිටල් යටිතල පහසුකම් පවත්වාගෙන යන ආයතන ආරක්ෂා කිරීම සහ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා විවිධ පාර්ශ්ව සමඟ සහයෝගීතාව වර්ධනය කිරීම මෙම මූලෝපාය මඟින් අපේක්ෂා කෙරේ.
අද ආරම්භ කෙරුණු ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය මඟින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු තීරණාත්මක ඩිජිටල් යටිතල පහසුකම් පවත්වා ගෙන යන ආයතන 37ක් දවසේ පැය 24 පුරා නිරීක්ෂණය කරමින්, ඒවාට එල්ල වන සයිබර් ප්‍රහාර හඳුනාගැනීමට කටයුතු කරනු ඇත.
සයිබර් තර්ජන, අවදානම් සහ ආක්‍රමණ අඛණ්ඩව නිරීක්ෂණය කිරීමෙන් සහ සුදුසු පාර්ශ්වකරුවන්ට වහාම දැනුම් දීමෙන් රජයේ සයිබර් පද්ධති සහ පොදු ඩිජිටල් සේවා ආරක්ෂා කිරීම මෙහි වගකීමයි.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පද්ධතියේ ආරක්ෂාව සහ ඔරොත්තූ දීමේ හැකියාව වැඩිදියුණු කිරීම, සයිබර් සහ අවදානම් සඳහා පුර්ව අනතුරු ඇඟවීම සහ වේගවත් ප්‍රතිචාර සැපයීම, ආරක්ෂිත ඩිජිටල් මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශයට සහාය වීම සහ දැනුවත් කිරීම මෙම මධ්‍යස්ථානය මඟින් සිදුකරනු ඇත. මෙහෙයුම් අඛණ්ඩතාව, වේගවත් ප්‍රතිචාර, අඩු පිරිවැය, අනුකූලතාව සහ විශ්වාසය මෙහි ප්‍රතිලාභ වේ.
මෙම ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය (2025- 2029) ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න විසින් ජනාධිපති සහ ඩිජිටල් ආර්ථික අමාත්‍ය අනුර කුමාර දිසානායක වෙත පිළිගන්වනු ලැබීය.
මෙහිදී අදහස් දැක් වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ තාක්ෂණය සහ විද්‍යාව අත්පත් කරගන්නා ජයග්‍රහණ වේගයෙන් උකහා ගැනීමට සමත් රාජ්‍ය ඉතා ඉක්මනින් දියුණුවේ හිණි පෙත්තටම ගමන් කරන බවයි. මෙම ජාතික සයිබර් ආරක්ෂණ පද්ධතිය අපේ රටේ ජාතික ආරක්ෂාවටත්, ජාතික ආර්ථිකයටත්, පුරවැසියන්ගේ ජීවන රටාව පිළිබඳ ආරක්ෂණයේදීත් ඉතා වැදගත් කාර්යයක් ඉටු කරනු ඇතැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මෙසේද පැවසීය.
"අපි අද සුවිශේෂි කාර්යයකට මුල පුරනවා. අපි මේ විවෘත කරනු ලැබුවේ හුදු ගොඩනැඟිල්ලක්, කාර්යාලයක් පමණක් නොවෙයි. ඩිජිටල්කරණය පිළිබඳව අපි ශක්තිමත් ගමනක් යනවා නම්, ඒ සඳහා ආරක්ෂිතභාවය, ශක්තිමත්භාවය සහ විශ්වාසනීයත්වය අත්‍යවශ්‍ය වෙනවා. ඒ සඳහා අවශ්‍ය වන සයිබර් ආරක්ෂණ පද්ධතිය තමයි අද අපි විවෘත කරනු ලැබුවේ. එය අපේ රටේ ඩිජිටල් ආර්ථික ගමනේදි ඉතා වැදගත් අවස්ථාවක්.
අපි දේශපාලනිකව බැලුවත් ලෝක ආර්ථිකයේ ගමන් මඟ දෙස බැලුවත් එහි ප්‍රධාන සාධකය වන්නේ, ඒ මොහොතේ තාක්ෂණය සහ විද්‍යාව විසින් අත්පත් කරගන්නා ජයග්‍රහණය වේගයෙන් උකහා ගැනීමට සමත් රාජ්‍ය ඉතා ඉක්මනින් දියුණුවේ හිණි පෙත්තට ගමන් කරනවා. තාක්ෂණයේ සහ විද්‍යාවේ දියුණුව වේගයෙන් අත්පත් කර ගැනීමට අසමත් වූ රාජ්‍ය, ඒ හා සමාන ලෙසම පරිදියේ තවත් ඈතට තල්ලු වෙනවා. මම හිතනවා ලංකාව ලෙස අප මුහුණ දී තිබෙන අර්බුදය තිබෙන්නේ ඒ තුළයි.
