Image

“දූෂණ විරෝධී පනත සංශෝධනය කරන්නේ දියාරු කිරීමට නොව ශක්තිමත් කිරීමටයි” – අගමැති

“දූෂණ විරෝධී පනත සංශෝධනය කරන්නේ දියාරු කිරීමට නොව ශක්තිමත් කිරීමටයි” – අගමැති

දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීමට රජය පියවර ගෙන ඇත්තේ එහි අරමුණු දියාරු කිරීමට නොව, පනත ක්‍රියාත්මක කිරීමේදී හඳුනාගත් ප්‍රායෝගික, ආයතනික සහ මානව සම්පත් ගැටලු විසඳමින් දූෂණ විරෝධී ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී අවධාරණය කළාය.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ දී අද(08) අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව අවධාරණය කරන ලදී.

1994 සිට දූෂණ විරෝධී නීති සහ ඒ සඳහා වූ ආයතන පිළිබඳ සාකච්ඡා පැවතියද, එම ආයතන නාමිකව පමණක් පැවති බවත්, ඒවා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මානව සම්පත්, මූල්‍ය ප්‍රතිපාදන, සම්පත් සහ යටිතල පහසුකම් ලබාදී නොතිබූ බවත් අග්‍රාමාත්‍යවරිය මෙහි දී පෙන්වා දුන්නාය.

2023 වසරේදී නව දූෂණ විරෝධී පනත හඳුන්වා දුන්නද, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී මතුවූ ගැටලු හඳුනාගැනීමට හැකි වූයේ 2025 වසරේ සිට එය සක්‍රීයව ක්‍රියාත්මක කිරීමට පටන් ගැනීමෙන් අනතුරුව බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

ඒ අනුව, අවශ්‍ය මානව සම්පත් බඳවා ගැනීම, පනතේ සිංහල හා ඉංග්‍රීසි භාෂා අතර පවතින අසංගතතා නිවැරදි කිරීම සහ පනත ක්‍රියාත්මක කිරීමේදී මතුවන ප්‍රායෝගික ගැටලු විසඳීම සඳහා වත්මන් සංශෝධන ඉදිරිපත් කර ඇති බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

එමෙන්ම, දූෂණ විරෝධී පනත යටතේ සිදුකරන වත්කම් හා වගකීම් හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු රාජ්‍යය හා සමඟ සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේ පෞද්ගලිකත්වයද සලකා බැලිය යුතු බවට සාකච්ඡා පැවති නමුත්, පෙර සිටම සහ වත්මන් සංශෝධන තුළ මහජන නියෝජිතයන් එම වගකීම්වලින් ඉවත් කිරීම කිසිවිටෙකත් සිදුකර නොමැති බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

“දූෂණ විරෝධී සංස්කෘතියක් රට තුළ ඇතිවීමත්, එය ඵලදායී ලෙස ක්‍රියාත්මක වීමත් සම්බන්ධයෙන් විපක්ෂය තුළ පවතින කලබලය සහ අසහනය මෙම ප්‍රකාශවලින් පැහැදිලි වෙනවා” යැයිද පැවසුවාය.

මේ අතර, ජනතා අරගලයේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ ජනතා මුදල් අයථා ලෙස පරිහරණය කළ පුද්ගලයන්ට දඬුවම් ලබාදීම පමණක් නොව, එම මුදල් නැවත රජයට අයකර ගැනීම බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරිය, එම අරමුණද වත්මන් සංශෝධන මඟින් ශක්තිමත් කිරීමට අවධානය යොමුකර ඇති බව සඳහන් කළාය.

දූෂණයට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් ලබාදීමේ ක්‍රියාවලියට අමතරව, රාජ්‍යයට සිදුවූ අලාභය පියවා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේද ශක්තිමත් කිරීමද සංශෝධනවල අරමුණක් බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

“මෙය දූෂණ විරෝධී ක්‍රියාවලිය දියාරු කිරීමක් නොව, එය ක්‍රියාත්මක කිරීමේදී මතුවන ප්‍රායෝගික, ආයතනික සහ මානව සම්පත් ගැටලු නිරාකරණය කිරීමේ උත්සාහයක්. දූෂණයට එරෙහි සටන අතහැර අපට දිනාගත හැකි කිසිවක් නැහැ. එසේ අත්හරිනවා නම් එය අපේ පරාජයක්” යැයි අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

දූෂණයට එරෙහිව විශාල ජනතා අරගලයක් පැවති රටක, විපක්ෂය විසින් අසත්‍ය තර්ක ඉදිරිපත් කරමින් ජනතාව නොමඟ යැවීමට උත්සාහ කිරීම අතිශය කනගාටුදායක බවත්, එවැනි ක්‍රියාමාර්ග හරහා පෙනී යන්නේ විපක්ෂය නැවතත් දූෂිත දේශපාලන සංස්කෘතියක් ආරක්ෂා කිරීමට උත්සාහ කරන බව පමණක් යැයි අග්‍රාමාත්‍යවරිය පැවසී ය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න