ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය පරිදි ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 37 වන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පත් කරන කළේය.
ඒ අනුව නීතිඥ ප්‍රියන්ත වීරසූරිය අද (14) උදෑසන පොලිස් මූලස්ථානයේ දී පොලිස්පති ධූරයේ රාජකාරි භාරගත්තේය.
37 වන පොලිස්පති ධූරය ශ්‍රී ලංකා පොලිසියේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන්නේ ය.
එයට හේතුව ශ්‍රී ලංකා පොලිසියට ඉඳුරාම බඳවා ගනු ලබන ක්‍රම ත්‍රිත්වයෙන් ම ශ්‍රී ලංකා පොලිසියට බැඳුණු එකම නිලධාරියා මෙලෙස වසර 37 ක සේවා කාලය සම්පූර්ණ කරන වර්ෂයේ දීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 37 වන පොලිස්පතිවරයා වශයෙන් පත්වීමයි.
1969 පෙබරවාරි 09 වන දින උපත ලද වීරසූරිය ලියන ආරච්චිගේ සමන් ප්‍රියන්ත, දොඩංගොඩ නෑහින්න කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඉන් අනතුරුව කළුතර ඥාණෝදය මහා විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය හදාරන ලදී.
අධ්‍යාපනය ලබන අවධියේ දී ම ශ්‍රී ලංකා පොලිසිය තම වෘත්තීය ගමන්මඟ වශයෙන් තෝරා ගනිමින් 1988.05.20 දින පොලිස් ව්‍යූහයේ කණිෂ්ඨ තනතුරකින් පොලිස් සේවයට ඇතුළත් වන ලදී.
අනතුරුව 1990 වසරේ අ.පො.ස. (උසස්පෙළ) සමත්ව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට සුදුසුකම් ලබන ලදී.
ඉන් අනතුරුව 1992 වර්ෂයේ දී උප පොලිස් පරීක්‍ෂක ශ්‍රේණියට ඉඳුරාම බඳවා ගැනීම යටතේ ආධුනික උප පොලිස් පරීක්‍ෂකවරයෙකු ලෙස ඇතුළත් විය.
පොලිස් සේවයේ සිටියදීම 1993 වර්ෂයෙන් ආරම්භව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ නීති උපාධිය 1998 දක්වා සාර්ථකව හදාරන ලදී. 1999 වසරේ ම නීති විද්‍යාලයේ අවසන් වසර සමත්ව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයකු වශයෙන් දිවුරුම් දෙන ලදී.
ඉන් අනතුරුව තම උපාධිය මුලික සුදුසුකමක් කර ගනිමින් 1999 වර්ෂයේ ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සෘජුවම පොලිස් සේවයට ඇතුළත්ව මූලික පුහුණුව ලබන ලදී.
අනතුරුව 2007 වර්ෂයේ පොලිස් අධිකාරි ධූරයට ද, 2012 වර්ෂයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධූරයට ද, 2016 වර්ෂයේ නියෝජ්‍ය පොලිස්පති ධූරයට ද, 2020 වර්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට ද උසස්වීම් ලබා ඇත.
එසේ ම මෙම කාලය තුළ 2015 වසරේ දී කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ පශ්චාත් උපාධිය ද, 2020 වසරේ දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධිය ද ලබාගෙන ඇත.
ප්‍රියන්ත වීරසූරිය මහතා, වසර 37 ක සේවා කාලය තුළ පොලිස් කොට්ඨාස ගණනාවකම අධ්‍යක්‍ෂවරයකු හා කොට්ඨාස භාර නිලධාරියෙකු ලෙස ද, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස ද, පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස ද පරිපාලන රාජකාරි හා ක්‍ෂේත්‍ර රාජකාරි වල දක්‍ෂ, කාර්යශුර අත්දැකීම් බහුල නිලධාරියෙකු වූ බැවින්, නීතිඥ ප්‍රියන්ත වීරසුරිය 2024.09.27 වන දින සිට පොලිස්පති ධූරයේ වැඩ බැලීම සඳහා ජනාධිපතිතුමා විසින් ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශයට යටත්ව පත් කරන ලදී.
එසේ ම ප්‍රියන්ත වීරසූරිය පොලිස් සේවයේ විවිධ රාජකාරි හා අවශ්‍ය යටිතල පහසුකම් පිළිබඳ විවිධ සමීක්‍ෂණ සිදු කරමින් ව්‍යාපෘති කිහිපයක් ද සක්‍රීයව සිදුකරන ලදී.
එහි ප්‍රතිඵලයක් ලෙස පොලිස් නිලධරයන්ගේ සුභසාධනයට වැඩි අවධානයක් ලබාදෙමින් නිල ඇඳුම් අවශ්‍යතා, ක්‍රීඩා ඇඳුම් කට්ටල, ක්‍රීඩා සපත්තු හා පොලිස් නිලධරයන්ගේ විශේෂ රාජකාරි වලදී භාවිත කිරීමට ඇද ඇතිරිලි වැනි දෑ නිකුත් කිරීම ද ප්‍රියන්ත වීරසුරියගේ හඳුන්වාදීම් වේ.
වැඩබලන පොලිස්පතිවරයා ලෙස රාජකාරි කිරීමේදී ජාත්‍යන්තර පොලිසිය හා රාජතාන්ත්‍රික මට්ටමින් මනා සබඳතාවයක් ගොඩ නංවා ගනිමින්, අපරාධකරුවන් විදේශ රටවලදී අත්අඩංගුවට ගැනීම හා ගෙන්වා ගැනීමට සහයෝගයෙන් කටයුතු කරනු ලැබීය.
එමෙන් ම, මෙරට පිහිටි විදේශීය තානාපති කාර්යාල සමඟ ද මනා සබඳතාවයක් පවත්වා ගනිමින් අදාළ සාකච්ඡාවන් සිදුකර පොලිස් නිලධරයන්ට විදේශීය පුහුණු කටයුතු හා විදේශීය ශිෂ්‍යත්ව ලබා ගැනීමට ද අවශ්‍ය පහසුකම් සලසන ලදී.