අපි කවුරුත් දන්නවා බොහෝ සංකල්ප නිර්මාණය වුණේ 16 සහ 17 වන සියවස්වල. හැබැයි, මේ සංකල්පමය වශයෙන් ගොඩනැගුණු බොහෝ දේ යථාර්ථයක් බවට පත් වූයේ විසි වන සියවසේදීයි. සෞඛ්‍ය ක්ෂේත්‍රය අත්පත් කරගත් ජයග්‍රහණ, දේශපාලනය හුදු රාජ-ධුරාවලියකින් පාලනය වූ ලෝකයක ජනතාවගේ සහභාගීත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පාලකයන් තෝරා පත් කර ගැනීම, ඒ වගේම මිනිස් සබඳතාවල නව ස්වරූප මේ සියල්ල ප්‍රායෝගික තලයට ගෙන ආවේ 20 වන සියවසේදීයි. ඒ අනුව, 20 වන සියවස අගභාගයේ සිට මේ ඩිජිටල්කරණ වූ ලෝකය විශාල කාර්යභාරයක් ඉටු කිරීමට පටන් ගත්තා.
අපිට තෝරා ගත හැකි මාවත් දෙකක් තිබෙනවා. එහි පළමුවැන්න මේ ඩිජිටල්කරණය ඉතා වේගයෙන් උකහාගෙන එය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කර ගැනීම. එවිට අපිට දියුණු රාජ්‍ය සමඟ සමාන්තරව ගමන් කළ හැකියි. එම තාක්ෂණික ජයග්‍රහණ නිසි පරිදි අත්පත් කර ගැනීමට අසමත් වීම තුළින් ලෝකයෙන් තවදුරටත් අප ඈත්වෙමින් යනවා.
මේ නවීන තාක්ෂණය විසින් අත්පත් කර ගන්නා ලද දැනුම, නව මෙවලම්, නව පද්ධති වේගයෙන් අපේ රාජ්‍යයට කැඳවාගෙන ආ යුතුයි. ඒ නිසා තමයි අපේ රජයේ ප්‍රධාන වැඩපිළිවෙළක් ලෙස ඩිජිටල්කරණය හඳුනාගෙන තිබෙන්නේ. ඒ වෙනුවෙන් විද්වතුන්, වෘත්තීයවේදීන් විශාල කැපවීමකින් කටයුතු කරනවා.
අපේ රාජ්‍ය සේවය සැලකිය යුතු ප්‍රමාණයකින් නටබුන් වූ ඉතිහාසයකට උරුමකම් කියනවා. 70 දශකයේ අපිට ප්‍රෞඪ රාජ්‍ය සේවයක් තිබු බවට උදම් අනන අපි ප්‍රෞඪත්වය තුළම සිර වී නටබුන් රාජ්‍යයකට උරුමකම් කියනවා. ඒ නිසා මේ ඩිජිටල්කරණය මඟින් නටබුන් වූ රාජ්‍ය යාන්ත්‍රණය වඩා කාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පරිවර්තනය කළ යුතුයි. විශේෂයෙන් රාජ්‍ය යාන්ත්‍රණය විසින් පුරවැසියාට ලබා දෙනු ලබන සේවාව කාර්යක්ෂම කළ යුතුයි. තෘප්තිමත්, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබා දීමට නම් නව පද්ධති නිර්මාණය කොට එහි කාර්යක්ෂමතාවේ ප්‍රතිලාභ ජනතාවට ලබා දිය යුතුයි.
ඒ වගේම විනිවිඳභාවය ඉතා වැදගත් වෙනවා. අපේ රාජ්‍ය යාන්ත්‍රණය ගැඹුරුම අර්බුදයකට මුහුණ දී තිබෙනවා විනිවිඳභාවය කියන කාරණයේදී. මිලදී ගැනීම්, ප්‍රදානය කිරීම, බඳවා ගැනීම්, ප්‍රතිපත්තිමය තීන්දු තීරණවලදී එය දැඩිව බලපානවා. ඒ නිසා මේ විනිවිඳභාවය තහවුරු කිරීමේදීත් මේ ඩිජිටල්කරණය ඉතා වැදගත් වෙනවා.
ඒ වගේම, මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමේ දී මෙන්ම නව වෙළෙඳපොළ සහ ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමේදී ඩිජිටල්කරණය ඉතා වැදගත් වෙනවා. එහිදී ව්‍යාපාරිකයින්ට ඩිජිටල්කරණය මඟින් නව වෙළෙඳපොළ අත්පත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. මෑත කාලයේ දියුණුව අත්පත් කර ගත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන දෙස බැලුවත් මේ නවෝත්පාදන මඟින් නව වෙළෙඳපොළ නිර්මාණය කර ගෙන තිබෙනවා. ඒ නිසා ව්‍යාපාරික ලෝකයටත් මෙය ඉතා වැදගත් වෙනවා.
ආර්ථික වශයෙන් රටක් ඉදිරියට ගෙන යාමට නම් සමාජ ජීවිතය කාර්යක්ෂම කළ යුතුයි. එය සිදුවන්නේ ඩිජිටල් ආර්ථිකය හරහායි. තවදුරටත් සිර කළ ජීවිතයක් වෙනුවට, නිදහස් පරිසරයක තමන්ගේ දෛනික අවශ්‍යතා සපුරාගත හැකි මෙවලම් මේ ඩිජිටල්කරණයෙන් නිර්මාණය වෙනවා. ඒ නිසා රාජ්‍ය සේවයේදීත්, ව්‍යාපාර ලෝකයේදීත්, සාමාන්‍ය පුරවැසියන් දෙස බැලුවත් මෙය තමයි අපේ ආර්ථිකයේ ප්‍රධාන මූලෝපාය බවට පත් විය යුත්තේ.
ඇතැමුන් කියනවා මිනිස්සු යන්ත්‍ර බවට පත් වේවි, මිනිසුන්ගේ හැගීම නැති වේවි කියලා සංවාද ගොඩනඟනවා. එහෙම වෙන්නේ නැහැ. මිනිසුන් ස්වභාවිකවම හැගුම්බරයි, සමාජ සබඳතාවලින් පිරි තිබෙනවා. ඒ නිසා මේ දිශාව තමයි මාවත, මෙහිදී සිදු විය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා වූ ප්‍රවේශය වන්නේ ශක්තිමත් ජාලයක් නිර්මාණය කර ගැනීමයි. එම තාක්ෂණය තුළින්ම එය නිර්මාණය කරගත හැකියි.මෙය තවදුරටත් දියුණු විය යුතුයි. දැන් අත්පත් කරගෙන තිබෙන දැනුම විසින්ම නව දැනුම උත්පාදන කරනු ලබනවා . වේගයෙන් එම පරිවර්තනය සිදු වෙනවා. ඒ නිසා මෙය ගතික දෙයක්. මීට පෙර කොටු පවුරක් බැඳ තර්ජනයට මුහුණ දිය හැකියි. හැබැයි, සයිබර් ආරක්ෂණ පද්ධතිය කොටු පවුරක් නොවෙයි. මෙය නිරන්තරයෙන් තර්ජනයට මුහුණ දිය හැකියි, නිරන්තරයෙන් එය වළක්වා ගැනීමට අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා මේ ජාතික සයිබර් ආරක්ෂණ පද්ධතිය අපේ රටේ ජාතික ආරක්ෂාවත්, ජාතික ආර්ථිකයත්, පුරවැසියන්ගේ ජීවන රටාව පිළිබඳ ආරක්ෂණයේදීත් ඉතා වැදගත් වෙනවා. ඒ සඳහා දායකත්වය දැක් වූ විද්වතුන්, වෘත්තීයවේදීන් සියලුදෙනාට ස්තූතිය පළ කරමින්, මේ ගනු ලැබු පියවර තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට සුභාසිංසන පළ කරනවා."
ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය, ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ඩිජිටල් සංවර්ධන විශේෂඥ Ida S Mboob , අග්‍රාමාත්‍ය ලේකම් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රි, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ශ්‍රී ලංකා සර්ට් ආයතනයේ සභාපති තිලක් පතිරගේ සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, විද්වතුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Ada derana.lk